Wednesday, March 31, 2010

සොඳුරුම මිතුදම් ගිලිහී යනවා නාඳුනනා මේ අහස යටින්



සොඳුරුම මිතුදම් ගිලිහී යනවා නාඳුනනා මේ අහස යටින්
සොඳුරු ජපානයෙ ඔබ මා ගත කළ මිහිරිම යුගයට ආයුබොවන්
කඳුලැලි මා හදවත තෙරපනවා වෙන් වී යද්දී මගේ ළඟින්
පතමි දයාබර මිතුරනි ඔබහට පැතුම් සඵලවුනු සොඳුරු හෙටක්

කඳුළු පිරි නෙතින් පැතූ සුබාසිරි සමග ඔවුන් වෙන් වෙලා ගිහින්
සොඳුරු වසන්තය ඇවිත් ජපානෙට තනිවූ මා සිත ළඟින් ඉඳින්
සකුරා මල් පෙති ගිලිහී යද්දී මගේ කඳුළු දැක සැමට හොරෙන්
ඔබට පිදුම් දුන් මිතුදම සිහිකර ඉඳහිට සිත කවි කර එවපන්

මගේ සැබෑ ලොව නෙතින් නුදු‍ටුවද සැමදාමත් මා සිතට ළඟින්
විදුලි වේගයෙන් හදවත් යා කළ සොයුරු සොයුරියනි ළඟින් ඉඳින්
බ්ලොග් අවකාශය හද ගෙත්තම් කළ බැඳුම් සුසර කර මා වෙනුවෙන්
ඔබේ දයාබර වදන් වලින් මා සනසාලනු මැන සොයුරු පෙමින්

Sunday, March 28, 2010

හිරු රජුනේ-To the Sun God...


යෝගිට මලී ගෙ ලියුම ලියන්න වුනා වගෙ මටත් දැන් යෝගියි යෝගිගෙ ලොකු අය්යයි නිසා ඉර දෙවියන්ට ලියුමක් ලියන්න වෙලා තියෙන්නෙ... යෝගියි යෝගිගෙ ලොකු අය්යයි වරු ගනන් කතා කර කර ඉන්නව,මම බලාගෙන ඉන්නව..ඒ අතරෙ මාත් ලිව්ව ඉර දෙවියන්ට මගේ ඉල්ලීම...ලියුමකින්.. කවියකින්

වැලි කතරට හැන්දෑවට
ජපානයට රෑ මැදියම..
ඉස්සර නම් මම හිතුවේ
අනේ ඉතින් අපිට මොකද?
ඒත් ඉතින් දැන් නම් මට
තේරෙනවා එහි වැ‍රැද්ද...
හැමදාමත් මම නිදද්දි
එකයි පාන්දර වෙලාව..

හිරු රජුනේ බැරිද ඉතින්
පොඩ්ඩක් මේ ගැන හිතන්න..
වැලි කතරට ජපානයට
එකම වෙලාවක් හදන්න..
අනේ ඉතින් සමාවෙලා
මේ ගැන සලකා බලන්න..
පින් සලකා මේ උදව්ව
පුළුවන් නම් කරල දෙන්න....

http://www.istyles.com/images/ATV-SUNGOD.jpg

Friday, March 26, 2010

අධිවේගී මාවතේ..


අධිවේගී මාවතේ..
දිදුලනා විදුලි බුබුළු අතරේ..
වේගයෙන් ඉගිලුනා..
දැනුණා යමක් ගිලිහී ගිය බව...
හැරී බැලුවේ නෑ..
පැරදේවි යයි සිතලා තරගය...

දිනා තරගය
හැරී බැලුමුත්..
වටිනාම දෙයක් නැතිවෙලා...
පුදුමයි...

අධිවේගී මාවතේ වැටිලා..
මගහැරී තිබුනේ....

ජීවිතය....


http://blogs.edf.org/

Tuesday, March 23, 2010

නන්නාඳුනනා දේශයේ වසන්තය අභියස...




දවසම වැඩ කරල හරිම මහන්සියි.. පාරදිගේ ඔහේ පාවි පාවි ගියා...ගිහින් ගිහින් නැවතිලා තිබුනේ ගං ඉවුරේ බැම්ම උඩ ... ඉහට ඉහළින් හඳයි තරුයි නිල් අහසයි විතරයි.. විතරම විතරයි... හඳේ ඡායාව ගං දියේ දිදුලනවා..ගං දිය ගලා බසින හඬ හැරුණුකොට මුළු පරිසරයම නිසලයි..ශිශිරයේ නටබුන් තාමත් ඉතිරි නිසා තණ තිල්ල මත නිරුවත් දෙපා තියන්න බෑ... එතකොට තමයි වසන්තය මතක් වුනේ...
සොඳුරු වසන්තයෙදි මේ තණතිල්ල ආපහු අලුත් දළු ලාවි...පුංචි පුංචි මල් පිපේවි..
පාවහන් ඉවත ලූ දෙපා මේ තණ තිල්ල මත තියල දුවගෙන යන්න පුළුවන් වේවි..මට එහෙම හිතුන..කෙහෙ ‍රැළි හුල‍ඟෙ පාවෙද්දි එහෙම දුවගෙන යන්න මම ආසයි..

ඒත්...

ඊළඟට හිතට මෝදු වුනේ දුක... වෙන මුකුත් නිසා නෙවෙයි.. මම ඉපදුන මගේ රට මතක් වෙලා...මම කොයිතරම් ආස වුනත් මේ වින්දනීය අත්දැකීම මම ඉපදුනු මගේ රටේදි ලබාගැනීමේ අයිතිය මගෙන් උදුරගෙන..මම තනියම මේ වෙලාවෙ මේ ගං ඉවුරට ආව නම් මගේ රටේදි..
මම ආපසු නොයන්න තියෙන ඉඩකඩ හුඟක් වැඩියි.....

ඉතින් මේ නන්නාඳුනනා දේශයට මගේ හිතේ ලෙංගතුකමක් මෝදු වෙන එක කොහොමද නවත්තන්නෙ...

මගේ හිත මගෙන් ඇහුව...

මට උත්තරයක් නෑ දෙන්න..

ඒත් දකුණු ආසියානු බුද්ධි ගලනයට මේ සාධකයත් බලපානවදෝ කියල ආපහු එද්දි මට හිතුන...

http://www.flitemedia.com/

Sunday, March 21, 2010

සඳ ඉකිළන රාත්‍රියක...



සඳ ඉකිළන රාත්‍රියක
වීදි සරන සමනලියේ...
කොඳ මල් කැකුලක් පිපුනේ
නුඹෙ තනියට දෝ නොදැනේ...

අඳුරු වළා සළු අතරේ..
සඳවත කිමදෝ මැකුනේ...
මේ හිරු සඳු තරු යටදිම
"පැය" ට මිලක් නියම කෙරේ...


http://www.wallpaperez.net/wallpaper/beauties/Asian-girl-384.jpg

Friday, March 19, 2010

නොරිකො සං..........


යමනොතේ ලයින් එකේ
ටෝකියෝ යද්දි
නොරිකො සං මුන ගැහුණ
අද උදේ..
මළවුන්ගේ අවුරුදු දා,
දෙවෙන්දරා සං එනකන්
බලා ඉන්නව නම් නෙවෙයි,
ගොෂු ජින් එක්ක
වැඩට යනව...
වැ‍රැද්දක් කියන්නත් බෑ.......
නොරිකො සං ජීවිතේ තනි කරල
දෙවෙන්දරා සං ජීවිතෙන් සමුගත්තට,
නොරිකො සං ජීවත් වෙන්න ඕන නෙ...

ගොෂු ජින්- Her Husband


www.edupics.com/japanese-lady-t11873.jpg

Wednesday, March 17, 2010

අම්මේ........ඔබට දීර්ඝායු වේවා...


ඔබට මතක නැති-මට අමතක නැති
ඔබේ උපන්දින සමරන මොහොතේ..
මා හද පත්ලෙන් ඔබට පතමි මම
අම්මේ........ඔබට දීර්ඝායු වේවා...

සිහින සුරවිමන් අතරේ පාවෙන
සැඳෑ සාදයක මධු අතරේ නොව
සැබෑව දිදුලන ජීවිතයක් තුළ
සතුට සොයන්නට මා දිරිගැන්වූ
අම්මේ........ඔබට දීර්ඝායු වේවා...

විනය උගත්කම දැනුම වින්දනය
එක්කොට කලතා ජීවය දුන් ඔබ
මහමෙර සදිසි වු සෙනෙහස් බැම්මෙන්
සසර සරන තුරු මටම බැ‍ඳෙන්නට
වාසනා වේවා........

අම්මේ........ඔබට දීර්ඝායු වේවා...


http://www.mcnphotography.com/images/family/mother-daughter.jpg

Monday, March 15, 2010

සුදු අරලිය මල...


පංසල් මළුවෙදි
පයට නොපෑගෙන
මහ මග වැ‍ටුනොත්
තැලී පෙලී යන

සුදු අරලිය මල...

http://farm4.static.flickr.com/

Sunday, March 14, 2010

නෙතීර් - තුආ..


නෙතීර් - තුආ..

අඩක් දිව්‍යමය
ඔබ වෙනුවෙන්වත්
කරදර බාධක
තොර වූ ලෝකයක්
නොමැවූ..
අමෙන් රා...වෙතින්
මා වෙනුවෙන් කරදර බාධක
නැති ලොවක් ඉල්ලීම
විහිළුවක් පමණක්මද..?








(නෙතීර් - තුආ: ඊජිප්තු මිත්‍යා ප්‍රබන්ධවල මැවුම් දෙවියා අමෙන් රා ට දාව ‍රැජිනක ලබන දියණියකි.)

H.Rider Haggard ගේ 'The morning star' කෘතිය මා සිත ඇති කළ හැඟුම

Saturday, March 13, 2010

සමාවෙලා අහන් ඉන්න...මට කියන්න සිදුවුනාට..




දෑඟිලි අතරේ..
තොල් පෙති අතරේ..
ජීවිතයයි
දැවුනේ..



සේයා රුව:http://msnbcmedia.msn.com/

Friday, March 12, 2010

පිපාසිත මිහිතලේ..


සුදු පුළුන් කැටි පාවුනත් අහසේ..
ඉඩෝරය ඉරිතලා පොළොවේ..
පිපාසිත ලෝකයක- පිපාසය නිවනු වස්..
අහස ගුගුරා.. ‍රැගෙන එන් දිය බිඳක්
කළු වළාවේ..

තෙමාගෙන පිපාසිත මිහිතලේ ..
කළල් කරනට ඉරි තැලුනු කෙත..
සයින් පීඩිත ලොවක - සාගින්න නිවන්නට..
වැස්ස වලාහක දෙවියනේ..

එවන්න.......... වැස්ස....

සේයා රුව:http://www.wunderphoto.rilinger.com/

Wednesday, March 10, 2010

මගේ ගුරුතුමාට, ආදරෙන්.. "TO SIR, WITH LOVE"



මගේ එක් පෞද්ගලික ප්‍රශ්නයකදි මගේ ගුරුතුමෙක් ප්‍රශ්නය දිහා මගේ පැත්තෙන් බලල අනිත් බොහෝ දෙනෙක් මා වෙනුවෙන් ඔහුගෙන් බලාපොරොත්තු වූ තීන්දුව ලබා නොදී මාව තේරුම් ගත්ත.. ඉන් මගේ හදවත තුළ ඔහු වෙනුවෙන් ගොඩනැගී තිබුනු බලවත් ගෞරවයත් ඔහු ‍රැක ගත්තා..

ඒත් ඒ සිදුවීම මාව අතීතයට ‍රැගෙන ගියා, ගොඩාක් කලෙකට ඉස්සර මම පුංචි කාලෙ කියවපු "TO SIR, WITH LOVE " කියන පොත ආපහු මගේ මතකයට ගෙන ඒමට ඒ සිදුවීම සමත් වුනා.පොත ලියල තියෙන්නෙ "E. R. Braithwaite" කියන ලේඛකයා, 1959 දි. එංගලන්තයේ පහළ මධ්‍යම පාන්තික තරමක් නොහික්මුනු සුදු දරුවන් පිරිසකට ඉගැන්වීමේ අභියෝගය බාරගත් කළු ජාතික ගුරුවරයෙක් වුනු ඔහුගේ අත්දැකීම අසුරෙන් ලියවුනු සත්‍ය කතාවක්..

ගුරු සිසු සබැඳියාව සියුම්ව ස්පර්ශ කරමින් එහි සංවේදි බව මෙන් ම එකිනෙකාට ගරු කරමින් ඒ බැඳියාව ‍රැක ගන්න අයුරු පිලිබඳ සංවේදී සිදුවීම් පෙළක් තුළින් ඔහු කතාව ඉතාම රසවත් අයුරින් ඉදිරිපත් කරනව.
ගුරුතුමා කළු ජාතිකයකුද දරුවන් සුදු ජාතික ද වීම තුළින් එවක ට එංගලන්තයේ පැවති සුදු කළු භේදය පිළිබඳ අදහසක්ද පාඨකයාට ග්‍රහණය කරගැනීමෙ අවස්ථාව හිමිවෙනව.
නවකතාවේ තේමාව ඔහු ලබාගන්නෙ වසර අවසානයේ දරුවන් ඔහුට දුන් කුඩා සිහිවටනයේ ලියා තිබෙන වැකියකින්..

1967 දී එය චිත්‍රපටයක් බවටත් පත්වෙලා තියෙනව.. එහි අවසානයේ එන හැඟුම්බර දසුන් පෙළක් ‍රැගත් කුඩා කොටසක් මේ සටහනේ අවසානය ලෙස එකතු වෙනව.


සේයා රුව: http://www.amazon.com
(මට මතක නැති සහ නොදන්නා තොරතුරු http://en.wikipedia.org/wiki/To_Sir,_with_Love වෙතින්)

Monday, March 8, 2010

ෆුජි-සන් - The mountain of Fuji

පරිගණක තිරය වෙතම ඇළුන නෙතු විඩාබර මොහොතක ඉන් මුදවාගෙන කවුළුව ළඟට ගිහින් බලද්දි මගේ නෙත ගැටෙන සොඳුරු දසුන තමයි සේයා රුවේ තියෙන්නෙ. මිහිදුම නැති අනන්තය දක්වාම පෙනෙන දිනක කඳු පන්තිය අතරේ"ෆුජි-සන්" විරාජමානව බබළනව... ජපානයේ සංකේතය වන් "ෆුජි-සන්" නෙත ගැටෙන හැම මොහොතකම ඒ සොඳුරු බව යට සැඟවුණු කුරිරු යථාර්තය මගේ හිතට නැගෙන එක මටවත් වළක්වාලන්න බැහැ.




ශීත හිම සළු වසා පොරවා..
රුදුරු බව ඒ තුලින් සඟවා
සොඳුරු දසුනක් මවා නෙතු අග..
හිරු නැගෙන රට එකළු කළ මුදු..

නිමේෂයකදි රුදුරු ගිනිදළු..

"ෆුජි-සන්" ගිනිකන්දක්..

Sunday, March 7, 2010

හිම මල් පියවිලි ..



‍රැයක් පුරාවට පිපෙනා හිම මල්..
තුරු පත් කෙළවර දිලෙනා හිම මල්..
හිරු තෙද අබිමුව මියෙනා හිම මල්..
නෙත පිනවන මුදු සුසිනිඳු හිමමල්..

naturalparentingcenter.typepad.com

Saturday, March 6, 2010

ආදරණීය අම්මා-4 මම දැන් ලොකුයි..




කුඩා දියණිවරුන් කාලයටත් හොරාම නව යොවුන් දියණියන් වෙනවා.. නව යොවුන් වයස කියන්නෙ ළමයෙකුත් නොවෙන, ඒත් වැඩිහිටියෙකුත් නොවෙන, ඒත් තමන් දැන් වැඩිහිටියො කියල දරුවො හිතන කාලෙකට, ඒ කාලෙදිම දරුවන්ගෙ ජීවිතවල බොහෝ කඩඉම් පසුවෙන නිසාම ඒ කාලෙ හරිම සුවිශේෂයි, යොවුන් ආදරය හිත් ඇතුළට කාන්දු වෙලා හිතේ නවාතැන් ගන්න හදනවා, ඒ අතරෙම දරුවො තමන් වැඩිහිටියො කියල හිතන නිසා ටිකක් හිතුවක්කාරත් වෙනවා.. දූ දරුවො දෙමව්පියො අතරෙ වැඩිම මත ගැ‍ටුම් ප්ර්මාණයක් ඇති වෙන්නෙ මේ කාලෙදි තමයි..

ඒත් දරුවො ඒ වෙද්දිත් පුංචි නිසා දෙමව්පියන්ටම තමයි මේ කාලෙදි කල්පනාකාරීව හැසිරෙන්න වෙන්නෙත්.. අම්මා දරුවන්ගෙ සිත් තුළ විශ්වාසය ගොඩ නග්ගගෙන හිටියොත් මේ කාලෙ හසුරුවන්න ටිකක පහසුයි..
මායි අම්මයි අත‍රත් මේ කලෙදි පුංචි පුංචි මත ගැ‍ටුම් ඇති වුනා.ඒත් අපිව නිවැරදි මගේ හසුරුවන්න ඒ දෙන්න ටිකක් උපක්රමශීලී වුනා ඒ කාලෙ. එක සැරේට අම්මයි තත්තයි දෙන්නම අපිත් එක්ක ගැ‍ටුනෙ නෑ, අම්මත් එක්ක ටිකක් හිත නොහොඳින් නම් තාත්ත අපිත් එක්ක හොඳින්, ඒකෙ අනිත් පැත්තත් එහෙමමයි.. අපිට තේරුනේ නෑ ඒ කාලෙ මේක හිතාමතා කරන දෙයක් කියල. කොහොම උනත් ඒ නිසා ම ලොකු ප්‍රශ්න නම් ඇති වුනේ නෑ.
අනික අපි පොඩි පොඩි ප්‍රශ්න හදා ගත්තත් අපේ ඕනම ප්‍රශ්නෙකට අම්ම තාත්ත ළඟ උත්තර තියෙනව කියන විශ්වාසය අපේ හිතේ තිබුන. ඒක තියෙනකොට දරුවන්ට පුදුම සුරක්ෂිතබවක් දැනෙනව. ඒ සුරක්ෂිත බව ඒ වයසෙදි හරිම ශක්තියක් වෙනව ජීවිතේ හැමදේටම..
අපි අද ජීවත් වෙන්නෙ මොනා හරි දෙයක් අම්ම තාත්ත දැනගනියි කියල බයේ දරුවන් සියදිවි නසා ගන්න සමාජයක.. මට හිතා ගන්න බැරි මොන වරදක් උනාට පස්සෙ වුනත් ලෝකෙ හැම දෙයක්ම නැති වුනාට පස්සෙදිත් අම්මට තාත්තට දරුවන්ව එපා වෙන්නෙවත් එයාලව අපිට නැති වෙන්නෙවත් නෑ කියල දරුවනට ඒත්තුගන්වන්න ඒ අම්මල තාත්තලට බැරි වුනෙ ඇයි කියල..
අද වුනත් ප්‍රශ්නෙකට විසඳුම් හොයාගන්නම බැරි වුනාම මම අම්මයි තාත්තයි එක්ක කතා කරනව. මගේ ලෝකය එදාට වඩා වෙනස් නිසා මගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි උනත් ඒක දිහා එයාලගෙ ජීවිත අත්දැකීම් තුළින් බලල මතු කරල දෙන පැති කඩවල් ජීවිතේ තීරණ ගන්න පහසු කරනව.
මේ ඔක්කොමත් අතරෙ ආපසු ඇය පසුකර ආ ඇගේ නව යොවුන් වියට ඇවිත් අපිත් එක්ක සතුට බෙදා ගන්නත් අම්මට පුළුවන් වුනා, අපිත් එක්ක විනෝද ගමන් යන්න ඒ ගිහින් අපිව ‍රැක බලගන්න ගමන්ම අපේ සතුටත් තහවුරු කරන්න අම්ම දැක්වුවෙ පුදුම දක්ෂකමක්,
ඒ විතරක් ද, පිළිවෙලට අඳිනව, රෙදි මදිනව, කියන දේවල්වලට පුදුම තරම් කම්මැලි මාව ලස්සනට අඳවන්නත් අම්ම මහන්සි වුණා,

අනේ මන්ද අම්මෙ, මෙහෙම ලියද්දි තමයි හිතෙන්නෙ කොයිතරම් නම් දේවල් ඔයා අපි වෙනුවෙන් කළා ද කියල...

සේයා රුව:http://fcs.osu.edu/hdfs/stages-of-life/img/mother_and_daughter.jpg

Friday, March 5, 2010

ආදරණීය අම්මා- 3 ඇගේ කැපවීම..


හැම දෙමව්පියෙක්ගෙම පොදු සිහිනය වෙන්නෙ තමන්ගෙ දරුවා ඉහලම අධ්‍යාපනයක් ලබල ඉතාම හොඳින් ලෝකයේ ජීවත් වෙනව දකින එක..
ඒකම වෙන්න ඇති අකුරු කියවීම මංගල්‍යයක් වෙන්නෙත්.. මට අකුරු කියවලා තියෙන්නෙත් අම්මම තමයි..ඒ වගේම හෙමිහිට අකුරු ඇහිඳ ඇහිඳ කියවද්දි පුංචි පුංචි පොත් ඒ කාලෙ තිබුන ළමා පත්තරයක් වුනු "සුරතලා" පත්තරේ එහෙම අම්ම මා වෙනුවෙන් අරගෙන දුන්න.
මට කියවන්න බැරි උනත් පින්තූර බලද්දි හරි අම්ම මාත් එක්කම හිටිය..ඒක හරිම සතු‍ටු අත්දැකීමක් අකුරු ඉගෙන ගන්න පුංචි පැටියෙකුට..අම්ම ළඟ තියාගන්න තුරුල් වෙලාඉන්න පුළුවන් නිසා ඉබේම අකුරු ඉගෙනගන්න ආස වෙනව..
(මම සමාජ විවරනයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නම් නෑ මෙතනදි..ඒත් අකුරු ඉගෙනගන්න එක ළමයගෙ වැඩක් කියල හිතල පොත් පත් විතරක් අරන් දීල තමන්ගෙ පාඩුවෙ රූපවාහිනී නරඹන වත්මන් පරපුරේ අම්මල මම දැකල තියෙනව..ඔවුන් දරුවට ආදරෙයි.. ඒත් දරුවට තමන්ව මොනතරම් අවශ්‍යද කියල තේරුම් ගන්නෙ නෑ..)

පුංචි පුංචි පොත්පත්වලින් අකුරු ඉගෙන ගන්න පටන්ගත්තට පස්සෙ ලොකු වෙනවත් එක්කම අතට අහුවෙන පත්තර කෑල්ලක පවා අකුරු ඇහිඳින්න මම ආස වුනා..පාරෙ යනකොට කඩවල්වල බෝර්ඩ් ලෑලි කියවන එක අම්මට කරදරයකුත් වුනා..
ඒ කියවීමෙ ආශාව මටත් හොරා මගේ හිතේ වැඩි දියුණු කළේ අම්ම..

පොතක් කියෙව්වම ඒක ගැන මම කතා කරනව අම්ම එක්ක කුස්සියෙ ඉඳන් අම්ම රෑට උයද්දි..පොතක් ගැන විතරක් නෙවේ ගොඩක් දේවල් ගැන අපි කතා කළේ ඒ වෙලාවට..මේ තරඟකාරී සමාජ රටාවෙ අවිවේකය ආර්ථික ප්‍රශ්න අපේ ගෙදර ඇතුළෙත් තිබුන. අම්මට අපි වෙනුවෙන් ‍රැකියාවෙන් අයින් වෙල ගෙදර ඉන්න පුළුවන්කමක් තිබුනෙ නෑ..ඒත් ඇය අපි වෙනුවෙන් කාල වෙලාව සොයාගත්තෙ ඒ විදියට.. උයද්දි එහෙම නැත්නම් රෑට කෑම කද්දි අපි ඔහේ කියවනව දවසෙ විස්තර.. ඉතින් එහෙම කියවද්දි අම්මට අපිව අපේ වෙනස්වීම්,අපේ ප්‍රශ්ණ මගෑරුනෙ නෑ..

සේයා රුව.http://i.dailymail.co.uk/

Wednesday, March 3, 2010

ආදරණීය අම්මා- 2 බිළිඳු දියණියකගේ මවක ව..


ගැහැණියකගේ ජීවිතය සම්පූර්ණ වෙන්නෙ මවක වීමෙන් පසුයි කියල කියනව මම බොහෝ වෙලාවල්වල අහල තියෙනව..ඇය පළමු වතාවට මවක කරමින් තමයි මම ඉපදිලා තියෙන්නෙ..
මට යන්තමට ඇවිදගන්න කතා කරගන්න පුළුවන් වෙද්දි වෙච්ච මේ සිදුවීම් මට හොඳටම මතක ඒව නම් නෙවේ.. වරින් වර මගේ අතීතයෙ මතක ගැන කතා කරද්දි මව සහ පියා කිවු දේවල් සහ යන්තමින් මගේ මතකයෙන් අහුලන්න පුළුවන් දේවල්..
මට පුංචි කාලෙ තිබිල තියෙන්නෙ නොසන්සි‍ඳෙන කුතුහලයක්..විශේෂයෙන්ම මාව නිදි කරන්න ගියාම එපාම වෙනවළු. අම්ම කියන හැම නැලවිලි ගීයෙම තේරුම අහන නිසා..
ඒත් අපේ අම්ම මාව නළවල තියෙන්නෙත් ඈ විසින්ම ‍තෝරගත් ගී කිහිපයක් ගයමින්..
ඉන් එකක් නන්ද මාලිනිය ගයන "සරුංගලේ වරල් සැලේ" කියන ගීය.
එහි ගැඹුරු අරුත වන ආසියානු බුද්ධි ගලනය ගැන අදහස කිසිසේත්ම නොතේරුනත් "සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි" කියද්දි ඒ ගැන සංවේදි වෙන හිතක් ඇති කරන්න මගේ අම්ම ඉන් සමත් වෙලා තියෙනව..
මා වෙනුවෙන් ඇය ගැයූ නැලවිලි ගී අතර තවත් එක් සුවිශේෂි ගීයක් තියෙනව..ඒ තමයි මර්සි එදිරිසිංහ මහත්මිය ගයන
"මඩේ ලගින තාරාවුන් නාවන්නද මං" කියන ගීය
ඉස්සෙල්ල කිව්ව වගේ හැම පදයකම තේරුම අහන මාව ඔය ගීය ගයල නළවද්දි නම් ඇය " චපල හිමිට සිරියහනේ ‍රැවටෙන්නද මං" කියන පද පේළිය මා වෙනුවෙන් ගයල නැහැ.
ඒ ගීය මුල් වතාවට ගුවන් විදුලියේ අහද්දි මට අවුරුදු 16 ක් වගේ වෙද්දි තමයි මම දැන ගත්තෙ ඒ ගීයෙ එවන් පද පේලියක් ඇති බව..


කුඩා මා සිත සංවේදි කරමින් ඈ ගැයූ නැලවිලි ගී ගැන ඉතාම කෙටියෙන් කළ මේ සටහනත් මගේ සිතේ ඈ වෙනුවෙන් ඉපදුනු කෘතවේදීත්වය සමගින් ඇයට පුදකරනවා.

සේයා රුව :http://www.nd.edu/~jmckenn1/lab/images/pictures.jpg

Tuesday, March 2, 2010

ආදරණීය අම්මා..පද ගැලපුමක ඇරඹුම..


මේ ලෝකෙ හැම සත්ත්වයෙක්ම බැ‍ඳෙන පොදු හා ප්රිතම බැඳීම බැ‍ඳෙන්නෙ අම්ම එක්ක කියල තමයි මට හිතෙන්නෙ..හැමෝටම වගේම මටත් මගේ අම්ම මගේ ජීවිතේ ජීවත්වෙන ආදරණීයම කෙනා.. මම වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවෙන එකම කෙනා..

මේ මගෙ අම්ම ඉපදුනු මාසෙ. ඉතින් මට හිතුන ඈ ගැන යමක් ලියන්න කියල..

සරලව කිව්වොත් ඇය ගුරුවරියක්.. එක්තරා දුෂ්කර පාසලක දහසක් දරුවන්ට අ යන්න ආ යන්න කියල දුන්නු බාලාංශ පන්තියෙ, නොකඩවා අවුරුදු විස්සක් තිස්සෙ උගන්වපු ගුරුතුමිය..

මාව මව් සෙනෙහස විඳි දරුවෙක් කරන්න ඇගේ බාහිර උපාධියත් අතරමගදි නැතිකරගත්ත ඇය ලංකාවෙ කිසිම සරසවියක උපාදිධාරිනියක් නෙවෙයි.. ඒත් ජීවිත සරසවියෙ ගෞරව උපාදිධාරිනියක්..
ඇය අද තම ජීවන ගමනේ විවේක සුවය විඳිමින් නිවසේ ‍රැඳිල ඉන්නව..ඇය ගෙවා ආ ජීවිත ගමනෙ මවක්, ගුරුවරියක්, බිරිඳක්, විදියට විවිධාකාර වූ භූමිකාවන් ‍රැසක් ඇය නිරූපනය කළා..

ඉතින් මට හිතෙනව ඇයට ගරු කරන්න පුළුවන් එක විදියක් තමයි මා දු‍ටු ඇයව, මගේ සිතිවිලි අකුරු කරන එක.. ඉඩ තියෙන විදියට මේ මාසෙ ඇතුළත මම ඒක කරනව, මේ මාසෙ අන්තිමට එළඹෙන ඇගේ උපන්දිනයදා ඇයට සුවිශේෂි වූ තැග්ගක් විදියට ඒක ලැබේවි..

සේයා රුව:http://www.spraguephoto.com/

Monday, March 1, 2010

සෙනෙහස..



පෙම්වතුන් වූ මුත්.. අහිමිවන අපහට
රාගයේ සෙනෙහසේ වෙනස නොම දන්නා..ඔබගෙන්
මගේ සෙනෙහස නිගා ලැබුවද..
සෙනෙහස නම් උතුම්.. නොපෙරලේ ඒ වෛරයට..

මුළු ලොවම ඔබ හා හිඳිනා මොහොතක..
යන්න වෙන්වී මා ළඟින්..
ලොවම රිදවුම් දුන් එක් මොහොතක
එන්න මා වෙත..
මුළු ලොවම ඔබ හැරදා ගිය සඳ
එන්න මා වෙත..
ඔබට පුද දුන් සෙනෙහස..තවත් ඉතිරිය
මා.. හද තුළ..

තනුව වී වැයෙන්නම් ඔබේ ජීවන ගීතයේ..
මං සලකුණක් වෙන්නම් ඔබේ ජීවන මාවතේ..
පන්හිඳක් වෙන්නම් ගලපනා පදවැල්..
අත්වැටක් වෙන්නම් යන්න එතෙරව..
ඔබේ ජීවන මග දිගේ..