Monday, February 6, 2012

මහ නුගේ...



"සමන්තා චක්ක වාලේසු
අත්‍රා ගච්ඡන්තු දේවතා"

අඳුරු පරිසරය සිසාරා යන ගැඹුරු හඬින් ඒ නාදය නැගී ඒ... විසල් පෙදෙසක් අරා නැගීගත් නුග රුක මහා යෝධයෙක් වැන්න... අතුපතර අතරින් පෙරී එන සඳ දිය රැහැන් තණ ගොල්ල මත සඳ සිතුවම් මවයි... දේවතාරාධනාව අසන දේවතාවෝ අතුපතර අතරින් මිහිමත වඩිනු ඇතැයි සිතන්නට පරිසරය අනුබල දේ...

"සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොනේ" වැඩුණු පතළ මහා නුග රුකක

"වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත" දෙවිවරු දහසක් වැඩ සිටින බව අනුමානයක් නොව සැබෑවකයි මාසිත මුරගායි...

නුග රුක් රාජයාගේ අතුපතර අතරින් දිවසළු හැඳි දේවතාවුන් රැසක් සාදුකාර දේ...සඳ මඳකට වළා සළුයෙන් මුව වැසූ සඳ, පහන් එළියෙන්ද සුවඳදුමින් ද සුගන්ධවත් ඒ බිම සහසක් දෙවිවරු ධර්ම ශ්‍රවණය නොකළ යුත්තේ මන්ද? දිව සැපත ඊට මඳක් මෙහා මිස එහා නම් නොවේ...

-------------------------------

සවස් කල වැස්ස අහසේ පසෙක එක්තැන්ව රැඳෙන්නේ, මද්දහන තවමත් ගිනිගෙන දැවෙයි... නා කියා ගන්නට මහ නුගේ පසුකර ළිඳට ඇදුනවුන් පෙරළා එන්නෝ සුවිසල් නුග සෙවනේ මදක් විඩා නිවති... පෙදෙසක් සිසාරා අතුපතර ගැවසුනු මහනුගය මත, ලැගුම් ගත්, නාපිරිත්ත වැලක් පහළට කඩා වැටේ...

"හෙට අනිද්දම කපාදාන්න වේවි...නැත්නන් ඕක නුගේ වහගෙන ගිහින් නුගේ මැරිල යාවි"

මහා දිය බිඳු විසිරුවමින් සවස්කල වැස්ස හිටි අඩියේම ඇද වැටේ... පෙදෙස අඳුරු කරමින් ඇද හැලෙන වැස්ස අතරින්, මහ නුගේ සේයාව දෙනෙතට හසුවේ...වැහි අඳුර මැදින් නැගෙන අකුණු, වරින්වර මහ නුගේ ඒකාලෝක කරයි... 


17 comments:

  1. නුග ගස් කියන්නේ ගොඩක් වටින ගස් ජාතියක් නිසා නාපිරිත්ත වැල කපා දාන එකා හොදා.

    නුග ගැන කිව්වම මතක් වෙන්නෙම දෙනිපිටියේ නුග ගහ.

    ReplyDelete
    Replies
    1. ඒ ගහ ගැනත් කවිපන්තියක්ම තියෙනව නේ...

      Delete
  2. හැම තැනම වෙන්නේ ඕකයි.. මහ එකාගේ පැවැත්ම වෙනුවෙන් පොඩි උන් විනාශ කරලා දානවා....

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ, පැවැත්ම සිද්ද වෙන්නෙ එහෙමයි...

      Delete
  3. ඉස්සර අපේ පංසලේ නුගේට පෝය දවසට දේවතා එළි පාත් වෙනවා කියලා ආච්චි අම්මා කිව්වා....

    ReplyDelete
    Replies
    1. හුඟක් නුග ගස්වලට පූජනීය බවක් අපි ලබා දීලා තියනව...පළාතක් වහගෙන හැදෙන ගහක් නෙ...

      Delete
  4. මටත් ආසයි නුගයක් හිටවන්න...

    ReplyDelete
    Replies
    1. බොහොමයක් නුග ගස් නං ඉබේම හැදිච්ච... ඒත් නා ගහක් වවා ගන්න නං මටත් ආසයි....

      Delete
  5. නුග ගස් කියන්නෙ වෙන කිසිම ගහක් අසලදි දැනෙන්නෙ නැති අමුතුම අද්භූත ගූඪ හැඟීමක් හිතට නිරායාසයෙන්ම ඇති කරවන ගහක්.....වනස්පතී කියන නම අපූරුවට ගැලපෙනවා....

    ඒ අසාමාන්‍ය හැඟීම අපූරුවට ගෙත්තම් කරල තියෙනව චේජනා.....නියමයි,

    විමලරත්න කුමාරගම මහත්මයගෙ අපූරු කවි පංතියක් තියනව ....'' වැව ළඟ නුග රුක '' මට මතක විදිහට නම.....හොයාගන්න බැලුව...හරි ගියේ නෑ.......අන්තිම පදේ විතරක් යන්තම් මතකයි...හෙහ්, හෙහ්,

    ''දෙවියන් නැත ද මෙහි බලයක් තිබෙනු දැනේ''

    ReplyDelete
    Replies
    1. ~ අයියනායක ~
      විමලරත්න කුමාරගම

      සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොනේ
      කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
      මළ කා කළුව ගිය ආයුද කැබලි පෙනේ
      දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ

      බුද ගුරු සනි හිරුට හිමි හැම දවස් වල
      මේ සංහිඳේ එළියක් ඇත සවස් කල
      ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් කළ
      හැම දෙන එතැන රැස් වෙති ගම ගෙවල් වල

      වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
      ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
      සඳ රැස් ගලන විට තෙරපී සෙවණ මත
      එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත

      දෙවි දේවතාවුන් සැරිසරන මහ වනේ
      පවතින බලය ඇඟ ලොම් තුඩකටද දැනේ
      මොලයෙන් තමා ලෝකයෙ සුවය වැනැසුණේ
      මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

      සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
      කෙම්මුර දවස් වල පානින් සැරසීම
      වන අතු කඩා ගස් දෙබලක දැවටීම
      මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

      සාගත වසංගත හා එන නියඟ වලින්
      සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
      යන මේ පිරිස සැරසීමට නුවණ මලින්
      පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්

      ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
      අහුමුළු නෑර සිය අණසක පතුරු වන
      බලවත් අයියනායක, දෙන ගොදුරු ගෙන
      මේ අය රකිනු මැන යන එන සියලු තැන

      පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
      මීමුන් මදින් මත් වී අං මදින තැන
      වැව් වල මිනී කන කිඹුලන් ගැනද දැන
      මේ අය රකිනු මැන යන එන සියලු තැන

      මාපිල් පිඹුරු නා පොළඟුන් සිටින තැන
      අලි කොටි වලස් මුළු කොළහල කරන තැන
      නිතරම ඔබ පුදුන මේ අය ඇඳින ගෙන
      බලවත් දෙවි තුමනි දිව රෑ රකිනු මැන

      Delete
    2. මම හිතන්නෙ රවි අය්ය මතක් කරන්නෙ මේ කවි ටික...

      Delete
    3. අනේ ඔව් නංගී...ඕක තමයි...ඕක තමයි....

      ඔන්න බලන්නකො චේජනා...... ඔයා මේ ලිපියට උපුටා ගත්තෙ ඒ කවි පංතියෙන් පද දෙකක්ය කියල මට මතක් උනේම නැති හැටියක්...හෙහ්, හෙහ්,

      ' අයියනායක '' තමයි එහෙනම් කව්පෙලේ නම නේද?.....ඔය කව්පෙල තිබ්බෙ අපේ හතේ පංතියෙ සිංහල පොතේ......එදායින් පස්සෙ ඔන්න මේ කියෙව්වමයි....

      Thanks so much Chejana............It was so nostalgic and pleasant indeed, going down the memory lane......

      Delete
  6. බොහොම සිත් ගත් සටහනක්
    ඔබේ යටි හිත බොහොම නිස්කාංසුවකින් පසුවෙනවා කියලත් දැනෙනවා

    Ravi I think now Chejana is in the state of "1/nostalgic"
    She is lucky & we're not....!!1

    ReplyDelete
    Replies
    1. ඉඩ තියෙන වෙලාවක ආව නං මහ නුගේ දකින්න පුළුවන්...

      Delete
  7. කාල දෙකක සිදුවුනු වෙනස ලස්සනට පැහැදිලි කරලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්, රෑට කළුවරේ දකින ගාම්භීරකම ගැන දවාලෙදි කරපු සංසන්දනයක්...

      Delete
  8. චිත්ත රූප මැවෙන භාෂා විලාශය සුන්දරයි

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...