Friday, August 23, 2024

Entertainment industry

ලංකාවේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට කලාවේ වගෙම වේදිකා නාට්‍ය කලාවෙත් මම දැකපු පැතිකඩ කිහිපයක් ගැන තමයි අද ලියවෙන්නේ...ඒවා එහෙම වෙන්න හේතුව රට තුළ මේ කර්මාන්තය අසාර්ථක වීම ද එහි නියැලෙන්නන් වෘත්තිය නොවීම ද එහෙමත් නැත්නම් වෙනත් කරුණක් ද කියල මම ඇත්තටම දන්නෙ නැහැ.

මම දකින පැතිකඩ කිහිපය අතර ප්‍රධානම කරුණ, ලංකාවේ කලාකරුවන් කියල කියාගත් බොහෝ දෙනෙක් මේක කර්මාන්තයක් බව නිවැරදිව තේරුම් ගත්තෙ නෑ... ලංකාවේ ඉතාම ජනප්‍රිය වුණු ගායක ගායිකාවො කිහිපදෙනෙක් වගෙම නළුවොත් අන්තිමට තමන්ගෙ අවසාන කාලය ඉතා අසරණව ගෙවා දමන බව ජනමාධ්‍ය විසින් වාර්තා කළ අවස්ථා බොහොමයක් මම දැකලා තියෙනවා... ඒත් ඇත්තටම එය මුදල් ඉපයිය හැකි කර්මාන්තයක් නොවීමේ ගැටළුව ඇතිවුණේ කොහොමද? 

අනෙක් පැතිකඩ නළු නිළියන් යයි කියාගන්නා වෘත්තිකයන් හැර, වෘත්තිය ලෙසින් නිවැරදිව වෘත්තිය හැදෑරූ නළු නිළියන අපේ රටේ බිහි නොවන්නේ ඇයි? සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළින් බිහිවන උපාධිදාරීන් අතරින් කොටසක්වත් සාර්ථක ලෙස වෘත්තියේ නියැලුණේ නැත්තේ ඇයි?



අද වනවිට එම වසර තුළ රියැලිටි තරු ලෙස බිහිවන්නන් හා අවුරුදු කුමර කුමරියන් එක්වරම මතු වී නළුවන් වී නාට්‍යයක හෝ දෙකක රඟපා එසැණින් අතුරුදන් වන ක්‍රමයක් බිහිවී තියෙනවා... ඔවුන් සමහරෙක්ට රඟපෑම සඳහා කිසිදු හැකියාවක් ඇත්තේ ද නෑ... අනික, ඉතාම කිහිප දෙනෙක් හැර නළු නිළියන් ලෙසින් ඔවුන් සිය රූ සපුව පිළිබඳ කිසිදු උනන්දුවක් දක්වන බව ද පෙනෙන්නේ ද නෑ... සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන අපට වඩා වේගයෙන් ඔවුන්ගෙ රූ සපුව පිරිහෙනවා... නාට්‍යයට සම්බන්ධ වී ටික දිනකින් ඉතාම අවලස්සන ලෙස අධිකව තරබාරු වීමට පටන් ගන්නා ඔවුන් සිය තාරුණ්‍යයේ සිටියදීම එතරම් අවලස්සන ලෙස සිරුර සකසා ගන්නේ කොයි ආකාරයේ ජීවන රටාවක් ගත කිරීම නිසා දැයි මට හිතාගන්නවත් බැහැ... 

රූපවාහිනියේ පෙනී සිටීමේ ආශාව මුදුන්පත් කරගන්නා ක්‍රමයක් ලෙසින් නොව වෘත්තියක් ලෙසින් වෘත්තිකයන් ලෙසින් මේ කර්මාන්තය දැකීම අප අද හෙටම ඇරඹිය යුතුයි... එසේ නැතිනම් තව නොබෝ දිනකින් මේ කර්මාන්තය නැත්තටම නැතිවී යාම සිදු වේ යයි අපට සිතිය හැකියි...

අනෙක් අතින් ගීත කලාව ගත්විට ඉතාම හොඳ නිර්මාණ නව පරපුර විසින් බිහි කර තිබෙනවා... ඒ නිසා මේ රට තුළ හොඳ හැකියාවක් ඇති නිර්මාණකරුවන් නැති බැවින් සිදුවන්නකැයි සිතිය නොහැකියි...

Sunday, August 11, 2024

විනෝදාස්වාදය සොයායාම සහ Entertainment business

Entertainment එහෙම නැත්නම් විනෝදාස්වාදය මිනිස්සු ඉතාම ඈත අතීතයේ ඉඳලා හොයාගෙන ගිය දෙයක්... බොහොම අතීතයේ මිනිස්සු ලාම්පු, පන්දම් පත්තු කරගත්ත තාවකාලිකව පුරන්වුණ කුඹුරක හෝ කමතක හදාගත්ත වේදිකාවක් වටේ වටවෙලා, ගමේම මිනිස්සු එකතුවෙලා සංගීතය, රංගනය ආදී සියල්ල තමා විසින්ම කරගනිමින් පවත්වා ගෙන ගිය නාට්‍ය, නාඩගම්, කෝලම් ආදී රංගකලා එදා මිනිස්සුන්ට විනෝදාස්වාදය සැපයුවා... අද අපි නොයෙක් ආකාරයේ මති මතාන්තර දැරුවත් එදා යුගයේ පෙරහරක් වුණත් ගම්වල මිනිස්සුන්ට විනෝදාස්වාදය සැපයුණ අවස්ථාවක්... කොයි කවුරුත් සතුටින් ඒවාට සහභාගි වුණා...

නමුත් එදත් අදත් අතර විනෝදාස්වාදය සැපයීම හා ලබාගැනීම අතර වෙලා තියෙන වෙනස්කම් බොහොමයි... අද වෙනකොට අපි පොදු විනෝදාස්වාදය ලබාදෙන කටයුතුවලට ඒ කියන්නේ... මිනිස්සු එකතුවෙලා නාට්‍යයක් හදලා, ඒක පෙන්වන්න උවමනා කරන සියළු කටයුතුවලට මහන්සි වෙලා ලබන වින්දනය ලබන්න සූදානමක් නෑ... බොහෝ දෙනෙකුට ඊට කාලය ඇත්තෙත් නෑ... ජීවිතේ ඉතා දුෂ්කර වුණත් ගමක ඉපදීම නිසා මේ අත්දැකීම ලබන්න තරම් වාසනාවන්ත වුණ නිසා මම ඒ වගේ කටයුතුවලට සහභාගි වෙලා ලබන්න පුළුවන් වින්දනය ලබන්න වාසනාවන්ත වුණා... ගී ප්‍රසංග, වේදිකා නාට්‍ය, චිත්‍රපටවලට අමතර ව ජීවිතේ එකම එක වතාවක් මම හිටිවන කවි මඩුවකුත් බලලා තියේ...

අනෙක් ප්‍රධාන කාරණාව තමයි අද වෙනකොට අපි විනෝදාස්වාදය ලබන්න කරන බොහෝ දේ ඩිජිටල් තිරය මතට ගෙනත්... ටෙලිනාට්‍ය, චිත්‍රපට විතරක් නෙවෙයි කවිමඩුවක් වුණත් දැන් ඒවායේ බලත හැකි...තුන්වෙනි කාරණාව මේ වෙනකොට විනෝදාස්වාදය ලබාගැනීම හා සැපයීම අති විශාල කර්මාන්තයක්... ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් වාර්ෂික ආදායම් උපයන ව්‍යාපාර එහි මතුවෙනවා...

ඒත් දුක හිතෙන කරුණ නම් ලෝකය ඒ ව්‍යාපාරය තුළ ඉදිරියට යද්දි ලංකාව ඒ ව්‍යාපාරය තුළ පසුපසට ගමන් කිරීම... ලංකාවේ අද වෙනකොට නිෂ්පාදනය වෙන ටෙලිනාට්‍ය මගේ බුද්ධියට නිගා කරන නිසා කණගාටුවෙන් වුණත් මම ඒවා දැන් බලන්නෙම නෑ...ඒ හින්දාම හදිස්සියෙන් හැදෙන හොඳ දෙයක් වුණත් මගෑරිලාම යනවා...ඒත් ඉතින් විනෝදාස්වාදය සඳහා සුදුසු යමක් බලන්න තියෙන ආශාව නැති නොවුණ නිසා මගේ හිතේ ඇතිවුණ හිස්තැන පුරවන්න ඉංග්‍රීසි වගෙම නැගෙනහිර ආසියානු චිත්‍රපට හා ටෙලිනාට්‍ය බලන්න මම පුරුදු වෙලා...

මුලින්ම ලංකාවෙ හඬ කැවුණ කොරියානු නාට්‍ය දැකීමෙන් හරි, ඉඳලා හිටල Youtube  එකේ මතුවෙන කුඩා කොටස් නිසා හරි තමයි ඒවා මුලින්ම මගේ හිතට ඇතුල්වෙන්න ඇත්තේ...ඒත් දැන්නම් මම නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය බලන්න පුරුදු වෙලා... ඒවා හැම එකක්ම හොඳ නැති වුණත් තෝරා බේරා ගෙන බලන්න තරම් ඉතාම හොඳ කලාකෘති බොහොමයක් ඒ අතර තියෙනවා... අනික් වැදගත්ම දේ මම කැමති නෑ ඒවා සිංහලෙන් හඬ කවලා අහන්න... ඒවා ඒ නොතේරෙන භාෂාවෙන් අහන ගමන් උපසිරැසි බලලා තේරුම් ගනිද්දි මට කතා රසය වැඩියි...

විශේෂයෙන්ම Fantasy, Historical වර්ගීකරණ යටතේ එන ටෙලිනාට්‍ය හා චිත්‍රපට බලන්න මම හුඟක්ම ආසයි... 


අනික ඒවා ඉතාම වෙහෙස මහන්සි වෙලා නියම විදියට අවශ්‍ය පසුතල, වේශ නිරුපණය කරලා හදල තියෙනවා...මම හිතන්නේ ඒවා සංස්කරණය කිරීමත් අමාරු කාර්යයක් වෙන්න ඇති... අඩු පිරිවැයකින් නිෂ්පාදනයට තැත් කිරීම ලාංකීය විනෝදාස්වාද කර්මාන්තය බිඳ වැටීමට හේතුවුණ බව මගේ එක් මතයක්... ඒ වරද මේ ටෙලිනාට්‍ය සිදු කරන්නෙ නැති තරම්... 

අනික මාත් ඇතුළුව මම අදහස් විමසපු මගේ බොහෝ මිතුරන් දරන අදහසක් තමයි දැන් වෙනකොට මිනිස්සු කැමති සතුටු හිතෙන අවසානයක් දකින්න... මොකද සැබෑ ජීවිතයෙ තියෙන ප්‍රශ්න මදිවට අනුන්ගෙ ප්‍රශ්නත් කරදරවලින් අවසන් වෙනවා දැකලා හිත රිදවගන්න අපිට ඕනෙ නෑ... නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය මේ ප්‍රවණතාවය හොඳින් ග්‍රහණය කරගෙන තියෙනවා... අවාසනාවට හොඳ ටෙලිනාට්‍ය, චිත්‍රපට ලෙස ලංකාවෙ වර්ගීකරණය වුණ බොහොමයක් ඒවා දුක්බර අවසානයක් ගෙනාවෙ... නමුත් වර්තමාන ප්‍රේක්ෂකයන් ඊට ආකර්ෂණය වෙනව අඩු බව තේරුම් ගැනීමත් සාර්ථකත්වය සඳහා ඉතා  වැදගත්...

නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය උන්මාදයක් වගේ ලෝකය අරක්ගෙන... Netflix හරහා ලෝකය පුරා බිලියනයට වඩා නැරඹුම් වාර ලබාගත් නැගෙනහිර ආසියානු ටෙලිනාට්‍ය බිහිවෙලා තියෙනවා... චීනය වගේ ලොකු රටක් එක්ක අපිව සංසන්දනය කරන්න බෑ තමයි... ඒත් වඩා හොඳ ටෙලි නාට්‍ය හා චිත්‍රපට බිහි වෙනව නම් අපිටත් අපේ අනන්‍යතාව රැකෙන නිර්මාණ මගින් මේ කර්මාන්තය තුළ සරන අතිවිශාල මුදලින් පොඩිකොටසක් වත් ලබාගන්න තරම් දක්ෂ නිර්මාණකරුවො නැත්තෙම නෑ කියලමයි මට හිතෙන්නේ...


Monday, July 22, 2024

Being true to self

වගකීම් සහගත ලෙස නිදහස විඳීම එක්කම මා ඉතාම අගය කරන අනෙක් අවශ්‍යතාව, තමන් තමන් ලෙසින්ම එනම්, පුද්ගලයෙකුට අයත් පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත්වීමේ නිදහස හා සැහැල්ලුවයි... පුද්ගල අනන්‍යතාව රැකගෙන ජීවත් වීමේ නිදහස හා සැහැල්ලුව නැති කරගත් බොහෝ දෙනා මට දිනපතා මුණගැහෙනවා...විශේෂයෙන්ම රැකියා ආයතනයෙන් පිටතදීත් තමන් දරන තනතුරුවලට ගැලපෙන ලෙස ජීවත්වීමට උත්සාහ දරන විට හා රැකියාව තුළ ඉහළ යාමේ නොතිත් ආශාවෙන් ජීවත්වන බොහෝ දෙනාට තමන්ට තමන් ලෙසින් ජීවත් වීමේ සැහැල්ලුව මග හැරෙනවා... 

වර්තමානයේ තරගකාරී ජීවන රටාව තුළ අප බොහෝ දෙනකුට අමතකව ගොස් ඇති ඉතා වැදගත් කාරණාවක් වන්නේ අප රැකියාව කරන්නේ නිදහසේ සතුටින් ජීවත් වීම සඳහා මුදල් ඉපයීමට බවයි... රැකියාව කෙරෙහි ඉතා තදින් බැඳුන නමුත් අපට රැකියාව ජීවිතය කරගත හැකි වන්නේ නැහැ... අනෙක් අතින් ලබා ගන්නා වැටුපට සරිලන සේවයක් නොකරන්නේ නම් ඒ පුද්ගලයා එම රැකියාවට සුදුසු වන්නේත් නැහැ...මේ අන්ත දෙක අතර මැද සාධාරණව රැඳෙමින් රැකියාව කිරීම රැකියාවක් කිරීමේ අපේ අරමුණ ඉටු කරනු ඇති...


ඒ වගේම රැකියාව කරන අතර ම අප ජීවිතය ද ගෙවා දමන බව අමතක කළයුතු නැහැ...බොහෝවිට අප රැකියාවකින් සමුගන්නා විට වයස අවුරුදු හැටක්වත් සපිරී තිබෙනවා...ජීවිතය සතුටින් විඳීමට හැකි, සිරුර ශක්තියෙන් යුත් වයස අප ඒ වනවිට ගතකර අවසන් හෝ අවසන් කිරීමට ඉතා ළඟයි...ඒ නිසා රැකියා ඉලක්ක වෙනුවෙන් තමාට තමා නැතිකරගත් ජීවිතයක් ගත කිරීම නුවණට හුරුයයි මා සිතන්නේ නෑ... ඇතැම් පුද්ගලයන්ට රැකියා ස්ථානයේ දී තමා තමා ලෙසින්ම ජීවත්වීමේ හැකියාව හිමිවන්නේ නෑ... නමුත් රැකියාවත් ජීවිතයත් අතර වෙනස පැහැදිලිව සලකුණු කරගත්විට තමා ලෙසින් ජීවත් වීමේ හැකියාව අඩුම වශයෙන් නිවසේ දී හා තම සමීපතමයන් ඇසුරේදීවත් රඳවා ගත හැකියි...

රැකියා ඉලක්ක හෝ මුදල් ඉපයීමේ ඉලක්ක වෙනුවෙන්ම ජීවත්වීමට උත්සාහ දරන විට ඉබේම ඒ ව්‍යාජ මිනිසා තුළ සිරවී තමාට තමාව පවා අහිමිවුණ මිනිසුන් ද මා දැක තිබෙනවා...තමාට තමා අහිමි කරගෙන හෝ ඉලක්ක වෙත ළඟාවී ධනය හා බලය උපයාගත් විට සතුටු විය හැකිදැයි මා දන්නේ නෑ... නමුත් ව්‍යාජ මිනිසෙක් ලෙස, එනම් සිය පුද්ගල අනන්‍යතාව විනාශ කරගත් මිනිසෙක් ලෙස දිගු කලක් ජීවත්වීම ඉතාම පීඩාකාරි වනු ඇතැයි මට සිතෙනවා...ඒ නිසා තමාට තමා අහිමි නොකරගත් මිනිසෙක් ලෙසින් මියයාම මගේ ජීවිතයේ අරමුණයි...

Saturday, July 13, 2024

පෞද්ගලික මුල්‍ය කළමනාකරණය හා නිදහස

 

වැඩිහිටියෙකු ලෙස ජීවත්වීමේ දී වගකීම් සහගතව තම ජීවිතය පිළිබඳව තීරණ ගැනීම සඳහා තම මුල්‍යමය පැවැත්ම ඉතා වැදගත්... මුල්‍යමය අවශ්‍යතා සඳහා තවත් කෙනෙකුගෙන් යැපෙන විට අපට  නිදහසේ ජීවත්වීම අවස්ථාව බොහෝවිට ඉබේම අහිමි වෙනවා...

මුදල් ඉපයීම සම්බන්ධ ගැටළු බොහොමයක් ලාංකීය සමාජය තුළ මා දකිනවා... මුදලක් උපයන ස්වාධීන වැඩිහිටියෙක් නොවී ම තමනුත් නව පවුලක් ඇරඹීම ලාංකීය සමාජය තුළ මුල් බැසගෙන ඇති ගැටළුවක්... මුදල් උපයන්නේ නැතිව දෙමාපියන්ගෙන් යැපෙමින් නව පවුල ඇරඹීම  නිසා සිය ජීවිත කාලයටම බල පැවැත්වෙන ගැටළු ඇතිකරගත් පුද්ගලයන් මට මුණගැසී තිබෙනවා...ඔවුන් ඇතැම්විට පසුව මුල්‍යමය ස්වාධීනත්වය ළඟාකරගත්තත් එසේ නොවුණ යුගයේ පවුල් තුළ ට සිදු වූ අනවශ්‍ය අතපෙවීම් ඉවත් කරගැනීම පසුව අපහසුයි... වඩාත්ම ඛේදනීය වන්නේ කිසිදු ස්ථිර ඉපයීමක් නැති දෙමාපියන් දරුවන් තැනීමේදී දෙමාපියන් සහ දරුවන් එක්ව මුහුණ දෙන ගැටළුයි...

ඉතා ඉහළ උගත්කම් ඇති හා හොඳ ඉපයීමක් ලබන තරුණියන්ට පවා විවාහයෙන් පසු දෙමාපිය හා සහකරුගේ බලපෑම නිසා රැකියාව අත්හැර දැමීමට සිදුවීම... එපමණක් නෙවෙයි, දරුවන් රැක බලාගැනීම පිළිබඳ ගැටළු  පවා නැති ඇතැම් කාන්තාවන් ස්වාමියාගේ අකමැත්ත මත හෝ ඔහු හොඳින් උපයන නිසා නිවසේ රැඳීමට දක්වන කැමැත්ත ලාංකීය සමාජය තුළ  කාන්තාවන්ගේ මුල්‍යමය ඉපයීම් පිළිබඳ ගැටළු ඇතිකරනවා... යම්කිසි අවාසනාවන්ත සිදුවීමක දී එනම් හදිසි අනතුරකදී හෝ නිවසේ මූලික උපයන්නාට රැකියාව අහිමි වීමකදී ඔවුන් ඉතා අසරණ වනු ද මා දැක තිබෙනවා...

තමා වටා සිටින මිතුරු කවය හා අනෙකුත් නෑ මිතුරන්ට ප්‍රදර්ශනය කිරීම පිණිස තරගකාරීව කටයුතු කිරීම නිසා අනවශ්‍ය ලෙස වියදම් දරමින් සිය මුල්‍යමය පැවැත්ම විනාශ කරගැනීමත් මුල්‍යමය කළමණාකරණය පිළිබඳව සමාජය තුළ ඇති ගැටළු අපට කියාපානවා... මුල්‍ය කළමනාකරණය නරක නම් ඉපයීම කෙතරම් හොඳ වුණත් මුල්‍යමය නිදහස ලබාගැනීම ඉතා අපහසුයි...අනෙක් අතින් මධ්‍යම ප්‍රමාණයේ ඉපයීමක් මගින් වුණත් හොඳ මුල්‍යමය කළමනාකරණයක් ඇතිවිට මුල්‍යමය ස්වාධීනත්වය ලබාගැනීම පහසුයි... 

ඒ නිසා තම වැඩිහිටි ජීවිතය ඇරඹීමේ දී මුල්‍ය කළමනාකරණය පිළිබඳ දැනීම මොනයම්ම ක්‍රමයකින් හෝ ලබාගැනීම සඳහා දිරිගැන්වීමක් ලාංකීය තරුණ පරපුරට අත්‍යවශ්‍යයි... ඒ සඳහා කුඩා කල පටන්ම දෙමාපියන්ට ද දායකත්වයක් ලබාදිය හැකියි...

Wednesday, July 10, 2024

Responsible Freedom

මට හමුවුන ලෝකයේ බොහෝ රටවල්වල මිනිස්සු අතරෙ අඩුවැඩි වශයෙන් තමන් තමා වෙනුවෙන් ජීවත් වීමේ ආශාව මා දැක තිබෙනවා...ඒත් ලාංකීය අපේ ජීවන රටාව තුළ මට දැනෙන විදියට තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි තමන් වෙනුවෙන් ජීවත්වීම දිරිගන්වන්නේ නැතිකම...ලාංකීය සමාජය තුළ දෙමාපියන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, සහකරු හෝ සහකාරිය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම බොහෝ අගනා කටයුත්තක් ලෙසින් සැලකුණත් කෙනෙකුට තමන් වෙනුවෙන් ජීවත්වීම දිරිගන්වන්නට අපේ සමාජය මැලියි...

ජීවත්වන හැම මොහොතක්ම තමා වෙනුවෙන්ම ජීවත්වීම කළ නොහැකි වුණත් සෑම කෙනෙකුටම තමා වෙනුවෙන් ජීවත්වීමේ අයිතිය තිබෙනවා... තමා කැමති දෙයක් කිරීමේ අයිතියත් තිබෙනවා... තමා අකමැති දේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතියත් තිබෙනවා..කෙනෙක් ඒ අයිතීන් භාවිත කිරීම ඒ පුද්ගලයා හෙළා දැකීමට හේතුවක් නෙවෙයි...අනෙක් අතින් අපේ සමාජය තුළ තමා වෙනුවෙන් ජීවත්වීමේ අයිතිය දිරිගන්වන්නේ නැති නිසාම දෝ අපේ තරුණ දරුවන් තමා වෙනුවෙන් ජීවත්වීමේ අයිතිය භාවිතා කිරීමට තරම් ආත්ම විශ්වාසයක් දරන්නේත් නැහැ...


Source : https://www.psychologytoday.com/

මෙලොව ඇති සැම දෙයකම වාසි සහ අවාසි ඇති බව නියතයක්... තමා වෙනුවෙන් ජීවත්වීමේ අයිතිය හා නිදහස භාවිතා කළ සැනින්, එතැන් පටන් තමා ගත් තීරණවල වගකීම් දැරීමට සිදුවෙනවා... නමුත් දරුවෙක් වැඩිහිටියෙක් වන්නේ ඒ හැකියාව ලබාගත් විටයි...බොහෝ තරුණ දරුවන්ගේ ජීවිත කතා තුළ තමා වෙනුවෙන් ජීවත්වීම පිළිබඳ ගැටළු අසා සිටින විට මට මේ කාරණාව බොහෝ වේදනාත්මකව සිහිපත් වෙනවා... විශ්වවිද්‍යාල සිසුන් තුළ පවා තමා වෙනුවෙන් තීරණ ගැනීමේ හා ජීවත් වීමේ නොහැකියාව මා අත්විඳ තිබෙනවා...ඉතා ප්‍රමාද වී ඒ පිළිබඳව පසුතැවීමෙන් එය නැවත නිවැරදි කළ හැකි වන්නේ නෑ...

තමා වෙනුවෙන් ජීවත්වීම දොස් පැවරීමට තරම් වරදක් නොවන බවත්... තමාට තමා කැමති ලෙසින් ජීවත් වීම අයිතිය ඇති බවත් දරුවන් වැඩිහිටියන් වන විට තේරුම් යන්නේ නම් ජීවිතය හා යෞවනය මීට වඩා සොඳුරු වනු ඇතියි මට සිතෙනවා...

මට දැනෙන පරිදි වගකීම් සහගත නිදහස නොහොත් Responsible freedom යනු ජීවිතය තුළ කෙනෙකුට අත්විඳිය හැකි හොඳම දෙයයි...


Responsible freedom

It is the freedom to experience and express the existence of my being as a unique human. It is accompanied with responsibilities to myself as a single entity as well as to existence as a whole.

Source: https://www.psychologytoday.com/

Friday, July 5, 2024

ප්‍රේමයේ සැමරුම්...

සමාජ මාධ්‍ය විසින් මිනිස් ජීවිත තුළ ඇතිවන බොහෝ පැතිකඩ පාලනය කරන වර්තමානයේ ප්‍රේමය හා ජීවිතය උත්කර්ෂයට නංවා පෙන්වීම ද සමාජ මාධ්‍ය විසින් බොහෝ ඉහළින් සිදුකෙරෙනවා...

සමාජ මාධ්‍යයක් තුළට ඇතුළුවන බොහෝ විට උත්කර්ෂයට නංවා පෙන්වන ප්‍රේමණීය සැමරුම් බොහෝයි... විශේෂයෙන් ම ලාංකික සමාජය තුළ ඉතා අඩුවෙන් සමාජ කතිකාවතකට ඇතුළත් වූ විවාහයට පසුව එක්ව ජීවත්වන යුවලක් තුළ ඇති ප්‍රේමය ප්‍රදර්ශනයෙහිලා සමාජ මාධ්‍ය ඉතා ප්‍රබල භූමිකාවක් රඟ දක්වනවා... 

එක් පසෙකින් සිතන විට විවාහක යුවලක් තුළ ඇති ප්‍රබල බැඳීම හා ප්‍රේමය, ලාංකීය සමාජය හා සාහිත්‍යය තුළ කතිකා කෙරුණු අවස්ථා ඉතා අවම බැවින් ඒ ප්‍රවණතාවය සමාජය වෙත යොමු කෙරෙන බලපෑම ධනාත්මකයයි මා සිතනවා...

අනෙක් අතින් සමාජ මාධ්‍ය තුළ බෙදා හැරෙන ප්‍රේමය උත්කර්ෂයට නංවා පෙන්වන සමහර අවස්ථාවල සමහර ඡායාරූප තුළ සැබවින්ම ඇත්තේ ප්‍රේමයමදැයි මා මගෙන්ම අසනවා...

පුද්ගලිකව මට අනුව නම් ප්‍රේමය හැමවිටම උත්කර්ෂයට නංවා පෙන්විය යුත්තක් නොවෙයි....බොහෝ විට උත්කර්ෂයට නංවා පෙන්වන ප්‍රේමයට වඩා එසේ නොවන ප්‍රේමය ගැඹුරු යයි මා අත්විඳි අවස්ථා බොහොමයි...

රැකියාවක නිරත වන මට නම් උත්කර්ෂයට නංවා පෙන්වන ප්‍රේමයට වඩා විඩාබරව නිවසට එන මොහොතක මගේ සහකරු විසින් රසවත් ආහාර වේලක් පිළියෙළ කර තිබීම හෝ රෑ බෝවී නිවසට එන දිනෙක නින්දට යාමට පෙර කළයුතු නිවස හා මුළුතැන්ගෙය පිරිසිදු කිරීමේ කටයුතු කරදීම, ඔහු මට පෙම් කරන බව  මසිත සනහමින් සිහිපත් කරනවා....

උත්කර්ෂයට නංවා පෙන්වන ප්‍රේමයට ප්‍රිය සහකරුවෙක් හෝ සහකාරියක වෙනුවෙන් විශේෂිත සැමරුමකදී ප්‍රේමය උත්කර්ෂයට නංවා පෙන්වන සැමරුමක් ද ඉතා අගනා මතක සටහනක් විය හැකියි... 

ඉඳහිට ප්‍රේමය උත්කර්ෂයට නැංවෙන සැමරුමක් ප්‍රිය නමුත්, අප වෙනුවෙන් නම් අප එක් දෙයක් ස්ථිරවම පිළිපදිනවා... ඒ අපේ ප්‍රේමයේ සැමරුම අයිති අප දෙදෙනාට පමණක් බවයි... 


Monday, June 17, 2024

e-book නොහොත් ඉලෙක්ට්‍රොනික නවකතා හරහා වෙබ් නවකතා වෙත...

මම බාගත කරගෙන කියවිය හැකි  e-book නොහොත් ඉලෙක්ට්‍රොනික නවකතා කියවීම පටන් අරන් මම හිතන්නේ දැන් අවුරුදු 16ක් විතර ඇති කියලයි... බ්ලොග් ලිවීමට වඩා ඒ පුරුද්ද අවුරුද්දක් හෝ එකහමාරක් විතර පරණ ඇති...

Count of Monte Cristo, Morning Star වගේම She  - අදටත් මගේ ලෝකෙ ඉහළින්ම වැජඹෙන මේ පොත් තුනේම මුල් ඉංග්‍රීසි පොත් මම කියෙව්වෙ e-book විදියට...ඉංග්‍රීසි තේරීම අඩුකමයි, e-book වීමයි, ඒවයේ තියෙන අමුතු තාලෙ ඉංග්‍රීසියි එක්ක ඒව එහෙම කියවන එක කොච්චර අමාරු වුණත්, ඒවායේ සිංහල පරිවර්තන කියවල ඒවාට වහ වැටිල හිටපු මම 2008 ජපානෙ ඉගෙන ගන්න කාලෙ තිබුණ තනිකමත් එක්ක ඒවා කොහොම හරි ටික ටික කියෙව්වා... පොතක් කියවද්දි ඒකෙ අන්තිම වෙන්නෙ මොකද්ද කියල බලල පොත කියවන නරකම වර්ගයේ පාඨකයෙක් වෙන මට, සිංහල පොත් කියවපු ඒවායේ ඉංග්‍රීසි පොත් නිසා ඒ පොත්වල මම කැමති තැන් හොයාගෙන ආයෙ ආයෙ කියවන්න e-book වලින් ලැබුණේ ලොකු උදව්වක්...ඔහොම නොසැලෙන ධෛර්‍යයෙන් ඒවා කියවල ම තමයි මට ඉංග්‍රීසි නවකතා තේරෙන්න ගත්තෙත්...

ඔය අතරෙ scanned pdf  විදියට අන්තර්ජාලයේ තිබුණු සිංහල නවකතාත් මම අනන්ත ප්‍රමාණයක් කියවල ඇති...කොහොමත් පොඩි කාලෙ ඉඳලම අකුරු තියෙනව නං ඒවා කියවන එක පුරුද්දක් වුණ මට ඒවායෙ ස්වභාවය ඒ තරම් වැදගත් වුණෙත් නෑ... චාතුර්යා...සින්දූර් වගෙම තව ඔය අනන්ත මල් නවකතාත් මම ඒ දවස්වල කියවල තියෙනවා...

pdf විදියට භාගත කරගත් නවකතා කියවීමේ දී සිංහල පරිවර්තන නැතිව අලුතෙන්ම කියවපු ඉංග්‍රීසි පොත් අතරෙ මට අමතක නොවෙනම පොත් තුනම ලෝකෙ පුරාම ජනප්‍රිය වුණු නවකතා වගෙම චිත්‍රපටත් බිහිකළ Twilight series, Fifty Shades of Grey series සහ Me before You series...ඒ ඔක්කොම පොත් එකකට වඩා වැඩි ඒවා...

Fanfiction කියන ඒවා මගේ ලෝකෙට ආවෙ Twilight හරහා...මම මුලින්ම Fanfiction එකක් විදියට කියෙව්වෙ බෙලාගෙ පැත්තෙන් නවකතාවේ රචකයා (Stephenie Mayer) ලියන කතාව එඩ්වර්ඩ්ගෙ පැත්තෙන් කියන එකක්...පොත්වල මම කැමති නැති අවසානය මට ඕනෙ විදියට ලියන්න පුළුවන් කියල මම ඉගෙනගත්තා Fanfiction කියවලා... ඒකත් නියම අදහසක්... අපිට කැමති විදියට අපේ ලෝකෙ ඇතුළෙ නවකතා ප්‍රතිනිර්මාණය කරගැනීම...


වෙබ් නවකතා ලෝකෙ මුලින්ම ඇතිවුණේ 2000 දි විතර කියල අන්තර්ජාලෙයෙ තියෙනවා... ඒත් වෙබ් නවකතා මගේ ලෝකෙට ආවෙ 2018 විතර මම හිතන්නෙ...ඒ Fanfiction හරහා...

ඒත් මේ වෙනකොට වෙබ් නවකතා ලෝක සාහිත්‍යයට දැඩි බලපෑමක් කරන තත්වයට ඇවිත්... විශේෂයෙන්ම ආසියාවේ... වෙබ් නවකතා කිහිපයක්ම ඉතා සාර්ථක TV series බවට පත්වෙලා තියෙනවා...ඒ TV series ලෝකය පුරාම බිලියන ගණනක් ප්‍රේක්ශක අවධානය දිනාගෙන තවත් අති විශාල Fanfictions ගණනක් සමග තවමත් ඉදිරියට යන ගමන්...ඉලෙක්ට්‍රොනික යුගයත් එක්ක ඉදිරියට යන ලෝකෙ මින් ඉස්සරහට නවකතා ලෝකය තව දුරටත් වෙබ් නවකතා අතට පත්වේවි ද කියලත් මට හිතෙනවා...

වෙනස් වෙන ලෝකෙක හැමදෙයක් ම වෙනස් වීම විතරක් නියතයි...කොහොම වුණත් මගේ කියවීමේ පිපාසය නිවන්න වෙබ් නවකතාත් නරකම නෑ... ටිකින් ටික ඒවායේ ගුණාත්මක බවත් දියුණු වෙමින් වඩා පුළුල් පරාසයක කියවීම අත්දැකීමක් ලබාදෙන්න වෙබ් නවකතාවලටත් පුළුවන් වේවි...

https://www.forbesindia.com/article/lifes/in-asia-web-novels-are-writing-a-new-chapter-in-fiction/75807/1

Friday, June 14, 2024

කාලය මැව් වෙනසක අරුමේ...

මීට වසර 15 කට පෙර මා මුලින්ම චේජනාගේ පිටුව ලිවීම ඇරඹුවේ දුරු රටක තනිව ගෙවෙන ජීවිතයේ තනිකම මකන ක්‍රමයක් ලෙසින්... 

ඒ මා ජපානයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි කාලයයි... ඒ වනවිට ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු නවකතාවක් කියවා රස විඳීමට තරම් ඉංග්‍රීසි භාෂාව තේරුම් ගත නොහැකිකමත්, සිංහල භාෂාවෙන් ලියවුණු නවකතා හෝ අනෙකුත් කියවීමට තරම් කිසිවකුත් සොයාගත නොහැකිව සිටි මට බ්ලොග් අඩවි හමුවුණේ හරිම අහම්බයකින්...කියවීමට කිසිවක් සොයමින් සිටින විටක සිංහල බ්ලොග් මට දැනුණේ පවසට දිය පොදක් ලෙසින්... 



Source: https://stock.adobe.com/

එහෙත් ඉන් වසර 15 කට පසුව අද කියවීමට ඇති දේ අන්තර්ජාලය පුරා වැහි වැහැල...සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම...විශේෂයෙන්ම වෙබ් නවකතා සහ ඒවා පළ කිරීම වෙනුවෙන්ම වෙන්වූ වෙබ් අඩවි බිහිවීම අන්තර්ජාලය තුළ කියවීමට යමක් සොයන මිනිසුන් වෙත නොසිඳෙන උල්පතක් මෙන් අනේකවිධ මාතෘකා යටතේ අනේක විධ නවකතා ප්‍රමාණයක් නොමිලේ කියවීමේ අවස්ථාව ලබාදෙනවා... අද වනවිට සිංහල භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද නවකතා කියවීමේ හැකියාව මගේම මහන්සියෙන් මම ම උපයාගත් නිසා මේ වනවිට මට කියවීමට ඇති තරම් දේවල් ලැබිලා... 

අතට අසුවන ඕනෑම දෙයක් කියවීමට කුඩාකල පටන් මා තුළ තුබුණ ආශාව අදත් එලෙසම ඉතිරිව තිබෙනවා...එහෙත් අනෙක් සියල්ල මෙන්ම කියවීම හා බැඳුනු පුරුදු කාලයේ පරිවර්තනයට යටත් වෙලා... කියවීමට පොතක් වෙනුවට වෙබ් නවකතාවක් සොයා ගැනීමට මම දැන් පුරුදු වෙලා... 

අනෙක් අතින් තරුණ තරුණියන් අතීතයේ මෙන් නොව කිසිවක් නොකියවන බව පැවසුවත් වෙබ් නවකතා ඇති වෙබ් අඩවි සහ ඒවායේ පාඨකයන් සංඛ්‍යාව දෙස බැලූ විට මට ඊට එකඟ විය නොහැකියි... නමුත් නියාමනයකින් තොරව තමාට සිතෙන සියල්ල ලියා පළ කළ හැකි වීමේ නරක ප්‍රතිඵලත් තිබෙනවා... විශේෂයෙන්ම ඉන්  නව යෞවනයට පා තබන නොමේරූ තරුණ දරුවන්ට වන බලපෑම දෙමව්පියන් විසින් පාලනය කරගත යුතු වෙනවා... 

ඒ නමුත් නවකතාවක් ලිවීම මෙන් නොව, බ්ලොග් තමාට සිතෙන ඕනෑම මාතෘකාවක් යටතේ ලිවිය හැකි නිසා ඊට ඇති කැමැත්ත සහ එසේ ලිවීමේ නිදහස බ්ලොග් ලිවීම තුළින් මට හිමිවෙන නිසා මම ඊට තවමත් කැමතියි...එක්තරා යුගයක ඉතා ආදරණීය මිතුරන් කිහිප දෙනෙක් ජීවිතයට එක් කිරීම ද චේජනාගේ පිටුව විසින් සිදුකළ නිසා කොහොමටත් චේජනාගේ පිටුව මට කිසිදා අනෙක් කිසිවකින් ආදේශ කළ නොහැකි මගේ ජීවිතය තුළ ලැබූ අනන්‍ය අත්දැකීමක්...


Wednesday, June 5, 2024

ප්‍රේමය නම්...

"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයි" සුනිල් ආරියරත්නයන් ලියා තිබෙනවා. දිනක් මා බොහෝ වේදනාවෙන් සිටින මොහොතක සැබෑ ලෝකය තුළ ප්‍රේමය එසේ වන්නේ නැති බව  මගේ මිතුරෙක් මට පැවසුවා. එදා වනවිට "ප්‍රේමය නම්" කෙසේ වියයුතු ද යන පැනයට මගේ පිළිතුර මටවත් පැහැදිලි වී තිබුණා ද මන්දා... මට අද සිතෙනවා...

නමුත් මා ඒ වනවිටත් විශ්වාසයෙන් සිටි එක් දෙයක් වන්නේ ප්‍රේමය රාගයෙන් තොර නොවන බව තම පෙම්වතිය අකමැත්තෙන් කායික සම්බන්ධතාවක් කෙරෙහි පොළඹවා ගැනීමට භාවිතා කළ හැකි අවියක් නොවන බවයි...

අද දින මේ මොහොතේත් විවාහයට පෙර පවත්වන කායික සබඳතා සහ ඒ තුළ තිබිය යුතු වගකීම් සහගත ආරක්ෂාකාරී බව පිළිබඳව යෞවනත්වයට නිවැරදි වැටහීමක් ඇතැයි මට සිතෙන්නේ නෑ...විශේෂයෙන්ම බොහෝ යුවතියන් කායික සබඳතාවලට ස්ව කැමැත්තෙන් යොමුවනවාට වඩා පෙම්වතාගේ පෙළඹවීම මත ඊට යොමුවන බව පසුව ඇතිවන ගැටළු පිළිබඳව විමසන විට මට අවබෝධ වී ඇති අවස්ථා එමටයි...
අනපේක්ෂිත ගැබ් ගැනීමකින් පසු පෙම්වතා සමග විවාහ වුණු නමුත්... ඉන්පසු බොහෝ කලක් ගතවන තුරු එහි අතුරු ප්‍රථිඵල ලෙස විශාදය සමග ගනුදෙනු කළ යුවතියක් මට මේ මොහොතේත් සිහිවෙනවා...

කාලයත් සමග මා අවබෝධ කරගෙන ඇත්තේ ප්‍රේමය රාගයෙන් තොර විය යුතුම නැති නමුත්... ප්‍රේමය එකිනෙකාගේ කැමැත්තට ගරු කරන්නක් විය යුතුමයි. එකිනෙකා ගේ කැමැත්තට ගරු කරන, සිය අනාගත සහකාරියගේ ගෞරවය සුරැකීම සිය යුතුකම බව අවබෝධ කරගත් මිනිසුන් ජීවිත ගමනක් දිගු කලක් ගෙනයා හැකි සහකරුවන් බව මා සිතනවා...

ප්‍රේමය රාගයෙන් තොර විය යුතුද නැත් ද පිළිබඳව විනිශ්චය මට අයත් නෑ... නමුත් ප්‍රේමය නම් කුමක් ද යන්න පිළිබඳව වටහා ගෙන තමාට තම ජීවිතයේ වගකීම් දැරිය හැකි ආකාරයට ප්‍රේමය හැසිරවීම වඩා සාර්ථක හා තෘප්තිමත් ජීවිතයක පදනම යයි මා සිතනවා... 




Wednesday, May 29, 2024

ඔබ දැකුමෙන් යලි ජීවත් වන්නට... සිත් විය කප් අග හිරු පායන තුරු...

ඔහු හමුවන දින වනවිට බොහෝ යුවතියන් මෙන්ම මා ද යෞවන ප්‍රේමය අත්විඳ තිබිණ.

ප්‍රේමය යයි මා සිතූ මා පැතූ සියල්ල ප්‍රේමය නොවන බව ඉතා වේදනාත්මක අත්දැකීම්වලින් වටහා ගෙන සිටි නමුත් ඒවා වේදනාත්මක අත්දැකීම් මිස ජීවිතයට සහකරුවකු උවමනා නොවන බව සිතීමට තරම් ඒවා මසිත රිදවා, මා බිඳවා දැමූයේ නැත.

නමුත්, මට ඔහුව මුලින්ම මුණගැහුණේ ඉතාම සාම්ප්‍රදායික ලෙසින් මංගල යෝජනාවක් සමගිනි. අඳුරුපැහැ සමක් හා බැඳුනු සුන්දරත්වයට කවදත් ආශා කළ මසිත මුලින්ම ඔහුගේ රුවට ඇලුණු බව සඟවාගන්නට මට ඇවැසි නැත. රුවට බැඳෙන බාහිර ආකර්ෂණයක් ප්‍රේමයම විය යුතු නැති බව මා දන්නා නමුත් අද ද ඔහු රුවට ඇති ඇල්ම මා සිත එලෙසින්ම පවතී. 

රුවට ඇළුන සිත ඔහුට බැඳුනේ, ඉතාම පැහැදිලි අයුරින් නමුත්, පුරසාරම් දෙඩවීමක් නොවන ලෙසින් ඔහු සිය අනාගත බලාපොරොත්තු මා සමග බෙදා හදාගත් මොහොතේය. සිය දිවිය මා හා, මගේ සහකරු ලෙසින් ඉදිරියට ගෙනයාමේ ඔහුගේ අප්‍රකාශිත සිතුවිලි ඔහු තුළින් මා කියවූ බැවිනි. 

කවදත් ඉතා නිදහස් ලෙස ජීවත් වූ, මගේ ජීවන වියදම මා විසින් ඉපයූ මා, කිසිදින මා වෙනුවෙන් ස්වාමි පුරුෂයෙකු බලාපොරොත්තු වූයේ නැත. මා සෙවූයේ ජීවන ගමන යන්නට සහකරුවෙකි. ඔහු මා සෙවූ ජීවන ගමන යන්නට සුදුසු ම සහකරු බව ඔහු මට නිහඬවම ඒත්තු ගන්වා තිබිණ. නිදහසේ ජීවත් වීමේ මගේ ආශාව හොඳින් අවබෝධ කරගත් ඔහු මා අකමැති කිසිවක් මගේ ජිවිතය තුළ මා කළ යුතු යයි නොසිතීය. 

ඔහු එතරම් දොඩමළු මිනිසෙක් නොවේ. ප්‍රේමය උත්කර්ශයට නංවා මා ආකර්ෂණය කරගත් මිනිසකු ද නොවේ. නමුත් ඔහු සහකාරියකට විය යුතු පරිද්දෙන් ආදරය හා ගෞරවය දැක්වූ මිනිසෙක් විය. ඔහු හා නොබියව තුන් මසකින් විවාහ වීමට මා පෙළඹුනේ ඇයිදැයි මා අද ද නොදන්නා නමුදු ඔහු නිහඬවම මසිත විශ්වාසය ජනිත කළ බව මම අද ද සිතමි. 

අප හමුවූයේ මංගල යෝජනාවක ප්‍රථිඵලයක් ලෙස වුණු නමුත්, අප විවාහවන බව තීරණය කළේ එක්තරා දිනෙක තනිව හමුවූ අප දෙදෙනා විසිනි. තුන් මසක ඇසුරකින් විවාහයකට ගිය අප වෙනුවෙන් ඉන් ඉදිරියට විවාහ ජීවිතයක් ගොඩනගා ගැනීමේ දරුණු අභියෝග සහිත  කාලච්ඡේදයක් ගොඩනැගෙමින් තිබිණ. 

මාත් ඔහුත් අතර විවාහය සිදුවුණේ ඔහුගේ ජීවිතයේ විශේෂිත කාලපරිච්ඡේදයක් තුළය. ඒ වනවිට රටින් පිටව යාමේ අදහසින් සිය රැකියාවෙන් ඉල්ලා අස්වී සිටි ඔහු සිය ජීවිතයේ ආර්ථිකව අස්ථාවර කාලයක් ගතකරමින් සිටියේය. අපගේ විවාහයත් සමගින් ඒ අදහස අත්හළ ඔහුට නව රැකියාවක් සෙවීමට සිදුවිය. විවාහයෙන් දෙමසක් තුළ ඔහු නව රැකියාවක් සොයා ගත්තත් ඉතා කාර්යබහුල ජීවිතයක් ඉන් ඇරඹිණ. 

රැකියා ස්වභාවය නිසාම මසකට වරක්වත් නිවසට නො එන සහකරුවකු හා මම ජීවන ගමන ඇරඹුවේ මන්දැයි ඉන් අනතුරුව මා සිතූ වාර ගණන අනන්තය. ජීවිතය කිසි විට රෝස මල් යහනක් නොවීය. නමුත් විවාහය යනු එක් වරක් පමණක් මා ඊට ඇතුළත් විය යුත්තකැයි සිතා තිබූ මා ජීවිතය යහපත්ව ගොඩනගා ගැනීමේ අපමණ සටනට ඇතුළත් වුණෙමි. හඳුනන නොහඳුනන බොහෝ දෙනෙක් ඒ සටනට උදව් දුන් බව මා සටහන් කළ යුතුය...

නමුත් විවාහයක් ගොඩ නැගීම විවාහයකට ඇතුළත්වීමට වඩා බොහෝ අපහසු විය... එකම සැනසීම වූයේ විවාහය ගොඩනැගීමේ ලා ඔහු දැක්වූ අවංක උත්සාහය පමණි.




Tuesday, May 28, 2024

ආලය ප්‍රේමය රාගය නැති දා... මේ මනුලෝකය කෙලෙස ද පවතින්නේ...

චේජනාගේ පිටුව ඇරඹුනේ ද ජීවිතයේ එක පරිච්ඡේදයක මා තනිව ජීවිතය ගතකරන මොහොතකයි... නැවත ද ජීවිතයේ මා තනිව ගතකරන පරිච්ඡේදයක මගේ සිතුවිලි අකුරු කර නිමවන සොඳුරු මතක සටහනක් නිර්මාණය කරගැනීමේ ලා චේජනාගේ පිටුව නැවතත් ලියන්න මට සිතිලා... 

තනිව ජීවිතය ගත කිරීම එක්තරා විටෙක භාවනාවක් මෙන් ද තවත් විටෙක දුෂ්කර ක්‍රියාවක් මෙන්ද දැනෙනවා... නමුත් තනිව ජීවත් වීමෙන් ලැබෙන අත්දැකීම් ජීවිත ගමන ඉදිරියට යද්දී ගැටළු අභිමුව නොසැලී හිඳීමේ පන්නරය ද ලබාදෙනවා... ලොව ඇති සෑම දෙයක් මෙන්ම එයද සොබාදමේ නීතියට යටත්... එය සම්පූර්ණ්යෙන් ම ධනාත්මක නොවන අතර එය සම්පූර්ණයෙන්ම ඍනාත්මක වන්නේත් නෑ...

පාළුව, තනිකම වැනි හැඟීම් ද නිවිසැනසිල්ලේ විඳිය හැකියි... අනිත් අතින් සියළු මානව හැඟීම්වල පොදු ලක්ෂණය වන්නේ ඒවා එක් මොහොතක විඳිනු ලබන තීව්‍රතාවය කාලයත් සමග අඩුවීයාමයි... මේ හැඟීම් මෙම මෙහොතේ විඳින තීව්‍රතාවය අද සටහන් නොකළහොත් පසුව ඒවා කාලච්ඡේද ලෙස මතකයේ පවතිනු මිස එදා විඳි හැඟුම් ලෙසින් දැනී යාම නවතිනවා... 

 කෙසේ නමුත් විවාහයක් අරඹා පුරා දසවසරකටත් වඩා පවත්වා ගෙන යාමෙන් පසු මා නැවතත් තනිව... 

මා හා ජීවන ගමන යන්නට පොරොන්දු වූ ඔහු ලෝකයේ ඈත කෙළවරක තනිවත්... ඔහු හා ජීවන ගමන යන්නට පොරොන්දු වූ මා ලෝකයේ තවත් කෙළවරක තනිවත් ජීවන ගමන ගෙනයනවා...

සන්නිවේදනය බොහෝ දියුණු බැවින් එදා චේජනාගේ පිටුව අරඹන දිනවල තිබූ තනිකම අද නොදැනුනත්... ජීවන ගමන එක්ව යන්නට පිළිණ දුන් සහකරු ළඟ නැතිවිට දැනෙන තනිකම අද මසිත වෙලාගෙන...

එසේ තනිව සිටින අනන්ත සහකාරියන් අතරින් මා එක් අයෙකු පමණයි...

එනමුත් ජීවන ගමන එක්ව යන්නට පිළිණ දුන් සහකරු අතපොවන මානයේ නොමැති තනිකම සහ විවාහයක් පවත්වා ගෙන යාමේ රෝසමල් අතුළ මාවතක නොපැමිණි අනාගතයේ ද නොපැමිණෙන බව දන්නා ජීවන කතාවේ සටහන් මෙහි ලියවෙනවා...

හරියටම ඔහු හමුවී තුන්මසකින් මාසිත බැඳුනු ඔහු හා විවාහ වී දසවසරක් අනේක සිදුවීම් මැද ගතව ගිය විවාහ ජීවිතයක මතක සටහන් මෙහි සටහන් වනු ඇති...

අනෙක් අතින් කවදා හෝ දිනක අප නැවත එක්ව සිටින විටෙක අප වෙන්ව සිටි කාලයේ මට දැනුන තනිකම මට සිහිකරන සටහනක් ලෙසත් එය වෙබ් අවකාශයේ රෑඳී පවතිනු ඇතයි මා සිතනවා...

ඔහුත් මාත් වසර කිහිපයකට වෙන්ව සිටීම මගේ අකමැත්තෙන් ඔහු ගත් තීරණයක් නොවේ... විවාහයකින් දෙදෙනෙක් බැඳෙන නමුත් ඒ දෙදෙනා  තම ජීවිතය පිළිබඳව තවත් බලාපොරොත්තුත් ඇති දෙදෙනෙක් බව අවබෝධ කර ඔහු මා හා විවාහවීමට පෙර සිටම සිය වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමේ කඩයිමක් ලෙස මහත් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් සඳහා අප වෙන්ව සිටීමක් පමණයි... 

ඒ තීරණය ගැනීමේදී ඔහුට එකඟවීම හෝ නොවීමේ තීරණය ගැනීම සඳහා මට බලපෑවේ ද කරුණු දෙකක් පමණයි... ඒ මගේ වෘත්තියට ආදරය කරන මා මගේ වෘත්තීය සාර්ථකත්වය ළඟා කරගැනීමට ගත් පියරවල්වලදී ඔහු සැබෑම සහකරුවෙකු ලෙසින් මා දිරිමත් කළ බවත්... දිනෙක සිය වෘත්තීය සාර්ථකත්වය ලැබූ, ජීවිතය පිළිබඳව තෘප්තිමත් මිනිසෙකු ලෙසින් ඔහු සිය දිවිය අවසන් කරනු දැකීමේ මගේ ආශාවත්...

එබැවින් මා ගත් තීරණය පිළිබඳ පසුතැවිල්ලක් නැතත් ඉන් පාළුව තනිකම හා එහි වේදනාව නැති වන්නේ නෑ...නමුත් එය මිහිරියාවක් පිරුනු නිරන්තර වේදනාවක්...

ප්‍රේමය සැමවිටම උත්කර්ෂයට නංවා ප්‍රදර්ශනය කරන හැඟීමක් වියයුතුම නෑ... එදිනෙදා ජීවිතයේ ඉතා කුඩා ක්‍රියාවකින් හෝ එක් ආදරණීය ඇමතුමකින් ඉතා උත්කර්ශවත් යමකින් ලබාදිය නොහැකි තෘප්තිමත් බවක් කෙනෙකුට ලබාදිය හැකියි...

ප්‍රේමය වයින් වැනියයි මා කොතැනක හෝ කියවා තිබෙනවා... පරණ වන තරමට ප්‍රේමය රසවත්...



Monday, May 27, 2024

කෙලෙස අදහා ගනිම්දෝ දෙවොල ඇතුළේ පහන් සොරකම් කරන බව දෙවියන්...... දේවතා එළියෙන්......


ගොඩාක් කාලෙකින් ආපහු... තනිකම විසින් ආයෙම චේජනාගේ පිටුව ළඟට ගෙනත්...

මෑත කාලයේ මා දුටු අපූරු ගී පද රචකයෙක් විසින් රචනා කළ ගීයක්.. ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි..

මට කියන්න තියෙන හැම දෙයක්ම ගී පදවලින් කියවෙන ගීයක් නිසාවෙන් ම චේජනාගේ පිටුවේ ගීතය සටහන් වෙනවා...

දිසාපාමොක් ඇදුරුතුමනේ...

තක්සලාවෙන් යන්න අවසර...

හොඳම සිසුවිය නොවී මගහැර

රැගෙන යන්නම් කුමරි බඹසර


පුරා සූසැට කලා අබරණ 

රන් පදක්කම් දිනා ගෙල පළඳන් 

උපාධියෙ කළු කබායෙන් 

කෙසේ සඟවම් රතු පළස් මත 

තිබෙන කඩතොළු තැන්...


උපදවා බැති පෙම් හැඟුම් 

නොරිදවා ගුරුසිත අකුරු කරමින්..

කෙලෙස අදහා ගනිම්දෝ 

දෙවොල ඇතුළේ පහන් සොරකම් කරන බව දෙවියන් 

දේවතා එළියෙන්....


ගී පද සටහන් කළ පසු මට කියන්න කිසිවක්ම ඉතිරි නෑ....



Entertainment industry

ලංකාවේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට කලාවේ වගෙම වේදිකා නාට්‍ය කලාවෙත් මම දැකපු පැතිකඩ කිහිපයක් ගැන තමයි අද ලියවෙන්නේ...ඒවා එහෙම වෙන්න හේතුව රට තුළ ...