Wednesday, February 6, 2013

??

 සතියට දවස් පහක් දවසකට පැය තුනක් හතරක් බස් එකේ ගත කරන මට බස් ගැන, බස් කොන්දොස්තර කොළුව ගැන කතා කරන්න නැත්නං තමයි පුදුමේ... මගීන්ට කරදරයක් නැති කොන්දොස්තරවරු, මහාම කරදරයක් හිසරදයක් වුණ කොන්දොස්තරවරු වගෙම මගීන් එක්ක බොහොම සාමකාමීව සන්තෝසෙන් ගමන යන කොන්දොස්තරවරුත් අප්‍රමාණයි...

ඒ එදා කොන්දොස්තර කොළුවම තමයි... බස් එක ස්ටෑන්ඩ් එකේ... බස් එකට නගින්න මම දොර ළඟ... දොර හරස් කරගෙන කොන්දොස්තර කොළුව හිඟන ගෑනු කෙනෙක් එක්ක රණ්ඩු වෙනව... හිඟන ගෑනු කෙනත් අතාරින්නෙ නෑ... බස් එකට නගින්නමයි කල්පනාව... කොළුවත් ඒ වගෙමයි... නගින්න දෙන්නෙම නෑ... මිනිත්තු කීපෙකින් කතාව ඉවරයි... කොළුව කෑගහනව...පැරදුන හිඟන ගෑනු කෙනා ඈතට යනව... මම බස් එකට නගිනව... ඒ එදා කොන්දොස්තර කොළුවම තමයි...

මේ කොළුව බොහොම පුංචියි... Fun loving... මේ කොළුව එක්ක මට අමනාපෙකුත් නෑ.. වලියකුත් නෑ...නිතර යන එන මගීන් එක්ක බොහොම හිතවත්... මාරුසල්ලි දෙන්න බැරි වුනා කියල අමනාපයක් නෑ... අද බැරි නං හෙට හරි ඉතිරි සල්ලි ගන්න පුළුවන්... ඒ විතරක් නෙවෙයි හැන්දෑවට බස් එකේ ගමනාන්තෙ කිට්ටු වෙද්දි රුපියල් පන්සීයක් දාහක් මාරු කරගන්න වුණත් අමාරුවක් නෑ... ඒ විතරකුත් නෙවෙයි බස් එකෙන් බැහැගන්න අමාරු වයසක කෙනෙක්ට බෑග් එකක් වුණත් බිමින් තියල දෙන්න මේ කොළුව ටක් ගාල ඉදිරිපත් වෙනව...

මේ කොන්දොස්තර කොළුවට මගීන් එක්ක කිසිම ඇයි හොඳයියක් නෑ... ඉතිරි සල්ලි කීයක් හරි වංචා කරගන්න පුළුවන් නං ඒකත් කරනව... ඒකත් කමක් නෑ... ඔක්කොමට වඩා අමාරු බස් එක දුවන්නෙ පාර තමන්ගෙ වගේ... බස් එකත් තමන්ගෙ වගේ... ඩ්‍රයිවර් කෙනෙක් නෑ වගේ... කොන්දොස්තර කොළුවක් වේගෙන් යං කිව්වම වේගෙන් යනව.. කොට කොට යං කිව්වම කොට කොට යනව...

මේ හැම කොන්දොස්තර කොළුවටම හිතවතුන් ඉන්නව...හිනා වෙන්න දන්නෙම නෑ කියල හිතුවට ඉඳල හිටල හිතවතෙක් එක්ක්ක හිනාවෙවී කතා කරනව... අර මුස්පේන්තු ගති අතෑරල... බස් එකේ යන මගීන් එක්ක නිතරම රණ්ඩු වෙන්න බලාගෙන ඉන්න කොන්දොස්තර කොළුවටත් හිතවතුන් ඉනන් එකනෙ වැඩේ...

කොයි වෘත්තියට ගියත් අපිට අපේ පුද්ගලිකත්වය පුද්ගලික ගතිගුණ අතාරින්න බැරි බවද කොන්දොස්තර කොළුව මට කියන්නෙ...හිතුවක්කාර දඩබ්බර කොළුවෙක් මේ වෘත්තියට ගියාම මගීන් එක්කයි අනිත් බස් එක්කයි රණ්ඩු වේගෙන තමන්ගෙ බස් එක දුවද්දි, ඊට වඩා ටිකක් මෘදු කොළුවෙක් මේ වෘත්තියට එකතු වුණාම මගීන් එක්ක රණ්ඩු නොවෙන, මගීන්ට නොබනින  කොන්දොස්තර කොළුවෙක් වෙනවද?

කොයියම්ම වෘත්තියක්වත් එයට බැඳෙන්නාගේ පුද්ගලිකත්වයෙන් ස්වායත්ත නැද්ද? මිනිස්සු... ඒ මිනිස්සුන්ගෙ ජීවන රටා, එයාලගෙ පෞරුෂත්වයේ විවිධත්වය මේ ඔක්කොම එකතුවෙලා වෘත්තිකයා නියෝජනය කරනව...

එහෙම නං.. ඒකෙ අනිත් පැත්ත...

වෘත්තිය විසින් එය කරන්නා හික්මවනවද කියලත් ප්‍රශ්නයක් තියෙනව... වෘත්තියක් එය කරන්නාට ඇසුරට ලැබෙන මිනිස් කණ්ඩායම තීරණය කරනව බොහෝ අවස්ථාවලදි... එතකොට...

එහෙම නං හැඟීම් දැනීම්වලින් පාලනය වෙනවට වඩා මුදල් ඉපයීම හා නීතිය මගින් පාලනය වෙන රටවල්වල බොහොම ආචාරශීලී යයි හැඟෙන නමුත් යාන්ත්‍රිකව හැසිරෙන ස්තුතිවන්තවන උදව් කරන කොන්දොස්තරවරුන් රැඳෙන්නෙ රැකියා සුරක්ෂිතබව ඔහුගේ ආචාරශීලීබව මත රඳා පවතින හින්දද?
හැම බස් නැවතුමේම බහින මිනිස්සුන්ට, සල්ලි දානකොටම, "අරිගතෝ ගොසයිමස්" කියන ඔහු සිය පුද්ගලිකත්වයෙන් මිදුන වෘත්තිකයෙක්ද එහෙනං...

6 comments:

  1. මේක කියව්වහම ගොඩාක් දේවල් මතක් උනා.අපි පාසැල් යන කාලෙ හිටිය සිරි කොන්දා කියල කොන්දොස්තර කෙනෙක්. එයා හරිම කරුණාවන්තයි . අනුලාවෙ පිළියන්දල බස් එකේ හිටිය කෙනා. අපි ටිකක් පරක්කු උනත් ඉන්නව එනකල්. එහෙම අය දැන් ඉන්නවද කියල සැකයි. මේ සමාජ පරිහානියත් එක්ක ආව දේවල්. පොඩි පුතා ගන්න ගිය වෙලාවක කොහුවල හන්දියෙ මාව බසයෙන් වැටුනෙ මේ රේස් අස්වයන් නිසා. එදා සිට බසයක යන්න ප්‍රාණ බයයි. අපේ මහත්තයාට ජපානෙ දී අපේ අම්මා වගේ වයසක කෙනෙක් හරියට උදව් වෙලා තියෙනවා නැතිඋන ටිකට්ටුවක් සමඟ තැන සොයා ගන්න. ඈ එහේ දුම් රිය පළේ අතුගාන්නියක්. මේ රටවල් දෙකක වෙනස. ඒ උපතින්ම ආචාරශීළීව ඉන්න සමාජයක් නිසා. අපිට මේ දේ පුරුදු කරන්න වෙන්නෙ කුඩා කාලෙදියි. රැකියාව කුමක් උනත් ඒ රැකියාව ගෞරවයෙන් කරන එක වගකීම. මෙහේ මේ අය දිහා බලන්නෙත් මුලු සමාජයම අවඥාවෙන්ම නෙ. ත්‍රී විලර් පදවන අය ගැනත් එහෙමයි. ඒ උනාට ඒ අතරේ හොඳ මිනිසුන් ඕනෙ තරම් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තට හොඳ කමටද සෙවල කමටද දන්නෙ නෑ. මොක්ද ඉස්සරම අනුල පානදුර එකෙ හිටපු කොන්ද පට්ට සෙවලයා, කෙල්ලො රොත්ත දාගෙන යන්න මිනිහ පුලුවන්නම් ගෙවල් ලඟට උනත් බස් එක ගේනවා. අපිත් හිතුවා බුවා හොඳ එකෙක් කියල. දවසක් උන්ව මාරු කරල, අනුලා කොන්දා අපේ බස් එකේ එදා තමයි දැක්කෙ උගෙ හැටි. අර පෙන්නපු සිරියාව නෑ, හෝතඹුව වගෙ දවස් දෙක තුනක් අපේ බස් එකෙක් කොන්දා වෙලා ඉඳල ආපහු කොහොම හරි අනුල බස් එකට ගියා, ඉන්නකම් මහ මුස්පෙන්තු විදියට හිටියෙ.

      Delete
  2. හැම දෙයක්ම මිනිස්සුන්ගේ ආකල්ප මගින් කරන්න බැහැ...සමහර ඒවාට තද නීති අවශ්‍යයි...හයියෙන් කෑ ගහන මහ ඇනයක් වෙන කොන්දොස්තරලා රුපියල් දෙතුන් සීයක දඩ ලොක තුන හතරක් වැදුන නම් එතනින් පස්සෙ එයාල කෑ ගහන්න යන එකක් නැහැ...

    ReplyDelete
  3. මං හිතන්නෙ මිනිස්සුන්ගෙ සහජ ගති රස්සාවේ ස්වභාවයත්(ලැබෙන බලය) එක්ක ගැටිල එතෙන්දි ජයගන්න එක මොකක්ද කියන එක උඩ ‍රැකියාව කරනවිට ඇති ගතිගුණ තීරනෙ වෙනවා කියලා. මම දැකල තියෙනවා හොඳ කරුණාවන්ත මිනිස්සු යක්කු වෙන හැටි පොලිසියෙදි..

    ReplyDelete
  4. හරිම ලස්සන බ්ලොග් එක මම හරිම ආසාවෙන් රස වින්දා

    ReplyDelete
  5. ඉස්සර ස්කෝලෙ යන කාලේ ස්කූල් බස් එකේ හිටිය කොන්ද අයිය තම නියම ඩයල් එක... මට ලව් එකටත් පට්ට හෙල්ප්ස් එකක් දීල කෙල්ලව දාලම දීල තමා ගේම ඇතෑරියේ... අන්න මිනිස්සු හික් හික්

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...