Monday, April 2, 2012

කොන්දොස්තර කොළුවා...


කොන්දොස්තර කොළුවා...

ඔහුට කොන්දොස්තර කොළුවා කිව්වෙ අමනාපෙකට එහෙම නෙවෙයි -- අමනාපයක් තිබුණ තමයි, ඒත් ඒකට කොන්දොස්තර කොළුව කියල තේරුමක් නෑ -- කොන්දොස්තර මහත්තය කියල කියන්න බැරි නිසත් නෙවෙයි -- කොන්දොස්තර මහත්තය කිව්වම මගේ හිතේ මැවෙන්නෙ කණ්නාඩි කුට්ටමක් දාගෙන ටිකට් කඩන ලංගම කොන්දොස්තර මහත්තයෙක්ව -- මම ඔහුට කොන්දොස්තර මහත්තය කිව්වම, හිතේ ඇ‍ඳෙන රූපය ගැලපෙන්නෙ නෑ...

ඒ නිසා මට ඔහුට කියන්න වෙන්නෙ කොන්දොස්තර කොළුවම තමයි... බස් එකේ දවස ගෙවන්නම හරියන, පෙනුමෙන්ම කිලිටි පාට ටී ෂර්ට් එකක් ඇඳල පාට පාට ප්ලාස්ටික් වළළු ගොඩක් අතේ දාල... අතේ ඇඟිලි කීපෙකම මුදුත් කීපයක් දාල ...

බස් එක පුරා පතුරුවන ආඥාදායක කටහඬකින් බස් ගාස්තු එකතු කරනව ඔහු...
සල්ලි අරගන්නවත් එක්කම
"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" ආයෙම අර ආඥාදායක කටහඬ...
ඒක නැත්නං අපේ ඉතිරි සල්ලි දෙන්න ඔහු ලෑස්ති නෑ...

"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" කිය කිය පස්සට එනව අනිත් අයගෙත් සල්ලි ගන්න...
ඒක ඉල්ලන වොයිස් එක මට කලින්ම ඇල්ලුවෙ නෑ...මම ළඟට එනකොටත් මම හිතින් වලිය පටන් අරන් හිටියෙ,
මාත් දුන්න රුපියල් විස්සක්ම... මෙන්න කියනව රුපියලක් දෙන්නලු...

ඔන්න මගේ හිත ඇතුළෙ වලිය ටිකින් ටික පිටට එන්න හදනව...ඒත් එහෙම ලේසියෙන් රණ්ඩු වෙන්නත් බෑ නෙ,
හිටපං මම දෙන්නං රුපියල් දෙකක්... හැබැයි මට ආපහු වැඩිපුර රුපියලත් එක්ක ඉතිරි නුදුන්නොත් මම බලාගන්නං...
මේ ඔක්කොම හිත ඇතුළෙ...

ඔහු ආපහු එද්දි මම දුන්න රුපියල් දෙක, වැඩිපුර රුපියලත් එක්කම ඉතිරි සල්ලි හම්බුනා මට...
හිත ඇතුළෙ කොච්චර වලියක් තිබුනත් ඒක දැන් ඉතින් එළියට දාන්නෙ කොහොමද...

-------------------

කාලෙ ගෙවිල ගියා...
උදේට මම එනකොට ටර්න් එක තියෙන බස් එක ඒක...හැමදාම මට එන්න වෙන්නෙ ඒ බස් එකේ...
මුලින් තරමක ප්‍රතිරෝධයක් තිබුණත් ටිකෙන් ටික රුපියලත් එක්කම සල්ලි දීල ඉතිරි සල්ලි ගන්න මම පුරුදු වුණා...

කාලෙත් එක්කම ඒ ප්‍රතිරෝධය අඩු වෙන්නත් හේතු තිබුණ...බොහොමයක් බස් කොන්දොස්තරවරුන්ට වඩා ඉතිරි සල්ලි දීම අතින් ඔහු අවංකයි...
"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" කියල අණ දුන්නට...

-------------------

"සුරිඳුනි කතරගම, ඉහළින් ආකාසේ
පායන සඳට අවමන් කළ රුව ඈගේ
......
දැකගන්නයි දෙවොලට තව සැරයක් ආවේ"
මම බස් එකට නගිනකොටත් මහ හඬින් වාදනය වෙනව...

සෙනග හොඳටම වැඩි දවසක්... ඒ අස්සෙ කොහෙ හරි යන රස්තියාදුකාරයෙක්ව සෙට් වෙලා මට...ටිකක් දුර එද්දි සීට් එකක් හම්බුනත් කරුමෙ කියන්නෙ තවත් ඩිංගක් දුර යද්දි එතනම ඊළඟ සීට් එකත් හිස්වුණා... මම වීදුරුව පැත්තෙ අයිනට උනා... ඔන්න මගෙ ළඟින් වාඩි වෙච්ච මේ මනුස්සය මගෙන් එකේක ප්‍රශ්න අහන්න අරන්... නෑහුනා වගේ හිටියත් මේ කරදරේ දරාගන්න අමාරුයි... මට ඉබේටම බැලුනෙ කොන්දොස්තර කොළුව දිහා... හේතුව මොකක් වුණත් කොන්දොස්තර කොළුව බස් එකේ පිටිපස්සට යන්න ආව... සීට් එක අයිනට හේත්තු වුණා... මම ළඟ හිටිය කරදරකාරය නැගිටල ඉස්සරහට ගියා...

-----------------

අදත්  බස් එකේ හිටගෙනම රුපියල් විස්සක් හොයනව මම...
"වාඩිවුණාම ගම්මු…" ඔහු අර ආඥාදායක කටහඬින් නැතිව බොහොම හෙමින් කියනව...

වචනයක්වත් කතා නොකරම රුපියල් විස්ස...
ගමනාන්තෙ මතක තියාගෙන ඔහු සල්ලි ගන්නව... මං, ළඟ තියන මාරුකාසිවලින් ‍තෝරල ඔහුට දීල ඉතිරි සල්ලිත් ගන්නව, ඒ වුණාට අර ඉස්සර හිතේ තිබුන වලිය නැතිව...

-------------------

එක වචනයක්වත් කතා නොකළත්, කිසිම හැඳිනීමක්, සම්බන්ධයක් නැති වුණත් මගෙ හිතේ චමත්කාරයක් ඇතිකළා ඔහු...

ඒත් චමත්කාරය කියන එක දූවිලි අවුස්සගෙන, සින්දුවකුත් දාගෙන, දුම් වළාවකුත් පිටකරගෙන, තරගෙට දුවන, එහෙම නැත්නං කොට කොට යන ප්‍රයිවෙට් බස් එකක් එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද? ”

පමාවෙලා හෝ අයදිමි සමා
සිතැඟි සිතුම්වල මුලා වෙලා
ඔබෙ ඇදුරිඳු වී පෙම් බැඳි වරදට
ලතැවෙන සිතින් මෙසේ...

ඒ බස් අජිත්...

ප්‍රශ්නෙට උත්තර හොයන එක පැත්තක තියල මගෙ හිත සින්දුව අහන්න සෙට් වෙනව...

අදත් ගමනාන්තෙට ඇවිත්...
ඒත් ගමන ඉවර නෑ, හෙටත් මේ බස් එකේම මේ ගමනාන්තෙටම යන්න වෙනව...

---------------------

34 comments:

  1. කාලෙකට පස්සෙ චේජනාගේ සටහනක් කියවන්න ලැබුනේ.

    ඉතිරි නොදෙන, ආචාරශීලි නැති කොන්දොස්තරලා වැඩියෙන් හිටියට හැමෝම එක විදියම නැති බව පෙන්වන අපුරු සටහනක්. කෙනෙක් හඳුනාගන්න කළින් එයා ගැන ආකල්පයක් ගොඩනඟන්න ඉක්මන් නොවෙන්න ඕනා කියන එකත් පැහැදිලි කරන ලස්සනට ලිව්ව සටහනක්.

    ReplyDelete
    Replies
    1. ම්ම්... ඒක හරි...
      මම ම තමයි කලින්ම වලියට බර ආකල්පයක් හදාගත්තෙ, පස්සෙ මට ම හිතුන ඔය අක්ක කියපු දේවල් ටික...

      Delete
  2. ඔක්කොමත් හරි අක්කේ... ඒත් ඇයි අප්පා මේ අහිංසකයට මෙහෙම //ඒ බස් අජිත්...// කියලා ලැජ්ජා කරන්නේ....

    මටනම් කතාවේ හොඳම කොටස තමා ඒ.... හික්ස් ඒ බස් අජිත්...!!!!

    ReplyDelete
    Replies
    1. ඕක හැමෝම කියන එකේ මම කිව්වම මොකෝ.. :)

      Delete
  3. සත්තයි,,,, මම පොඩි කාලේ හීන මැව්වෙ කොන්දොස්තර කෙනෙක් වෙන්න. සල්ලි කොළ ටික ඇගිලි අස්සේ තියාගෙන එක අතකින් ෆුඩ් බෝඩ් එක අල්ලගෙන යන එක මාර ජොලියක් කියල හිතුනෙ. දැන්නෙ තේරෙන්නෙ වැඩේ අමාරුකම.

    ReplyDelete
    Replies
    1. හැම රස්සාවක්ම එහෙමයි, බලන් ඉන්නකොට හරි ලේසියි වගෙ. කරන්න ගියාම අමාරුයි...

      Delete
  4. මම නම් කියන්නෙ.. ගමනට අදාල ගාස්තුව හරියටම දෙන එක මගියගෙ යුතුකමක්..

    හැම දේකම ඉතින් සුදු කළු කලවන් වෙලානෙ තියෙන්නෙ. බහුතරය බලලා තමා ඉතින් අපි නිගමන වලට එන්නෙ. ඉතින් හිතින් වලි..

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් මාරු සල්ලි දෙන එක මගියගෙත් යුතුකමක්.. ඒත් හුඟක් කොන්දොස්තරල මාරු සල්ලි තියෙද්දිත් ඉතිරි නොදී ඉන්න බලනව... :)

      Delete
  5. කළු පෙනෙන තරම් කළු නැහැ කියන්න තරම් මේ ලියවිල්ල ලස්සන පාටය.

    ReplyDelete
    Replies
    1. කීප දවසක් ම ගොඩක් සැරයක් හිතල ලිව්ව ලියවිල්ලක්...
      කාටවත් අපහාසයක් නොවෙන්න ඕනෙ නෙ අපි ලියන දෙයින් ඒ නිසා...

      Delete
  6. බස් එපාවෙන්නේ සද්දේ නිසා..අනික් එක කොන්දා මල්ලී..

    ReplyDelete
    Replies
    1. කොච්චර වලි තිබ්බත් මට තාම බස් එපා වෙලා නෑ... මම නිදහසේ වාඩි වෙලා ඉඳෙද්දි ගමන යන වගකීම අරගෙන මගේ ගමන සම්පූර්ණ කරල දෙන බස්වලට මම කැමතියි...

      Delete
  7. එච්චර අත්දැකීම නම් නෑ.

    තමාගේ බලය පෙන්නන තැනක් හැමෝටම වගේ තියෙනවා කියන එක තමා මට නම් හිතුනේ, මොන විදියකට හරි.

    ReplyDelete
    Replies
    1. ඒක නං හරි තමා... බස් එකේ ලොක්ක කොන්දොස්තර නෙ... මම යෑ... රණ්ඩු වෙන්න හිතුවට... :D

      Delete
  8. "අදත් ගමනාන්තෙට ඇවිත්...
    ඒත් ගමන ඉවර නෑ, හෙටත් මේ බස් එකේම මේ ගමනාන්තෙටම යන්න වෙනව..."

    A lovely web log note this time...
    දැන් දැන් අපේ බ්ලොග් පාඨකයෝ කලබලේට කියවනව මිස සමස්ත සටහනම රස විඳින්නේ නෑ නේදෝ කියා සිතුණි

    ReplyDelete
    Replies
    1. මේ පාර ගොඩක් සැරයක් හිතල ලියල කියවල බලල ආයෙ ලියල, ආය බලල...තමයි දැම්මේ...

      කලබලේට කියවන එක වගේම කලබලේට ලියන එකත් හොඳ මදි කියල මටත් හිතිල තියෙන්නෙ...

      Delete
  9. මටත් තියෙනව ඔය පුරුද්ද

    මතුපිටින් හා මිනිස්සුන්ගෙ වචන වලින් මවා ගන්න රූපය එක්ක

    හිතින් වලියක් පටන් ගන්න එක.

    මිනිස්සු කරන රාජකාරිය හා ඔවුන් ඒ දේවල් කරන වටපිටාව අනුව බොහෝවිට එතන ඉන්නෙ සැබෑ මනුස්සය නෙවෙයි මවාගත් චරිතයක්...
    ඒ චරිතෙට බැන්නට එආ පුද්ගලයට බනින එක වැරදියි.


    හිතට දැනුන ලියවිල්ලක්....

    ReplyDelete
    Replies
    1. හිතින් වලි දාගන්න එක හොඳ ආරක්ෂක උපක්‍රමයක්...
      ගුටි කන්න වෙන්නෙ නෑ නෙ... :D


      "මිනිස්සු කරන රාජකාරිය හා ඔවුන් ඒ දේවල් කරන වටපිටාව අනුව බොහෝවිට එතන ඉන්නෙ සැබෑ මනුස්සය නෙවෙයි මවාගත් චරිතයක්..."

      ඔයා රාජකාරිවලදි හම්බෙන මිනිස්සු ගන තවත් පැත්තක් ඉස්මතු කරල...

      Delete
  10. මතුපිටින් පෙනෙන අරුපේ කොහොම උනත් හුඟක් පුංචි මිනිස්සු හොඳයි.. ගැදි පැදි දෙකම මුසු කතාව මරු..

    ReplyDelete
    Replies
    1. ඒක හරි...

      ස්තූතියි

      Delete
  11. Long post after long time.

    අද වෙනකොට කොන්දොස්තර වෘතියේ ගවුරවය පිරිහිලා කියන එක හොදීන්ම පැහැදිලි වෙනවා "--කොන්දොස්තර මහත්තය කිව්වම මගේ හිතේ මැවෙන්නෙ කණ්නාඩි කුට්ටමක් දාගෙන ටිකට් කඩන ලංගම කොන්දොස්තර මහත්තයෙක්ව--"

    කොහොම වුණත් මේ විදියට ෂේප් වෙන එක ඇඟටත් හොඳයි, හිතටත් හොඳයි !

    ReplyDelete
    Replies
    1. "කොහොම වුණත් මේ විදියට ෂේප් වෙන එක ඇඟටත් හොඳයි, හිතටත් හොඳයි !"

      :D

      Delete
  12. බස් අජිත් නමට නම් මෙන්න විසිල් ! මටත් ඔබ ඇඬිල්ල අහන් ඉන්න අප්‍රසන්නයි !!!

    මටත් සහෝදරී ඔය කියන වලිබර හැඟීම එනවා බස් වල යද්දී. මෑතකදී නම් බස් වල ගිය කාලයක් මතක නෑ. ඒත් අපේ route එකේ බස් කොන්දොස්තරලා නම් ගොඩක් අය මාව අඳුනන අයග කලාතුරකින් එකෙක් තමයි ලොකු සද්දෙන් කථා කරන්නේ.

    බස් එක ඇතුලේ කොන්දොස්තර කෙනෙක් කෑ ගහන එක නම් කමක් නෑ කිව්වෑකි. එයාලගේ රාජ්ජෙනේ.. ඒත් ඉතුරු රුපියල නොදීම නම් කීයටවත් අනුමත කරන්න බෑ. ලංගමේ කොන්දොස්තරලා නම් ඒ අතින් තවමත් විනීතයි.

    ReplyDelete
    Replies
    1. කෑගහන එකත් කොහොමද ඉවසන් ඉන්නෙ? අපි එපෑ අහගෙන ඉන්න...:)

      Delete
  13. අපූරු සටහනක් චේජනා....ජීවිතය ගැන හුඟක් වැදගත් පාඩමක් කියල දෙන සටහනක් ...ඉගෙන ගන්න කැමති අයට.....

    සික්.... අර අහිංසකයට කරන අපහාසෙ තමයි ඉවසන්නම බැරි...බස් අජිත්...:) :)

    බස් අජිත් ගැන මේ පොඩි කතාවක්...

    නුවර ඉන්ටසිටි බස් ගාලෙ කොළඹ බස් එකක් පිටත් වෙන්න සූදානම්...සෙනඟ බොහොම ස්වල්පයයි ඉන්නෙ....කොල්ලො හතර පස් දෙනෙක් දුවගෙන දුවගෙන ඇවිල්ල නැඟල පස්සෙම සීට් එකේ වාඩි උනා.

    බස් එක අද්දනකොටම එකෙක් නැඟිටල කොන්දොස්තරගෙන් අහපි,

    " මේ මල්ලි.... බස් අජිත්ගෙ සිංදු එහෙම තියනවද? ''

    කොන්දගෙත් මූනෙන් එකයි හිනාව,

    '' තියෙනව තියෙනව සර් ....සී.ඩී. තුනක්ම තියෙනව ''

    පස් දෙනාම නැඟිටල උඩ රැක් වල දාල තිබ්බ ගමන් මළු අතට ගත්ත.

    '' එහෙනම් අපි ඊලඟ බස් එකේ එන්නම්....''

    එහෙම කියල පස් දෙනාම බැස්ස බස් එකෙන්...හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. බලද්දි මම හොඳයි නෙ...:D
      ඔය සින්දු ටික කොහොමහරි අමනාපයක් නැතිවම අහගෙන ඉන්නව නෙ

      Delete
  14. මට නම් හිතෙන්නේ චේජනා කොන්දොස්තරව ඉවසන්න පුරුදු වෙලා . මාත් ඉස්සර එහෙමයි . හිතෙන් වලියක් හදාගෙනමයි බස් එකට නගින්නේ . ඉතුරු නොදෙන කොන්දොස්තරට , ජැක් කාරයින්ට දෙන්නම් බැටේ . එකම බස් පාරේ දිනපතා යනකොට කොන්දොස්තරල නම් අඳුන ගන්නවා . කීප දවසක් හොඳින් කතා කරලා සින්දු වල සද්දේ අඩුකරගෙනත් තියෙනවා . අර හිතේ තියෙන වලිය එලියට දැම්ම නම් එහෙම මොකද වෙන්නේ . අනික් අතට අපි රාස්සයෝ පරාස්සයෝ වගේ දකින මිනිස්සු ගාව හොඳත් තියෙනව . හැබැයි ඔය බස් අජිත්ව ඉවසන්න නම් මට බැරි වුනා කවදාවත් . කලින් කලට එන වසංගත වගේ . ඉස්සර කටුනායක ඉස්කෝලේ උගන්නපු දවස්වල ජනප්‍රිය නාමල් උඩුගම . මට අදටත් එයාගේ සින්දුවක් අහන්න බැහැ

    ReplyDelete
    Replies
    1. මම කොන්දොස්තරව ඉවසන්නත් පුරුදු වෙලා, හැබැයි කොන්දොස්තරත් ටිකක් මාව ඉවසන්නත් පුරුදු වෙලා.., ඉස්සර වගේ රුපියලක් දෙන්න කියල අණ දෙන්නෙ නෑ...මට තද වෙන්නෙම ඒකට... :)

      Delete
  15. අදමයි ආවේ..

    කොන්දොස්තර කොලුවා ගැන කිසිවෙක් නොදුටු පැත්කින් බලලා..


    හැමදාම මේ බස්ඒකේ ගමනාන්තයට.. වෙනසක් නැහැ ජීවිතේ වගේ..

    ජය පතමි.

    ReplyDelete
  16. ලබන්නා වූ සිංහල අවුරුද්ද වාසනාවන්ත සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා..!
    ඔබගේ නිර්මාණ කුසලතාවයන් ඉතා සුවිශේෂයි..
    ඒවගේම ඉතා සංවේදීයි..
    ඔබට ජය ..

    from Perth,WA

    ReplyDelete
  17. මට නම් බස් හොඳ වාඩිවෙලා යන්න අයිනක් ලැබුනම.... එතකොට ගමනාන්තයට යනකම් මගේ මනෝ ලෝකෙ සැරිසැරුවහැකි.....
    මට ඒ දවස්වල පේන්න බැරුව තිබ්බෙ ප්‍රින්ස් උදය ප්‍රියන්තගෙ සින්දු.... ආපෝ....

    ReplyDelete
  18. නවතම කෝණයක් කොන්දොස්තරලා දිහා බලන්න.

    henryblogwalker the Dude

    ReplyDelete
  19. මම මේ ලිපිය කියවද්දී හිතුනේ සමහර පාසැල් යන දැරිවියන් එවැනි කොන්දොස්තර තරුණයන් සමඟ සමීප මිතුරු බවක් ඇති කරගන්නවා.කල්යාමේදී සමහරවිට මේක ප්‍රේම සම්බන්ධයක් වෙනවා.කළාතුරකින් අවස්ථාවලදී ඒවා දුරදිග ගිහින් ඔවුන් විවාහ වෙන්න වුනත් පුළුවන්.එහෙම බැලුවම කොන්දොස්තර යනු මේ සමාජයේ එක වෘත්තිකයෙක් පමණි.සමහර යුවතියන් කොන්දොස්තර සමඟ ඇතිකරගන්නා මිතුරු දම රඳා පවතින්නේ ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු පහසුකරගැනීම උඩ පමණි.ඉදහිට ඔබ වැනි යුවතියන් ඔවුන් පිළිබඳ යම් හැඟීමක් ඇතිකර ගන්නා බවද දක්නට ලැබේ. කෙසේ වුවද ඔබ කොන්දොස්තර පිළිබඳ ඇතිකරගත් ආකල්ප ඉතාම නිර්ව්‍යාජ ආකාරයෙන් මෙහි අකුරු කර තිබුණා.ඒක හරියට නවකතාවක් වගේ මම ඉතාම ආශාවෙන් කියවුවා.ඔයාට තවත් බොහෝ දුර ගමනක් යන්න පුළුවන්.තෙරුවන් සරණයි..!!!!

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...