Thursday, September 1, 2011

බොන්සායි කුරුමිටි ගස්

අවුරුදු දහස් ගාණක ඉතිහාසයක් තියෙන නිර්මාණයක් බොන්සායි, බොන්සායි ගැන කතා කරද්දි මුලින්ම කියවෙන්න ජපානය වුණත් ඒ නිර්මාණයේ ගෞරවය හිමිවෙන්නෙ චිනයටලු... චීනෙ ඉඳලා ආපු බොන්සායි කලාව ජපානයේ සෙන් බුදුදහමේ ආභාශයත් එක්ක දියුණු වෙලා... වියට්නාමයෙත් බොන්සායි කරපු ගස් හදනව කියල කියවෙනව... දැන් නම් බොන්සායි කලාව ලෝකය පුරාම ව්‍යාප්තවුණු එකක්... ඒත් බොන්සායි නිර්මාණයට යොදාගන්නා උපකරණ වැඩිදියුණු වෙලා විකාශය වෙලා තියෙන්නෙ ජපානෙදි...

බොන්සායි ගස් නිර්මාණය කිරීමේ අරමුණ ඒ ශාකය වඩාත් ළංව තබා ගැනීම සහ දකින්නා පිනවීම, ඒත් බොන්සායි නිර්මාණයක් කරන කෙනෙකුට ඒක තමන්ගෙ මහන්සියෙත් කෞශල්‍යයෙත් තෘප්තිමත් ප්‍රථිපලයක්...

බොහෝදුරට ඕනෑම බහුවාර්ෂික ශාකයක් බොන්සායි කරන්න පුළුවන්... බොන්සායි නිර්මාණයක් සම්පූර්ණ වෙන්නෙ ඒ ශාකය ඉතාම කුඩා පරිමාණයෙන් නිර්මාණය කරන අතරතුරම සම්පූර්ණයෙන් වැඩුණු ශාකයේ ස්වභාවය ගත්තම... එය දකින අයෙකුට ඒ ගස වැඩුණු ගසක් අවප්‍රමාණ කරපු විදියට පේනව නම් නිර්මාණය සාර්ථකයි...

සුදුසු ශාක විශේෂයක කුඩා පැලයක් හෝ අත්තක් තෝරගෙන මේ නිර්මාණය අරඹන්නෙ ඒ ශාකය ඉතාම කුඩා කාලෙදි, හොඳින් අතු බෙදෙන සවිමත් ලී කඳක් හැදෙන ශාක විශේෂයක් හෝ පඳුරු වර්ගයක් මේකට ගන්න පුළුවන්... බඳුනක සිටුවීමෙන් හා මුල් හා අගිස්ස කප්පාදුවෙන් පැලය කුඩාවට වවාගන්නවා...
බොහෝවිට පැතලි තැටියක් වැනි බඳුනක බොන්සායි නිර්මාණයක් කෙරෙනව... අවශ්‍ය පරිදි  දියර පොහොර හා ජලය සැපයීමෙන් පැලය රැකබලාගත යුතු වෙනවා...තද ඉර එළියක්, තද සුළඟක් නැති එළිමහනක තබා, අනවශ්‍ය අතු ඉවත්කරමින්, පැලය හැඩගන්වමින් ඉතා අවදානයෙන් වසර ගණනාවක් තිස්සේ කරන රැකබලාගැනීමක කෙළවර ලස්සන බොන්සායි නිර්මාණයක් ලැබෙනවා... ඉතා ඉවසීමෙන් කරන නිර්මාණයක්...

බොන්සායි නිර්මාණයේ පළපුරුදු වෘත්තිකයන් විසින් පවත්වාගෙන ඕමියා බොන්සායි ගම්මානය පවත්වාගෙන යනව... පුද්ගලික හිමිකරුවන් දස දෙනෙකුගේ ගෙවතුවල බොන්සායි කරනලද ගස් විශාල ලෙස මේ ගම්මානයේදි දැක බලාගත හැකියි...
ඊට අමතරව ටෝක්යෝ ආසන්නයේ තවත් සුප්‍රසිද්ධ විශාරද බොන්සායි කලාකරුවෙක් වෙන කුනිඕ කොබයශි මහත්මයාගෙ ගෙවත්තත් දැක බලාගත හැකියි...පහළ පින්තූරයෙ තියෙන්නෙ ඔහුගේ ගෙවත්තේ බොන්සායි ගස් අතරින් ප්‍රධාන වෙන වසර 800 කට වඩා පැරණි පයින් ගස... බොන්සායි නිර්මාණ අතර අග්‍රගණ්‍ය නිරමාණයක්...


මේ තවත් ප්‍රසිද්ධ බොන්සායි නිර්මාණයක්... වෝල්ටර් පෝල් මහතා විසින් නිර්මිතයි...Japanese Maple ගහක්...


විශේෂ අවස්ථාවලදි අපි මේසයක් මත මල්බඳුනකට ලබාදෙන ස්ථානය බොහෝවිට ජපානයේදී බොන්සායි ගසකට හිමිවනවා... බොන්සායි ප්‍රිය කරන්නන්ට අන්තර්ජාලය හරහා බොන්සායි ශාක නිර්මාණ අලෙවිකරණයත් හොඳින් ව්‍යාප්ත වුණු ව්‍යාපාරයක් මේ වෙනකොට...

Source:
http://www.bonsaiempire.com/
http://www.bonsaishoponline.com/bia/country/japan/omiya.shtml
http://en.wikipedia.org/wiki/Bonsai

Wednesday, August 24, 2011

Saw ASIMO at miraikan - මානව රොබෝවා දුටිමි.

ඉඳහිට රූපවාහිනියේ දකින මානව රොබෝවා "අසිමෝ" ජපානයේ "National museum of emerging science" කෙටියෙන් මිරයිකන් කියල හඳුන්වන කෞතුකාගාරෙදි සැබෑවටම දකින්න පුලුවන්. දවසට දෙවතාවක් අසිමෝ ක්‍රියාකරවල පෙන්නනව ඒ කෞතුකාගාරෙදි...

අසිමෝ සෙන්ටිමීටර් 130 ක් උසයි, කිලෝ 54 ක් බරයි... හෙල්මට් එකකින් මූණ වැහුනම වගේ පෙනුමක් තිබුණත් ඔලුවෙ තියෙන කැමරාවලින් මිනිස්සුන්ගේ සහ අනෙක් ද්‍රව්‍යවල චලන හඳුනාගන්නත්, කටහඬ හා අනෙක් ශබ්ද වෙන්කර හඳුනාගන්නත් අසිමෝට පුලුවන්... මිනිස් කටහඬට ප්‍රතිචාර දක්වන හැකියාව ඇති අසිමෝ කටහඬින් හා හිස සෙලවීමෙන් තමන්ගේ ප්‍රතිචාරය දක්වනව.. කාගෙවත් ඇඟේ නොහැපි ගමන් යන්නත් තමන්ගෙ පරෙස්සමත් බලාගෙන ඇවිදින්නත් දුවන්නත් හැකි විදියට අසිමෝ දියුණු වෙලා...

මිනිස්සුන්ට කරන්න තරමක් අමාරු ආකාරයේ දෑත් චලනයන් වගේම නටන්නත් අසිමෝට හැකියි...ඒ වගේම අපේ අංගචලන හඳුනාගත හැකි නිසා අසිමෝ කටහඬට පමණක් නොවී මිනිස්සුන්ගේ අංගචලනවලට ප්‍රතිචාර දක්වනවා...
ජපන් ගැහැණු ළමයෙක්ගේ හඬින් කතා කරන අසිමෝ මානව රොබෝව මානවයාට බොහෝ සමවන අයුරින් නිර්මාණය වෙලා කෙමෙන් දියුණුවෙන අයුරක් පේන්නේ...

හොන්ඩා සමාගමේ නිර්මාණයක් වෙන අසිමෝට ඒ නම ලැබිලා තියෙන්නෙ, "Advanced Step in Innovative MObility" කියන වචනේ මුලකුරුවලින්... ඒත් මම දැක්ක අසිමෝ කතා කළෙ නම් ජපන් භාෂාව...ජපන් ගෑණුළමයෙක්ගේ කටහඬින්...මිරයිකන්වල පෙන්වන අසිමෝගෙ ක්‍රියාකාරිත්වය සම්බන්ධ සම්පූර්ණ වීඩියෝවෙන් කොටසක් මේ... සියල්ල Youtube හි නැරඹිය හැකියි...

Friday, August 19, 2011

සිතියම් පොතින් ලොව විමසා බලන සඳ...

එළියටවත් යන්න බැරි තරම්ම වැස්ස... හරියට නිරිත දිග මෝසමට අපේ ගෙදර පැත්තට වහිනව වගේ... ඉතිරිල පැතිරිල ගංවතුර ගලල තමයි ඒ වැස්ස ඉවර වෙන්නේ... ගිම්හානය නිමා කරන්න හිතාගෙන වෙන්න ඇති ජපානෙටත් ඒ වගෙම වහිනව අද... ජපන් කාලගුණයෙ තියෙන වෙනස හිටිගමන් වෙනස් වෙන්න පුළුවන්කම. ඊයේ සෙල්සියස් අංශක 37 ඉක්මවල රත්වෙල තිබ්බ ජපානෙ අද සෙල්සියස් අංශක විසිගණන් වෙනකම්ම බහින්න හදන්නෙ. කොහොමත් හවස වෙද්දි 22 ට විතර බහියි...

කම්මැලිකමට ගෙදරට වෙලා ඉඳෙද්දි කරන්න තියෙන එක වැඩක් තමයි සිතියම් පොතින් ලෝකය බලන එක...

---------------

ලෝකෙ දේශගුණ කලාප ගැන රට රටවල්වල දේශගුණේ ගැන පොඩිකාලෙ කොච්චර ඉගැන්නුවත් ඒව ගැන මගේ දැනීමෙ කොච්චර අඩුපාඩු තියෙනවද කියල මම දැනගත්තෙ ජපානෙට ආවම... ලංකාවෙ කාලෙන් කාලෙට වෙනසක් පැහැදිලිව නැති නිසා අනිත් රටවල වෙනස්වීම් ගැනත් මගේ අවධානයක් නැති වෙන්න නැති...ඒත් ඒ වෙනස්කම් මග අරින්න බැරි තරම් තදින් දැනෙද්දි ඒ ගැන මගෙ අවධානෙත් වැඩි වුණා... ඍතු වෙනස්වීම් ගැන පුංචි පුංචි කාරණා වගෙම ලොකුම ලොකු කාරණාත් මට මග ඇරිල තිබුණ...

මම තේරුම් අරන් නොහිටපු ලොකුම කාරණේ තමයි උත්තරාර්ධගෝලයට ගිම්හානය එද්දි දක්ෂිණාර්ධගෝලයට ශිශිරය එනව කියන එක...

උතුරු අර්ධගෝලය වැඩිම ආනතියකින් හිරුට මුහුණලාන දවස හෙවත් සූර්ය නිවෘත්තිය (Solstice) සිද්ද වෙන දවස ගිම්හානයෙ ඇරඹුම විදියට සටහන් වෙනවා...එදා උතුරු අර්ධගෝලයට දිගම දවල් දවස වගෙම දක්ෂිණ අර්ධගෝලයේ කෙටිම දවසත් ශිශිරයේ ඇරඹුමත් සටහන් කරනව...

මේ අවුරුද්දේ ජුනි 22 ජපන් වෙලාවෙන් පාන්දර 02.16 ට ගිම්හාන සූර්‍යනිවෘත්තිය...
ජුනි 21 වෙනිදා උතුරු අර්ධගෝලයේ බොහෝ රටවලට වසරේ දිගම දවස...
ජපානෙට නම් ජුනි 22... පැය 14 යි මිනිත්තු 34 යි තත්පර 39 ක් දිගයි දවසේ දවල් කාලය...
ඒත් සමකය ආසන්න රටවල් වුණු අපට ඒ දවස ඒ තරම්ම දිග වෙලා නෑ, පැය 12 යි මිනිත්තු 31 යි තත්පර 32ක් එදා දවල් කාලය ලංකාවට...
 

වසන්තය හා ශරත් කාලයන් උදාවෙන දවස් විදියට සැලකෙන්නෙ විෂුවය සිදුවෙන දවස්...සමකයත් හිරුත් එකම තලයේ රැඳෙන පෘථිවිය සූර්යයා දෙසට ආනතිය අංශක 0 ක් වෙන්නේ වසරකට දින දෙකක්, ඒ දින දෙක විෂුවය සිදුවෙන දවස් දෙක...

ඉතා පැහැදිලි ඍතු වෙනස්වීමක් සෞම්‍ය කලාපීය රටවලට හිමියි. ඒත් සමකාසන්න අපට එවැන්නක් නෑ... ඒත් මට මගෑරුණු තවත් කාරණාවක් එතනත් තිබුණ...අපට ටිකක් ඉහළින් පිහිටි බංගලාදේශය වගෙ රටවලුත් ඉතා පැහැදිලි ඍතු භේදයක් නැතත් කෙටි ශිශිරයක් අත්විඳින බව...අනිත් අතින් මැදපෙරදිග කියන වචනෙ ඇහැව්වත් ගිනිගෙන දැවෙන බව මතක් වෙන රටවලුත් කෙටි ශිශිරයක් අත් විඳිද්දි බංගලාදේශයට කෙටි ශිශිරයක් තිබීම ඒ හැටි පුදුම වෙන්න දේකුත් නෙවෙයි...

------------------------

සිතියම් පොතින් දැකපු ලෝකය ගැන දේශගුණය වගෙම මගේ කුතුහලය තවමත් අවුස්සන තැනක් දේශසීමා... ඉන්දියා බංගලාදේශ සීමාවෙ ගම්මාන අතරෙ සතිපොළවල් වගෙ දවස්වලට රටවල් දෙක අතරෙ මිනිස්සු යන එන තරම් සමීප සබඳතා තියෙන ගම් තියනවලු... නෑදෑයො වෙන ඔවුන් රටවල් දෙකක හිටියට සතිපොළට ඒ දේශසීමාව විවෘත වෙනවනං, ඒක මට අපූරු අදහසක් වුණා...
ඒ නිසාම දේශසීමාවක් ළඟට ගිහින් ඒක දිහා බලන් ඉන්න මට ආසයි...

දේශසීමා ගැන යාලුවො එක්ක කතාකරන්න ලැබෙන්න කලින් දේශසීමා ගැන මගෙ කුතුහලය මුලින්ම ඇවිස්සුවෙ ස්ටිව් බිකො සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකාවෙන් වටවෙච්ච ලෙසොතො දේශයේ, දේශසීමාව තරණය කරල අප්‍රිකාවෙන් පැනල ගිය හැටි කියවද්දි...

ප්‍රංශ ස්විට්සර්ලන්ත දේශසීමාවෙ කණුවක්...
දේශසීමාවල මම දැක්ක ලස්සන පින්තූර එකතුවක් මෙතන තියනව...

Monday, August 15, 2011

ජීවත් වෙන දනන් ඇවිත් පාළු සුසානයෙ සරන්න...


සුවඳ දුමින් සුවඳ කවා
ඉටි පහනින් එළිදල්වා
ගඳින් මලින් පිදුම් ලබා
ජීවත්වන දනන් අතර 
තව එක දවසක් රැඳෙන්න
මළවුන් එන දවස අදයි
පාළු සුසානයෙ සරන්න


ජීවත්වුණ අතීතයේ
සිතින් බැඳුනවුන් බලන්න
වැළලී ගිය මතක අතර 
නිසංසලේ සැරිසරන්න
මළවුන්ගේ අවුරුදු දා
මළගිය ඇත්තන් වඳින්න
 ජීවත් වෙන දනන් ඇවිත්
පාළු සුසානයෙ සරන්න


අඳුරු රැයේ සුසානයේ නිසසල දිනයක් සසලයි
ජීවත් වෙන දනන් ඇවිත්  පාළු සුසානයෙ සරන්න...

Monday, August 8, 2011

කබඩ්වල රැකෙන පිඟන් බඩු

බොහෝවිට පිඟන් භාණ්ඩ හා සමීප ම සබඳතාව ඇත්තේ නිවසක ගැහැණියටයි. ගැහැණිය හා රන් භාණ්ඩ අතර සේම ගැහැණිය හා පිඟන් භාණ්ඩ අතර ද ඒ සබඳතාව තිබේ. නිවසක ආහාර පිළියෙළ කිරීමේ සහ පිළිගැන්වීමේ වගකීම ගැහැණියක් අත පවතී. ඒ නිසාම පිඟන් භාණ්ඩ එක් රැස් කිරීමේ ආශාව ද ඈ තුළ නිතැතින්ම ඇතිවනවා විය හැක. එහෙත් මා සිතන අයුරින් නම් රන් භාණ්ඩ ප්‍රවේශමට වඩා ඇතැම් විට පිඟන් භාණ්ඩ ප්‍රවේශම අපහසුය. අපේ අම්මාට අනුව නම් පිඟන් භාණ්ඩවල වටිනාකම සම්පූර්ණ පිඟන් භාණ්ඩ කට්ටලය එකට පවතිනතුරු පමණකි. එක් පිඟානක් කෝප්පයක් බිඳුන පසු එහි වටිනකමක් නැතැයි ඈ කියන්නීය. ඒ නිසාම ඇගේ පිඟන් බඩු කට්ටල හා අන්තර් සබඳතා අවම වන තරමට ප්‍රවේශම් සහගතය.


පෝසිලේන් හා පිඟන් භාණ්ඩ කෙරේ මා සිත ද උමතු ආශාවක් ඇත. එහෙත් එය අම්මාගේ ආශාව මෙන් නොවේ. මා ආසා කරන හැඩයේ හා රටාවේ එක බඳුනක් ලබාගත් පමණින් මගේ ආශාව සන්සිඳේ. ඊට වඩා එකක්වත් මට අනවශ්‍යය. එවිට ඒවා මට කරදරයක් වන බැවිනි. මගේ මේ ආශාව නිසා තැන තැන දකින පිඟන් භාණ්ඩ ප්‍රදර්ශනවලින් බඩු මිලදී ගැනීම මට රිසිය. ලොකු සාප්පුවලින් කට්ටලයක එක බඳුනක් අලෙවි නොකරන බැවිනි. වරක් මම ආසා කරන ආකාරයේ කෝප්ප දෙකක් වර්ග දෙකකින් මිලදීගත් මට අම්මා බොහෝ දොස් පැවරුවාය. එහෙත් මම රට හැර ඒමෙන් පසු අපේ ගෙදර ගිය, ඇගේ තක්සේරුවට අනුව එක බැගින් ඇති නිසා නොවටිනා, මගේ ඒ පිඟන් කෝප්ප නිවසේ එදිනෙදා භාවිතයට එක්ව තිබෙනු මා දිටිමි.

අම්මලා එක්‍ රැස් කරන පිඟන් භාණ්ඩ ඒවායේ ජීවිත කාලයෙන් වැඩි හරියක් ගෙවා දමන්නේ කබඩ්වලය. ඒවා පාවිච්චියට ගැනෙන්නේ එහෙමත් අවස්තාවක පමණි. අනිත් අතින් ලොව ඉතාම අගනා පෝසිලේන් නිෂ්පාදකයෙක් ලෙස සැලකෙන දංකොටුව පෝසිලේන් සමාගම ඔවුන්ගේ වෙබ් අඩවියෙහි කියන්නේ ද ඒ නිෂ්පාදන විශේෂිත වෙළඳපොළක් සඳහා බවයි. ඒ නිසාම මිලෙන් ද ඉතා අධික වේ.


බොහෝවිට මට ආසා හිතෙන පෝසිලේන් හා පිඟන් බඳුන් ප්‍රමාණයෙන් ඉතාම කුඩාය. මා ආසා කරන අයුරින් නන් හැඩැති එවන් බඳුන් ඇතිතරම් මා ජපානයේ දී දුටුවෙමි. කිසිදු පලකට නැතැයි අම්මා කියන, එහෙත් ඉතාම සොඳුරුයයි මට සිතෙන එවන් බඳුන් රැසක් දැන් මා සතුය. ඇතැම් විට කුමක් සඳහා භාවිතා කෙරේදැයි මා පවා නොදන්නා කුඩා බඳුන් ද මා සතුවේ. ඉතාම කුඩා එහෙත් සුන්දරම පෝසිලේන් කට්ටලයක් ජපානයේදී 'සකෙ' පිළිගැන්වීමේ දී භාවිතා කෙරේ. ජපන් පිඟන් භාණ්ඩ අතර මා වඩාත්ම ප්‍රිය කරන්නේ එයයි. ඒ හැර බත් කෑමට යොදාගන්නා කුඩා කෝප්ප ද බොහෝ හුරුබුහුටිය. හතරැස් හැඩයේ පිඟන් ද කෝපි කෝප්ප ද මා ප්‍රිය කරන පිඟන් බඩු අතරට එක්වේ. පෝසිලේන් හෝ පිඟන් මල් බඳුන් නම් මගේ හිත ගත් අවස්ථා නැති තරම්ය. මල් බඳුනක් මැටියෙන් නිමවූ විට  එය රළු වූ නමුත් මල්වල මිහිර ඊට වඩා මතුකර පෙන්නවන්නට සමත් යයි මට සිතෙන බැවිනි.

මා පිඟන් බඩු මිලදී ගන්නේ පිඟන් බඩු කබඩ්වල දමා පරෙස්සම් කිරීම සඳහා නොවේ. එදිනෙදා පාවිච්චිය සඳහාය. බඳුනට මගේ ආශාව තිබෙන තුරුම එය නිතොරවම පාවිච්චි වේ. මුලදී සුදුපැහැ පිඟන් බඩු පාවිච්චිය මට කරදරයක් වූයේ ඒවා පාවිච්චියෙන් පසු සේදුවත් ටික දිනකදී තරමක් කහට පාට වන නිසාය. එහෙත් දිනක් අහම්බෙන් ඊටද විසඳුමක් ලෙස තරමක් තනුක ක්ලෝරීන් දියරයක් ඒවා සේදීමට යොදාගත හැකි බව දැනගත්තෙමි. එහි තරමක් වේලා බහා තැබූ පසු ඒවා පෙර පරිදිම පැල්ලම්වලින් තොරව පිරිසිදු වේ. ආසාවෙන් පාවිච්චි කරන නිසාම පිඟන් බඩු මා අතින් බිඳීයනවා අඩුය. දරුණුම ජපන් භූමි කම්පාවෙන් සැලුණ ද බිඳීගොස් තිබුනේ නිවසේ තිබූ පිඟන් බඩු කිහිපයක් පමණි.

Monday, August 1, 2011

සොයුරු බැම්මක බැඳී ආ මග...


කුඩාවුන් මල් වැනියයි බොහෝ දෙනා කීවද සමස්තයක් වශයෙන් ගත්කළ මම කිසිවිටක ඔවුනට ප්‍රිය කළේ නැත. ඊට පැහැදිලි හේතුවක් නැත ද, මා ඉතා කුඩා කල සිටම මගේ අම්මා බාලාංශ පන්තියේ නොකඩවා වසර විස්සක් පමණ උගැන්වීම ඊට හේතුව යයි බොහෝවිට මට හැඟේ. ඒ පන්තියේ කුඩාවුන් මට හැමවිටම පෙනුනේ මගේ අම්මා මගෙන් සොරාගන්නා කරදරකාරී සත්ව කොට්ඨාශයක් ලෙසමය. මට වයස දහසයක් පමණ වෙද්දී ද, ඔවුන් මගේ අම්මාගේ සාරිපොටෙහි දැවටෙනු දකිද්දී මට දැනුනේ ඊර්ෂ්‍යාවකි.

එවන් වූ කුඩාවුන් අතරින් සම්පූර්ණයෙන්ම මගේ ලෝකයට මුලින්ම ඇතුළු වූවේ මගේ මල්ලී ය. මට වඩා වසර පහකින් බාල ඔහු මගේ යයි හැඟීම ද, කුඩා කල මට වඩා හැමතින්ම දුර්වල සත්වයකු ද වූ නිසා ඔහු පිළිබඳව මට කිසිම ඊර්ෂ්‍යාවක් නොවීය. අම්මාට මල්ලී ලැබෙන්නට සිටි කාලය පිළිබඳව මතකයක් හෝ අවබෝධයක් නැත ද, අම්මා රෝහලේ නතර කළ තාත්තා පසුදින රෝහලට ගොස් පැමිණ අපිට මල්ලි කෙනෙක් සීටින බැව් කී හැටිද රෝහලට ගොස් අම්මාද මල්ලී ද ගෙදර ගෙනා හැටිද ගැන පුංචි මතකයක නොපැහැදිලි සටහනක් ඡායාවක් ලෙස හිතේ ඇඳී මැකී යයි. ඉතාම කුඩා කල මා අනුකරණය කරමින් මා සමග බෝනික්කන් සමග සෙල්ලම් කරමින් වැඩුන ඔහු තරමක් ලොකු වෙද්දී, මගේ සෙල්ලම් බඩු කඩා දමන්නට ද, රණ්ඩු සරුවල් වෙන්නට ද, ඉනුත් පසු යුගයක දෙදෙනා අතර රණ්ඩු බේරන්නට කිසිවෙක් මැදිහත් නොවන තරමට ද අප දෙදෙනා එකේනෙකා වෙත බැඳෙමින් වැඩුනි.

උසස්පෙළ පංතියට ඇතුළු වීමත් සමග ම මා නිවස හැරයන විටදීත් මල්ලී වසර එකොළහක කුඩා කොලුවෙකි. එ නිසාම අප දෙදෙනා සොයුරන් අතර බැඳීම හඳුනාගත්තේ එකිනෙකා ඇසුරේ නැතිව වැඩීමෙනි. අප සොයුරු සොයුරියන් වීමේ හැඟීම දැනෙන දා වනවිට අප දෙදෙනා එකිනෙකාගෙන් ඈත්ව ගොස් බොහෝකලක් ගතව ගොස් තිබුණත්, එය ලෙයින් බැඳුනු බැම්මක් නිසාදෝ එහි ගැඹුර අප ද නොදැනම හද පතුලේ නිදන්ව තිබිණ. නිවසේ කෙනෙකු තදින්ම අසනීප වූ විට ද, යමකට තදින් කම්පා වූ විට ද සොයුරු බැම්මක අගය වටහාගන්නට ද, රහස් කියන්නට හා රකින්නට ද කාලයත් සමගම සොයුරු පෙම අප දෙදෙනාටම උගන්වා තිබිණ.

හෙටට, බිළිඳකු ලෙස ඔහු අපේ ලොවට ඇතුළු වීමෙන් පසු ගතවී යන තවත් වසරක් සපිරේ. මල්ලියෙක් වී මගේ ලෝකයට පැමිණි ඔහුත් සමග යන මා දකින බොහෝ අයට ඔහු මගේ අයියා ලෙස පෙනෙන තුරු ම,  කාලය බොහෝ වෙනස්කම් සිදුකරමින් අප අතරින් ගලාගොස්ය. බොහෝවිට නැවතත් අප දෙදෙනා එක වහලක් යට ජීවත්වන්නට ලැබෙන දිනයක් උදානොවනු ඇත. ඉඳහිට සියල්ලන් නිවසේ හමුවන දිනයක පමණක් බොහෝ කාලයක එකතු කරගත් තොරතුරු කියාගන්නට ඉඩ ලැබෙනු ඇත. එහෙත් තවමත්, ඇතැම් දිනෙක ඔහුගේ සුරතේ එල්ලී හෝ මෝටසයිකලයක පිටුපස ගාල්ලේ හෝ කොළඹ නගරයේ සැරිසරද්දී ඔහුත් මාත් ඔබට ද මුණ ගැසෙන්නට ඉඩ ඇත.



Tuesday, July 26, 2011

නෝ රැඟුම්



කබුකි සහ නෝ රැඟුම් අතරින් වඩා පැරණි නෝ රැඟුම්,නෝ රැඟුම්වල ඉතිහාසය වර්ෂ 1336 දක්වා දිවෙනව... අශිකග සමුරායිවරුන්ගේ පාලන කාලය තුළ, රාජ්‍ය අනුග්‍රහය සහිත ව ඇරඹුණු නෝ රැඟුමට වසර හයසියයක පමණ ඉතිහාසයක්  හිමියි...නෝ රැඟුම්වලත් කාන්තා චරිත පිරිමි අය විසින් රඟන සම්ප්‍රදාය රැඳෙනව...නෝ රැඟුම්වල විශේෂ්තවයක් විදියට කියවෙන්නෙ සම්ප්‍රදායානුකූලව නෝ රැඟුම් කණ්ඩායම එක්ව පුහුණුවීම් කරන්නෙ රැඟුම් ඉදිරිපත් කිරීමට දින කිහිපයකට පෙර එක් වතාවක් පමණයිලු... නළුවන් විසින් ගුරුවරයෙකුගේ හෝ ජ්‍යෙශ්ට නළුවකුගේ සහයෙන් තනි තනිව තමන්ගේ කොටසේ පුහුණු කටයුතු කරගන්නවලු...


නෝ වේදිකාවෙත් කබුකි වේදිකාවෙ වගෙම  ඊට ආවේණික ලක්ෂණ පවතිනව... ගොඩනැගිල්ලක ඇතුලත ඉදිකලත් වහලය වෙනම පෙන්නුම් කෙරෙන ලෙස නෝ වේදිකාව ඉදිවෙනව... ජපන් සය්ප්‍රස් දැවයෙන්...  කබුකි වේදිකාවෙ වගේ වරින්වර දර්ශන පසුතලය මාරු කිරීම නෝ වේදිකාවෙ දි සිද්ද වෙන්නෙ නෑ... වේදිකාවෙ පසුපස අඳින පයින් ගස (kagami-ita) නෝ වේදිකාවට ආවේණිකයි... වේදිකාවට නළුවන් පිවිසීම සඳහා වේදිකාවෙ දකුණු පසින් පටු වේදිකාවක් (hashigakari) තැනෙනව... කබුකි රංගනයේදි හනමිචි වෙලා විකාශය වුණේ මේ හශිගකරි වේදිකාව කියල මතයක් පවතිනව...



නෝ රැඟුම්වල අමනුෂ්‍ය, භූතාත්ම පෙනී සිටින කතා බොහොමයි... නෝ රඟපාන්නන් අතරින් ශිටෙ (shite) කියල හැඳින්වෙන්නෙ මුලින් මනුෂ්‍යයෙකුත් පසුව භූතාතමයක් විදියටත් පෙනීසිටින චරිත... ශිටෙ හැමවිටම වෙස්මුහුණක් පැළඳල වේදිකාවෙ පෙනී සිටිනව... වයස්ගත චරිත, කාන්තා චරිත හා අමනුෂ්‍ය චරිත සඳහා වෙස්මුහුණු භාවිතය නෝ රැඟුම්වල විශේෂ ලක්ෂණයක්... අනෙකුත් චරිත වෙස්මුහුණු භාවිතා කරන අවස්තා හිඟයි...එයාල පියවි මුහුණින්ම පෙනී සිටිනව... මුහුණ සෙලවීමෙන් හා ආලෝකය වැටෙන අයුරු වෙනස්වීමෙන් මේ වෙස්මුහුණුවල භාව ලීලාවන් වෙනස් කරගන්න පුළුවන්ලු...

කබුකි වගෙම ඉතිහාස කතා නෝ රැඟුම්වලත් ඇතුලත් වෙනව... නෝ සංගීතයත් සම්ප්‍රදායික ජපන් වාද්‍ය භාණ්ඩවලින්, විශේෂයෙන්ම නෝ රැඟුමේදි සංගීතය සපයන බටනලාව noh-kan කියලයි හඳුන්වන්නෙ, ඒ ඇරුණම ජපන් සම්ප්‍රදායික බෙර වර්ගත් යොදාගන්නව...නෝ රැඟුමෙදි සංගීතය සපයන්නන් වේදිකාවෙ පසුපස කොටසෙ රැඳෙනව...

නෝ රංගනයත්  පාරම්පරිකව රැකගෙන එන්නක්... ඉතා කුඩා වයසෙදිම පියාගෙන් පුතාට උරුමවන්නක් ලෙස රැගෙන ආ මේ රංගනයේ සමහර චරිත වර්තමානයේදි පියාගෙන් දුවටත් උරුම වෙනවලු... වත්මන් ජපානයේ වෘත්තියමය නෝ රඟන්නන් 1500 ක් විතර ඉන්නව කියල කියන්නෙ... කබුකි වගෙම නෝ රංගනයත් කැමති අයට ඉගෙනගන්න විවෘතයි දැන්...

http://factsanddetails.com/japan.php?itemid=716&catid=20&subcatid=131
http://en.wikipedia.org/wiki/Noh
http://www.youtube.com/watch?v=ModfyW8wDvo
http://www.aug.edu/~cshotwel/2002HUMN/2002.Japan.htm
http://todaikanzeob.main.jp/kanze-e/what-is-noh/rightpage.html

Enjoying the Glory of a Star

රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...