Monday, August 1, 2011

සොයුරු බැම්මක බැඳී ආ මග...


කුඩාවුන් මල් වැනියයි බොහෝ දෙනා කීවද සමස්තයක් වශයෙන් ගත්කළ මම කිසිවිටක ඔවුනට ප්‍රිය කළේ නැත. ඊට පැහැදිලි හේතුවක් නැත ද, මා ඉතා කුඩා කල සිටම මගේ අම්මා බාලාංශ පන්තියේ නොකඩවා වසර විස්සක් පමණ උගැන්වීම ඊට හේතුව යයි බොහෝවිට මට හැඟේ. ඒ පන්තියේ කුඩාවුන් මට හැමවිටම පෙනුනේ මගේ අම්මා මගෙන් සොරාගන්නා කරදරකාරී සත්ව කොට්ඨාශයක් ලෙසමය. මට වයස දහසයක් පමණ වෙද්දී ද, ඔවුන් මගේ අම්මාගේ සාරිපොටෙහි දැවටෙනු දකිද්දී මට දැනුනේ ඊර්ෂ්‍යාවකි.

එවන් වූ කුඩාවුන් අතරින් සම්පූර්ණයෙන්ම මගේ ලෝකයට මුලින්ම ඇතුළු වූවේ මගේ මල්ලී ය. මට වඩා වසර පහකින් බාල ඔහු මගේ යයි හැඟීම ද, කුඩා කල මට වඩා හැමතින්ම දුර්වල සත්වයකු ද වූ නිසා ඔහු පිළිබඳව මට කිසිම ඊර්ෂ්‍යාවක් නොවීය. අම්මාට මල්ලී ලැබෙන්නට සිටි කාලය පිළිබඳව මතකයක් හෝ අවබෝධයක් නැත ද, අම්මා රෝහලේ නතර කළ තාත්තා පසුදින රෝහලට ගොස් පැමිණ අපිට මල්ලි කෙනෙක් සීටින බැව් කී හැටිද රෝහලට ගොස් අම්මාද මල්ලී ද ගෙදර ගෙනා හැටිද ගැන පුංචි මතකයක නොපැහැදිලි සටහනක් ඡායාවක් ලෙස හිතේ ඇඳී මැකී යයි. ඉතාම කුඩා කල මා අනුකරණය කරමින් මා සමග බෝනික්කන් සමග සෙල්ලම් කරමින් වැඩුන ඔහු තරමක් ලොකු වෙද්දී, මගේ සෙල්ලම් බඩු කඩා දමන්නට ද, රණ්ඩු සරුවල් වෙන්නට ද, ඉනුත් පසු යුගයක දෙදෙනා අතර රණ්ඩු බේරන්නට කිසිවෙක් මැදිහත් නොවන තරමට ද අප දෙදෙනා එකේනෙකා වෙත බැඳෙමින් වැඩුනි.

උසස්පෙළ පංතියට ඇතුළු වීමත් සමග ම මා නිවස හැරයන විටදීත් මල්ලී වසර එකොළහක කුඩා කොලුවෙකි. එ නිසාම අප දෙදෙනා සොයුරන් අතර බැඳීම හඳුනාගත්තේ එකිනෙකා ඇසුරේ නැතිව වැඩීමෙනි. අප සොයුරු සොයුරියන් වීමේ හැඟීම දැනෙන දා වනවිට අප දෙදෙනා එකිනෙකාගෙන් ඈත්ව ගොස් බොහෝකලක් ගතව ගොස් තිබුණත්, එය ලෙයින් බැඳුනු බැම්මක් නිසාදෝ එහි ගැඹුර අප ද නොදැනම හද පතුලේ නිදන්ව තිබිණ. නිවසේ කෙනෙකු තදින්ම අසනීප වූ විට ද, යමකට තදින් කම්පා වූ විට ද සොයුරු බැම්මක අගය වටහාගන්නට ද, රහස් කියන්නට හා රකින්නට ද කාලයත් සමගම සොයුරු පෙම අප දෙදෙනාටම උගන්වා තිබිණ.

හෙටට, බිළිඳකු ලෙස ඔහු අපේ ලොවට ඇතුළු වීමෙන් පසු ගතවී යන තවත් වසරක් සපිරේ. මල්ලියෙක් වී මගේ ලෝකයට පැමිණි ඔහුත් සමග යන මා දකින බොහෝ අයට ඔහු මගේ අයියා ලෙස පෙනෙන තුරු ම,  කාලය බොහෝ වෙනස්කම් සිදුකරමින් අප අතරින් ගලාගොස්ය. බොහෝවිට නැවතත් අප දෙදෙනා එක වහලක් යට ජීවත්වන්නට ලැබෙන දිනයක් උදානොවනු ඇත. ඉඳහිට සියල්ලන් නිවසේ හමුවන දිනයක පමණක් බොහෝ කාලයක එකතු කරගත් තොරතුරු කියාගන්නට ඉඩ ලැබෙනු ඇත. එහෙත් තවමත්, ඇතැම් දිනෙක ඔහුගේ සුරතේ එල්ලී හෝ මෝටසයිකලයක පිටුපස ගාල්ලේ හෝ කොළඹ නගරයේ සැරිසරද්දී ඔහුත් මාත් ඔබට ද මුණ ගැසෙන්නට ඉඩ ඇත.



17 comments:

  1. චේජනා අක්කාගේ මල්ලිට සුභ උපන්දියනක්....

    මාර ලස්සනයි අක්කේ, ​මගේ මල්ලිත් ඔහොම තමා. ඉස්සර මරා ගත්තට දැන් ඔක්කොම කියන්නේ මට.

    ReplyDelete
  2. මලයට සුබ පතනව .....................!

    ReplyDelete
  3. අනේ මං තනිකඩයෙක් නිසා සහෝදර බැඳීම් ගැන අත්දැකීම් නැහැ. ඒත් ඔයාගේ කතාව කියෙව්වහම මටත් නංගියෙක් හරි මල්ලියෙක් හරි හිටියනං හොඳයි කියලත් හිතෙනව. ඔය පින්තූරෙ ඉන්නෙ මල්ලිද?
    ඔයාගේ මල්ලිට සුභ උපන්දිනයක්!

    ReplyDelete
  4. mage jewite athule oya kiyana katawakma thiyanawa

    ReplyDelete
  5. ජීවිතයේ සුන්දර මතක වලින් පිරුණ ලමා කාලය හරිම ලස්සනට පෙළගස්සා ලියපු පොස්ට් එකක් නංගී. කාළයාත් සමඟ ඉදිරියට යන්න ඕනේ, ඒත් ඒ සුන්දර බැඳීම ඉදිරියටත් ඒ විදියටම රැකේවා.

    ඔබේ මල්ලීට සුබ උපන්දිනයක් පතනවා.

    ReplyDelete
  6. මමත් ඔබේ මල්ලිට සුභ පතනවා.

    ReplyDelete
  7. Dear Chejana,
    Nice article ....
    Wish your little brother a Happy B-Day !
    Cheers !
    -露

    ReplyDelete
  8. සොයුරු පෙම සදාතන,
    සම වූවක් මෙලොව නැත.

    A very happy birthday to your brother Chejana!!!

    ReplyDelete
  9. අපේ ගෙදර 4 දෙනයි .පැන්සලට මකන කෑල්ලට ගහ ගත්ත . ඒවගේම තමයි එක අඹ ගෙඩිය බෙදාගෙන කෑවෙත්.දැන්නම් මට අර රණ්ඩු මතක නැහැ . මතක හිටින්නේ හොඳ දේවල් විතරයි . කොච්චර හොඳද අපි 4 ක් වෙච්ච එක . උස මහත් වුනාම ..දරු මල්ලෝ ලැබුනම තමයි අගේ වැඩියම දැනෙන්නේ.
    ඔයාගේ මල්ලිට සුබ උපන් දිනයක් . ලස්සනට ලියල තියෙනවා හිතේ ඇති සහෝදර කම .චේජනා ඉක්මනටම ගෙදරින් වෙන්වෙලා වගෙයි.
    @පොත් ගුල්ලා ..ඇයි අල්ලපු ගෙදරම හිටියේ නෑනලා තුන් දෙනෙක් . ඔයාට මොන පාලුවක්ද.

    ReplyDelete
  10. සුබම සුබ උපන් දිනයක්.පතනවා..!!! ඔයාගේ ආදරණීය සහෝදරයාට.

    ඇත්තමයි..මේක කියවද්දී මටත් මගේ මල්ලිලා දෙන්නා එක්ක ගෙවපු ලමා කාලය මතක් වුනා.

    ෂා....කොලඹදී කෙසේ වෙතත්, ගාල්ලෙදි නම් මම ඔයාලව දැකලා ඇති.
    ඇයි ඉතිං..මමත් ගාල්ලෙ...නේ.

    ReplyDelete
  11. චෙජනා... ඔයාගෙ සටහන මගෙයි මල්ලිගෙයි පොඩි කාලෙ නැවතත් මතක් කලා... මගේ මල්ලි මට වඩා අවුරුදු දෙකයි වයසින් අඩු.. අපිත් පුන්චිම කාලෙ විතරයි එකට හිටියෙ මම හොස්ටල් එකට යනකොට මට එකොලයි එයාට නමයයි .. ඒත් පොඩි කාලෙ ඉඳන්ම එයාගෙ වීරය වුනේ මම... තාමත් එහෙමයි මහිතෙ... චූ කරගන්න බැරිවුනත් උගෙ නෑනට කෝල් කරල අහන්නෙ අයියගෙන් අහන්න මොකද කරන්නෙ කියල...

    ඔයාගෙ ලිපිය හරිම හෘදයාංගම අදහස් ගොන්න්නක්.... ඔයාගෙ මල්ලිට සුබ උපන් දිනයක් එක්කම... ඉකමනින් ඇහැට පෙන දුරින් ඉන්න ලැබේවා කියලත් පතනව...

    ReplyDelete
  12. සහෝදර සහෝදරියො ඉන්න කාටත් අඩු වැඩි වශයෙන් මට සමානම අත්දැකීම් තියෙනවනෙ ඒ ගොල්ලො ගැන,

    පොත්ගුල්ල වගේ තනිවම හැදිච්ච යටත් මීට ටිකක් හරි සමාන අත්දැකීම් ඇති නෙ ඉස්කෝලෙ හරි ගෙවල් ළඟ හරි සමවයස් යාලුවො ගැන.

    මට ඉන්නෙත් මේ කියන එකම එක මල්ලි විතරයි... එයාගෙ උපන්දිනේට සුබ පතන්න එකතුවුණ කාටත් බොහොමත් ම ස්තුතියි.

    ReplyDelete
  13. bindi,

    ගාල්ල දිස්ත්‍රික්කෙ තරමක් දුශ්කර ගමක ඉපදුන අපිට ඉගෙනගන්න ගෙවල්වලින් වෙන වෙන්න සිද්ද උනා, ස්කූල් වෑන් එකක සාමාන්‍ය පෙළ වෙනකන් ඉස්කෝලෙ ගියාට උසස් පෙළ කාලෙ පන්ති ගිහින් රෑ වෙලා අපේ ගෙවල් පැත්තට එන්න විදියක් නෑ, මම උසස්පෙළ කරල ගොඩක් කල් වෙලත් අදටත් ඒ ගමනාගමන අපහසුකම බොහෝදුරට එහෙම්මයි.

    ReplyDelete
  14. සපතේරු උන්නැහේ, අපි දෙන්නත් තාම එහෙම්ම තමා, මම ලංකාවෙ නොහිටියත් අපේ මල්ලි තවමත් මොක හරි තීරණයක් ගන්න අමාරු උනාම අහනව.

    ReplyDelete
  15. නිල් අහස,

    තවමත් මල්ලිත් එක්ක යනව නං මං ඉබේටම එයාගෙ අතේ එල්ලිල යන්නෙ, එයත් කිසිදවසක ලැජ්ජයි කියල එහෙම අතාරින්නෙත් නෑ, සමහර වෙලාවට එහෙම යන අපි දෙන්න ඔයාට මුණගැහිලත් ඇති.

    ReplyDelete
  16. චේජනා, මමත් ඔයා වගේම කෙනෙක්. මට මගෙ නංගිලා තුන්දෙනයි, මල්ලියි. මල්ලි ඉන්නෙ ඇමෙරිකාවෙ. එක නංගි කෙනෙක් මෙහෙ. එක් කෙනෙක් නැති උනා පිළිකාවකින්. අනෙක් නංගි,මැලේශියා වේ. ඒ උනාට මල්ලි මට වඩා ගොඩාක් බාල උනාට අපි අතරෙ ඇති බැදීම නම් ගොඩාක් ලොකුයි. ඒ ආදරයත් එහෙමමයි. ඔයාගෙ මල්ලියාට සුබ උපන් දිනයක් පතනවා සෙනෙහසින්ම.

    ReplyDelete
  17. ඔන්න මගෙනුත් ඔයාගෙ මල්ලිගෙ උපන්දිනේට සුභ පැතුම්!

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...