Tuesday, February 14, 2012

මගතොට දී...

අප අවට ගැවසෙන්නන් කතා කරන දේ වටහා ගන්නට හැකිනම් ලෝකය කතා තෝතැන්නක් බව අද මට එදාටත් වඩා හොඳින් වැටහේ... ඒ අතරම වසර ගණනාවක් තිස්සේ ගම් රටවල්වල කෙමෙන් සිදුවූ වෙනස්කම් ද එකවර ග්‍රහණය කිරීම හේතුවෙන් විශාල පරිවර්තනයන් ලෙස සමහර සිදුවීම් මා තුළට ඇතුළු වේ. මා අසන දකින දේ මසිත බොහෝ සිතුවිලි ගොනු කරන්නේ එබැවිනි...


එදා මා දුටු පාසල් වෑන් රථවල ස්ථානය අද වනවිට විශාල බස්වලින්ද, කෙටිදුර පාසල් සිසුන් ප්‍රවාහනය ත්‍රීවීලර්වලින්ද අයත් කරගෙන ඇත... උදෑසන මා දකින එක ත්‍රීවීලරයක් පාසල් දරුවන් දස දෙනෙකුගේ පමණ ප්‍රවාහනය සලස්වයි... පිටුපස අසුනේ තුන් හතර දෙනෙක් හිඳුවා තවත් තුන් හතර දෙනෙක් සිටුවාගෙන ත්‍රීවිලරයේ රියදුරු අසුන අසල කොක්කක ඔවුනගේ බෑග් රඳවා, තවත් දරුවකු උකුල මත ද හිඳුවා ඔහු සිය රථය ධාවනය කරයි...වැඩි ආරක්ෂාව පතා ත්‍රීවිලරයක යවනු වෙනුවට දරුවා පොදු බස් රියක යැවේ නම් මීට වඩා ඔහු සුරක්ෂිත බව මට සිතේ...

සාමාන්‍ය පෙළ විභාග පවැත්වෙන අතරතුර ඊටත් වඩා අවදානම් දසුන් ද දක්නට ලැබිණ. ආරක්ෂිත ඉක්මන් ප්‍රවාහනය පතා, පියාගේ මෝටසයිකලය පිටුපස අසුනේ යන අතර ද පොත් පෙරළාගෙන, තවත් යමක් පාඩම් කරගන්නට තැත් දරන දියණියන් ය ඒ...  පියවරු එතරම් නොසැලකිලිමත් වූයේ කවදා දැයි මට ඒ දුටු මොහොතේ සිතට නැගිණ...

-------------------------------------------

ඒ අතරම දිනක් පාමසියේදීද එවන් තවත් සිදුවීමක් අත්වින්දෙමි. හේ මෝටසයිකලයකින් පැමිණි තරුණ පියෙකි.

"කැස්සට බොන සිරප් එකක්.. " හේ පාමසියෙන් ඉල්ලයි...

"කාට ද? "

"පොඩි ළමයෙකුට..."

"වයස කීයද?"

"අවුරුදු 3 යි"

"අවුරුදු 6 ට අඩු ළමයින්ට එහෙම දෙන්න බෑ.. දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගන්න" පාමසිකරු තරමක් තදින් කියනු ඇසේ...

එහෙත් නැවත ද උත්සාහ කරන ඔහු එවර "වැල්මෙලික්ස්" තිබේ  දැයි  අසයි....
ඒ සංවාදයෙන් මගේ කනට වැටුණේ එපමණකි...

එහෙත් මව්පියවරුන් මෙතරම් නොසැලකිලිමත් වූයේ කවදා  දැයි මට නොතේරේ...

10 comments:

  1. ගොඩක් වැඩිහිටියෝ සල්ලි පස්සෙම විතරක් පන්නන නිසා, අද කාලේ සමහර ළමයින්ට දෙමාපියන්ගේ ආදරේ නොලැබී යමින් තියනවා.ඒ තරමට සමහර අය කාර්යයබහුල වෙලා තමන්ගේ දරුවා ගැනවත් හොයලා බලන්න වෙලාවක් නැතිවෙලා.

    ReplyDelete
    Replies
    1. ඒත් අද අපේ කාලෙටත් වඩා දෙමව්පියො ළමයි ඉස්කෝලෙ එක්කයන්න එහෙම කැප වෙනවත් පේනව... ඒ අතරෙ ඒ දෙමව්පියොම මේ නොසැලකිලිමත් වැඩත් කරනව...

      Delete
  2. එක පාරටම නෙමේ ලෝකේ හැමදාම ටික ටික වෙනස් වෙනවා . වෙනස්කම් නරක අතට වෙන එක ඇත්තටම දුකක් තමයි . අපි අමාරුවෙන් බස්වල එල්ලිලා ගිහින් තියෙනවා . ඒත් අදට වඩා බය අඩුයි එදා . දැන් බස් එකකවත් ලමෙක්ට තනියෙන් යන්න බැහැනේ . ඒ තරම් අපි දියුණුයි . මගේ ළමයින් තනියෙන් පාරේ යන්න දන්නේ නැහැ . ලෝකේ දියුණු වෙනකොට අපි පරිණාමය අතින් රින පැත්තටද යන්නේ . අයි පෑඩ්..අයි ෆෝන් අතැඹුලක් වෙච්ච පරම්පරාවට තනියෙන් පාරක් පැනගන්න ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ . අඬන්නද..ලජ්ජා වෙන්න ද .මට තේරෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න අමාරුයි බින්දි, මේකටම සම්බන්ධ තව කතාවක් තියෙනව කියන්න...අපි සංවර්ධනය කියල දකින්නෙ මායාවක් ද කියල අහන...

      Delete
  3. ලොව කැළඹී ගිනිගත්දී....!!!

    ReplyDelete
  4. කොරෙක්ස් ඉස්සර නිකං දුන්නට දැං දොස්තරගේ අනුමැතිය නැතුව දෙන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි... දැන් හිතුමතේ බෙහෙත් පාවිච්චිය හොඳටම වැඩිවෙලා...

      Delete
  5. පුංචි ඈයොන්ට ඔහොම බෙහෙත් ගන්න එක හොද නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක පාමසියෙනුත් කියද්දි කියද්දි මෙහෙම කරන එක නෙ අහන් ඉන්න අමාරු...

      Delete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...