Friday, December 21, 2012

මහ වැස්සේ අයාලේ ගලන සිතුවිලි...

පොළව තෙමාගෙන, ගහකොළ අඹරවගෙන මහ වැස්ස වහිනව... කොච්චර වැඩ තිබුණත් ඒව අමතක කරල දාල දොඩමළු වෙන හිතේ ඇතිවෙන කතාබහ අකුරු කරන්න මට හිත් වෙනව...

 සියුම් ආකාරයේ පළිගැනීමක් වින්දනය කිරීම වටා ලියවුන මගේ කලින් බ්ලොග් පෝස්ට් එකට ගොඩාක් දෙනා කිව්වෙ පළිගැනීම කෘරයි කියල...
"පළිගැනීම කියන්නෙ ඊතලය විසින් දුනුවායාම විනාශ කරන ආයුධයක් බව මම කියෙව්වෙ ඈත අතීතෙ දවසක ක්ලියෝපැට්‍රා නවකතාව කියවද්දි", ඒත් ඒක දැන දැනමත් මිනිස්සු පළිගන්නව...
පළිගැනීම හොඳ වුණත් නරක වුණත් මිනිස්සු පළිගන්නව... මහා පරිමාණයෙන් හරි සුළු පරිමාණයෙන් හරි... අනිත් අතින් මම මොන්තක්‍රිස්තෝ සිටුවරයට කැමතියි... මම විතරක් නෙවෙයි දහස් සංඛ්‍යාත කියවන්නන් මොන්තක්‍රිස්තෝ සිටුවරයට කැමති වුණා... පොත විකුණල ලැබුන මුදලින් ඇලෙක්සැන්දර් දියුමා මොන්තක්‍රිස්තෝ සිටුවරය වගේ ජීවත් වුණා කියල මම අහල තියෙනව... එහෙම සල්ලි ලැබෙන්න කොයිතරම් මිනිස්සු ඒ පොත මිලදීගන්න ඇතිද...එතකොට ඒ ඔක්කොම මිනිස්සු පළිගැනීමට අකමැති නිසාද ඒ තරම් පිටපත් සංඛ්‍යාවක් විකුණුනේ ඒ පොතෙන්ම...

සංකීර්ණ මනෝභාවයන් අතරෙ පළිගැනීමත් තවත් එකක් විදියටත්,තවත් බොහෝ හැඟීම් සංස්කෘතිය හා සභ්‍යත්වය විසින් පාලනය කරනව වගේම පළිගැනීම එයින්ම පාලනය විය යුතු සිතිවිල්ලක් කියල තමයි අන්තිමට හිතුනෙ... ඒත් ඒක කොයිතරමට පාලනය කරන්න පුළුවන්ද කියල තවත් දහස් වාරයක් හිතල බලන්න ඕනෙ...
මොකද නැති කරගන්න බැරි තරම් හොඳ යාළුවො සමහර වෙලාවට හිත රිදවල පළිඅරගෙන තියෙනව කියලත් මට දැනිල තියෙනව... ඒ හින්දම පළිගැනීම ආදරයත් එක්කම බැඳුනු මනෝභාවයක් කියලත් මම නිගමනය කළා..

පළිගැනීම සහ ඒතුළින් එන මගහැරීම සමහර වෙලාවට අපිටත් නොදැනිම සිද්ද වෙනව... මම ගුරුවෘත්තියට කිසිම දවසක කැමති වුණේ නෑ... මට ඒකට කිසිම පැහැදිලි සාධාරණ හේතුවක් තිබුණෙත් නෑ... ඒත් අන්තිමේදි මමත් ඉරණම විසින් උගන්නන රස්සාවටම තල්ලු කරල දැම්මට පස්සෙ දවසක අහම්බෙන් මට ඒ හේතුව හම්බුනා... මම හිතන විදියට මම ගුරුවෘත්තියට වෛර කරන්න හේතුව ගුරුවරියක් වුන අම්මගෙ ආදරේ අනිත් ළමයින්ට බෙදිල යනව දකිද්දි ඇතිවුණ ඉරිසියාව කියල... ඒත් අද මටත් ඒ විදියට අනුන්ගේ දරුවන් වෙනුවෙන් ආදරේ ඇතිවෙනව...

ජීවිතේ කැරකිල ආපහු ඒවි... අන්තිමට මට එහෙම හිතෙනව...

14 comments:

  1. තාත්තගෙ ආදරේ අනිත් මිනිස්සුන්ට බෙදිලා යනව දකිද්දි ඒ ඇතිවුනේ ඉරිසියාව තමයි මටත් ... අද ඒ විදියටම මගේ ආදරේ බෙදිලා යනවා යැයි දරුවාටත් සැමියාටත් සිතෙන්නට ඉඩ නොදෙන සෑහෙන අදිටනක. හේතුව දන්නවා නම් ජීවිතේ කැරකිලා ආපහු එන එක නතර කරගන්නත් ඇයි බැරි?!!!!!

    ReplyDelete
    Replies
    1. අරුණි අක්කෙ,

      "ඒත් අද මටත් ඒ විදියට අනුන්ගේ දරුවන් වෙනුවෙන් ආදරේ ඇතිවෙනව..."
      ඒකයි... එදා ඉරිසියා හිතුව හිතේම තමයි මේ ආදරේ ඇතිවුනෙත්... ඉතින් අනාගතේදි මගේ දරුවොත් ඉරිසියා හිතයි ඔය ආදරේ ගැන...

      ඒකයි මම හිතුවෙ ජීවිතේ කැරකිල ආපහු ඒවි කියල...

      ඒක නවත්තගන්න ඕනෙමයි කියලත් මට හිතෙන්නෙ නෑ... මොකද අද මම තේරුම්ගත්ත වගේ මගේ දරුවොත් ඒක තේරුම් අරන හිත ඇතුළතින් තමනටම හිනා වෙලා ඒක විඳ ගනීවි...

      ජීවිතේ එහෙමයි...

      Delete
  2. තමන්ට වරදක් කරපු කෙනෙකුට ඒ වෙනුවට දඬුවමක් ලැබෙන්නම ඕනනෙ. එතකොට ඒ දඬුවම එක අතකට පළිගැනීමක්.එහෙම නැති උනොත් ඒ වැරදිකාරය වරදට දඬුවමක් නොලබා බේරෙනවට අතිරේකව ආයෙම තව කාටහරි ඒ වරදම කරන්නත් අවස්ථාවක් ලබා ගන්නව. ඒ නිසාම පළිගැනීම නරකයි කියල මට හිතෙන්නෙ නම් නෑ.

    අනික් අතට අපිට වරදක් කරපු කෙනෙකුගෙන් අපි පළිගත්තෙ නෑය කියමු.එයාට ආයෙම මොකක් හරි උදව්වක් කලා කියලත් හිතමු.එහෙම කරන්නෙ.... අනේ මේ මනුස්සය මම මෙච්චර වරදක් කරලත් පළිගත්තෙ නැහැනෙ මට උදව්වකුත් කලානෙ... කියල හිතල එයා පසුතැවිලි වෙයි කියල බලාපොරොත්තුවෙන් නම් ඒකත් එක්තරා විදිහක පළිගැනීමක් නෙවෙයිද?

    ඔයා අකමැති වෙච්ච ගුරු වෘත්තියටම ඔයාට යන්ට සිද්ද වෙච්ච එකත් මම හිතන්නෙ දෛවය ඔයාගෙන් කල පළිගැනීමක්...එහෙම වෙන්න බැරිද?...හෙහ්, හෙහ්,

    ReplyDelete
    Replies
    1. " හොඳම පළිගැනීම සමාව දීමයි" කියලත් මම කොහෙදෝ කියවල තියෙනව... ඒත් මට එහෙම හිතල උඩ බලාගෙන ඉන්න අමාරුයි... අනිත් අතින් හොඳම පළිගැනීම සමාව දීමයි කියන්නෙ රවි අය්ය කියනව වගේ පස්සෙ පසුතැවිලි වෙයි කියල යටි අරමුණෙන් නං ඊට හොඳයි කෙලින්ම පළිගන්න එක...

      රවි අය්ය කියනව වගේ ගුරු වෘත්තියටම මාව තල්ලු කරල දෛවය මගෙන් පළිගත්ත නං පළිගැනීම බොහොම හොඳ දෙයක්... මොකද උගන්නන එක මම හිතූතරං නරක රස්සාවක් නෙවෙයී... :) :)

      Delete
  3. ගුරුවෙරයෙක් වෙන එක කොච්චර දෙයක්ද... හික්ස්... ඒ දවස් වල අකමැති වුනාට දැන් තේරෙනවනේ ගුරුවෘත්තියේ ලස්සන....

    ReplyDelete
    Replies
    1. දැන් නං මම උගන්නන්න ඉස්සර වගේ අකමැති නෑ... ඒ කාලෙ මගෙන් ඇහුව නං ගුරුවෘත්තියට අකමැති වෙන්න හේතු කෝටියක් විතර මට තිබුනා...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. චේජනා පළිනොගෙන ඉන්න එකම තමයි හොඳ. මගේ මේ ජීවිතකාලෙදි කිසිම කෙනෙකුට මේ චේතනාව ඇති උනේ නෑ. අම්මගෙ ආදරේ බෙදිල ගියත් අම්මාට හැම දරුවෙක්ම එක වගේ නංගි. ගුරු වෘත්තිය තරම් උතුම් වෘත්තියක් තවත් නෑ. ඒක ඉරණම විසින් හෝ දෛවය විසින් හෝ ඔබට දීල තියෙනවා. නංගී එය කොතරම් දෙයක් ද?
    ඔබේ හදරිදවන දේ ඔබට සැනසීම ගෙනේවි කාලයත් සමඟම .
    හරි යාලුවෙක් හිත රිදවලා පලිගන්නෙ නෑ .

    ReplyDelete
    Replies
    1. අක්කෙ, ඔයා කොහොමටත් නිවුනු සිතිවිලි තියෙන කෙනෙක්... ඒ තරම්ම නිවුනු හිතකින් හිතන්න මට අමාරුයි...
      එක්කො ඔය වගෙ නිවුන හිතක් ලැබෙන්න තව කාලෙ ගතවෙන්න ඕනෙ.. එක්කො මට ඒ තරං නිවුන සිතිවිලි ඇති වෙන එකක්ම නෑ....

      Delete
    2. නෑ නංගි, මාත් හිටියෙ ඔයා වගේ. මම මගෙ ජීවිතේටත් වෛර කලා එක කාලයක්. ඔයාගෙ හිත නිවා ගන්න ඕනෙ ඔයා විසින් මයි. ඒක මටවත් වෙන කාටවත් කරන්න බැහැ. ටිකක් හිතන්න අපි කොයි තරම් පුංචි කාලෙකටද? මේ ලෝකෙට ඇවිත් ඉන්නෙ කියල. අපි මෙහෙන් යන දවස අදද? හෙටද? කියල කාටවත් අපිට ස්තීරයෙන්ම කියන්න පුලුවන් ද? ඉතින් ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න. මේවගෙ දේ හිතට ආවහම ඒ සතුට නැතිවෙනවා නේද? ඔයාට යහපතක්ම වේවා! කියල බොහොම සෙනෙහසින්ම පතනවා නංගි. තරහා වෙන්න එපා ඔන්න මාත් එක්ක ඕනෑවට වඩා ආවාද මන්දා.

      Delete
    3. පහුවුනු දවස් ටිකේම ඉන්ටනෙට් ගියෙ නැති නිසා තමයි උත්තරයක් ලියන්න පරක්කු අක්කෙ, (නැතිව ඕනවට වඩා ආව කියල හිතුන් නිසා නෙවෙයි.. )
      සමහර දේවල් තියෙනව අනිත් අය ලඟ තියෙද්දි අගය කලාට මට ලබාගන්න ඕනෙ නැති දේවල්... නිවුණු ගතිගුණත් ඒ වගේ දෙයක් මට... මම ඒව කෙනෙක් ලඟ තියෙද්දි වටින බව දන්නව.. ඒත් මම ආස දුක වේදනාව, සතුට, කේන්තිය ඔය ඔක්කොම මැද්දෙ දෝලනය වෙන ජීවිතයක් මට තියෙනවට. මොකද ඒක නැති උනොත් මම කියන අනන්‍යතාවය නැති වෙලා ගිහින් මම වෙන කෙනෙක් වේවි කියල මට හිතෙනව...

      Delete
  6. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...