Friday, August 19, 2011

සිතියම් පොතින් ලොව විමසා බලන සඳ...

එළියටවත් යන්න බැරි තරම්ම වැස්ස... හරියට නිරිත දිග මෝසමට අපේ ගෙදර පැත්තට වහිනව වගේ... ඉතිරිල පැතිරිල ගංවතුර ගලල තමයි ඒ වැස්ස ඉවර වෙන්නේ... ගිම්හානය නිමා කරන්න හිතාගෙන වෙන්න ඇති ජපානෙටත් ඒ වගෙම වහිනව අද... ජපන් කාලගුණයෙ තියෙන වෙනස හිටිගමන් වෙනස් වෙන්න පුළුවන්කම. ඊයේ සෙල්සියස් අංශක 37 ඉක්මවල රත්වෙල තිබ්බ ජපානෙ අද සෙල්සියස් අංශක විසිගණන් වෙනකම්ම බහින්න හදන්නෙ. කොහොමත් හවස වෙද්දි 22 ට විතර බහියි...

කම්මැලිකමට ගෙදරට වෙලා ඉඳෙද්දි කරන්න තියෙන එක වැඩක් තමයි සිතියම් පොතින් ලෝකය බලන එක...

---------------

ලෝකෙ දේශගුණ කලාප ගැන රට රටවල්වල දේශගුණේ ගැන පොඩිකාලෙ කොච්චර ඉගැන්නුවත් ඒව ගැන මගේ දැනීමෙ කොච්චර අඩුපාඩු තියෙනවද කියල මම දැනගත්තෙ ජපානෙට ආවම... ලංකාවෙ කාලෙන් කාලෙට වෙනසක් පැහැදිලිව නැති නිසා අනිත් රටවල වෙනස්වීම් ගැනත් මගේ අවධානයක් නැති වෙන්න නැති...ඒත් ඒ වෙනස්කම් මග අරින්න බැරි තරම් තදින් දැනෙද්දි ඒ ගැන මගෙ අවධානෙත් වැඩි වුණා... ඍතු වෙනස්වීම් ගැන පුංචි පුංචි කාරණා වගෙම ලොකුම ලොකු කාරණාත් මට මග ඇරිල තිබුණ...

මම තේරුම් අරන් නොහිටපු ලොකුම කාරණේ තමයි උත්තරාර්ධගෝලයට ගිම්හානය එද්දි දක්ෂිණාර්ධගෝලයට ශිශිරය එනව කියන එක...

උතුරු අර්ධගෝලය වැඩිම ආනතියකින් හිරුට මුහුණලාන දවස හෙවත් සූර්ය නිවෘත්තිය (Solstice) සිද්ද වෙන දවස ගිම්හානයෙ ඇරඹුම විදියට සටහන් වෙනවා...එදා උතුරු අර්ධගෝලයට දිගම දවල් දවස වගෙම දක්ෂිණ අර්ධගෝලයේ කෙටිම දවසත් ශිශිරයේ ඇරඹුමත් සටහන් කරනව...

මේ අවුරුද්දේ ජුනි 22 ජපන් වෙලාවෙන් පාන්දර 02.16 ට ගිම්හාන සූර්‍යනිවෘත්තිය...
ජුනි 21 වෙනිදා උතුරු අර්ධගෝලයේ බොහෝ රටවලට වසරේ දිගම දවස...
ජපානෙට නම් ජුනි 22... පැය 14 යි මිනිත්තු 34 යි තත්පර 39 ක් දිගයි දවසේ දවල් කාලය...
ඒත් සමකය ආසන්න රටවල් වුණු අපට ඒ දවස ඒ තරම්ම දිග වෙලා නෑ, පැය 12 යි මිනිත්තු 31 යි තත්පර 32ක් එදා දවල් කාලය ලංකාවට...
 

වසන්තය හා ශරත් කාලයන් උදාවෙන දවස් විදියට සැලකෙන්නෙ විෂුවය සිදුවෙන දවස්...සමකයත් හිරුත් එකම තලයේ රැඳෙන පෘථිවිය සූර්යයා දෙසට ආනතිය අංශක 0 ක් වෙන්නේ වසරකට දින දෙකක්, ඒ දින දෙක විෂුවය සිදුවෙන දවස් දෙක...

ඉතා පැහැදිලි ඍතු වෙනස්වීමක් සෞම්‍ය කලාපීය රටවලට හිමියි. ඒත් සමකාසන්න අපට එවැන්නක් නෑ... ඒත් මට මගෑරුණු තවත් කාරණාවක් එතනත් තිබුණ...අපට ටිකක් ඉහළින් පිහිටි බංගලාදේශය වගෙ රටවලුත් ඉතා පැහැදිලි ඍතු භේදයක් නැතත් කෙටි ශිශිරයක් අත්විඳින බව...අනිත් අතින් මැදපෙරදිග කියන වචනෙ ඇහැව්වත් ගිනිගෙන දැවෙන බව මතක් වෙන රටවලුත් කෙටි ශිශිරයක් අත් විඳිද්දි බංගලාදේශයට කෙටි ශිශිරයක් තිබීම ඒ හැටි පුදුම වෙන්න දේකුත් නෙවෙයි...

------------------------

සිතියම් පොතින් දැකපු ලෝකය ගැන දේශගුණය වගෙම මගේ කුතුහලය තවමත් අවුස්සන තැනක් දේශසීමා... ඉන්දියා බංගලාදේශ සීමාවෙ ගම්මාන අතරෙ සතිපොළවල් වගෙ දවස්වලට රටවල් දෙක අතරෙ මිනිස්සු යන එන තරම් සමීප සබඳතා තියෙන ගම් තියනවලු... නෑදෑයො වෙන ඔවුන් රටවල් දෙකක හිටියට සතිපොළට ඒ දේශසීමාව විවෘත වෙනවනං, ඒක මට අපූරු අදහසක් වුණා...
ඒ නිසාම දේශසීමාවක් ළඟට ගිහින් ඒක දිහා බලන් ඉන්න මට ආසයි...

දේශසීමා ගැන යාලුවො එක්ක කතාකරන්න ලැබෙන්න කලින් දේශසීමා ගැන මගෙ කුතුහලය මුලින්ම ඇවිස්සුවෙ ස්ටිව් බිකො සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකාවෙන් වටවෙච්ච ලෙසොතො දේශයේ, දේශසීමාව තරණය කරල අප්‍රිකාවෙන් පැනල ගිය හැටි කියවද්දි...

ප්‍රංශ ස්විට්සර්ලන්ත දේශසීමාවෙ කණුවක්...
දේශසීමාවල මම දැක්ක ලස්සන පින්තූර එකතුවක් මෙතන තියනව...

16 comments:

  1. මේ දවස්වල කොමෙන්ටර් බ්ලොක් එකකින් පෙළුනත් ඔයා ලියන මාතෘකාව අතහරින්න අමාරුයි.

    -----------

    [[සිතියම්]]

    මාත් ඉස්කෝලේ කාලේ සිතියම් පොතේ කාලේ ගත කරපු හොබී එක අදටත් ඉවර නැහැ. කම්මැලි හිතුනම විකිපීඩියාවේ ඔහේ කියවන්න මං ආසයි [දැන්නම් ඒ හැටි විවේකයක් එන්නේ එහෙමත් දවසක]

    -----------

    [[ඉර]]

    මටත් රෑ වෙනකම් ඉර නොබහින එක අත් වින්දම පුදුම හිතුණා. අපි ඔය ගැන කොච්චර දුරස් ද කිව්වොත් අපි කියන්නේ "බස්නාහිරින් ඉර බහිනවා වගේ ස්ථිරයි" කියලා. ගිහින් බලන්න ආක්ටික් ආසන්නයට. ජපානේටත් පෙනෙනවා ඇති නේද බුවා වටේ ගිහින් ආපු පැත්තෙන් ම බැහැලා යන හැටි.

    -----------

    [[ඍතු]]

    ඉන්දියාවේ ඍතු භේදය බෞද්ධ කතාවල පැහැදිලිව එනවා. ලංකාවේ අයට ඍතු නොතිබ්බට ඍතුවලට නම් තියෙන්නේ ඒකයි. හැබැයි මං අහලා තියෙන්නේ ඉන්දියාවේ තියෙන්නේ ඍතු තුනයි කියලා. වසන්ත, ගිම්හාන, වස්සාන [ෂුවර් නැහැ].

    ඔන්න ඔය වස්සානේ තමයි හාමුදුරුවරු වස් වසන්නේ. මට තේරෙන විදිහට අපේ රටේ හාමුදුරුවරු මෙතැනදී කරන්නේ "පරගැති" වැඩක්. මොකද ලංකාවේ වෙනම වස්සානයක් නැහැ. 24*365 වැස්ස වැටෙන්න අපට හේතු තියෙනවා.

    අනික මෙහෙ හාමුදුරුවන්ට වස් වසන්න තරම් මහා වැස්සක් වහින්නේ නැහැ. අරුනාචල් ප්‍රදේශ්, බිහාර් වගේ පැතිවල වාර්ෂික වර්ෂාපතනය මිමී 10000 විතර? හිමාලයේ සුළං මුහුණත [මුහුද පැත්තේ] තමයි ඒ. ඒ හේතුව නිසාම හිමාලයේ අනික් පැත්තේ ගෝබි කාන්තාරය දක්වා වියලි කලාපයක්. පුදුමයක් නැහැ බුදු හාමුදුරුවෝ වස් වසන්න කිව්ව එක ගැන.

    -----------

    [[කාන්තාරේ සීතල]]

    ගෝබි කාන්තාරේ වතුර නැහැ. ඒත් හිම වැටෙනවා. ඒ හිම කෙලින්ම වාෂ්ප වෙනවා ඒ තරම් වියලියි වාතය. එහෙ ඉන්න ඔටුවෝ ජලය සපයා ගන්නේ හිම කාලා. ඇටකාමා වල වතුර නැති නිසා, මුහුදෙන් ඉහල නගින වාෂ්ප [ඇන්ඩීස් වල සුළං මුහුණත දිගේ] වලින් ජලය හදා ගන්න ගස් තියෙනවා. ඒවායින් තමයි සත්තුත් යැපෙන්නේ.[බීබීසී ප්ලැනට් අර්ත් ඇසුරින්]

    ලෝකයේ වියලීම තැන [සැර ම කාන්තාරය] ඇන්ටාක්ටිකාවයි. ඒ කියන්නේ ස්ථිර හිම තට්ටුවක් තිබියදීත්.

    -----------

    [[දේශසීමා]]

    නැවත වතාවක් දූපත් වාසීන්ට මේවා මැජික්. මං තවම ක්‍රොස් කර නැහැ. මං භුමියේ දේශ සීමා ඇති රටක ඉඳලා තියෙන්නේ සති හයයි.

    ඔයා ගුවන් ගමන් වලදී දවල්ට ෆ්ලයි කරන කොට ජනේලෙට එබී ගෙන ඉන්නේ නැද්ද? මටනම් දිවාකල ගුවන් ගමනක් කියන්නේ ඩිස්නි වර්ල්ඩ් ගියාට වඩා සැපතක්. [කළු මුහුද උඩින් ආවා එක පාරක්. ඇත්තටම කළු මුහුද කළු පාටයි මධ්‍යධරනියට වඩා. විහිළුවට නොවේ කළු මුහුද කියන්නේ.]

    දේශ සීමා උඩින් යන බව තේරෙන්නේ මෙහෙම ෆොලෝ කරන කොට.

    ---------------

    [[දේශසීමා නොදැනීම]]

    1960 ගණන් වල චීනුන් ඉන්දියාව ආක්‍රමණය කරපු වෙලාවේ ඉන්දු චීන යුද්ධේ ඇවිලුනේ ඉන්දියාවේ ප්‍රත්‍යන්ත පලාතක. මං හිතන්නේ ඔය බංගලි දෙශේට උඩින් තියෙන අරුනාචල් ඇතුළු අතිශයින් ප්‍රත්‍යන්ත ප්‍රදේශයක. ඒ ගමේ ගම්මු දන්නේ නැහැල්ලු ඉන්දියාව හෝ චීනය ගැන. කොටින් ම තමන් ඉන්නේ මොන රටේ ද නැතිනම් රට කියන්නේ මොකද්ද කියලවත් නොදන්නා මේ මිනිස්සු මැද්දෙන් චීන රතු හමුදාවේ ට්‍රක් රථ ගමන් කරන කොට ඔවුන් බය වෙලා. වෙන්නේ මොකද්ද දන්නේ නැති නිසා. ගමටම තිබ්බ එක රේඩියෝව අයිති ගම් නායකයට. ඉතින් එහෙ ගිහින් කට්ටිය ඇහුවම නිව්ස් වලට කියනවලු ඉන්දියාවයි චීනෙයි යුද්දයක් කියලා. ගම්මු අහනවලු ඉතින් ඉන්දියාවයි චීනෙයි යුද්ධ කරනවා නම් අහවල් එකටද අපේ ගම අස්සේ එන්නේ කියලා. [තමන් ඉන්නේ ඉන්දියාවේ බව නොදැන]

    අදටත් පාකිස්තානේ හා ඇෆ්ගනිතානේ අතර ක්‍රියාත්මක බෝඩරයක් නැහැ. ඒ හරියේ ඉන්න [පුශ්තුන් වගේ නමක් ඇති] ගෝත්‍රිකයින් පාලනය වන්නේ ගෝත්‍රික සභා වලින්. එම සභා වලට දෙරටේම කොටස් අයිතියි. මේ තත්වය ලඟක් වෙනකම් තිබුනා ස්කන්ඩිනේවියානු "සාමි" [ආක්ටික් ගෝත්‍රයක්] වරුන්ට. හැබැයි අපට ජාතික අනන්‍යතාවය උගන්නුවට ස්කන්ඩිනේවියානු පොරවල් උන්ගේ අනන්යතාවයට අගේට කෙලියා. දැන් උනුත් අපි වගේ චාටර් කකා ඉන්නවා.

    ---------------

    [[ලෙසොතෝ]]

    රටකින් වට වෙච්ච රටවල් [enclave] ගැන කියවන්න.

    http://en.wikipedia.org/wiki/Enclave_and_exclave

    ඔතන තියෙනවා ඇතිවෙන්න විස්තර.

    ලෝකේ කොහෙවත් නැහැ ලොකු රටකින් වට වුනු තවත් ලොකු රටක්. හැමතැනම තියෙන්නේ මොකක් හරි බූදල් ප්‍රශ්නෙකට බෙදුවට සත්‍ය වශයෙන් ලොකු රටෙන් යැපෙන බොරු එන්ක්ලෙව් තමයි.

    ---------------

    [[නිරිත දිග අයගේ "මෝසම"]]

    ඔය නිරිත දිග මෝසමට අපේ [දැන් අපේ අම්මලාගේ] ගෙදර පැත්තටත් වහිනව නැතිවෙන්න ... ඉතිරිල පැතිරිල ගංවතුර ගලල තමයි ඒ වැස්ස ඉවර වෙන්නේත්. මේ සටහනේ හැටියට නම් චේජනා බොහොම ලඟපාත කෙනෙක්. මොකද ඔහොම උතුරන්නේ කළු ගඟයි බෙන්තර ගඟයි ගින්ගඟයි විතරයි. :)

    [බින්දී කිව්වා වගේ අපි තාමත් හොයන්නේ ගමේ අයව :)]

    ReplyDelete
  2. හැබැටම ලස්සන පෝස්ට් එකක් . මටත් එදත් අදත් හොඳ නොවූ පිස්සුවක් ඕක . තවමත් ඉඳහිට ළමයින්ට ගෙමා සිතියම් පොත පෙරලලා බලනවා . ඇත්තටම අපේ භූගෝල පාඩමෙන් මග ඇරිලා තියෙනවා ඔය උතුරු ,දකුණු සහිත කාල වෙනස . මමත් ඕක දැන ගත්තේ මේ මෑතක .

    සුජිවටත් ස්තුතියි දිග විස්තරයට . දේශ සිමා ගැන කියවනවානම් වියට්නාමය සහ චීනය අතරත් උදේ හවා කට්ටිය එහා මෙහා යනවා . කැම්බෝඩියා - වියට්නාම් බෝඩරය ත් ඒ වගේමයි . මිකොන් ගංගාව රටවල් හයක් හරහා ගලනවා හරියට මිනිසුන් සෑදු සීමාවන්ට ඔච්චම් කරමින් වගේ .

    ලස්සන පින්තුර ටික .

    ReplyDelete
  3. බොහෝම ස්තුතියි නංගී විස්තරාත්මක පොස්ට් එකට. සිතියම් පොත් අතරින් ගමන් යෑමේ පුරුද්ද මටත් තියෙනවා. අපේ රට දූපතක් වීම නිසා අපිට භූමි දේශ සීමාවන් ගැන එතරම් දැනෙන්නේ නැති වුනාට එකම භූමිකඩ බෙදෙන පෙදෙසක මිනිසුන් අතර තියෙන්නේ බොහෝ රසවත් මෙන්ම නිරස අත්දැකීම්. අසල්වැසි ඉන්දියාව හා පකිස්ථානය බෙදීම, නැගෙනහිර හා බටහිර බර්ලීන් බෙදීම, ජෙරූසලම ඉන් කිහිපයක්.

    සුජීවගේ සටහනත් ඒ වගේම විස්තරාත්මකයි, බොහෝම ස්තුතියි.

    ReplyDelete
  4. චේජනා..,
    ස්ටීව් බිකෝ නෙවෙයි ඩොනල්ඩ් වුඩ්සුයි දකුණු අප්‍රිකාවේ ඉදලා ලෙසතෝ දේශයට පැනලා ගියේ..
    ඔයාට නම් පැටලවීමක් වෙලා නේද..?? :-)

    ඇත්තටම ඔව්..මම දේශ සීමා තරණය කරපු හැම වෙලාවකම මගේ මතකෙට එන්නේ නම් ටෙලී පාලම මත ඇඳ තිබුනු දේශ සීමා වෙන් කරන ඉර මතින් පලමු පියවර තබන ඩොනල්ඩ් වුඩ්ස්ගේ දියණිය ජේන්වයි..
    ජර්මනිය,ඔස්ට්‍රියාව හා ස්වීට්සර්ලන්තය අතර දේශ සීමාවේ ඇති konstanz කියන්නේ විලක්.එහි ඉවුරු දෙක අතර විල මතින් ගමන එක තැනකදී රටවල් තුනක් අතර ගමනක්.
    එහෙම ගොඩක් තැන් යුරෝපයේදී හමු වෙනවා.. සමහර තැන් වලදී විනාඩි ගනනකදී දෙතුන් වරක් රටවල් දෙකක දේශ සීමා පහු කරන්නට වෙනවා..
    ගොඩ බිමේදී නම් දේශ සීමාවේ නිවාස වල රටවල් දෙකේම කොඩි ගහලා තියන තැනුත් මම දැකලා තියනවා..
    නෝර්වේ හා ස්වීඩන් දේශ සීමාවේ කඩවල බිලේ රටවල් දෙකටම අයත් මුදලේ ප්‍රමාණය වෙනම සදහන් වෙනවා. අනුපාතයත් සමඟ..
    ස්වීඩනයේ බඩු ලාබ නිසා කට්ටිය බෝඩරේට යනවා බඩු ගේන්න..
    මට මේ වගේ දේශ සීමා කතා බොහෝමයක් තියනවා කියන්න..:-)
    ආ තව දෙය ..කාට හරි ස්වීඩනයේ ඉදලා පින්ලන්තයේ හෙල්සින්කි වලටම යන්න වෙලාවක් නැත්තන් ෆෙරි එකේ ගිහිං දවසෙන් එන්න පුලුවන් පින්ලන්තයට අයත් ස්වීඩනයට ආසන්නයේ ඇති Maarianhamina කියන පුංචි දූපතට.. [මම ගිය රටවල් අතරට පින්ලන්තය එකතු උනේ එහෙමයි :-)]
    නෝර්වේ සිට ඩෙන්මාර්කයට ඇති දුර එක රැයකින් නිම කරන්නත් පුලුවන්.. මුහුදු ගමනකින්..

    --
    කමලිකා

    ReplyDelete
  5. [[තුන් මුළු]]

    මීකොන් ගඟේ ඉහල තියෙන අතුගන්ගාවක් එකතුවෙන තැනක රටවල් තුනක් තුන් පැත්තට බෙදෙනවා. මං බලපු ඩොකියුමන්ටරියේ බුවා බෝට්ටුවේ පාවෙමින් කියන්නේ නෝ මෑන්ස් රිවර් එකේ ඉන්නවා කියලා.

    [[හතර මුළු]]

    තියේද කොහෙවත්? මතක වෙන්නේ නැහැ. හිතේ තියෙන ලෝක සිතියම ස්කෑන් කළා.

    [[පාට පහේ ගැටලුව]]

    දන්නව නේද? විසඳලා නැහැ තවම.

    [[නෝර්වේ සිට ඩෙන්මාර්කයට ඇති දුර එක රැයකින් නිම කරන්නත් පුලුවන්]]

    පැය දහසය මාරයි තඩි ෆෙරියේ. අතිශයින් ම පට්ට. අපි ට්‍රේනින් ගිය වෙලාවක මේ චාන්ස් එක ලැබුනා.

    මේක මගදී ලිව්වේ ආපහු එන ගමන්.

    ඕක ලියන්න කලින් සන් සෙට් ෆොටෝ ගහලා ඩේක් එකෙන් එළවනකම් ම හිටියා. ඊට පස්සේ මගේ ඔෆිස් සගයට චිත්‍රපටියක් බලන්න [හපොයි මේ වෙන වැඩ නැතිවට] හිතිලා ගියා. නැවේ ඔක්කොම පට්ට බිසී, මං ඇලවෙලා උන්නේ තඩි ජනේලයක් ළඟ බන්කුවේ.

    ඩෙන්මාක් වල නවාතැන් දුන්න ගෙදර සුරතල් පොඩිත්තියක් උන්න නිසා ලංකාවේ දාලා ගිය මගේ එකී ගැන පුදුම හිත වේදනාවකින් උන්නේ [ඔය ගමන යනකම් හැමදාම රෑට නිදි කලේ මං]. අඩ අඳුරු මුහුදයි, ක්රාස් ක්රාස් ගාල වදින රැල්ලයි. ඈතින් නොකඩවා පෙනෙන ස්වීඩන් ගොඩබිමේ හා කෝපන්හේගන් පැත්තේ ලයිට් එලියි - පට්ට සීන් එක. නිකම්ම කවි ලියවෙනවා. ඕක ලිව්වේ ලීෆ්ලට් එකක පිටි පැත්තේ.

    කමලිකා ඉන්නේ කොහෙද?

    ReplyDelete
  6. [[ඉන්දු චීන උතුරු දේශසීමාව]]

    දන්නවද මෙතනින් යන බස් එකේ ඔක්කොගෙම පාස්පෝට් අරන් ගිහින් සීල් ගහන් එන්නේ කොන්දා. ඉතින් ඕන තරම් පොරවලට හොරෙන් පනින්න පුළුවන්.

    ඔබ වංචා කාරයෙක් නම් ගිය පාර ට්‍රෙස්‌ කරන එක නවත්තන්න ඉන්දියාවට ගිහින් මෙතනින් හොර පාරේ චීනෙට යන්න. ඊට පස්සේ ඕන තැනකට යන්න එහෙං.

    ඒ වගේම මෙතන ජොබ් එකක් තියෙනවා කරන්න. ඔබ ඉතාමත් කෙට්ටු නම්. ඉන්දියාවෙන් චීනේට ජැකට් ස්මගල් කරන්න. කෙට්ටු පොරකට ජැකට් දහයක් විතර අන්දලා ගිහින් විකුනලා එනවා. එවෙලෙම ගලවලා දෙන්නේ.

    මේ ලිව්වේ ඔය විශේෂ දේශසීමාව ගැන ටීවී එකේ දැකපුවා.

    ReplyDelete
  7. සුජීව, මම ලිව්වටත් වඩා කරුණු ගොඩක් කමෙන්ට් විදියට එකතු කළාට බොහොමත්ම ස්තුතියි...

    මුළු ජීවිත කාලෙම කියෙව්වත් කියවල ඉවරකරන්න බැරි තරම් විවිධත්වය...

    ඔයා හිතුව වගෙම මම ගාල්ලෙ, ඒත් අපිට ගලන්නෙ නං ගිං ගඟ නෙවෙයි, පොල් අතු ගඟ (වැලිගම, පොල් අතුමෝදරින් මූදට වැටෙන්නේ)

    ගුවන්යානා කවුළුවෙන් පහළ පේන ලෝකෙ දිහා බලද්දි නං මම චීන මහා ප්‍රාකාරය කියල සැක කරන්න පුළුවන් එකලුයි චීනෙයි, තායිලන්තෙයි එහෙම දැකල තියනව. ඒත් මගේ ආසාව තියෙන්නෙ, දේශසීමාවක් ගොඩබිමින් දැකල ඒකක් හරහා යන්න, මිනිස්සු නිතර හරහා මාරුවෙන්නෙ නැති දේශසිමා දකින්න එහෙම... මගේ ඒ ආසාවයි ඉස්ට වෙලා නැත්තෙ.

    ReplyDelete
  8. සුජීව, බින්දි

    ඔය සිතියම් පොතින් ලෝකය බලනව වගෙ ආසාවල් ඉවර වෙන ඒව නෙවෙයි. ඒ වගෙම ඒව ගැන චුට්ටක් වෙන කවුරුහරි කතා කැලත් සතුටුයි ඔය විනෝදාංශෙට හුරුවෙච්ච අයට.

    ReplyDelete
  9. ගල්මල් අය්යෙ, ඉන්දියා, නේපාල්, පකිස්තාන්, බංග්ලාදේශ් ඔය කවුරුත් දේශසීමා තියෙන කට්ටියනෙ,
    ඕවා කියද්දි මට මතක් වෙන්නේ මගේ අනිත් ආසාව, ඔය දේශසීමා පොඩ්ඩක්වත් ගණන් නොගන්න බ්‍රහ්ම පුත්‍ර ගඟ දකින එක.. :)

    ReplyDelete
  10. දේශ සීමා වැට කඩොලු නැති ලෝකයක් කවදා බිහි වේවිද ?

    ReplyDelete
  11. @චේජනා;

    [[ගම]]

    සමාවෙන්න සමහර ගංගා හලලා කිව්වේ. මං තරමක් මෙහා. බෙන්තර ගඟ අවට [හරි පැත්තේ] :)

    [[ප්‍රාකාරේ]]

    ආතර් සී ක්ලාක් කාරයා ලිව්වා තඩි බොරුවක් ඔය ප්රාකාරේ හඳට පෙනෙනබව. හැබැයි ප්ලේන් එකෙන් දැක්කනම් පට්ට ඇති නේද? මං හිතුවේ ඒත් ජපානේ යද්දී නම් ඕක අහුවෙන්න බැහැ නේද?

    [[ගුවනින්]]

    ෆුජියාමාව දැක නැද්ද ගුවනින්?

    තවත් මෙස්මරයිසින් සීන් එකක්. මලක්කාවට උඩින් පහළ මුහුද හා ඉවුරු දෙක පෙනෙන හැටි. මුහුද පුරා තිත් තිත් තිත් දහස් ගණනක්. සිංගප්පුරුවට ආපු නැව්. සිස්සු හැදෙනවා.

    [[බෝඩර්]]

    ඔය දේශසීමා ගැන මාව උනන්දු කළේ ටින්ටින් ලිව්ව හර්ජ්. අපි කොච්චර නම් බෝඩර් ක්‍රොස් කරන්න ඇද්ද ටින්ටින් එක්ක?

    ආ මට අමතක උනා. ඇයි මං ක්‍රොස් කලානේ අවනීතික දෙශ්සීමාවක්. යුද්ධේ උපරිම තිබ්බ කාලේ [2001] ට්‍රින්කෝ ට්‍රිප් එකක් ගොහින් කොටි පැත්තේ තිබ්බ නිලාවේලි බීච් හා පිජන් අයිලන්ඩ් ගියා. අපේ හමුදාව ඉන්න අන්තිම වළල්ලත් පැනලා, ගියේ, කොටින්ගේ අන්තිම රවුම පෙනෙන මානයක [නෝ මෑන්ස් ලෑන්ඩ් එකේ] හෝටලේ තිබ්බේ. වැඩ කරන අය නම් තනිකර කොටි.

    ආයිත් රටකට යන්න ලැබුනොත් එකක් ක්‍රොස් කරනවා පන එපා කියලා.

    ReplyDelete
  12. මට මතක විදියට දිගටම ලංකාවට එනව නං ශ්‍රී ලංකන් එයාලයින් චීනෙ උඩින් එනව...මට ඒක හරියටම කියන්න මතක නෑ,

    මම දැක්ක අමතකම නොවෙන දර්ශනය තමයි ගුවන් යානා කවුළුවෙන් ෆුජි...

    http://chejanas.blogspot.com/2010/08/blog-post_31.html

    ඔය පෝස්ට් එකේ උඩම තියෙන පින්තූරෙ මම එවෙලෙ ගත්ත එකක්... :)


    දේශසීමා ගැන අපේ උනන්දුව ඇතිවෙලා තියෙන්නෙම ලේකඛයො නිසා එහෙනම්.. ඉස්සෙල්ලත් කිව්ව වගේ මගේ හිතේ ඔය උනන්දුව ඇතිකළේ ස්ටීව් බිකෝ ගෙ කතාවෙ දි ඩොනල්ඩ් වුඩ්ස්...

    ආයෙම ගුවන් යානා කවුළුවෙන් දකින මාලදිවයිනත් ලස්සනයි, රෑ දවල් දෙකෙදිම..

    ReplyDelete
  13. "යුරෝපයේ හිම වටෙනා කාලෙට...
    සීතල සුවය ගෙනේ...
    ජපානයේ පිපි චෙරි මල් යුවලක්
    අප දැක තුරුලු වුනේ.."

    - ලතා / ධර්මදාස -

    ReplyDelete
  14. ඔබ හරි මේක මා හිතුවට වඩා කොරියාව දිහාට යනවා. ස්තුතියි දෙයක් ඉගෙන ගන්නට අවස්තාවක් ලැබුනට.

    ෆුජියාමා ඒ පින්තුරේ හරි ලස්සනයි. ෆුජියාමා නම් කොහොමත් ලස්සනයි.

    මං මාල දිවයින දැක නැහැ. අනිවා ලස්සන ඇති.

    ReplyDelete
  15. ඔන්න මාත් පටාන් ගත්තා. ෂෝට් කිව්වට දිග කතාවක්. අපි ඉන්න හදන්නේ ක්ලැසික් සම්මත කෙටිකතාව සමග.
    ------------

    පාලු කඩේ

    ReplyDelete
  16. මම දැන් නම් ඉන්නේ ලංකාවේ..:-)

    අපි ගිය දවස නම් අවුරුදු ගානකින් මුහුදේ තිබුන නරකම දවස වෙන්න ඇති.ඊට ඉස්සර වෙලා දවසේ නැවකින් කන්ටේනර් කීපයකුත් මුහුදට වැටිලා තිබුනා.. රෑ 9.30 ඉදලා පහුවදා පාන්දර 3 වෙනකන් කාමරේට වෙලා නිදා ගන්නයි උනේ.ඒ තරම් තද හුළඟක් තිබුනා. මට නම් මතක් උනේම ටයිටැනික් නැවේ හිටපු මිනිස්සුන්ට මොනවා හිතෙන්න ඇතිද ,දැනෙන්න ඇතිද කියලයි.
    හැබැයි ඉතිං සැලසුම් කර ගෙන ගිය විදියට උදේ 9 ඉදලා හවස තුන වෙන කොට බලන්න හිතාගෙන ගිය විශේශ තැන් ඔක්කෝම බලන්න නම් පුලුවන් උනා.සාමාන්‍ය යෙන් ගමනකදි ඒක කරන්න බැරි වෙනවා මට ..

    --
    කමලිකා

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...