Wednesday, June 23, 2010

ගුරුගීතය ...



දිල් සොයුරිය අකුරු කළ අල්තිනායිගෙ ලියමන...

සේද මීඳුම් සළු ලෙහාගෙන
අනන්තය තෙක් පියඹනා ලා අඳුර
හදවතේ ගැඹුරුම තැන සොයන සඳ
සිනාසෙයි ගෙවීයන කාලය
ප්‍රේමයෙන් ඔකද උන තරුණ සමයට
ආදරණීය දුයිෂෙන්……
කෝ කොහෙද
කොතැනකද නුඹ…………

ලතවෙන්නෙමි තවම මම
සීත ගං ඉවුරු යා කෙරුව
අයිලය හැරදා යා නොහැකිව
ආදරණීය දුයිෂෙන්…
ඇහුනාද පෙණ පොදක විලාපය
අහෝ….
ඒ නොවෙද මගෙ අතීතය….

වියළුන සිත් බිම් කඩ වෙත
වස්සානයේ පහස රැගෙන
අයිලයට එනවාද දුයිෂෙන්
ලද බොළඳ පෙම්වතිය
නුඹේ අල්තීනායි
මියැදෙන්නට පෙර…

මා අකුරු කළ දුයිශෙන්ගේ ලියමන...

අයිලය හැරදා
යාගන්න
බැරි වෙලා
ලතැවෙනා අල්තිනායි...

පොප්ලර් ගස් අතර අතීතය
වල දමා
හිනා පොදකුත් ‍රැගෙන
අනාගතයට යන්න...

නුඹට හිත බැඳි
බැඳුම් එලෙසමයි...
පොප්ලර් ගස් වගෙම
නිසලයි...
සුන්දරයි...

අයිලයේ ‍රැ‍ඳෙන්නට
බෑ ඉතින් නුඹට තව
අනාගතය ට නුඹ ව
ඕනෙමයි..
මගේ සෙනෙහස
සු'පැතුම් ද ගෙන
යන්න වෙන් වී ඉතින්
ආයුබෝවන්...

මම දුයිශෙන්...


මා දු‍ටු වර්තමානය...

ටියුෂන් කඩ පිල් ඇතුලේ..
ශිල්ප සතර විකිණෙද්දිත්
දුයිශෙන් ලා මම දු‍ටුවා..
දුයිශෙන් මට මුණගැහුණා...

සරසවියේ නා නා විධ
දේශකවරු අතරමැදත්
දුයිශෙන් එක වරක් නොවේ
දෙතුන් වරක් මුණගැහුනා...

දුයිශෙන්ලා නුදු‍ටුව නුඹ
හැරී බලන් තවත්
වරක්
තාමත් දුයිශෙන් මේ ලොව
ජීවත් වෙනවා...
අල්තිනායි නොවුන මටත්
ඉඳහිටවත් හමු වෙනවා....



Photo:http://www.nwpphotoforum.com/ubbthreads/JM_Pieces/2007_Interviews/Isaac/kashmir2.jpg

12 comments:

  1. අතීතයෙන් අහුලන මතක අතරෙ දිල් අල්තීනායිගෙ මතකය අහුලල තිබුණ උදේ පාන්දරම...
    දුයිශෙන් ගෙ පිළිතුර ලියන්න හිතුවත් මගෙ වැඩ ඉවර වෙලා බලද්දි සුලා අය්ය ලස්සන පිළිතුරක් දුයිශෙන් වෙනුවෙන් දීල තිබුණ.. ඒත් මගෙ හිතේ අදහසත් ලියන්න ඕනෙ කියල හිතුන් නිසා.. දිල් ලියුව අල්තිනායි ගෙ ලියමනත් එක්ක ම මට හිතුන දේවල් සටහන් කරනව...මම හිතන්නෙ දිල් ඔයා අමනාප වෙන එකක් නෑ..

    ReplyDelete
  2. මේ දවස්වල කරන වැඩක් නැති කම ගෙදර ඉදන් මගෙ පොත් ගොඩම ඇවිස්සුවා. " ගුරු ගීතය " මම 10 වතාවක් විතර කියවලා තිබ්බත් ආයේමත් කියවන්න ආද හිතුනා. ඒත් කියවවිල්ල පැත්තකට දාලා අල්තීනායි මනසින් ඇදගෙන කවියක් ලිව්වා....

    හුඟාක් ඉස්සර ගුරු ගීතය කියවද්දී මට හිතුනේ අල්තීනායි පව් කියලමයි. අපට ගුරු ගීතයෙන් කියවන්න ලැබෙන්න අල්තීනායි ගෙ අදහස් විතරමයි. ඒ නිසා අල්තීනායිව හඳුන ගන්න පුළුවන් වෙනවා. ඒත් දුයිෂෙන්...අපි දුයිෂෙන්ව දකින්නෙ අල්තීනායිගෙ වචන වලින් විතරයි...එකම් එක පාරක් හරි දුයිෂෙන්ට හැඟුන දැනුන දේ කියවන්න ලැබුනා නම්.....

    හ්ම්ම්ම්! ඔව්...දුයිෂෙන්ලා වගේ අය චේජනාට හමුවෙලා ඇති. මගෙ ජීවිතේ මට තවමත් මුණ ගැහිලා නෑ. ඒත් මම හොයනවා.....

    හරිම අපූරු පද ටිකක් චේජනා.....

    ReplyDelete
  3. නිර්මාණ දෙකම හරිම ලස්සනයි. දිල් කියන්න වගේ කොච්චර කියෙව්වත් එපා වෙන්නැති පොතක් තමයි " ගුරු ගීතය" අපේ අයියණ්ඩි ගාව තිබිල මමත් කියෙව්වෙ. ඒත් මේ ළගදි ආයෙත් කියවන්න ඕන වෙලා බලද්දි පොත නෑ. ඒ ගමන අපි තව පොතක් ගෙන්න ගන්න ලංකාවට ගිය අක්ක කෙනෙකුට කිව්ව. පොත කියවීමේ ආසාව වැඩි කළා ඔය දෙන්නගෙම නිර්මාණ දැන් අපි පොත එනකන් මග බලාන ඉන්නව.

    ReplyDelete
  4. අද සාහිත්‍ය දිනයක් වගේ... බොහෝම ස්තුතියි.

    ලස්සන කවි, කතා කීපයක්ම රසවිඳින්න ලැබුනා.

    ReplyDelete
  5. දුයිශෙන් .... මම ආදරෙ කරන චරිතයක්.. හම්බෙලා තියනවා.. තවත් හම්බෙයි ... මමත් හරිම ආස කතාවක් තමයි මෙ..

    ReplyDelete
  6. දිල්,
    ගුරුගීතය කියවද්දි මට හැමදාම හිතුනෙ අල්තිනායි ගැන නෙවේ.. දුයිෂෙන් ගැන.. අල්තිනායි ලෝකය ට දෙන්න දුයිෂෙන් කළ කැපකිරීම් ගැන.. මට හිතුනෙ ම තමන්ගෙ ආදරේ යටපත් කරගෙන අල්තිනායිට යහපත් අනාගතයක් හදන්න ඔහු කැපවුනා කියලමයි... ඒ හින්ද මට අදත් හිතෙනව පොප්ලර් ගස් ළඟ දුයිෂෙන් ගෙ ඒ නිසල සුන්දර සෙනෙහස ඇතියි කියල....
    තමන් දන්න දේ උගන්නනව විතරක් නෙවෙයි අපේ ජීවිතවලට මග කියන්නත් එන..දුයිෂෙන් වගේ ගුරුවරු ගුරුවරියො තාමත් මේ ලෝකෙ ඉන්නව දිල්.. මට මුණගැහිල තියෙනව.. මගේ ජීවිතේ මෙතෙන්ට ගෙනාවෙ ඒ වගේ සරසවි ඇදුරුතුමියන් දෙන්නෙක් සහ ඇදුරුතුමෙක්.. ඒ වගෙ තවත් බොහෝ දෙනා එහි ඉන්නව...

    ReplyDelete
  7. ඉසිඹුව, ගල් මල් අය්යෙ,
    මම ලිව්වෙත් දිල් මාව ආයෙම දුයිෂෙන් සහ අල්තිනායි ළඟට එක්ක ගිය නිසා...
    ඉතින් ස්තුතිය දිල්ට..

    ReplyDelete
  8. රවා, දුයිෂෙන් වනි ගුරු උතුමන් මුණ ගැහුන
    අපි වාසනාවන්තයි...
    ගුරුගීතය සදාතනිකයි...හැමදාම හැමෝට ම
    රස විඳින්න...

    ReplyDelete
  9. චේජනා නංගියේ....
    මේ සටහනට ගොඩාක් දේවල් එකතුකරන්න හිතේ තිබුනත් සුපුරුදු විදිහටම මේ සත් අන්තයත් කාර්‍ය බහුලයි....ඕං අද ආපු වෙලාව රෑ 12.00යි...හෙට උදේ හය වෙනකොට ආපහු යන්න ඕනෙ....
    මට මතක විදිහට ගිය අවුරුද්දෙ ස්වාධීන රූපවාහිනියෙ විකාශණයවුණා "ඇහි පිල්ලමක් යට" කියලා ගුරුගීතය පාදක කරගත්ත ටෙලි නාට්‍යයක්...නිර්මාණය අතිවිශිෂ්ඨයි...ඒ ගැන ලොකු විස්තරයක් කරන්න තිබුණත් වෙලාවක් නැහැනේ...ඕං අන්තර්ජාලයේ තියෙනවා...බලන්න පුළුවන්..කොටස් දෙකතුනක් බලලා මට කියන්නකෝ...

    සුලා..

    ReplyDelete
  10. කොටස් කීපයක් තැනින් තැන ඉක්මනට බැලුව අය්යෙ... ඒක ගොඩක් ලස්සනයි වගේ.. දවස් දෙක තුනක් අරගෙන හෙමිහිට ඔක්කොම බලන්න හිතුවෙ, සති අන්තෙ නෙ එන්නෙ.. :-)
    බලල ම කියන්නම්කො ඒක ගැන.. ගොඩක් ස්තුතියි තොරතුරට. පොඩ්ඩක් මතකයෙ තියෙනව අධ්‍යක්ෂවරය දවසක් පත්තරේක කියල තිබුණ දැක්ක " අර ගස් දෙක තියෙන කන්ද " හොයා ගන්න ගොඩක් මහන්සි වුණ බව..
    ඔයාගෙ කාර්යබහුල බව අතරෙ සටහනක් තියල ගියාට ස්තුතියි..

    ReplyDelete
  11. ළනග්ගදී වෙලාවක ආපහු කියවපු වෙලාවේ හිත කෑ ගහලා ඇඬුවත් මොකද්දෝ හේතුවකට ඒ දුකත් චරිත ටිකත් හිතේ හිර කරගන්න බැරි කමක් දැනිලා හිතෙන් පැනලා ගිහින් . . .ආයි පාරක් හොයාගෙන කියවන්න ඕන මේ කවියේ නියම රසය විඳින්න ඕන නිසාම . ..

    ReplyDelete
  12. දුයිෂෙනුයි අල්තිනායි යි මගෙ හිතෙන නම් එලියට නොයන දෙන්නෙක් ද මන්ද...
    මම හිතන්නෙ දැන් නම් අවුරුදු දෙකකින් විතර ආයෙ කියවන්න බැරි වුණා...පොත මට නම්..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...