Friday, March 5, 2010

ආදරණීය අම්මා- 3 ඇගේ කැපවීම..


හැම දෙමව්පියෙක්ගෙම පොදු සිහිනය වෙන්නෙ තමන්ගෙ දරුවා ඉහලම අධ්‍යාපනයක් ලබල ඉතාම හොඳින් ලෝකයේ ජීවත් වෙනව දකින එක..
ඒකම වෙන්න ඇති අකුරු කියවීම මංගල්‍යයක් වෙන්නෙත්.. මට අකුරු කියවලා තියෙන්නෙත් අම්මම තමයි..ඒ වගේම හෙමිහිට අකුරු ඇහිඳ ඇහිඳ කියවද්දි පුංචි පුංචි පොත් ඒ කාලෙ තිබුන ළමා පත්තරයක් වුනු "සුරතලා" පත්තරේ එහෙම අම්ම මා වෙනුවෙන් අරගෙන දුන්න.
මට කියවන්න බැරි උනත් පින්තූර බලද්දි හරි අම්ම මාත් එක්කම හිටිය..ඒක හරිම සතු‍ටු අත්දැකීමක් අකුරු ඉගෙන ගන්න පුංචි පැටියෙකුට..අම්ම ළඟ තියාගන්න තුරුල් වෙලාඉන්න පුළුවන් නිසා ඉබේම අකුරු ඉගෙනගන්න ආස වෙනව..
(මම සමාජ විවරනයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නම් නෑ මෙතනදි..ඒත් අකුරු ඉගෙනගන්න එක ළමයගෙ වැඩක් කියල හිතල පොත් පත් විතරක් අරන් දීල තමන්ගෙ පාඩුවෙ රූපවාහිනී නරඹන වත්මන් පරපුරේ අම්මල මම දැකල තියෙනව..ඔවුන් දරුවට ආදරෙයි.. ඒත් දරුවට තමන්ව මොනතරම් අවශ්‍යද කියල තේරුම් ගන්නෙ නෑ..)

පුංචි පුංචි පොත්පත්වලින් අකුරු ඉගෙන ගන්න පටන්ගත්තට පස්සෙ ලොකු වෙනවත් එක්කම අතට අහුවෙන පත්තර කෑල්ලක පවා අකුරු ඇහිඳින්න මම ආස වුනා..පාරෙ යනකොට කඩවල්වල බෝර්ඩ් ලෑලි කියවන එක අම්මට කරදරයකුත් වුනා..
ඒ කියවීමෙ ආශාව මටත් හොරා මගේ හිතේ වැඩි දියුණු කළේ අම්ම..

පොතක් කියෙව්වම ඒක ගැන මම කතා කරනව අම්ම එක්ක කුස්සියෙ ඉඳන් අම්ම රෑට උයද්දි..පොතක් ගැන විතරක් නෙවේ ගොඩක් දේවල් ගැන අපි කතා කළේ ඒ වෙලාවට..මේ තරඟකාරී සමාජ රටාවෙ අවිවේකය ආර්ථික ප්‍රශ්න අපේ ගෙදර ඇතුළෙත් තිබුන. අම්මට අපි වෙනුවෙන් ‍රැකියාවෙන් අයින් වෙල ගෙදර ඉන්න පුළුවන්කමක් තිබුනෙ නෑ..ඒත් ඇය අපි වෙනුවෙන් කාල වෙලාව සොයාගත්තෙ ඒ විදියට.. උයද්දි එහෙම නැත්නම් රෑට කෑම කද්දි අපි ඔහේ කියවනව දවසෙ විස්තර.. ඉතින් එහෙම කියවද්දි අම්මට අපිව අපේ වෙනස්වීම්,අපේ ප්‍රශ්ණ මගෑරුනෙ නෑ..

සේයා රුව.http://i.dailymail.co.uk/

6 comments:

  1. "පොතක් කියෙව්වම ඒක ගැන මම කතා කරනව අම්ම එක්ක කුස්සියෙ ඉඳන් අම්ම රෑට උයද්දි.." ෂහ් සොඳුරු අතීතය... ඔයා අම්මට බොහොමත්ම කිට්‍ටුයි නේද...? දවසක අම්මව දාලා වෙන අම්ම කෙනෙක් ගාවට යන්න වෙනවා... අපී ගෙදරත් ඉස්සර ලයිට් තිබුනේ නෑ... අම්ම උය උයා තමයි මට ගනන් කියලා දුන්නේ ... ඒ පාඩම් මටත් තවම මතකයි... මෙහෙම කෙලෙහි ගුණ හිතේ තියන දරුවන්ට වරදින්නේ නෑ නංගියේ....

    ReplyDelete
  2. ඔය කාලෙ අපිට ලයිට් තිබුනෙත් නෑ, එක අතකින් ඒක හොඳයි කියල හිතෙනව දැන්, ඇයි ඉතින් ටීවි එකට කාලෙ ගත උනෙ නෑ නෙ.
    මම යි අම්මයි අතරෙ තියෙන බැඳීම මහමෙර වගේ..නැත්නම් ඕක මම ගෙදරින් වෙන්වෙලා ඉඳපු කාලෙ හැටියට හෙලවෙන බැඳීමක් වෙලා දැන් වෙනකොට.. :)
    වෙන අම්ම කෙනෙක් ළඟට ගියත් ඒත් ඉතින් අම්ම කෙනෙක් නේ, එයා අදරේ කරන විදිහ පොඩ්ඩක් ඉවසිල්ලෙන් බලන් ඉඳල හැඩ ගැහෙන්න විතරයි ඕන. මට හිතෙන්නෙ එහෙමයි.

    ReplyDelete
  3. ඔයාගෙ අම්මත් මගේ අම්ම වගේ. මටත් පුංචි කාලෙ සුරතලා පත්තරේ ගෙනත් දුන්නා. පොත් පත්තර සේරම ගෙනත් දුන්නෙ නම් තාත්තා - මොකද අම්ම මාව බලාගන්න රස්සාවෙන් අයින් වුන නිසා. හැබැයි මාත් එක්ක ඉඳගෙන අකුරෙන් අකුර මට කියාදුන්නෙ අම්මා. ඉංග්‍රිසි ඇරෙන්න මාව ටියුෂන් පංති යැව්වෙත් නෑ උසස් පෙළ වෙනකම්ම. ඉස්කෝලෙන් අච්චු පොත් දුන්නාම අම්ම නිවාඩු කාලෙදි මං ළඟින් ඉඳන් ගණන් සේරම හදන්න කියා දෙනව. ඉතින් මට ඉස්කෝලෙදි හරි ලේසියි. උසස් පෙළ උනත් එයා එයාට පුළුවන් හැටියට ත්‍රිකෝණමිතිය වගේ ගණන් හදන්න මට කියාදුන්නා.
    එයා දන්න යම් දෙයක් ඇත්නම් මට කොහොම හරි කියා දෙන්නයි බැලුවෙ.
    අද මම උපාධිය ඉවර කරල පශ්චාත් උපධියත් පටන් ගන්න හදන්නෙ. මගේ අධ්‍යාපනයෙ සැබෑ අයිතිකාරය මම නෙවේ - අම්මා.
    ඔයා කියපු කතාව ඇත්ත. ළමයෙක්ගෙ ඉගෙනීමෙ පදනම ගෙදරින් දමන්න ඕනෙ.

    ReplyDelete
  4. ඔව් නිරෝශිනී.. අපිව උගත් දරුවො කරන්න අම්ම දරපු මහන්සියෙ හැටියට "මගේ අධ්‍යාපනයෙ සැබෑ අයිතිකාරය මම නෙවේ - අම්මා." කියන එකට මමත් 100% ක් ම එකඟයි..

    ReplyDelete
  5. ඇත්තමයි.... චේජනා ඔයාගේ මේ අම්මා ගැන ලියවෙන ලිපි වලින් සමනලීගේ අම්මා ගැනත් කිසි වෙනසක් නැතිව කියවෙනවා!!!!
    "මගේ අධ්‍යාපනයෙ සැබෑ අයිතිකාරය මම නෙවේ - අම්මා." මේ කියමන‍ට සමනලීත් 200% ක්ම එකගයි.
    සමනලී අකුරු කියන්නේ මොනවද කියලාවත් තේරුම් නොගන්න පුංචිම පුංචි කාලේ පටන් අම්මා කැකුලු පත්තරෙයි, පුංචි පත්තරෙයි නොවරදවා ගෙනැත් දුන්නා.. සමනලීට ඒකේ අකුරු ගැන තේරුමක් නෑ පොඩියිනේ, ඒත් ඒවායේ තිබුනු රූප වලට සමනලී ආසා උනා. ඉතින් පත්ත‍‍රේ අතට ලැබිලා විනාඩි කිහිපයකින් ඉරුනු කෑලි ගොඩක් වෙලා!! අර සත්තු වටේට ඉරලා වෙන් කරලා....
    ටිකක් තේරුම් යන වයසේ ඉදන් අම්මා බින්දු පත්තරෙත් ගෙනැත් දුන්නා.
    චේජනා ඔයා වගේම සමනලීත් ඒ වයසේදී අතට අහුවෙන හැම අකුරක් වචනයක්ම කියෙව්වා... අම්මා තව තවත් පොත් පත්තර ගෙනැත් දුන්නා. සමනලී පොඩි කාලේ රේඩියෝව වාගේ කොච්චරවත් කියවනවා... ඒත් අම්මා ඒ සේරම අහන් හිටියා... පුංචි සමනලීගේ අදහස් උදහස් අහන් ඉදන් ප්‍රතිචාර දැක්වුවා.
    පොඩි කාලේ විභාග වලදී අම්මා පාඩම් කරෝලා ප්‍රශ්න ඇහුවා... ටික ටික ලොකු වෙද්දී කෙටි සටහන් ලියන්න පුරුදු කලා...
    දැන් සමනලී විශේෂ උපාධියක් හදාරනවා.. පුංචි කාලේ ඉදන් අද වෙනකල් අම්මා සමනලී පාඩම් කරද්දී නිදිවරාගෙන තනියට ඉන්නවා, පාඩම් කරද්දී ලගට ඇවිත් කෑමත් කවනවා..
    රස්සාවක් කරන ගමන් මේ සේරම කරගෙන දරුවා වෙනුවෙන් කාලේ වෙන් කරන්න සමනලීගේ අම්මා හුගක් කැපකිරිම් කලා, දුක් වින්දා.. ඒත් සමනලී වෙනුවෙන් හැමදාමත් ඒ මුහුනේ ආදරණීය සිනාවක් තියෙනවා.. ඒක සමනලීගේ ජීවිතේ එළිය කරනවා....

    ReplyDelete
  6. අපි නොතේරුම්කමට හරි දඟකාරකමට හරි කරන දේවල් ඉවසගෙන කියවන ඔක්කොම අහගෙනත් ඉඳගෙන ගෙදර වැඩත් කරගන්න කොච්චර නම් කැපවෙන්න ඇත්ද කියල දැන් තමයි තේරෙන්නෙ..
    අනිත් අතින් බැලුවම අම්මල කරපු කැප කිරීම් අහක ගිහිල්ලත් නෑ.. ඒ කැප කිරීම් ගැන කතා කරන හැමෝම අම්ම අපි වෙතින් දැකපු උගත් බුද්ධිමත් දරුවෙක් හදා ගැනීමේ සිහිනය සැබෑ කරල.
    මම අම්ම ගැන කතා කරද්දි ඔයාලගෙත් අම්මල ගැන අතීතයෙ සුන්දර මතකයන් ගැන කතා කරල මේ සටහන වඩාත් සුන්දර කිරීම ගැන ස්තුතියි..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...