චේජනාගේ පිටුව ඇරඹුනේ ද ජීවිතයේ එක පරිච්ඡේදයක මා තනිව ජීවිතය ගතකරන මොහොතකයි... නැවත ද ජීවිතයේ මා තනිව ගතකරන පරිච්ඡේදයක මගේ සිතුවිලි අකුරු කර නිමවන සොඳුරු මතක සටහනක් නිර්මාණය කරගැනීමේ ලා චේජනාගේ පිටුව නැවතත් ලියන්න මට සිතිලා...
තනිව ජීවිතය ගත කිරීම එක්තරා විටෙක භාවනාවක් මෙන් ද තවත් විටෙක දුෂ්කර ක්‍රියාවක් මෙන්ද දැනෙනවා... නමුත් තනිව ජීවත් වීමෙන් ලැබෙන අත්දැකීම් ජීවිත ගමන ඉදිරියට යද්දී ගැටළු අභිමුව නොසැලී හිඳීමේ පන්නරය ද ලබාදෙනවා... ලොව ඇති සෑම දෙයක් මෙන්ම එයද සොබාදමේ නීතියට යටත්... එය සම්පූර්ණ්යෙන් ම ධනාත්මක නොවන අතර එය සම්පූර්ණයෙන්ම ඍනාත්මක වන්නේත් නෑ...
පාළුව, තනිකම වැනි හැඟීම් ද නිවිසැනසිල්ලේ විඳිය හැකියි... අනිත් අතින් සියළු මානව හැඟීම්වල පොදු ලක්ෂණය වන්නේ ඒවා එක් මොහොතක විඳිනු ලබන තීව්‍රතාවය කාලයත් සමග අඩුවීයාමයි... මේ හැඟීම් මෙම මෙහොතේ විඳින තීව්‍රතාවය අද සටහන් නොකළහොත් පසුව ඒවා කාලච්ඡේද ලෙස මතකයේ පවතිනු මිස එදා විඳි හැඟුම් ලෙසින් දැනී යාම නවතිනවා...
කෙසේ නමුත් විවාහයක් අරඹා පුරා දසවසරකටත් වඩා පවත්වා ගෙන යාමෙන් පසු මා නැවතත් තනිව...
මා හා ජීවන ගමන යන්නට පොරොන්දු වූ ඔහු ලෝකයේ ඈත කෙළවරක තනිවත්... ඔහු හා ජීවන ගමන යන්නට පොරොන්දු වූ මා ලෝකයේ තවත් කෙළවරක තනිවත් ජීවන ගමන ගෙනයනවා...
සන්නිවේදනය බොහෝ දියුණු බැවින් එදා චේජනාගේ පිටුව අරඹන දිනවල තිබූ තනිකම අද නොදැනුනත්... ජීවන ගමන එක්ව යන්නට පිළිණ දුන් සහකරු ළඟ නැතිවිට දැනෙන තනිකම අද මසිත වෙලාගෙන...
එසේ තනිව සිටින අනන්ත සහකාරියන් අතරින් මා එක් අයෙකු පමණයි...
එනමුත් ජීවන ගමන එක්ව යන්නට පිළිණ දුන් සහකරු අතපොවන මානයේ නොමැති තනිකම සහ විවාහයක් පවත්වා ගෙන යාමේ රෝසමල් අතුළ මාවතක නොපැමිණි අනාගතයේ ද නොපැමිණෙන බව දන්නා ජීවන කතාවේ සටහන් මෙහි ලියවෙනවා...
හරියටම ඔහු හමුවී තුන්මසකින් මාසිත බැඳුනු ඔහු හා විවාහ වී දසවසරක් අනේක සිදුවීම් මැද ගතව ගිය විවාහ ජීවිතයක මතක සටහන් මෙහි සටහන් වනු ඇති...
අනෙක් අතින් කවදා හෝ දිනක අප නැවත එක්ව සිටින විටෙක අප වෙන්ව සිටි කාලයේ මට දැනුන තනිකම මට සිහිකරන සටහනක් ලෙසත් එය වෙබ් අවකාශයේ රෑඳී පවතිනු ඇතයි මා සිතනවා...
ඔහුත් මාත් වසර කිහිපයකට වෙන්ව සිටීම මගේ අකමැත්තෙන් ඔහු ගත් තීරණයක් නොවේ... විවාහයකින් දෙදෙනෙක් බැඳෙන නමුත් ඒ දෙදෙනා තම ජීවිතය පිළිබඳව තවත් බලාපොරොත්තුත් ඇති දෙදෙනෙක් බව අවබෝධ කර ඔහු මා හා විවාහවීමට පෙර සිටම සිය වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමේ කඩයිමක් ලෙස මහත් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් සඳහා අප වෙන්ව සිටීමක් පමණයි...
ඒ තීරණය ගැනීමේදී ඔහුට එකඟවීම හෝ නොවීමේ තීරණය ගැනීම සඳහා මට බලපෑවේ ද කරුණු දෙකක් පමණයි... ඒ මගේ වෘත්තියට ආදරය කරන මා මගේ වෘත්තීය සාර්ථකත්වය ළඟා කරගැනීමට ගත් පියරවල්වලදී ඔහු සැබෑම සහකරුවෙකු ලෙසින් මා දිරිමත් කළ බවත්... දිනෙක සිය වෘත්තීය සාර්ථකත්වය ලැබූ, ජීවිතය පිළිබඳව තෘප්තිමත් මිනිසෙකු ලෙසින් ඔහු සිය දිවිය අවසන් කරනු දැකීමේ මගේ ආශාවත්...
එබැවින් මා ගත් තීරණය පිළිබඳ පසුතැවිල්ලක් නැතත් ඉන් පාළුව තනිකම හා එහි වේදනාව නැති වන්නේ නෑ...නමුත් එය මිහිරියාවක් පිරුනු නිරන්තර වේදනාවක්...
ප්‍රේමය සැමවිටම උත්කර්ෂයට නංවා ප්‍රදර්ශනය කරන හැඟීමක් වියයුතුම නෑ... එදිනෙදා ජීවිතයේ ඉතා කුඩා ක්‍රියාවකින් හෝ එක් ආදරණීය ඇමතුමකින් ඉතා උත්කර්ශවත් යමකින් ලබාදිය නොහැකි තෘප්තිමත් බවක් කෙනෙකුට ලබාදිය හැකියි...
ප්‍රේමය වයින් වැනියයි මා කොතැනක හෝ කියවා තිබෙනවා... පරණ වන තරමට ප්‍රේමය රසවත්...
No comments:
Post a Comment
මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...