Wednesday, August 24, 2011

Saw ASIMO at miraikan - මානව රොබෝවා දුටිමි.

ඉඳහිට රූපවාහිනියේ දකින මානව රොබෝවා "අසිමෝ" ජපානයේ "National museum of emerging science" කෙටියෙන් මිරයිකන් කියල හඳුන්වන කෞතුකාගාරෙදි සැබෑවටම දකින්න පුලුවන්. දවසට දෙවතාවක් අසිමෝ ක්‍රියාකරවල පෙන්නනව ඒ කෞතුකාගාරෙදි...

අසිමෝ සෙන්ටිමීටර් 130 ක් උසයි, කිලෝ 54 ක් බරයි... හෙල්මට් එකකින් මූණ වැහුනම වගේ පෙනුමක් තිබුණත් ඔලුවෙ තියෙන කැමරාවලින් මිනිස්සුන්ගේ සහ අනෙක් ද්‍රව්‍යවල චලන හඳුනාගන්නත්, කටහඬ හා අනෙක් ශබ්ද වෙන්කර හඳුනාගන්නත් අසිමෝට පුලුවන්... මිනිස් කටහඬට ප්‍රතිචාර දක්වන හැකියාව ඇති අසිමෝ කටහඬින් හා හිස සෙලවීමෙන් තමන්ගේ ප්‍රතිචාරය දක්වනව.. කාගෙවත් ඇඟේ නොහැපි ගමන් යන්නත් තමන්ගෙ පරෙස්සමත් බලාගෙන ඇවිදින්නත් දුවන්නත් හැකි විදියට අසිමෝ දියුණු වෙලා...

මිනිස්සුන්ට කරන්න තරමක් අමාරු ආකාරයේ දෑත් චලනයන් වගේම නටන්නත් අසිමෝට හැකියි...ඒ වගේම අපේ අංගචලන හඳුනාගත හැකි නිසා අසිමෝ කටහඬට පමණක් නොවී මිනිස්සුන්ගේ අංගචලනවලට ප්‍රතිචාර දක්වනවා...
ජපන් ගැහැණු ළමයෙක්ගේ හඬින් කතා කරන අසිමෝ මානව රොබෝව මානවයාට බොහෝ සමවන අයුරින් නිර්මාණය වෙලා කෙමෙන් දියුණුවෙන අයුරක් පේන්නේ...

හොන්ඩා සමාගමේ නිර්මාණයක් වෙන අසිමෝට ඒ නම ලැබිලා තියෙන්නෙ, "Advanced Step in Innovative MObility" කියන වචනේ මුලකුරුවලින්... ඒත් මම දැක්ක අසිමෝ කතා කළෙ නම් ජපන් භාෂාව...ජපන් ගෑණුළමයෙක්ගේ කටහඬින්...මිරයිකන්වල පෙන්වන අසිමෝගෙ ක්‍රියාකාරිත්වය සම්බන්ධ සම්පූර්ණ වීඩියෝවෙන් කොටසක් මේ... සියල්ල Youtube හි නැරඹිය හැකියි...

11 comments:

  1. දැන් දැන් අපේ රටේ අසිමෝල වැඩියි .. ඕනදෙකට අතුස්සන අසිමෝල.. (අසි මෝල් වහන්සේලා )

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි නංගී මේ විස්තරයට.

    ReplyDelete
  3. අර රූපවාහිනී වෘත්තාන්ත, චිත්‍රපට ආදියෙහි දැක්වෙන විදිහෙ, මිනිසුන්ම වැනි රොබෝවන් නිර්මාණය කිරීමට තව කොපමණ කල් යයිද?
    ස්තුතියි විස්තරවලට.

    ReplyDelete
  4. [[මිනිසුන්ම වැනි රොබෝවන් නිර්මාණය කිරීමට තව කොපමණ කල් යයිද?]]

    බොහෝ දුරට මේක කරන එකක් නැහැ.

    ඔන්න මං චන්ඩියා වගේ ලියනවා වැරදෙන තැන් හදන්නෝ.

    මිනිසා කියන සංකීර්ණ ජීවියාගේ මොලය ගත්තොත්: නියුරෝන බිලියන දහයක්. එකක් තව විසිපන්දාහකට විතර සම්බන්ධ කල හැකියි [වෛද්‍ය විද්‍යාව දියුණු වෙද්දී මේ ඉලක්කම් එන්න එන්න වැඩි වෙනවා - ඔබ මට වඩා හරියට දන්නවා ඇති]

    මුළු සංකරන ගත්තොත් බිලියන දහයේ විසිපන්දහස්වැනි බලය හෙවත් එකයි බින්දු දෙලක්ෂ පනස් දාහක්. [පෙරදිග බුවාලා අසංඛ්‍ය කිව්වේ එකයි බින්දු එකසිය තිස් තුනක්]. එකයි බින්දු දෙලක්ෂ පනස් දාහක් දක්වා එකිනෙකින් නිදහස් සිග්නල් වලින් සිනප්ස් ක්‍රියාකරවන්න පුළුවන්. [එහෙම කිව්වට හදා ගත්ත කවුරුත් නැහැ. ඒ නිසා හරියටම ෂුවර් නම් නැහැ. හැබැයි ෂුවර් එකට බර ගානක්]

    ඒ මදිවට එක සිනප්ස් එකක ඩිජිටල් ක්‍රියාකාරිත්වය එක ගේට් එකකට වඩා සංකීර්ණයි. සිනප්ස් එක ෆයර් වෙන වාර ගණන කොච්චර වේගෙන් ෆයර් වෙනවද වගේ කරුනුත් බලපානවා. සිනප්ස් එකකට දායක කරන අක්සනයන් දෙන්නේ ඩිගිටල් පල්ස් නොවේ. එතන ඇනලොග්. ෆයර් වෙන එක විතරයි ඩිජිටල්. ඒ කියන්නේ අක්සන ගොඩකින් දෙන ධන රින සිගනල් ගොඩක් එකතු කරලා තීරණය ගන්නේ.

    සර්කිට් වලින් ලොජික් ගේට් වලින් ප්‍රෝග්‍රෑම් වලින් මේක කවදාවත් හදා ගන්න බැහැ. සිනප්ස් එකක් මොඩල් කරන්න ගිහින් පට්ට තඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න වෙන සයිස් එකක් පෙනුනේ අපිට.

    ඔය ඔක්කොම කරලා අන්තිමට හදපන්කෝ මේ මිනිහෙක් වගේ තව එකක්. ඔය ඉන්නේ බිලියන හයක්. මදිවටද අප්පා.

    අපි අද උත්සහ කරන්නේ කිසියම් එක වැඩකට පමණක් මිනිසා මෙන් හෝ වඩාත් හොඳින් සහබාගි විය හැකි රෝබෝවක් හදන්නයි. එක වැඩකට පමණක්. මිනිස් ගති ගන්නේ මිනිසා හා අස්දහස්‌ හුවමාරුව පහසු කරන්න තමයි මුලිකව.

    හැබැයි දවසක හදන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මිනිස් සිරුර යාන්ත්‍රික දිගුවක් බවට පත් වීම. දෙවැන්න තමයි මොළ ට්‍රාන්ස්ප්ලාන්ට් කල රොබෝලා. මී රාලලාගේ මොළ මැසි රාලලාගේ මොළ බද්ධ කල රෝබෝළාව දැනටත් හැදෙනවා.

    මේ ගැන දෙන්න පුළුවන් මැටීරියල් නම් ඕන තරම්. එවන්න තමයි විදිහක් නැත්තේ. යු ටියුබ් පාරක් දාලා බලන්න.

    ReplyDelete
  5. මෙයාව දැක්කට පස්සෙ මට හිතෙන්නෙ මිනිස්සුන්ට සර්වසම රොබෝවරු නිෂ්පාදනය හීනයක් වෙයි කියලම තමයි,
    ඒත් එකක් හදිසියෙවත් නිෂ්පාදනය කළොත් ඒ රොබෝව එය නිෂ්පාදනය කළ රටේ මිනිස්සුන්ගේ අනන්‍යතාව නං ගනීවි... දැනුවත්ව හෝ නොදැනුවත්ම මේ රොබෝවත් නිෂ්පාදනය වෙලා තියෙන්නෙ ජපන් ජාතිකයන් වගේම කොන්ද නවලා ආචාර කරන්නනෙ...

    ඇත්තටම ඇසිමෝ ඒ සර්වසම රොබෝවරු, මිනිසාට විරුද්ධව සටන් වදින්න පවා ඉඩ තියෙන තනියම හිතන පතන රොබෝවරුන්ගෙ වෘතාන්ත ගැන තිබුණ මගේ ආසාවත් හීනත් දෙකම බින්දා, ඇසිමෝ දකින තුරු සර්වසම හීන රොබෝවන්ට හීන දැක්ක මම ඒක කොයිතරම් ඈතින් තියෙන ඉල්ලක්කයක්ද කියලත් රොබෝවක් අපි හීන මැවූ තරම් මානසික ශක්තියකින් යුතු නැති බවත් තේරුම් ගත්ත...

    ඒත් මට එකක් හිතුන, රොබෝව ගැන මිනිස්සුන්ගේ හිතේ තියෙන දෙගිඩියාව නිසාද එයා කෙල්ලකගෙ කටහඬින් කතා කරන්න හදල තියෙන්නෙ කියල...

    හොන්ඩා සමාගම කියන විදියට කාර්යාල හා ගෘහස්ථ කටයුතු සඳහා නිෂ්පාදනය කෙරුණු ඇසිමෝ තවම මිල කරල නෑලු...

    ReplyDelete
  6. ඉතාම ආකර්ෂණීය තොරතුරු ටිකක්, අසිමෝ ගැන මට මුලින්ම දැනගන්න ලැබුනෙ මීට අවුරුදු පහලොවකට විතර කලින්. මිනිසාගේ ඍජු කාය විලාශය අනුකරනය කල හැකි යන්ත්‍රයක් නිපදවීම කෙතරම් අසීරු ද යන්න අසිමෝ ගේ ඉතිහාසය දිහා බලපුවහම පේනව. අසිමෝ ව සියැසින්ම දැකගන්න ඔයා නම් වාසනාවන්ත උනා. :)

    'මිනිසුන් වැනිම රොබෝවරු' කියන කාරනයට හොඳ පිළිතුරක්, හොන්ඩා සමාගම නිකුත් කරල තියන මේ වාර්තාමය කෙටි චිත්‍රපටයෙ හයවෙනි විනාඩියෙදි ලබාගන්න පුළුවන්

    ඒ වගේම අසංඛ්‍ය යනු සංඛ්‍යාත්මක අගයක් නොවන බව, බටහිර දැනුම සරණ ගිය පෙරදිග ප්‍රඥ්ඥාව සිය දණහිස් මට්ටමෙන් පෙනෙන අසරණයින්ගේ දැනගැනීම පිණිස මෙසේ සටහන් කර තබමි.

    ReplyDelete
  7. @ටී.බී. හේරත්;

    [[ඒ වගේම අසංඛ්‍ය යනු සංඛ්‍යාත්මක අගයක් නොවන බව]]

    අපිත් කොහේදී හරි එකතු කර ගත්ත දැනුමක් මත කතා කරනවා මිසක්, පෙරදිග උන්නු ගණිතඥයින් [ඒ කාලේ] හම්බු වෙලා නැහැ. මට මතක හැටියට ඕක බොහොම ඉස්සර විදුසර පත්තරේක ද කොහෙද තිබ්බේ.

    අපේ නොතේරුම් කම් පහදා දෙනවනම් හොඳයි. අසංඛ්‍ය සංඛ්‍යාත්මක අගයක් නොවනව නම් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයේ කතාව කොහෙන් ආපු එකක්ද කියලා මට හිතුනා. මේ වගේ අවස්ථාවල හූ හූ තමුසේ දන්නේ නැහැ කියනවාට වඩා කරුණු පහදා දීම වැදගත් නොවේද?

    කොහොම උනත් අසංඛ්‍ය සංඛ්‍යාත්මක අගයක් නොවන එක මා ඉදිරිපත් කරන්න උත්සහ කල මිනිස් මොලයේ සංකීර්ණත්වයට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැහැ, මා පැහැදිලි කලේ මිනිස් මොලයේ තත්‍ය ස්වරුපය නොවේ. එය වෛද්‍ය විද්‍යාවෙන් පැහැදිලි විය යුතුයි. මට පෙන්නන්න ඕන කලේ එහි කැපෑසිටි එක සහ එය කෘතිමව හදන එකේ අපහසු කම ගැන විතරයි.

    වීඩියෝවට ස්තුතියි. ග්‍රාෆ් එක හරි වැදගත්. ඒත් මේක මේ අංශයේ පර්යේෂණ කරන හැමෝම පිළිගත් මතයක් නොවේ මා දන්නා තරමට. පහත සබැඳි වලින් ඇතැම් උදාහරණ ගන්න පුළුවන්

    http://www.cmaquest.com/2009/03/japanese-and-their-human-like-robot.html

    http://www.youtube.com/watch?v=kThr6CMLrvg&feature=related

    ReplyDelete
  8. අසංඛ්‍ය සංඛ්‍යාත්මක අගයක්ද නැද්ද කියන එක ගැන මට ඇත්තෙන්ම කිසිම අදහසක් නෑ, ඒක ලොකූ ගානක් කියන එක ඇරෙන්න...

    අනිත් අතින් සුජීව විස්තර කළ රොබෝවන් නිපදවීමේ තාක්ෂණය සම්බන්ධවත් මට දැනුමක් නෑ...

    හේරත්, ඔයා එකතුකළ විඩියෝවට ස්තුතියි, මේ නිෂ්පාදනය පිටුපස ඉන්න සැබෑ මිනිස්සුත්, මේ නිෂ්පාදනය ආ ගමන්මගත් ඒකෙන් බොහොම පැහැදිලිව පෙන්නනව...

    ReplyDelete
  9. මුලින්ම අපගේ නිදහස් අදහස් ඒ අයුරින්ම ඒ මොහොතේම පළ කිරීමට ඉඩ හසර ලබා දෙන මේ බ්ලොග් අඩවියේ ලියුම් කාරිය වන චේජනා මිය (මෙසේ හැඳින්වීම සදොස් නම් කරුනාකර මට සමා වී මා නිදොස් කරන්න )වෙත මගේ ශීර්ෂ ප්‍රණාමය පුදකරමි.

    වරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් කල්පයක් යනු කොයිතරම් කාලයක් දැයි එක්තරා භික්ෂුන්වහන්සේ නමක් විමසන ලදී. ඒහිදී භාග්‍යවත් බුදුරජානන් වහන්සේ දේශණා කොට ඇත්තේ කල්පයක් යනු වසර මෙපමණකැයි සංඛ්‍යාතමකව දැක්විය නොහැකි බවයි. එහිදී ඒ භික්ෂුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා උදාහරණයක් මඟින් කල්පය පිළිබඳව අදහසක් ලබා දිය හැකිදැයි කියා. උදාහරණයක් දැක්විය හැකි බව වදාළ බුදුන්වහන්සේ දේශණා කර සිටියේ,
    කල්පයක් යනු, යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස කුහර රහිත වූ මහා කළු ගල් පර්වතයක් සියවසකට එක්වතාවක් පමණක් කසී සළුවකින් පිරිමැද ඒ පර්වතය ගෙවී අවසන් වීමට ගතවන කාළයටත් වඩා දීර්ඝ කාලයක් බවයි.
    මේ පිළිබඳව සවිස්තර වශයෙන් සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ නිධාන වග්ගයේ අනමතග්ග සංයුත්තයේ පබ්බත සූත්‍රයේ දැක්වේ.

    කෙසේ වෙතත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහිදී අප කෙරෙහි මහා කරුණාවෙන් අවධාරණය කර සිටින්නේ අගක් මුලක් නොපෙනෙන බියකරු සසරේ අප කල්ප ගනනාවක් දුක් විඳි නිසා වහාම මේ බියකරු සසරින් අතමිදීම යහපත් බවයි.

    එනම් අප ළද මේ දුර්ලභ වටිනා මිනිස් ජීවිතයේදී කල්පයට ඇති බින්දු ගාන හෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයට ඇති බින්දු ගාන පිළිබඳ හෝ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනවාට වඩා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට වීර්ය්‍ය කර නිර්වානාවබෝධය ලබාගැනීම ඉතාම වැදගත් ය.

    නොදැනුවත් කම නිසා මිනිසුන් වැරදි කරති. එනමුත් ඒ වැරැද්දේ විපාකයෙන් අතමිදීමට එය කිසි විටෙකවත් හේතුවක් නොවන්නේමය. මා කිසිවිටෙකවත් පුද්ගලයෙකුගේ නොදැනුවත් කම අවඥාවට ලක්නොකරමි. යමෙකුට ඇත්ත ඇතිසැටියෙන් දැක්වීම ඒ පුද්ගලයාට කරන අවඥාවවක් ලෙස සලකන්නේ නම් එහි වගකීම ඔහු/ඇය සතුවන්නේමය.

    ඔබ සැමට උතුම් වූ චතුරාර්ය සත්‍ය වහ වහා අවබෝධ වේවා!

    ReplyDelete
  10. ආහ් මෙයාව නිපදවුයේ මොන අවුරුද්දෙ ද දන්නෑ.හොයල බලන්න ඕනේ ඔයා දීපු ලින්ක් 2 කේ :)

    ReplyDelete
  11. 2000 දි හැදුව කියල තමා කියන්නෙ, බලන්නකො..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...