Tuesday, March 20, 2012

තවත් අළුත් දවසක...

එදා උපරිම නිදහසක් ද ඒ හා සබැඳුනු තනිකම ද හා විවේකය ද විසින් සතියකට වරක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක් සටහනක් තබන්නට ද, දිනපතා බ්ලොග් කියවන්නට ද අවකාශය ලබා දුන්න ද...

අද වගකීම් ද නොතනිය ද ඒ ආශාව ද නිදහස ද උදුරාගත්තත් හැකි හැම විටම බ්ලොග් සටහන් කියවන්නටවත් උත්සාහයක් දරමි. එක්තරා දඩයක්කාරයාගේ කතාවත්, සයිබර්යාය ලියන්නට බැරි වුණ හේතුවත්, හිත තියෙන තැනත් ඇතුලුව සටහන් කිහිපයක් උදෑසනම  කියවීමි...

ජීවිතය කතාවක් ව ලියවෙන්නේ ඒ හා සබැඳි එදිනෙදා කටයුතු ද අත්දැකීම් සමුදාය ද සමගින් බව ඊයේ වඩාත් හොඳින් වටහා ගතිමි... සිසුවියක් ලෙස එදා මා දුටු ආචාර්යවරුන් අද සාර්ථක ගමනක අවසානයේ මා දකිද්දී විඳින සතුට දිටිමි...

අතීතයේ දිනෙක ඉතාමත් නුහුරු නුපුරුදු හැඟීමෙන් ද බියෙන් සැකයෙන් ද සරසවියක පහස ජීවිතයේ මුල්ම වරට වින්දෙමි. එදා සරසවියක සෙවණ ලද මා නැවත ද ජීවත් කරවන තවත් දරු පරපුරක් සරසවි සෙවණ සොයයි. ඉගෙනීමට වඩා උගැන්වීම අපහසු බව ද, ප්‍රශ්න ඇති කරගැනීමට වඩා දරුවන් ඇති කරගන්නා ප්‍රශ්න විසඳීමට ඉවසීම අවැසි බව ද, විශ්වාස කරනවාට වඩා විශ්වාසය දිනාගැනීම අපහසු බව ද ඕ දිනෙන් දින මට අවබෝධ කරවයි.

කාලය, ශ්‍රමය හා කැපවීම පමණක් නොව  ආදරය, කරුණාව හා දයාව ද අයදින තුන්වන සරසවියේ නැංගුරම් ලූ ජීවන නෞකාවේ සතුටින් රැඳෙමි....

සටහන වෙනදාටත් වඩා කෙටි හා පෞද්ගලිකව මා සිතට දැනෙන සතුට පමණක් කැටි කරන නමුත්,
මින් නිමවමි...

9 comments:

  1. ඉඳ හිට දින සටහනක් ලිවුවට වරදක් නැහැ අපිවත් අතීතෙට තල්ලුකරන්න ඉතින් !!

    ReplyDelete
  2. හරිම අව්‍යාජ හැඟීම් නේද?

    "ඉගෙනීමට වඩා උගැන්වීම අපහසු බව ද, ප්‍රශ්න ඇති කරගැනීමට වඩා දරුවන් ඇති කරගන්නා ප්‍රශ්න විසඳීමට ඉවසීම අවැසි බව ද, විශ්වාස කරනවාට වඩා විශ්වාසය දිනාගැනීම අපහසු බව ද ඕ දිනෙන් දින මට අවබෝධ කරවයි..."

    මේව කාලයත් එක්ක එන යථාවබෝධයන් නේද?
    ලමයින්ගේ සමහර ප්‍රස්න වලදි වැඩිහිටියෝ හිනාවෙලා නිකං ඉන්නේ ඇයි කියල තේරෙන්න එතනට එන්න ඕන

    ReplyDelete
  3. ඒ දැනෙන සතුට පෝස්ට් එකෙන් අපිටත් ලාවට වගේ දැනුනා...

    ReplyDelete
  4. මම් මේ පෝස්ට් එක වැඩපොලේදි කියවලා සතුටු උනා.

    ReplyDelete
  5. මේ සටහන කියවා ඇති වුනේ සතුටක්, ඊටත් වඩා ගෞරවයක්.

    ReplyDelete
  6. තේරුනේ නෑ. අද ඔයා ආචාර්යවරියක්ද? :D

    ReplyDelete
  7. "කාලය, ශ්‍රමය හා කැපවීම පමණක් නොව ආදරය, කරුණාව හා දයාව ද අයදින තුන්වන සරසවියේ නැංගුරම් ලූ ජීවන නෞකාවේ සතුටින් රැඳෙමි...."

    I think the purpose of life is to discover what makes you happy. So you have already discovered it...

    Anyway, dont forget to drop something in your Blog as well ....

    露 from ルウナ

    ReplyDelete
  8. ස්තුතියි කාටත් මගේ සතුට බෙදා ගත්තට...

    ReplyDelete
  9. අලුත් පිටුවක් අලුත් විදිහට
    ඇවිත් වාගේ ඔබේ දිවියට
    ..ළමෙක් වෙලා ඉඳල ගුරුතුමියක් වෙන එක හරිම අපුරුයි නේද . ඉඳන් හිටි පුටුවල වෙන ළමයි ..ඔයා ඉස්සරහ තනියම .

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...