Monday, June 27, 2011

අනාගතය දැකීමේ තැත සහ Marriage Simulator

මිනිසා වන අපට අනාගතයට කර පොවා බලන්නට වරම් නැත. එතකුදු අනාගතයට කර පොවා බැලීමේ නොතිත් ආශාවෙන් පෙළෙන මිනිසා ඒ සඳහා නානාවිධ උපක්‍රම සොයා යයි. අතීතයේදී ද එය එසේම විය. වර්තමානයේ ද එය එසේමය. අනාගතයේ ද එය එසේම වනු ඇතැයි සිතේ.

අනාගතය දැකීමේ හැකියාව මිනිසාගෙන් වසං කර ඇත්තේ ඒ දැක එය විඳ දරාගැනීමට හැකියාවක් මිනිසාට නැති බැවිනැයි මා වරක් කියවා ඇත. අනාගතය දැකීමේ හැකියාව බුදුරදුන්ට තිබුණ ද, ස්ථිර ව අනාගතය දැකිය හැකි බවක් මට නොසිතේ. නුදුරු අනාගතයේ සිදුවිය හැකි යම්සිදුවීමක් වළක්වා ගතහොත් ඉදිරිය වෙනස් වන බැවිනි. ඊට හොඳම උදාහරණයක් ලෙස මා දකින්නේ අංගුලිමාල කුමරුන් සිය මව මැරුවහොත් අපාගත වනු දකින බුදුරදුන් ඊට පෙර ඔහු හමුවට වැඩම කර ඔහු බුදුන් දැක, නිර්වාණය අවබෝධ කළ රහතන් වහන්සේ නමක් කිරීමයි.

ලාංකීය හා බොහෝ දුරට ඉන්දියානු සම්භවය හා බලපෑම ඇති රටවල්වල මිනිසා විසින්, අනාගතය දැකීමේ නොතිත් ආශාව ජ්‍යෝතිශය යොදා ගනිමින් යම් තරමකට සමහන් කරගනු පෙනේ. සාස්ත්‍ර කීම හා ඇසීම දිනෙන් දින එය කියන පුද්ගලයා ද යොදා ගන්නා උපාය මාර්ගය ද පමණක් වෙනස් වෙනස් වෙමින් අප සමග ම යයි. කෙතරම් දැනුවත් වූව ද වංචාකාරයින්ට හසුවීම ද මේ නොතිත් ආශාව නිසා ම වේ. මට වටහා ගනු නොහැකි නමුදු මේ සියල්ල බොරුවකැයි කීමට ද ඉක්මන් නොවෙමි. වටහා ගනු නොහැකි වුව ද ඒවායේ යම් යම් සත්‍යතා මම ම අත්විඳ ඇති බැවිනි.

මේ සිතිවිලි රැස අද මසිත ජනිත කළේ ජපන් කෙටි චිත්‍රපටයක් විසිනි. අනාගතය දැකීමේ කුතුහලය ඉහළම තලයේ පවතින්නේ යොවුන් වියේදී යයි මම අසා ඇත්තෙමි. මෙය ද සිය විවාහ දිවිය කෙබඳු වේදැයි බලන එවන්යොවුන් පෙම් යුවලක කතාවකි. වඩාත් සාර්ථක හා සත්‍යයට වඩා ළං වූ උපායමාර්ගවලින් අනාගතය දැකීමේ තැත පිළිබඳ විග්‍රහයකි.

ඉංග්‍රීසි උපසිරසි සහිතව යූ ටියුබ් හි නැරඹිය හැක.
http://www.youtube.com/watch?v=2EzWRPvgtP8
http://www.youtube.com/watch?v=jhgDsGgRrNs&feature=related
http://www.youtube.com/watch?v=zY9Ic0GuDEY&feature=related

20 comments:

  1. සමහර කාලවලදි කුතුහලයක් එනවා තමයි අනාගතය ගැන දැන ගන්න. ඒක මිනිස් ස්වභාවය වෙන්නැති. ඒකනෙ හැම සංස්කෘතියකම ඒ අවශ්‍යතාවය ඉටු කරන පිරිසකුත් බිහි වුණේ.
    ස්තුතියි චිත්‍රපටය ගැන තොරතුරට.

    ReplyDelete
  2. කිහිප දිනක් ම මේ පැත්තේ ආවත් සටහනක් දාන්නේ අද. සාමාන්ය දනිම, දර්ශනය එක්ක හිතන්න යමක ඉතුරු කරමින් ලියන සටහන් ලස්සනයි. දිගටම ලියන්න.

    අනාගතය [හෙවත් අතීතයට ගොස් එහි වර්තමානය] වෙනස් කිරීම මත සමහරුන් ගොඩ නගන සමාන්තර විශ්ව සංකල්පයත් මෙතැනදී එක වැදගත් කල්පිතයක්. ටෙස්ට් කරලා බලන්න නම් බැරි වෙයි.

    මගේ අදහස නම්, කාලය කියා මාද්යයක් නැහැ. එහෙ මෙහෙ යන්න ගොස් දකින්න හෝ වෙනස් කරන්න. කාලය කියන්නේ නොනවතින වෙනසක්. කාල යන්ත්‍ර හෝ කාලාවතරණය මට හිතෙන්නේ සත්‍ය ලෙස විය හැකි දෙයක් නොවේ කියලයි. මේකත් හැබැයි කල්පිතයක්.

    මිනිසුන් අනාගතේ දකිනවා කියන්නේ වර්තමානය දිහා බලා කරන හොඳ අනාවැකි කීමකට වෙන්න පුළුවන්. බුද්ධිය මේරු අත්දැකීම ඇති මොළයකට මේක ඉතා නිවැරදි ව කල හැකියි. 100%ක් නම් නොවේ.

    ReplyDelete
  3. ඈත්තෙන්ම අනාගයත දකින් විදිහක් ගෑන යෝගීන් සදහන් කරලා තියෙනවා... ඔවුන් සිහින් වර්ග පහකට බෙදනවා...
    පලමු වර්ගයේ සිහින : කහලගොඩක් විදිහට එය හදුන්වනවා... වෑඩක් නෑතෑයි කියලා
    දෙවන වර්ගයේ සිහින : පෑතුම් හා අවශ්‍යයතාවයන් සපුරාගෑනීම පිළිබද...
    තෙවන වර්ගයේ සිහින : ඔවුන් එය හදුන්වන්නේ සුපිරි විඥාණයේ සිට එන සංනිවේදන විදිහට (දුර්ලභයි )
    හතරවන වර්ගයේ සිහින : අතීත ජීවිත පිළිබද සිහින (එතරම්ම දුර්ලභ නෑත )
    පස්වන වර්ගයේ සිහින : අනාගතය දෙසට ගමන් කිරීම ( දුර්ලභයි )
    මේ විදිහට ඔවුන් සිහින බෙදා දක්වනවා...
    මෙය කොතරම් ප්‍රායෝගිකද දන්නේ නෑ... මම කාලෙකට ඉස්සෙල්ලා පොතක් කියෙව්වා.. එහි තමා මේ ගෑන තිබුනේ

    ReplyDelete
  4. නලිනි, තවම මමත් ආසයි අනාගතේ ගැන දැනගන්න.. හැබැයි ටිකාක් කල්පනාවෙන්...

    ReplyDelete
  5. සුජීව,
    සමාන්තර විශ්ව සංකල්පය ගැන විද්‍යා ප්‍රබන්ධ කීපයක් කියවල තිබ්බත් ඒ ගැන පැහැදිලි අදහසක් මට නෑ.

    ඔයාගෙ අන්තිම අදහසට නම් මමත් සෑහෙන එකඟයි. වර්තමානයේ අපේ සිතිවිලි හැසිරීම් දිහා බලල මේරූ බුද්ධියකින් හොඳ අනාවැකි කීමක් කරන්න පුළුවන්. සමහර විට අපි හෙළි නොකරන අපේ සිතුම් පැතුම් තේරුම් ගැනීමේ හැකියාව මත.

    ReplyDelete
  6. කිරි,
    සිහිනත් අපේ අභ්‍යන්තර සිතුම් පැතුම් හා සබැඳුනු දෙයක් නිසාත්, අපේ යමක ගැන තියෙන අවශ්‍යතාව, කැපවීම වගෙ දේවල් අභ්‍යන්තරය හොඳින් ම දන්න නිසාත්, ඒ හැරුණවිට අපේ දැනීමට විෂය නොවෙන යම් යම් දේවල් නිසාත් (සවැනි විඥාණය වගේ) සිහින අනාගතය ගැන ඉඟි කරනව වෙන්න පුළුවන්..

    ReplyDelete
  7. ස්තුතියි චේජනා....හිමිට බලන්න ඕන . මන් නම් කැමති නැහැ අනාගතේ ගැන ..ඔය වෙන දෙයක් වෙද්දෙන් අප්පා ..ජපන් චිත්‍රපට බලන්න වැඩිය ලැබෙන්නේ නැහැ .ස්තුතියි ලින්ක් එකට

    ReplyDelete
  8. මම නම් හිතෙන්නේ මිනිස්සු...අනාගතය ගැන මේ තරම් විමසිලිමත්...වර්ථමානයට වඩා ..අනාගතය ගැන සුභ සිහින දකින හින්දයි කියලා.

    හැමෝම පතන්නේ, අද කොතරම් හොද උනත්..අදට වඩා හොද .හෙටක් නේ...

    බුදු හාමුදුරුවොත් දැන සිටියා...විශ්වයේ තොරතුරු දැන ගැනීමේ නොනිම් කුතුහලයකින්, මිනිස් හිත පිරී තියෙන බව.

    ඒත්, උන් වහන්සේ එක්තරා විටකදී වදාරලා තියෙනවා...මෙසේ අසීමිතව විශ්වයේ පරතෙර .. සෙවිමට යෑම නිශ්ඵල හා අනුවණ ක්‍රියාවක් බව.

    ReplyDelete
  9. නංගී . . මේකේ ටොරන්ට් ෆයිල් එකක් නැද්ද . .

    මගේ ගෙදර කනෙක්ෂන් එකෙන් මේක බලන්න ගියොත් මාසයක් වත් යයි අප්පේ . . .

    ලියලා තියෙන විදිහට නම් බලන්න ම හිතෙනවා.

    ReplyDelete
  10. පසු උන අතීතයක් ගැන නොසිතන්න, නො එලඹුන අනාගතයක් නොපතන්න. මේ මොහොතේ සිහියෙන් කටයුතු කරන්න.

    ReplyDelete
  11. අනාවැකි කීම ලොව පුරා විසිර ඇති දෙයක්, මෑතක දී රූපවාහිනී වැඩ සටහනකින් දැන ගන්න ලැබුනා ලතින් ඇමෙරිකානු රටවල පවතින ක්‍රමය ගැන. ඒ මිනිසුන්ගේ හිතේ ඇති කුතුහලය නිසා වෙන්න ඇති. මේ රචනයේ කියවෙන පරිදිම ඒ ගැන කතාකරන්න තරම් දැණුමක් නැහැ කියන එකට මාත් එකඟයි.

    අනාවැකි ගැන අදහස මොනවා වුනත් රචනය ඉදිරිපත් කර ආකාරය ගොඩාක් ලස්සනයි, එය බොහෝ රසවින්ඳෙමි.

    ReplyDelete
  12. බින්දි,
    මම නම් අනාගතේ කොයිවගෙද කියල බලන්න ලැබෙනව නම් ආසයි.. :)

    නිල් අහස-
    "මම නම් හිතෙන්නේ මිනිස්සු...අනාගතය ගැන මේ තරම් විමසිලිමත්...වර්ථමානයට වඩා අනාගතය ගැන සුභ සිහින දකින හින්දයි කියලා."
    අනාගතය ගැන විත‍රයි නෙ අපිට සුබ සිහින දකින්න පුළුවන්. අතීතය වෙනස් කරන්න බැරි බව අපි හොඳින්ම දන්නව නෙ. ඒ නිසා අනාගතය ගැනසුබ සිහින දකින එක හොඳයි කියල මම හිතන්නෙ නම්.

    ReplyDelete
  13. දුකා අය්යෙ, ටොරන්ට් ගැන නං මට ඒ හැටි දැනීමක් නෑ, ඒ නිසා ඒව තියෙද කියල දන්නෙත් නෑ නෙ.

    ReplyDelete
  14. හේරත්, වර්තමානයෙ කරන ක්‍රියා මත අනාගතය පිළිබඳව තීරණය වෙන නිසා ඔයා කියන දේ හරි. ඒත් මිනිස් සිත කුතුහලයෙන් පිරිලා !

    ReplyDelete
  15. ගල්මල් අය්යෙ, අනාගතය කියනව කියල කවුරුහරි කිව්වොත් අපිත් තාමත් අත දික්කරනව නෙ. ඒ කෙනාට ඒ ගැන තියෙන හැකියාව හෝ නොහැකියාව නොදැනම. ඒක ලෝකෙ හැමෝන්ටම පොදුයි නෙ.

    ReplyDelete
  16. @ චේජනා,
    අනාගතය කියන සංකල්පයට මුලා වෙන්නෙ නැතිව මේ මොහොතේ සිහියෙන් කටයුතු කරන එක තමා වැදගත්. මිනිස් සිත කුතුහලයෙන් විතරක් නෙවෙයි තවත් බොහෝ දේවල් වලින් පිරිල තියෙන්නෙ, ඕක හිස් කරපු දාට තමා මිනිහෙක්ට සැනසීමක් තියෙන්නෙ.

    ReplyDelete
  17. සමහර වෙලාවලදි අපිට අනාගතේ පේනව කියල මම විස්වාස කරනව... ඒත් අපිට මතක හිටින්නෙ නෑ...

    සමහර සිදුවීම් වෙද්දි ඒකට මීට කලින් මූණදීල තියෙනව කියල හිතෙන්නෙ ඒක වෙන්න ඇති...

    ReplyDelete
  18. යෝගියෙකුට කීවනං හරි... ;-)

    ReplyDelete
  19. මෙන්න ජපන් ෆිල්ම් එකක් දීලා. බලන්න ඕනේ..මම හරිම ආසයි ඒ ෆිල්ම් වලට. පොඩි කාලේ ඔෂීන් ගෙන ලැබුණු ආභාෂය වෙන්න ඕනේ

    ReplyDelete
  20. කාලාවතරණය සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක සත්‍යයක් පවතිනවා. එය හුදු එක කරුණක් එනම් කාලාවතරනය නම් විෂය තුලම සිට දැකිය හැකි තත්වයක් නොවේ.කාලාවතරණය සිදු කිරීම සම්බන්ධව චිත්‍රපට තුලින් බොහෝ දෙනාගේ මනසට ඇතුල් කර ඇත්තේ එය භෞතික ශරීරයම එක කාලයකින්තවත් කාලයකට රැගෙන යාමක් ලෙසයි. බොහෝ දෙනා එකී සීමාවේ සිට මේ මාතෘකාව දෙස බැලීම නිවැරදි නොවන බව මගේ අදහසයි.එහෙත් පුරානතම ආගමික සංකල්ප, පැරණි ශිෂ්ඨාචාරන්හි තාක්ෂණික හා මනෝවිද්‍යාත්මක දැනුම, නක්ෂත්‍ර හා තරු රටා , චක්‍රීය පාරිසරික සිදුවීම්, භාවනාව වැනි සංකල්ප සමග දැකිය යුතු කරුණකි. මන්ද බොහෝ කරනු ස්වාභාවික පරිසරය හා අධි මානසික විද්‍යාව සමග බැදී ඇති හෙයිනි. කාලය හරහා ගමන් කල හැක්කේ මනස අතිශය ප්‍රගුණ කල අයෙකුටම පමණක් මිස යන්ත්‍ර සුත්‍ර හරහා හරහා නොවන බව විශ්වාස කරනවා. එය බොහෝ විට අනාගතය තුලදී මනස හා යන්ත්‍ර භාවිතය මගින් කිරීමට තරම් තාක්ෂනය දියුණු විය හැකි බවට අදහසක් පවතිනවා. වැන්ගා බාබා මේ සම්බන්ධව අනාවැකි ප්‍රකාශ කර තිබේ. නමුත් එය එසේ වන්නේ නම් ලෝකය මිනිසා කෙරේ යහපතට වඩා අයහපතට එය යොදා ගැනීම වැඩි වනු ඇත. මන්ද මිනිසා තමාට දේවත්වයක් ආරෝපණය කර ගනු නියතය. කෙසේ වෙතත් මේ සම්බන්ධව කරුණු විශ්ලේෂනය කිරීමේදී සොයා යාමේදී වෙනත් ග්‍රහලෝක හා ඒවායේ ජීවයත්, දියුණු ජීවී විශේෂත් පිලිබන්ධව ලෝකයේ පරීක්ෂණ පවත්වන දියුණු රටවල් විසින් ලෝකයට මෙතෙක් අනාවරණය නොකළ රහසිගත අන්දමින් යම් යම් සුවිශේෂී වඩාත් වැදගත් කරුණු සගවාගෙන සිටන බවද, සිහියේ තබා ගැනීම වටී. මන්ද ලෝකයට සත්‍ය කරුණු අනාවරණය කොකර චිත්‍රපට හා බොරු පුවත් තුලින් බොහෝ මිනිසුන්ගේ මනස මුලා කිරීම මගින් එවන්නන් තම ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් හෝ අත්‍යවශ්‍ය රහසිගත බව අවශ්‍ය යම් කරුණක් මත. ඒවා වසන් කරනු මිස හෙළි නොකරනු ලැබේ.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...