Monday, August 9, 2010

පහන් සිල

මේ අමාවක රාත්‍රියයි... ගනඳුර දැඩිය... ගනඳුර බිඳක් හෝ පලවා හරින්නට සඳ එළියක සේයා මාත්‍රයකුදු නොවැටේ...

සැලෙන පහන්සිල වරෙක නිවීයාමට තතනයි. මඳ පවනේ දැවටෙන පහන් සිල සැලුනද ඒ නිවා දමන්නට තරම් සුළඟ සවිමත් නොවේ.

පොල්තෙල් දැවෙන මුදු සුවඳ සුළඟේ දැවටී මට ද දැනේ. පන්සලේ බුදුරුව අබියස පහනක් දැල්වූ මොහොතක හිත ට දැනුන සෞම්‍ය වූ ශාන්තිය, පහන් සිලේ චමත්කාරය කැටිකොටගත් හැන්දෑවේ අසිරිය වන්නට ඇතැයි මට දැන් සිතේ. එහි වූ ශාන්ත බුදුරුව, මසිත අපමණ වේලාවක් නිසොල්මනේ රඳවා ගන්නට සමත් විය. නිතර ම සසල වන, ඉක්මනින් විඩාපත්වන, මාසිත කිසිදු විඩාවකින් තොරව බොහෝ වෙලාවක් එකම අරමුණේ රඳවන්නට ඒ බුදු රුව ද පහන්සිලද අපමණ ශාන්ත විය.

පහන් සිල ගන අඳුර මැද දැල්වේ. හාත්පස නැගෙන දැඩි අඳුර මකාලීමට ඒ ප්‍රමාණවත් නැති නමුත් පහන අවට මෘදුවූත් සෞම්‍ය වූත් ආලෝකයක් ‍රැඳේ. සෙමින් සැලෙන බෝ පත් ද සෙමින් ගලායන ඇල පාරේ සිලිසිලිය ද මේ දැහැන නොබිඳින්නට තරම් ප්‍රවේසම් වේ... සුළඟේ දැවටෙන හෙන්දිරික්කා මලක සුගන්ධය මේ දිව්‍යමය සැන්දෑවේ උරුමය ට හිමිය.

අද සැඳෑවේද මම පන්සල අසලට ම ගියෙමි. පන්සලේ පිවිසුම් දොර‍ටු වසා ඇත. විවර ව තිබුණද ඉටිපහනක් දැල්වෙන ආලෝකයෙන් පිදෙන එහි මා දු‍ටු සෞම්‍ය වූත් ශාන්ත වූත් බුදුරුව නැත.

...............................................................................................

දැන් දැවෙන්නේ පහනේ අවසන් තෙල් බිඳයි. මොහොතකින් පහන් වැටිය දැවීම අරඹනු ඇත. ඊට පෙර ඉතිරි තෙල් බිඳත් ඊට එක් කළ යුතුය. ඉන්පසු පහන්සිල නිවීයනු දකිනු නොරිසි මා සිත ද කැටිව මා යා යුතුය.

අන්ධකාර රාත්‍රියක දැල්වෙන හුදකලා පහන්සිලක අසිරිය විඳින්නට මසිත ආයාචනයක බැඳේ... තවත් අසීමිත දින ගණනක් මසිත ඒ වෙනුවෙන් පෙරුම් පුරනවා ඇත...

Photo : http://www.flickr.com/photos/51058104@N00/3527891292

12 comments:

  1. රුදුරු යැයි හිරුට බනින අපි....පහන් සිලකට මේ තරම් ආදරේ ඇයි.....

    ReplyDelete
  2. ඉර හැමදාම පායන නිසා
    අපි ඉර ට බනිනව ඇති..
    පහන් සිලක් කාලෙකින් නොදැක්ක නිසා
    පහන් සිලට ආදරේ හිතෙනව ඇති...

    ReplyDelete
  3. දැල්වෙන පහන් සිල සමග ගෙන හැරුනේ
    සන්වේදි සිතම නොවෙද?
    නිවී යන බව දැන දැනත් එයට ඇලුම් කිරීම
    දුක්බර අවසනක මුල නොවේද?

    ReplyDelete
  4. දැල්වෙන පහන්සිලත් එක්ක
    සමාධිගත වෙන්නෙ මගෙ හිත තමා,
    නිවෙන බව දැනගත්තත් ඇලුම් නොකර ඉන්න මට බෑ...
    ඒත් නිවෙන බව දන්න නිසා නිවුනම මට ලොකු
    දුකක් දැනෙන්නෙ නෑ...

    ReplyDelete
  5. ශාන්ත පරිසරයකට අරන් ගියා පහන් සිලේ එළියෙන්, ඒ පරිසරයෙන් සිතට දැනෙන සිසිල...

    එහෙත් "අද සැඳෑවේද මම පංසල අසලට ම ගියෙමි. පංසලේ පිවිසුම් දොර‍ටු වසා ඇත. විවර ව තිබුණද ඉටිපහනක් දැල්වෙන ආලෝකයෙන් පිදෙන එහි මා දු‍ටු සෞම්‍ය වූත් ශාන්ත වූත් බුදුරුව නැත..." ලොකු පාලුවක් දැනුනි

    ReplyDelete
  6. සිත නිවාලන්නට සෙමින්
    දැල්වීය එක් පහන් වැටියක්,
    බිඳිත්තකුත් නොමැතිව තෙල්,
    නිවී යන සඳ එය...

    අලුත්, අරැම ගින්නකින් යලිත්
    යටි සිත ඇවිලී ගොස් ඇත...

    ReplyDelete
  7. අය්යෙ,
    මගේ අතින් හැම වෙලාවෙම දකින දේවල් අපේ රටත් එක්ක ස‍සන්දනය වෙනව. මෙහෙදිත් මම හැමදාම ප‍න්සලට යනව. පන්සලේ දොර‍ටුව ළඟ ඉඳන් වැඳල එනව. පන්සල වහල නිසා...

    ReplyDelete
  8. දැල්වෙන තුරු ම
    සිත නිවනුයෙන්
    පහන්සිල නිවෙන්නට
    පෙර හැර ආවෙමි...
    නිවෙන බව දනිමි.
    නිවෙනු මා නොදිටිමි.
    එහෙයින්
    ම සිත නිවුණි.

    ReplyDelete
  9. ඔබ සිත ද
    නිවුන බව අසා
    මසිත සැනසුනි.

    ReplyDelete
  10. උඹ ලියන සටහන්වලට යමක් නොලියාම බැහැනෙ නංගියේ...
    පොල්තෙල්පානෙ දැල්ල දිහාව බලාගෙන භාවනා කළහැකි නෙව..දැල්ල නිවිල ගියාට පස්සෙ එතන ඉතිරිවන දෙයක් නැතිවා වාගෙ මේ අසීමිත බැඳීම්වලින් මිදෙන්නට බැරි හැටියක් අප්පා...සංසාරෙ තව කොච්චරදුරක් යන්නවෙයිද මංදන්නැහැ බං...!
    ඔය පංසල,බුදු පිළිමෙ ගැන කියෙව්වාහම මතක්වුනේ ඒ දවස්වල පංසල් ගියහැටි..ගෙදර ඔක්කොමත් එක්කම ගියාට ඒ ඈයින්ට ඉස්සරහයි යන්න ඇරල මං හිතා මතාම පහුවෙනව...ඇයි දන්නවද හඳ එළිය කඳුවලල්ල.හීතල සුලඟ මගේ හිත පුදුමාකාර විදිහට නිවාදමනව..මංදන්නැහැ ඒ වෙලාවට මගේ හිත හිස්...

    සුලා..

    ReplyDelete
  11. පන්සල් යෑම ගැන මුකුත් ම මගේ සටහන ට මම එකතු කළෙ නෑ අය්යෙ ... ඒක වෙනම කියන්න ඕනේ තවත් ලොකු කතාවක් නිසා, හඳ තියෙන රෑට පන්සලේ වැලි මළුව පෑගෙද්දි දැනෙන අමුතුම සැනසීම ගැන. ඔයා කියනව වගෙම ඒ වෙලාවට දැනෙන්නෙ සැහැල්ලු නිරාමිස සුවයක්...
    පොල්තෙල් පහනෙ දැල්ල මගෙ හිත ට ගේන්නෙත් ඒ නිරාමිස සතුට...

    මට සතු‍ටුයි ඒක ඔයාලත් හිත ට දැනිල විඳීම ගැන නම්...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...