Sunday, October 31, 2010

මතක අතීතයෙ පිටු... කාලය මැව් වෙනසක අරුමේ...



කොහොමටත් මගේ ජීවිතේ සහෝදරියො රඳනව අඩුයි, ඒත් සහෝදරියොත් ජීවිතේ රැඳෙන්න ගත්තෙ බ්ලොග් ලියද්දි...අක්කල ම දෙන්නෙක්...

"තාත්විකයි නුඹෙ සෙනෙහස
මාත්තරා නැති වුණාට"

කොයි තරම් කවි ලිව්වත් කියෙව්වත් මගෙ හිතේ නතර වුණ කවි දෙපදය අක්කෙ ඔයාගෙ, තේරුම අහල තේරුම් කරගත්ත ඒ කවි පද දෙක අදත් තදින් ම මගෙ හිතේ සටහන් වෙලා තියනව...ඔයා වගෙ ම...

කොහෙ හරි ලියවෙන වචනවලින් හිත රිදිල ඉන්න වෙලාවක ඒ බව තේරුම් ගන්න තරම් කෙනෙක් තවත් කෙනෙක්ගෙ හිත තේරුම්ගන්නෙ කොහොමද කියල හිතාගන්න මට අදත් බැහැ... වේදනාවෙන් ඉන්න මොහොතක ඒක කියල ඒ ප්‍රශ්නෙ බෙදාහදාගන්න මේ තරම්ම යාළුවො හොයාගන්න සෙනෙහස අකුරු වෙන්නෙ කොහොමද?

බ්ලොග් එක මගේ ජීවිතේ අනිත් සබඳතා එක්ක එකතු වුණේ තවත් කාලය ගතවෙද්දි... එක්කෙනා දෙන්න බැගින් මගේ යාළුවො මගේ බ්ලොග් එකට ගොඩ වෙන්න ගත්ත... ඒ අතරෙ "මා දුටු ජපානයෙන්' කියල මගෙ අතින් ලියවෙච්ච සටහන් ටිකත් මතක අතීතෙට විශේෂ ම මතකයක් එකතු කරනව... ජපානෙ ඉන්න ලංකාවෙ අය ගොඩක් දෙනෙක් ඒ සටහන් ටික බලල තියනව... ඒ වගෙම මම දැක්ක ජපානයෙ මගේ ලස්සන මතක ඒ සටහන් එක්ක සදාකාලික වෙනව...

මේ තරම්ම මේ සබඳතා ජීවිතේට එකතු කරගත්තෙ ඒව ජීවිතේට වටින්නෙ ඇයි කියලත් දැන් හිතනව ද? යාළුවො ජීවිතේට කොයිතරම් වැදගත් ද කියල දැනෙන්නෙ රටින් පිට ඉන්දදි කියලයි මට හිතෙන්නෙ... කොහොමටත් මේ කියන අපි ගොඩක් දෙනෙක් ඉන්නෙත් රටින් පිට නෙ...අපේ කියන ඔක්කොම බැඳීම්වලින් ඈත්වෙලා ජීවත් වෙද්දි ජීවිතේ එපා වෙනව යාලුවො නැත්නම්... මොන රටක මොන විදියක හරි හිතට දැනෙන යාලුවො නැත්නම්...
ඒකයි යාළුවො මේ තරම් ම වටින්නෙ...

අවුරුද්දක බ්ලොග් ලිවීම මට ලබාදීපු ලොකුම දේ හිතේ සතුටයි  ඒ යාළුවො ටිකයි තමයි...

-----------------------------------

දැන් නම් කාලය ආපහු වෙනස් වෙලා, අළුත් යාළුවො ආයෙ හැදිල, අලුත් සම්බන්ධතා හැදිල... ඒත් අමාරුවෙන් ඉඳපු කාලයක් ගත කරගන්න උදව් වුණ බ්ලොග් එකත් හොඳ ම යාළුවෙක් නෙ...ඒකට ගොඩ වැදුණ හැමෝමත් එක්කම...

දැනට ලියවිලා තියෙන කමෙන්ට් එක්දාස් හයසිය ගණනෙන් දාහක් වත් ඔයාල අතින් ලියවිලා ඇති... ඔයාල තියල ගිය ඒ හැම සටහනක් ම මගේ හිත සතුටින් පිරෙව්ව... සටහනක් තියල නොගියත් ලියපු සටහනකට ගොඩ වැදිල එක මොහොතක් ගත කරල හරි ගිය ඔයාල ඔක්කොට ම ස්තුතියි කියල තමා අන්තිමට ම මම මේ කියන්නෙ.... ඒක කියන්න ම තමා මේ තරම් දිගට දවස් ගණනාවක් තිස්සෙ මේ සටහන් තිබ්බෙ....

මතක අතීතයෙ කතාව මෙතනින් ඉවරයි...ඒත්...

Wednesday, October 27, 2010

ඇරයුම හා අභියාචනය

කලු අහස...
පාට නැති පොද වැස්ස එව්වාට
සී කඩක සීරුවට
හෝ අනෝරා වැහි සතක්
චුරු චුරුව එකදිගට වැ‍ටුණාට
දැණුනෙ නැහැ
සිහිලසක් ඒ හැටිම
වැහි බින්දු..
උන් ඔහේ ගලනවා
විඩෙන් විඩ අතරමග නැවතුණත්
උන් දිනක මහ මුහුද දකිනවා
ලද සිහිල ගිනි අව්ව දවනවා
නැවත මා පිපාසෙන් පෙළෙනවා

ටික කලක් මගේ හිත රවටන්න
හිම පොරෝනය ඇතුළෙ ගුලි වෙන්න
හිරි වැටෙන තුරු දෙවුර තෙරපන්න
නිහඬවම හෑල්ලුවෙ පාවෙමින්
ඔබ ඉතින් මා වෙතට පැමිණෙන්න
වැහි සේම හිරු ‍රැසක තෙද බෙලෙන්
ගියත් මා හැරපියා ඔබ දිනෙක
හිරි වැ‍ටුණ හිත මවෙත තිළිණ දුන් නිසාවෙන්
දැනෙණු නැහැ ඒ තරම් ලතැවුලක්

ගිනි වැදුණු හදවතින් ලියන්නෙම්
මම ඔබේ මහ පොළොව සෙනෙහසින්...

http://nethu-ulpatha.blogspot.com/2010/10/blog-post.html
------------------------------------------------

පමාකළ මැන පළමු හිම පතනය...

අනේ උඹ පොද වැස්ස මොනතරම් සුන්දර ද...
උඹ ඔහේ ගලනවා සිහිලසින් තෙමාගෙන
මුලු හිතම, මුලු ගත ම....
තෙද බිඳුන ගිනි අව්ව බලාගෙන ඉන්නවා
අසරණව....මම වගෙම
ආයෙමත් වසන්තය එනතුරා....
සිපගන්න පොද වැස්ස...

කළු අහස මට එව්ව
පොද වැස්ස පණ පෙව්ව
සුන්දරම වසන්තය
නිමාවේ හිම පියලි
සැහැල්ලුවෙ පාවෙලා
ඇවිත් සිපගත් නමුත්
දෙකපොලම දවාලන රුදුරුවූ සීතලක් !!
ලස්සනට පේන උඹ, හිරිවට්ටවන හිතම
එපා උඹ මට එපා මගේ හිත රවටන්න
හිරි වැ‍ටුණ හිත හැඟුම් මුදාලූ නිසාවෙන්
ඒ තරම් ලතැවුලක් නොදැනුණත්

ගිනි වැදුනු හදවතින් ලියන්නම් ඉතින් මම
නුඹේ කියා හිතාගෙන මුලු හිතම මිරිකෙව්ව
නුඹෙ නොවුණ, මහ පොළව.... කම්පාවෙන්

-------------------------------

නෙතු අක්කට....

කාලෙකින් එකම එක
කවක්වත් ලියන්නට
නොහිතිච්ච මගේ හිත
එක කවක් නොව දෙකක්
ලියන්නට පෙළඹෙව්ව
අක්කෙ, අහගෙන ඉන්න

සීතලට කැමති නෑ
පොඩිත්තක්වත් මම
හිම වැස්ස සිහිවුණත්
හිතලෙන් ගැහෙන මම
කම්මැලිම කම්මැලියි
කිසිම කිසි වැඩකට
ගෙදරමයි මගෙ හිතට
එන්නේම එතකොට...
ඒ වෙලාවට ඉතින්
හොර කෙල්ල තමයි මම
ඔයා කියනව වගෙම...
හිම වැස්ස දිහාවේ
ඔහෙ බලාගෙන ඉන්න...
ඔන්න ආයෙම ඉතින්
පළමු හිම පතනයට
ඇරයුමක් නම් එපා...
ඒ නිසාවෙන් හොඳ ද...

Wednesday, October 20, 2010

මතක අතීතයෙ පිටු... "සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ..."


මම ලංකාවෙ ඉන්දදි නම් මේල් බලන්නවත් කම්මැලියි.. ඒ හින්ද ම ලංකාවෙ ඉන්දදි නම් මම බ්ලොග් එක පැත්තෙ ගොඩ වැදිලවත් නෑ...
ලංකාවටත් ගිහින් ආයෙ ආව ම නම් බ්ලොග් එක ආපහු පණගහල ආව...ඔහොමත් ටිකක් කල් ගත වෙද්දි තමයි දුකා අය්යගෙ බ්ලොග් එක, තිස්ස අය්යගෙ බ්ලොග් එක වගෙ ඒව මට හම්බුනේ...

මතකද මන්ද දුකා අය්ය වික්ටර් රත්නායක මහත්තය ගැන ලියපු පෝස්ට් එක... ඒත් ඒක මට නම් මතකයි... මොකද ඒ පෝස්ට් එක මගෙ හිතේ ගොඩාක් කාලයක් තිස්සෙ තිබුන බලාපොරොත්තුවක් අලුත් කල නිසා වගෙම බ්ලොග්කරණයෙන් මට ලැබුණ යාලුවො සොයා ගැනීමේ ආරම්භය ඒ පෝස්ට් එක සටහන් කළා කියල මට අදත් හිතෙන නිසා...

"සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ
සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද
වින්ද්‍යා කඳුවැටි භූමි විශමතා
දාසෙන් මහසෙන් ගැමුණු විජයබා"

මම කිසිම දවසක මේ සින්දුව අහල නෑ, හැත්තෑ ගණන්වලදි ලියපු අම්මගෙ පරණ සින්දු පොතක දම්පාටින් ලාසඳ බැසයනවා, රඟහල දැන් ඇත අඩ අඳුරේ, අභියාචනයක් පිලිගන්වන්නට වගේ සින්දු අතරෙ මේ සින්දුවෙත් පද ටික සටහන් වෙලා තියෙනව මම දැකල තියෙනව...

සින්දුව පුළුවන් නම් හොයාදෙන්න කියල ඉල්ලපු සටහනකට, ලංකාවෙන් හරි ගෙනල්ල දෙන්නම් කියල පොරොන්දුවකුයි යාළුවෙකුයි, තව යාළුවෙකුයි ලැබුණ... සින්දුව නම් තාම නෑ...

අහම්බෙන් එක සටහනක ලියවුණ නම මට තවත් යාළුවෙක් හදා දුන්නෙ එහෙමයි... එකෝමත් එක දවසක උදේ පාන්දර "***ගෙන් ලියුමක්" කියල ලියමනකින්...

ඒත් ඒ දවස වෙද්දි මෙහේ හිටිය මගේ ආදරණීය ම යෙහෙළියන් දෙන්න ම ලංකාවට යන දවස ඇවිත් තිබුණ, ඉදිරියෙදි තනියම මෙහේ ගතකරන ජීවිතේට යාළුවො කීපදෙනෙක් එකතු කරගන්න කිසිම විකල්පයක් පෙනුනෙ ම නෑ මට...
තනියම ගතකරන මෙහේ ජීවිතේ අමාරුම දවස් ටික වෙන්න ඇත්තෙ ඒ දවස් ටික, ඒත් ආශ්චර්යන් විශ්වාස කරන්න සිද්ද වෙලා තිබුණ... ඒ වෙද්දි... බ්ලොග් එක මගේ ජීවිතේ ආදරණීයම යාළුවො කීප දෙනෙක්ගෙන් පුරවන්න තරම් ම මට කාරුණික හා ආදරණීය වෙලා තිබුණ නිසා...

-----------------------------------


Thursday, October 14, 2010

මතක අතීතයෙ පිටු...

චේජනාගෙ පි‍ටුවට අවුරුද්දක් පිරෙන්න ළඟයි... ඒ වගේම මම එක එක දේවල් ගැන පි‍ටු 95 ක් ම ලියල මේ වෙද්දි... ඊළඟ පි‍ටු පෙරලුම් 5 ත් එක්ක ම චේජනාගෙ පි‍ටුවත් එක්ක ‍රැඳිල ඒක මේතරම් කාලයක් නොකඩවා ලියන්න මගේ හිතම පෙළඹුනු හැටි, ඒක ලියන්න මම ආස වුණ හැටි එක්ක මට ම හිතෙන විදියට අතීතය දිහාවෙ ආපස්සට හැරිල බලන්න මම හිතුවා...
ඒ අතීතාවර්ජනයට මගෙ හිත ගොඩක් ම ආසයි... ඒ හින්ද මම ඒ අතීතාවර්ජනය කරනව මෙතන ඉඳන්...

----------------------------

අදත් බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න මට සිද්ද වෙන වාර ගණන අනන්තයි... ඒත් මීට අවුරුද්දකට කලින් මම හිටියෙත් එතන,
මම ඉස්සෙල්ල ම බ්ලොග් එකක් ගැන දැනගත්තෙ නම් අහම්බෙන්... එකමත් එක දවසක සුදාරක මල්ලි ලියපු බ්ලොග් සටහනකින්...
ඒකෙ මාතෘකාව වුණේ "මොර‍ටු සරසවි ගමන සහ තවත් කතා" කියල වගෙයි මට මතක, ඒත් ආපහු ගිහින් ඒක බලල ආවෙ නම් නෑ දැන්.. මතක අතීතය මතක විදියට ම ලියන්නම් කියල හිතල...
අහම්බෙන් වතාවක් ගිහින් පිටස්තර කෙනෙක් විදියට කැම්පස් එක දිහා බලල ලියුවත්, සරල විදියට ම මොර‍ටුවෙ කැම්පස් එකේ අපේ රිද්මය ඒ කතාවෙ කැටි වෙලා තිබුණ.. කවදාවත් ම බ්ලොග් එකක් බලල අහල නැති මගෙ අතින් කමෙන්ට් එකක් ලියවෙන්න තරම් ම මට ඒ සටහනට ආස හිතුන... ඒකෙ තිබුන කමෙන්ට්වලින් සහ තවත් එක එක විදියට එක එක ලින්ක්ස් පස්සෙ ගිහින් ගිහින් අන්තිමට මට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මුණ ගැහුණ,

"කතරට වැහි දිය පොදක් වගේ"

කියල කිව්ව නම් හරි ඒක... සිංහලෙන් කිසිම දෙයක් දකින්න කියවන්න නැතිව ඉඳල පිස්සු වගේ තිබුණ නිසාම මම හිතන්නෙ මම දවස් දෙකක් විතර ම අනිත් වැඩ නතර කරල ම බ්ලොග් කියෙව්ව...
බ්ලොග් කියවද්දි බ්ලොග් ලියන්න හිතෙන එක නවත්තගන්න බැරිව ඇති මම හිතන්නෙ කාටවත් ම... මටත් ඊළඟට හිතුනෙ බ්ලොග් එකක් ලියන්න... ඒත් ඉතින් බ්ලොග් එකක් ගැන මෙලෝ දෙයක් නොදැන කොහොමද බ්ලොග් ලියන්නෙ... ආයෙ "SBU", බ්ලොග් එකක් හදාගන්න ඕනෙ කරන හැමදෙයක් ම ඒකෙ තිබ්බ, තිබුණ ඊමේල් එකකට බ්ලොගර් බ්ලොග් එකක් හදාගත්ත ඔන්න ඉතින් අමාරුවෙන්.., ඒත් ලියන්න ආස වුණ හිතට ලියන්න මුකුත් ආවෙ නෑ නෙ... ඒ පාර ආයෙ ම ප්‍රශ්නයක්.., තනියම ඉන්දෙදි කියාගන්න කෙනෙක් නැතිව පොත් පි‍ටු අග ලියල තිබුන සටහන් කීපයක් තමා බ්ලොග් එකට මුලින් ම එකත් වුණේ...ඒත් අද ඒ සමහර සටහන් බ්ලොග් එකේ නෑ, පස්සෙ කාලෙක ඒ සටහන්වලින් කීපෙයක් මට ම හිතුන මකල දාන්න...
ඒත් බොහොමයක් සටහන් තාමත් තියෙනව මා ළඟ...

බ්ලොග් එකක් හදාගත්තට එතනින් එහා කිසිම දෙයක් මම දැනගෙන හිටියෙ නෑ නෙ, මම මේක ලියල මම ම කියවද්දිත් මට සතුටක් නොදැනුන ම නෙවෙයි, ඒත් කවුරු හරි කියවනවද කියල බලන්න ගොඩක් ආසයි නෙ... කවුරුවත් කියවනවද කියල බලාගන්න කිසිම විදියක්  නැතිව ඉන්දෙදි එක දවසක් බ්ලොග් එකට පලවෙනි ම කමෙන්ට් එක ලැබිල තිබුන... දසුන් මධුසංක සොහොයුරාගෙන්, ඇත්තමයි ඒක දැක්ක ම හරියට සතු‍ටු හිතුන එදා... මේ වෙද්දි නිවාඩුවට ලංකාවට යන කාලෙත් ඇවිත්, ඒ සතුට හිතේ දෝරෙගලපු නිසා ම බ්ලොග් එක ඒ දවස්වල මගේ හිත අයිති කරගත්තෙ නෑ...ඒත් හිතේ දෝරෙ ගලපු සතුට බ්ලොග් එකේ සටහන් කර නිසාම අදත් ඒ සතුට එදා වගෙම මට විඳගන්න ඉතිරි වෙලා තියෙනව...


අදට මතක අතීතය මතු සම්බන්ධයි කරන්නම්... ආයෙත් මතක අතීතයෙ තවත් පිටුවක් පෙරලන තුරු විතරක්...

Wednesday, October 6, 2010

මා දුටු ජපානයෙන්... අදිරද මැදුර අවට...

කලබල ටෝක්යෝව මැද වැජඹෙන ජපන් අධිරද මැදුර...
ටෝක්යෝ දුම්රිය පොළට ඉතාම ආසන්නයේ ටෝක්යෝවෙ කලබලකාරී පරිසරය මැද අපූරුම නිහැඬියාවකුත් සුන්දරත්වයකුත් ප්‍රෞඩත්වයකුත් හිමිකරගෙන ජපන් අධිරද මැදුර පිහිටා තියෙනව...
ජපන් අදිරද මැදුර හා උද්‍යානයෙ සම්හර කොටස්වලට පිවිසීමේ ඉඩකඩ ලැබෙනව... මහ ජනතාවට...
මේ ඒ වගේ ජපන් අදිරද මැදුර අවට දිය අගල් පිළිබඳ එක් අධ්‍යනයකදී මා දුටු දසුන් පෙළක්...




 නවීකරණය වුණු කලබල ටෝක්යොව- මේත් ජපන් අදිරද මැදුර අවටමයි.. ඒත් පාරෙ එක පැත්තක පේන්නෙ මන්දිරය හා උද්‍යානය අනිත් පැත්තෙ පේන්නෙ මේ දසුන..


ජපන් අදිරද මැදුරේ එක පිවිසුමක්
නිජුබෂි පාලම- ඈතින් පේන්නෙ ජපන් අදිරද මැදුර මේ ප්‍රදේශය දෙවන ලෝක යුද්ධ සමයෙදි බොහොම විනාශ වුනා කියල කියනව.. ඒත් දැන් ඒව ආපහු ඒ විදියට ම ගොඩනගල

 මන්දිරය අවට ප්‍රදේශය
දෙවන ලෝක යුද්ධ කාලෙ ජර්මන් හමුදාවෙ මූලස්ථානයක් මේ හරියෙ තිබුණ කියල තමා කියන්නෙ..
ජපන් අධිරද මැදුර වටා පිහිටන දිය අගල තමා පහළින් පේන්නෙ... එදා සුන්දරත්වය, ඇතැම් විට ආරක්ෂාව සඳහා නිර්මාණය කළ හා නඩත්තු කළ මේ දිය අගල්වලටත් ජල දූෂණයෙන් මිදෙන්න හැකි වෙලා නෑ, නවීකරණය වුණු ටෝක්යොවෙ සිදු වුණු වෙනස් වීම් මේ දිය අගල්වලත් යම් යම් වෙනස්කම් සිද්ද කරල...
මේ දිය අගලේ සමහර කොටස් සාමාන්‍ය ජනතාවට විනෝදාස්වාදය සඳහා ඔරු පැදීම වගෙ කටයුතුවලට විවෘතයි... විශේෂයෙන්ම වසන්තයෙ මේ අවට සකුරා මල් පිපෙනවත් එක්කම... උඩ පින්තූරෙ පේන ගස් බොහොමයක්ම සකුරා ගස්...

මේ ස්ථාන දෙක ඉතාම ආසන්න ස්ථාන දෙකක්.., ඒත් මේ දවස්වල, ඒ කියන්නෙ ගිම්හානයෙ අග සහ වසන්තයෙ මුල... බලන්න වෙනස...

මේ දවස්වල මේ වතුරට බහින්න මේ වතුරෙ ඔරු පදින්න කොහොමටවත් නොහිතුනට වසන්තයෙ මේ ඔරු පදින්නෙ ඔය දිය අගලෙම තමයි...



Saturday, October 2, 2010

නාඳුනන අහස යට දෙවසරක්...


ඔක්තෝබර් දෙවෙනිදා, හරියට ම අද වගේ දවසක මේ රටට ආවෙ...ඒත් අද වෙනකොට මේ නාඳුනන අහස යට ගතවෙන දෙවෙනි අවුරුද්ද ඉවරයි...තුන්වෙනි අවුරුද්ද පටන් ගන්නව...ජීවිතේ යමක් කමක් තේරෙන කාලෙ වැඩි හරියක්ම ගත වුණේ ගෙදරින් පිට නිසා රටින් පිට වෙලා ඉන්න එකෙත් ලොකු අමුත්තක් නොදැනුනත් සති අන්තෙට ගෙදර යන්න බැරි ඇයි කියල හිතට පහදන්න නම් එච්චර ම පහසු වුණෙත් නෑ ආව මුල් කාලෙ...කාලෙ ගතවෙලා යනවත් එක්ක ම මම මේ රටට, මේ ගෙදරට හුරුවෙලා මේ ගෙදර රැඳෙන නිදහසට ආදරය කරන්න පටන්ගත්ත,ඒ හින්ද ම නිවාඩුවට ගෙදර ගියාම නම් මෙහේ ගෙදර මතක් වුණෙ නෑ ම කියන්න බෑ... ලංකාවෙ ඉඳල ඇවිත් මේ ගේ ළඟට එනකොට ආපහු ගෙදර ආව කියන හැඟීම හිතට ආව, කොයි තරම් දුකින් ආවත් අම්මල ව දාල...

මේ අවුරුදු දෙක ජීවිතේට පුදුමාකාර අත්දැකීම් ගොඩකුත් එකතු කළා... වෙනස් ම පරිසරයක රැඳුන සහෝදර සහෝදරියො වගේ යාළුවො... ආගම, ජාතිය ඒ විතරක් නෙවේ අපි එකිනෙකා අතර දුර, මේ කිසිම දෙයක් බැඳීම්වලට බල පාන්නෙ නැති බව මම තේරුම් ගත්තෙ මේ අවුරුදු දෙකේදි... සරසවිය තුළ බැඳුන සුවිශේෂි ම බැඳුම් අතරෙ මගේ ආදරණීය ම යෙහෙළිය සම්පූර්ණයෙන්ම වෙනස් සමාජ සංස්කෘතියක් තුල ඉපදිල හැදිල වැඩිල මෙහේදි හමුවුණ කෙනෙක් වුණත්, මගේම සොයුරිය වගේ දැනෙද්දි ජීවිතේ මොනතරම් නම් අපූරුද කියල මට හිතුණ...

ඒ විතරකුත් නෙවේ... කෙනෙක් ගැන අපි හිතන හැටි, හැඟීම් සම්පූර්ණයෙන් ම වෙනස් වෙන හැටි... මේ ඔක්කොම වටහ ගන්න අත්දැකීම් මේ අවුරුදු දෙකේ ජීවිතේට එකතු වුණා...

අනිත් දේ, අවුරුදු 12 ත් 14 ත් අතරෙදි වගෙ නතර කළ සිංහලෙන් ලිවීම ආයෙ පටන් ගන්නත් මේ දැනුන පාළුව ම තමා හේතුව වුණේ... පොත් පිටු අග කවුරුත් නොදැක තිබුණ පුංචි පුංචි කවි බ්ලොග් අවකාශයෙ සටහන් වෙන්න පටන්ගත්ත... ඒත් එක්ක ම බ්ලොග්කරණය ජීවිතේට තවත් අපූරු අත්දැකීමක් ගෙනත් ජීවිතේ වඩාත් සුන්දර කලා කිව්වොත් හරි...නිර්නාමිකත්වයට සහ හමුනොවීම ට වහං වෙලා මිනිස්සු නොමිනිස්සු වගේ හැසිරෙන හැටි, නාඳුනන ම කෙනෙක් තවත් කෙනෙක්ගෙ දුක වේදනාව, සතුට බෙදාගන්න එකතු වෙන හැටි... ඔය දෙකම අත්විඳල දැන් නම් හිත රිදවන දේවල් දිහා උපේක්ෂාවෙන් බලල සෑහෙන තරමක ට විඳගන්නත් පුළුවන්...

අද මේ වෙලාව වෙනකොට සරසවිය ගෙදර විතරක් නෙවේ මේ පාරවල් මං සලකුණු ගස් කොළනුත් හිතට දැනෙනව... හුරුපුරුදුයි කියල... මගේ කියන ආදරණීය බැඳීම් සියල්ල ම තියෙන මගෙ රටට යන්න හරිම ආසයි... ඒ අදහස ආවදා ඉඳල ඒ වගෙම තියෙනව... ඒත් දාල ගිය මුල් දවස්වල මෙහෙ ගැනත් පාලුවක් හිතේ ඇතිවෙන්නෙ නෑ කියන්න නම් බෑ දැන්...
තනියම ඉඳගෙන හිතද්දි මම රටින් පිටවෙලා ගෙදරින් ඈත් වෙලා, අවුරුදු දෙකක් හිටිය කියන එක ටිකක් අදහගන්නත් අමාරුයි වගෙ... ඒත් එහෙම ඉන්න පුළුවන් වෙන්න නිතරම ගෙදරට කතා කරන්න තියෙන හැකියාවයි, සමීපම යාළුවොයි පුදුමාකාර ශක්තියක් වුණා කියල නම් මට හිතෙනව...
ඉතින් නාඳුනන රටක තනියම ගතවෙන මගේ ජීවිතේ සැබෑවටම ජීවත් වීමක් කළ ආදරණීය ම මිතුරන් සියල්ලන්ට ම සෙනෙහසින්...කියන්නම්...
ඔබට ස්තුතියි...!!!

2 nd October, a special day... two years before... I left my country and came here..Today it starts the third year in Japan...Being away from home, almost half of my life, it was not so strange to be out of the country... however it was so difficult to make understand my mind why I cant go home in the weekend. In the beginning every weekend I was suffering a lot... Later, I got adapt to the life here and I started to love my home here...When I came back after vacation, it made me feel that I came home when I saw may home here... though I was worrying about leaving my loved ones in Sri Lanka.
These two years, specially the second year here made me to understand nothing matters for a friendship, if we can understand each others feelings. The distance between us, totally different cultures did not matter...Friends could make life interesting and joyful...

The loneliness I felt here made me to start writing in Sinhala again, which was stopped when  I was 12-14 years...It was a really nice experience to find a set of very good friends who can care a lot... and who can share hurt and love with each other, sometimes even unknowns in person...
However now this environment is familiar too... I have been started to love it... though I m  impatiently waiting for returning to my home country, I will miss here one day...
Sometimes it s unbelievable that I was out of country for two years...still the ability to talk to home when ever I feel and close friends who shared ups and downs of my life made it possible...

So....
THANKS A LOT ALL MY FRIENDS, WHO MADE MY LIFE LIVING HERE...!!!

This is written in English BECAUSE OF YOU my dearest friend,
Though you can't differentiate any Sinhala character from each other,
Though you see every Sinhala character as a flower,
and still imagines you are a member of my blog
by counting the comments and the number of posts I have done.