Thursday, May 10, 2012

විභාග ශාලාව...



බොහෝම ඈත අතීතෙ දවසක පුංචි එකී මුලින්ම  ලොකූ විභාග ශාලාවකට ගිය දවසෙ ... දුරින් දුරින් ඩෙස් තියල හදපු විභාග ශාලාව බොහොම ගාම්භීර විදියට පුංචි එකී දිහා බලාගෙන හිටියෙ...

වතුර බෝතලේකුයි, පැන්සල් පෙට්ටියකුයි ඈ ළඟ තිබුණ...පුංචි එකී පැන්සල් පෙට්ටිය පපුවට තුරුල් කරගෙන හිටියෙ... ඒක ඈ ළඟ තිබුන ලොකුම වස්තුවක්... විභාගෙ නිසා ඒක එළියට අරගෙන අතේ තියාගෙන හිටියට වෙන වෙලාවට ඒක තියෙන්නෙ බෑග් එකේ... මේක පියන අරින්න පුළුවන් ප්ලාස්ටික් පෙට්ටියක්... මිකී මවුස් පින්තූරයක් පෙට්ටි පියනෙ ඇඳල තිබුන... ඒත් මේ විභාගෙ තිබුනෙ අගෝස්තු නිසා ඒ වෙනකොට පෙට්ටි පියනෙ තිබුන මිකී මවුස්ගෙ පින්තූරෙ තැනින් තැන මැකිල...පෙට්ටිය ලස්සන වෙන්න පෙට්ටියෙ අඩියට රතු පාට ඊයං කොළයක් එළල තිබුණ... ඒක වෙඩින් කේක් කෑල්ලක් ඔතල තිබිල හම්බුන එකක්... ඒත් ඒකෙන් පෙට්ටියට බොහොම ලස්සන පෙනුමක් ලැබුන... පුංචි එකීට හිතුනෙ එහෙමයි...

පෙට්ටිය ඇතුලෙ පෑන් පැන්සල් මිටියක්, ඉරේසර් එකක් විතරක් නෙවෙයි කටර් එකකුත් තිබුණ...ලොකු ලොකු විභාග තියෙනවට පුංචි එකී කොහොමත් කැමතියි...පුංචි එකී හිතන විදියට ලොකු විභාග තියෙන එකේ වාසි ගොඩයි... එකක් ඇති තරං පැන්සල් පෑන් ලැබෙනව... අනික විභාග ශාලාවට යන්නෙ තාත්ත එක්ක නිසා විභාගෙ ඉවර වෙලා එනකොට සීනි බනිස් කාල ෆැන්ට බොන්න ලැබෙනව...

කොහොමින් කොහොම හරි වෙලාව ගතවුනා... විභාග ශාලාව ඇරුණ... විභාග අංකෙ අම්ම කොළ කෑල්ලක ලියල පෙට්ටියෙ දාල දීලයි තිබුණෙ... ඒක බලාගෙන ගිහින් ඉඳගත්ත...

තමන් ළඟ තියන කොළ කෑලි ඔක්කොම අයින් කරන්න කියල ටීච කියද්දි තමන් ළඟ එහෙම ඒව තියෙද කියල බලන්න පුංචි එකී පෙට්ටිය පුරාම ආයෙම අවුස්සල බැලුව... ඊට පස්සෙ සුදූම සුදුපාට කොළේක ලොකූ  ප්‍රශ්න පත්තරයක් බෙදාගෙන ගියපු ටීච විභාගෙ පටන් ගත්ත....

----------------------

කාලෙ ගත වෙලා ගියා... ආයෙම එහෙම ලොකු විභාගෙකට යන දවස් එද්දි...පැන්සල් පෙට්ටිය මාරු වෙලා තිබුණ...ඒක පුංචි එකී හීන මැවුව වගෙම තැඹිළි පාට ලස්සන, කාන්දමකින් වැහෙන පෙට්ටියක්...

----------------------

ඊළඟ පාර ලොකු විභාගයක් එද්දි ගෙනිච්ච පැන්සල් පෙට්ටිය කොයි වගෙද කියලවත් පුංචි එකීට මතක නෑ... ඒ වෙනකොට ඈ ලොකු වෙලා... පැන්සල් පෙට්ටි ගැන හීන දකිනවට වඩා... ඒ ලොකූ විභාගෙ මුළු අනාගතයම තීරණය කරන බව තේරිලා... ඈ එදා දැක්ක එකම හීනෙ සරසවිය...සරසවි සුබ සිහිනෙ බලාපොරොත්තුවෙන් හිත මුළුමනින්ම පිරිල තිබිච්ච දවසෙ පැන්සල් පෙට්ටිය කොයි වගෙද කියල පුංචි එකී කොහොම මතක තියාගන්න ද?

-----------------------

සැබෑ වුණ සරසවි හීනෙ විභාගවලට නිමාවක් ගෙනාවෙ නෑ...පුංචි එකී තවත් ලොකු ලොකු විභාග ගොඩ...කට ලිව්වා...

-----------------------

ඒ දවස් අවසානෙදි තවත් දවසක් ආවා... එදා විභාග ශාලාවට ප්‍රශ්න පත්තර අරගෙන ගියේ, ඉස්සර දවසක පැන්සල් පෙට්ටියකුයි වතුර බෝතලෙයි ගෙනිච්ච පුංචි එකීමයි...

ළමයි පිරුණ විභාග ශාලාව ඉස්සරහට ගිහින්...
" If you have any unauthorized material ..." කියද්දි මහා බලාපොරොත්තුවලින් පිරුණ ඇස් ගොඩාරියක් ඈ දිහාවට යොමු වෙලා තිබුණ...
 
ඈ ඒ ඇස්වල බලාපොරොත්තු කියවගන්න කලියෙන් ප්‍රශ්න පත්තර බෙදුණ... හිතේ පිරිච්ච බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඒ ඇසුත් එදා වගෙම ප්‍රශ්න පත්තර අතරෙ රැඳුනා... පුංචි එකී පැය තුනකට අතීත මතක අතරෙ තනිවුණා...

-----------------------

18 comments:

  1. හ්ම්ම්ම්.... පුංචි එකී අද විභාග ශාලාධිපතිනියක් කෙනෙක් වෙලා. ආඩම්බරයි !
    Nice article, it took me back to my own childhood memories.

    露 from ルフナ

    ReplyDelete
  2. ඔය දේම වුනු තව කෙනෙක් මෙන්න. ලබන සතියෙත් මට විභාග රාජකාරී!! :)
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. :), එතකොට ඔයාට දැනුන දේත් ලියල තියන්න...

      Delete
  3. අපරාදෙ සිහ්...

    ReplyDelete
  4. ලස්සනයි අක්කේ කතාව... පුංචි කාලේ මතක් වුනා...!!!

    ReplyDelete
  5. කොහෙද එක්කන් යන්නෙ කියලා හිතන්න කතාව කියවන්න පටන් ගනිද්දි හිතට ආවේ නැතත්, අරන් ගිය අවසානය සිතට පුරුදු වූවක්. රසවත් අතීතකයට ඇද ගෙන ගියා.

    මගේ කවකටු පෙට්ටි අරන් යන පළමු දවසේ ම නැතිකරගන්නා නිසා අනුන්ගේ කවකටු පෙට්ටි වල පිහිට තමා. සමහර විට කවකටු පෙට්ටි පාවිච්චි නොකරන විෂයයන් වලට හිත ඇදී ගියෙත් ඒ නිසා ද දන්නෑ!!!

    ReplyDelete
  6. ඔයා ටීචර් කෙනෙක්ද ?

    ReplyDelete
  7. mama nam thama rajaye loku vibaga dekai liyala thiyenne. e unath me kathawa magema athdakeemak vidiyata mata danuna.Niyamai,apoorui.

    ReplyDelete
  8. කාගෙත් අතීත මතක අතරෙ ටික ටික ඒ මතක තියෙනව නේ... :)

    ReplyDelete
  9. පුංචි එකී ගොඩක් ඇඩ්වාන්ස් වෙලා. පේලි එකින් එක අතරෙ කියවාගෙන යද්දී ගෙත්තම් වෙලා තිබුනු අපූරු අකුරු වියමන ඇත්තටම රසවින්දා..

    අමතරව පොඩි පස්නයක් අහන්ටද? අවංකෙන්මයි අහන්නෙ.
    "පුංචි එකී පැය තුනකට අතීත මතක අතරෙ තනිවුණා" ට පස්සෙ විභාගෙ ලියපු ලොකු එවුං ටික කොපි කරාද දන්නෑ ... ආ. තව එකක්. හොඳ දේට හොඳයි කියන්ට එපෑ. අර පින්තූරෙ කොළ පාට සාරියට ඔයා හැඩට පේනව.

    -ජය

    ReplyDelete
  10. කාලෙකින් ඔයාගෙ ලිපියක් කියෙව්වෙ..
    වයසින් ලොකු උනාට තාමත් පොඩී එකීම වෙන්නැති නේ.... :-D

    ReplyDelete
  11. සරළ සටහන පුරා සුන්දර මතක ඔබ්බවපු අපූරුව කීප වරක්ම කියවා ගොඩාක් රසවින්ඳා. කොමන්ට් කරන්න ආපු හැම වතාවෙම නිරායාසයෙන්ම තිති ඉරි පේළි දිගේ අතරමං වුනා.

    ReplyDelete
  12. මම ඔයාගේ ලිපි ඉතාම ආශාවෙන් කියවනවා. හරි ලස්සනයි. දිගටම ලියන්න.

    ReplyDelete
  13. Great - I wish all of them will be courageous as you are - please lend them a hand -

    Great, my dear sis!

    ReplyDelete
  14. huga dawasakata passe aye onna awa me patte.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...