Monday, August 15, 2011

ජීවත් වෙන දනන් ඇවිත් පාළු සුසානයෙ සරන්න...


සුවඳ දුමින් සුවඳ කවා
ඉටි පහනින් එළිදල්වා
ගඳින් මලින් පිදුම් ලබා
ජීවත්වන දනන් අතර 
තව එක දවසක් රැඳෙන්න
මළවුන් එන දවස අදයි
පාළු සුසානයෙ සරන්න


ජීවත්වුණ අතීතයේ
සිතින් බැඳුනවුන් බලන්න
වැළලී ගිය මතක අතර 
නිසංසලේ සැරිසරන්න
මළවුන්ගේ අවුරුදු දා
මළගිය ඇත්තන් වඳින්න
 ජීවත් වෙන දනන් ඇවිත්
පාළු සුසානයෙ සරන්න


අඳුරු රැයේ සුසානයේ නිසසල දිනයක් සසලයි
ජීවත් වෙන දනන් ඇවිත්  පාළු සුසානයෙ සරන්න...

15 comments:

  1. අදත් ආවාද නොරිකෝ ..

    දෙවොන්දරා සන් බලන්න

    හරිම ශෝකී රසයක් දැනුන චේජනා .

    ReplyDelete
  2. බින්දි සඳහන් කලා වගේ පදපෙලින් මතුකරන්නේ හරිම ශෝකාකූල ගතියක්.

    දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානය යටත්වීම ප්‍රකාෂයට පත් කිරීමත් දෙවැනි ලෝක යුද්ධය නිමාව සනිටුහන් කිරීමත් යෙදෙන්නේ 1945 අගෝස්තු 15. මං හිතන්නේ දිවි පිදූ යුදවිරුවන් වෙනුවෙන් පවත්වන (දේශීය) සැමරුම් අදට යෙදෙනවා ඇති, පදපෙළට එය මුල් වෙන්න ඇතැයි සිතේ.

    ඒත් ජපානයෙන් එපිට ලෝකයට වික්ටරි ඩේ.

    ඈත මුහුදු සීමාවෙන් ඉර බහින්න හදන වෙලාවක මුහුද අයිනේ ඇති කනත්තේ සොහොන් වෙත මල්, ඉටිපන්දම් ආදිය අරන් යන දසුන ජීවිතය ගැන බොහෝ දේ කියනවා. නොදැනීම දඩල්ල කනත්ත පැත්තේ මුහුදු වෙරලට ගියා.

    ReplyDelete
  3. සුසානය.. අඳුර... දුක්බර පද පේලි කීපය...

    හරිම පාලුවක් දුකක් එක්ක මළවුන් අතර ඉන්න හිතවතුන් මතක් කර දුන්න...

    ReplyDelete
  4. "එදා සෙනෙහෙන් නොබැඳුනානම්... මෙදා වියොවක් නෑ....."

    ReplyDelete
  5. ඊයෙ මළවුන්ගේ අවුරුදු දා (ඔබොන්)... ඉටිපහනක් දල්වපු බකට් ලාම්පුවකුත් පත්තුකරගෙන සොහොනට ඇවිත්, සොහොන් සෝදලා මල්, ඉටි පහන්, පැන් තියල හැමෝම හඳුන් කූරු මිටක් පත්තුකරල තියල වඳිනව...

    ජපන් විශ්වාසවලට අනුව මළවුන්ගේ ආත්ම ඊයෙ රෑ සොහොන් බිමට එනව... ජීවත්වෙන්නවුන් ඒ පූජාව කරන්නෙ ඔවුන් වෙනුවෙන්...

    අනිත් හැම රෑකම පාළුසුසානය ඊයෙ ජීවත්වන්නවුන් ගැවසෙන තැනක් වෙලා...ඔවුන් අතර ගැවසිලා ලබාගත්ත සේයාරූත් එක්ක මේ සටහන ඔබොන් ගැන මගේ අත්දැකීම මතකයට එකතු කරන්න

    ReplyDelete
  6. මළවුන්ගේ අවුරුදු දා ජීවත්වන්නවුන් සුසානයට ආවට සුසානයේ පාළු ශෝකී නිහැඬියාව නැතිවෙලා යන්නෙ නෑ...

    ReplyDelete
  7. ඇත්තටම චේජනාගෙ පදපෙලින් හිතේ මැවෙන්නෙ අමුතුම ශෝකී රසයක්.........මම ආසයි ඒ රසයට......" දුකම කොයි තරම් මිහිරක්දෝ" කියලත් තියනවනෙ.

    ReplyDelete
  8. මළවුන් ආපහු එනවායයි කියන්නෙ, ඔවුන් සම්බන්ධ අපේම මිහිරි මතකයන් ආපහු හිතට නැගෙන නිසා වෙන්නට ඇති. අහිමි වුණු දේ ගැන සිහි කිරීමට වෙන් කරගත් දිනයක් ගැන හරිම ශෝකාකූල කව් පෙළක්.

    ReplyDelete
  9. මළවුන්ගේ අව්රුදු දවසේ තමන්ගේ ගෙදර ඉදිරිපිට පහනක් දල්වනවා කියන්නේ ඇත්තක්ද?

    ReplyDelete
  10. අප අතරින් වියෝවුවන් සමරන මේ පද පෙළ හරිම අපුරුයි..චේජනා.

    ReplyDelete
  11. දුක හිතෙන කවි පෙලක් නංගි. මළවුන් ගැන සිහිකිරීම යුතුකමක් නේද? අපි අතරින් ඈත්වූ සොදුරු ජීවිත නැවත සිහිකිරීමට මේ වගේ දිනක් තිබීම වැදගත්. නිතරම සිහිවෙන එක අපේ ජාතියේ සිංහල කමත් නේ. වෙන ආගම් වලත් මේ දේ තියෙන්නෙ, ඒක මිනිස් දහම නිසාමයි.

    ReplyDelete
  12. සුසාන් භූමියට ඉඳහිට හරි යන එක ජීවත්වෙන මිනිස්සුන්ට හොඳ අත්දැකීමක්. නොමියෙන මිනිස්සු වගේ ජීවත්වෙන එක අඩුම ගන්නේ එක මොහොතකට හරි නවතිනවා..

    ReplyDelete
  13. Ano, ගෙදර ඉස්සරහ නං පහනක් පත්තු කරල තියනව දැක්කෙ නෑ, හැබැයි ගෙවල්වල ඉඳල එද්දි අමුතු හැඩයේ බකට් ලාම්පුවක් පත්තු කරන් ආවා, සොහොනේ ඉටිපහන් පත්තු කරල යද්දි ඒක නිවාගෙන ගියේ,

    මම හිතන්නෙ අතීතයෙ පාරවල්වල සුසාන භූමි ළඟටම ලයිට් නැති නිසායි, සොහොන්වල දල්වන ඉටිපන්දම්වලට එහෙම ගින්දර ඕනෙ නිසායි පුරුදු වෙච්ච පුරුද්දක් වෙන්න ඕනෙ, අදත් එහෙම්ම තියෙන්නෙ.

    ReplyDelete
  14. චන්දි අක්කෙ, මේක ජපන් බෞද්ධ විශ්වාසයක්. මළවුන්ගෙ ආත්ම සුසානයට එනව කියල හිතන එක.

    අද වෙද්දි ජපන් ජාතිකයො ආ තරම්ම ආගමට ලැදිව අදහන අය නොවුණත් ඔවුන් බොහෝ දෙනෙක් බෞද්ධ, ඒ වගෙම සංස්කෘතියත් එක්ක එන ඉපැරණි සම්ප්‍රදායන් තවමත් ක්‍රියාත්මක කරනව.

    ReplyDelete
  15. ලස්සනයි චේජනා !!! මාත් දැනට අවුරුදු දෙකකට කලින් මළවුන්ගේ ඇවුරුදු දා සොහොනට ගියා. මරණයට පත්වෙච්ච මිනිස්සු විතරක් නෙවේ සුරතල් සත්තු වෙනුවෙනුත් සොහොන් කොතක් එතන තිබ්බ. තමන් ලඟ ඉඳලා නැතිවුන බල්ලෝ, පූසෝ ගැන මතක් කරල ඒ සොහොන ඉස්සරහත් කට්ටිය වතාවත් කරන හැටි මම දැක්කා. ඇත්තටම ජපන් කට්ටිය මළවුන් ගැන සෑහෙන්ඩ විශ්වාස කරනවා.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...