Thursday, June 16, 2011

ඇගේ මළගම නොදුටු මා සිත...


එවක නව යොවුන් වියේ සිටිය ද මිතුරු මිතුරියන් හා ගත කිරීමට වඩා ඈ හා දොඩමළුව සිටිම මට ප්‍රිය විය. ඉතා රසවත්ව කෑම පිසින ඈ මා ප්‍රිය කරන කෑමක් සාදාදෙන්නට උත්සුක වූයේ මගේ ම අම්මා මෙනි. ඒ වනවිට මගේ අම්මාගේ අසීමිත ප්‍රවේශම් කිරීමෙන් හෙම්බත්ව සිටි මට ඇගේ ළඟ ජීවත් වීම සතුටක් විය. ඈ උණ හෙම්බිරිස්සාවකට බෙහෙත් අහුරු ගණන් ගිලින්නට සිදුකළේ නැත. එය ඉවසා දරා ඉන්නට හුරු කළාය. කෙටියෙන්ම ඈ ජීවිතය දරා ඉන්නට මා හුරුකළාය.

දුකක් දැනුන කළ ද සතුටක් දැනුන කළ ද එසේත් නැතිනම් හේතුවක් නැතිවම ද ඈ ළඟට ගොස් ඈ හා දොඩමළුව ඉන්නට මම ප්‍රිය කළෙමි. ඈ ද එසේමය. මට අම්මා නොවූව ද ඈ අම්මා මෙන්ම මා කියන දේ ද නොකියන දේ ද සිතන දේ ද සියල්ල වටහාගත්තාය. අප ගැන කතා කිරීමට ඇති සියල්ල කියා අවසන් වූ කළ අප දෙදෙනා පොත් පිටු අතර මැවුණ චරිත සමග ජීවත් විමට පටන් ගන්නෙමු. අප ගැන කතා කරනවාටත් වඩා එය අප දෙදෙනාටම ප්‍රිය වූ මාතෘකාවක් විය. හැමවිටම අප දෙදෙනාගේ අදහස් සම නොවූව ද කිසිවිට මතගැටුමකින් ඒ සාකච්ඡා නිමා නොවීය.

----------------------

එක්තැන් නොවුණද ඈ කෙමෙන් දුර්වල වූවාය. එවක ද ඈ පුවත්පතක හෝ යමක් කියවීමට උත්සුක වූයේ කියවීම ඈ තුළට කිඳා බැස තිබුණ හෙයිනි. කෙමෙන් තනිකම ඈ වෙළාගනු මට දැනිණ. දුර්වල වන ඈ දැකීම දුකක් වුව ද හැකි හැමවිට ඈ දැකීමට එකල ද මම ආසා කළෙමි. ඈ ද පෙර මෙන්ම සිය සිත මා ඉදිරියේ විවර කළාය.

දූ දරුවන්ට සිය යුතුකම් ඉටුකර අවසන නිදහසේ ජීවත් වූ ඈ, ඔබ මා දකින උපාසිකාවක නොවූ නමුදු බොහෝ දුරට ආත්මාර්ථය හීන කළ ආශාවන් අඩු තැනැත්තියක වූවාය. ලෝකයාට පෙනෙන්නට පින්කම් නොකළ ද, ඈ කළපින් බොහෝ විට ඔබටත් මටත් කළ නොහැකි බව නම් මම දනිමි. ඒ නිසාම ඈ සිය අවසන් කාලය ගතවන බව දැන හුන් සේම, ඒ ගැන බියක් හෝ පසුතැවිල්ලක් ද නොවින්දාය.

ඈ තවදුරටත් නැත.

ඇගේ මළගමට සහභාගී විමට මසිත ඉඩ නුදුන්නේ මන්දැයි මට අද ද සිතාගනු නොහේ. ඊට සහභාගි නොවීමට මට හේතුවක් තිබුණේ නැත. එහෙත් එහි යෑමට මා අකමැති වූ හේතුව ජීවමාන ඈ මසිත තබා ගැනීමේ ආශාව හෝ අනෙකක් වන්නට ඇත.

ඈ මෙලොව හැරගොස් මේ වනවිට වසර පහක් පමණ ගතව ගොස්ය. ඇගේ මළගම තිබුණේ කුමන මාසයේද වත් යන්න මගේ මතකයේ නැත.  එහෙත් අද උදෑසන ද ඈ නැවතත් මගේ ලෝකයේ ජීවමාන වූවාය.

සේයා රුව:
http://www.flickr.com/photos/95112192@N00/5258649391/

20 comments:

  1. සමහර දේ පිළිගන්න අපි අකමැතියි. පරණ පුරුදු චිත්ත රුප මැකෙයි කියල බයයි. ලස්සනයි ලිපිය

    ReplyDelete
  2. සමහර චරිත ආයාසයකින් තොරව අපේ මතකයේ සදාකාලිනවම ජිවමානයි. ඒ බැදිමට "හරියාකාර නමක්" දෙන්න බැරි උනත් අපි ඒ බැදිමට නතුවෙලා අවසන් කියන්න විතරක් අපි දන්නවා.

    චේජනා..සමහර ‍විට මේ ඒ වගේ බැදිමක් වෙන්න ඇති.

    ReplyDelete
  3. යථාර්තයට මුහුණ දෙන්නම වෙනව සහෝ... අම්මාගේ වෙන්වීම දරා ගන්න පුළුවන් අපට වෙන මොනවද බැරි. ඒත් සමහර තැන් වලදී අපේම යටි සිත අපටත් හොරා උපක්‍රමශීලි වෙනවා. ඔබේම අම්මා නොවුනු ඒ අම්මගේ මළගමට යන්නට ඔබට ඉඩ නොදෙන්න ඇත්තෙත් ඒ සිත ම තමයි...

    ReplyDelete
  4. සත්ව ලෝකයේ කුහුඹුවා, මීමැස්සා, වේයා වගේ පුංචිම පුංචි සත්තු පවා ගොඩාක් ලොකු වැඩ කරන්නේ එවුන්ගේ රාජධානියේ ඇති බැඳීමත් වගකීම් දැරීමත් නිසා. කුහුඹුවන් පේලියට යද්දී සිදුවෙන අනතුරකින් නැතිවෙන සඟයා උස්සාගෙන යනවා. ඒ පෙනෙන හැටි වුනත් කුහුඹුවන්ගේ ඒ කාර්යය කොතැනින් ඉවර වෙනවද කියන්න දන්නේ නම් නැහැ. පසුගිය දවසක වූ කාරනයක් නිසා මේ ගැන මතක් වුනා.

    අද මේ ලිපිය කියවලා ආයෙත් ඒ දෙයම මතක් වුනා. අපේ සංකීර්ණ ජීවිතයත් එක්ක බැඳීම් වලින් පිරෙනවා. බැඳීම් නිසා ඈත් වෙන්න අමාරුයි. ඒ අසීරුතාවයට වඩාත් මුහුණ දෙන්නේ වෙන්වෙලා යන කෙනා වෙන්න ඕනේ. ඒත් ඒ නිසාම ජීවිතය තනියෙම ජීවත් වෙන්න පුලුවන්ද?

    ඔබේ ලිපිය ගොඩාක් දේවල් හිතන්න බලකරන ගැඹුරු රචනයක් නංගී.

    ReplyDelete
  5. කොහොම කලත් අපේ හිතට බොරු කරන්න බැහැ .....
    ඇත්ත ඇති සැටියෙන් දකින එක බොරුවට හිත රවට්ට ගන්නවට වඩා හොඳයි කියලා මම හිතන්නෙ ........

    ReplyDelete
  6. ජීවිතය කියන්නෙ නංගි අපි ජීවිතේ දකින විදිහයි.ජීවිතය විඳීම හෝ විඳවීම තීරනය වෙන්නෙ අන්න ඒ අපේ දෘෂ්ඨි කෝනය අනුවයි.

    ලස්සනයි සටහන, ඔයා අව්‍යාජව සංවේදීව ලියල තියෙනවා

    ReplyDelete
  7. ජීවතුන් අතර සිටිය දී දෙන සැලකිල්ල මිස මළාට පසු නොගියාට කම් නැතැයි මගෙත් අදහසයි. මා ලියා ඇති අන්තිම කැමති පත්‍රයේ ඒ නිසාම මිනියට අවසන් ගෞරව දක්වන්නට ඉඩක් නැත.

    පුද්ගලයා ජීවත්ව සිටිය දී ඔවුන් අගය කිරීමෙන් ලෝකය වඩාත් සුන්දර වේ යයි සිතමි.

    චේජනා නංගියේ, ඔබ ළඟ පමණක් නොව මේ සටහන කියවන හැමගේ සිත් තුළ ද ඇය යළි යළිත් (අපට මතක් වෙද්දී) නැවත නැවත් ජීවමාන වෙනු ඇත.

    ReplyDelete
  8. ජීවත්ව සිටියදී ඉතිරිව ඇති අවසන් මතකය මිහිරිනම්, මළගමට සහභාගි වී අමිහිරි මතකයක් එක් කර නොගත්තට කමක් නැහැ කියලයි මටත් හිතෙන්නෙ. අනෙක, ඔබ කියනවා වගේ හිත ඇතුළෙ ඇයව ජීවමානව තියාගන්නට පහසුයි එතකොට.
    එකම පවුලෙ ලේ නෑකමක් නැතිවත් අපි මේ විදිහට බැඳෙනවා සමහරුන් සමග. සසර පුරාවට ආව බැඳිමක් වෙන්නැති මේ.

    ReplyDelete
  9. බින්දි,
    ඇත්තටම ගතවුණ අවුරුදු පහේම මම සැරින් සැරේ හිතුවත් තවමත මම ඇගේ මළගමට සහභාගි නොවුණෙ ඇයි කියල හේතුවක් හිතාගන්න බෑ...
    හැබැයි ඒකට නොගිය නිසා මට හැම වෙලේම මැවෙන්නෙ පුළුවන් කාලෙ හැම වෙලෙම එහෙ මෙහෙ ගිහින් තමන්ගෙ වැඩයි අනුන්ට උදව්යි සේරම කරපු හැටි.

    ReplyDelete
  10. නිල් අහස-
    මේ මගේ අම්මගෙ යාළුවෙක්. දූලා දෙන්නෙක්ගෙම අම්ම... ඒත් මම එයා දැනන් හිටිය කාලෙත් මගේ අම්ම වගෙම තමා බැලුවෙ. මට එයාව මගෙ කවුද කියල කියන්න බෑ.. නෑකමකුත් නෑ... ඒත් මගෙ ජීවිතේ මට අමතක නොවෙනම කෙනෙක්.

    ReplyDelete
  11. චතුර,
    ඇය මියගියා කියල මට හිත මතුපිටට දැනෙන කෑගහල අඬන දුකක් දැනුනෙ නෑ... ඒත් ඇය නෑ කියල හිතුන ම මොකද්ද්දෝ හිස් තැනක් වගේ දැනුන.. ඒක වෙන්න ඇති දකින්න අකමැති උනේ

    ReplyDelete
  12. ගල්මල් අය්යෙ,
    බැඳීම්වලින් මොනා හරි හේතුවක් නිසා ඈත් වෙන්න වෙද්දි හරිම දුකක් දැනෙනව... ඒ කෙනාට අපි හුඟක් ආදරේ නම් තව වැඩියි... ඒක කියල අපිට කිසිම බැඳීමක් නැතිව ඉන්න බෑ නෙ..
    අනිත් අතින් මට හිතෙන්නෙ කෙනෙක් මරණෙන් වෙන්වෙලා යද්දි යන කෙනාට වැඩිය දුකක් ඉන්න අයට දැනෙනව කියල.

    ReplyDelete
  13. පංසල් හන්දිය
    ඔයා කියන දේ තර්කානුකූලව හරි,ඒත් මිනිස්සු වෙන අපි හැම වෙලේම එහෙමම ක්‍රියා කරන්නෙ නෑ... මම කළ දේ හරිද වැරදිද කියල නම් මට අදවත් තීරණය කරගන්න බෑ...

    ReplyDelete
  14. රවි අය්යෙ,
    මට ඈ ගැන අවංකව හිතෙන දේ තමයි මේ...
    ඈ ජීවත්වෙනතුරු ජීවිතය වින්දා... ඇත්තටම මම ඇගෙන් ජීවත් වෙන්න ඉගෙනත් ගත්ත... මොකද එතකොට හරියටම මම ජීවත් වෙන්න ඉගෙනගන්න කාලෙ හිටියෙ.

    ReplyDelete
  15. අරුණි අක්කෙ,
    මමත් කොහොමටත් මළගමක මගුලක ලොකු විශේෂත්වයක් දකින කෙනෙක් නෙවෙයි. ඔයා කියනව වගෙම ජීවත්වෙනතුරු හොඳින් සලකනව මිස,

    ReplyDelete
  16. නලිනි චන්දිමා,
    හැමදාමත් මට එහෙ මෙහෙ යන එයාව ඇයව මතක තියාගන්න පුළුවන්.
    ජීවත්ව සිටියදී, අසනීපෙන් ඉන්දෙදි මට ඈ ව අවසන් වතාවට හමුවුණේ.. එදත් ඈ හරිම සතුටෙන් මාත් එක්ක කතා කළා... ඒ වගෙම මගෙ හිතේ ඈ ගැන තියෙන්නෙ ආදරයක් වගෙම ගෞරවයක්. ඈ කළ සමහර දේවල්වලට ගරු කරනව මිස ඒ දේවල් කරන්න පුළුවන් තත්වෙට මට කවදාවත් ළංවෙන්න බැරි වේවි.

    ReplyDelete
  17. මමත් ගොඩාක් වෙලාවට මළගමකට යන්න හරිම අකමැතියි නංගි, ඒ වෙන මොනවත් නිසා නෙමෙයි, මම අදහන ධර්මයට අනුව වෙනස් වීම වෙන්වීම මම පුංචිම කාලෙ ඉදලම තේරුම් ගත්ත නිසා වෙන්න ඇති. මගෙත් මේ වගේම ජීවිතයට සම්බන්ධ අයව මම මියගිය පසුව දකින්න ආසා නෑ. මගෙ පුංචි නංගි පිලිකාවකට ගොදුරු වෙලා නැතිඋනා. මම එදා එහේ ගියේ මගේ හර්ද සාක්ශියට විරුද්ධවයි. හැමෝම මම ගැන සොයයි, කියල ඇයි නාවෙ කියල, සමාජයට අම්මලට ප්රගශ්ණයක් වෙන නිසාවෙන්මයි මම ගියේ. ඇගේ අමිහිරි මතකය කවදාවත් මම මතක් කරන්නේ නෑ. මට මතක හැමදාම මලක් වගේ හිනාවෙලා මමත් එක්ක හිටිය මගෙ නංගියා විතරයි. සමහර සිතුවිළි අපිට තේරුම් ගන්න හරිම අමාරුයි නංගි. හැම වෙලාවෙම යහපත් දෙයක්ම කලාම කනගාටුවක් ඇති වෙන්නේ නෑ.කවදා හරි ඈ වාගෙම සුන්දර මතකයක් ලොවට එක් කරන්නට ඔබට මෙයත් පිටුවහලක් වේවි කියල හිතෙනවා. කාට උනත් අවශ්‍ය වෙලාවේ පිහිටක් වෙන්නට පුලුවන් නම් ඒක හරිම උතුම්.

    ReplyDelete
  18. මළගම අපිට හුඟක්ම ළඟ කෙනෙක්ගෙ නම් අපි කොච්චර ඒක දකින්න අකමැති වුණත් යන්න වෙනව, එකක් සමාජ සම්මතය නිසා, අනික සමහර වෙලාවට ඒ වැඩ කටයුතු ටික කරන අයට උදව්වක්,ඒ කියන්නෙ හොයාබලල කරන්න සවියක් ඕනෙ නිසා...තාත්තගෙ සහ අම්මගේ පවුල්වල අවමගුල් කීපයකදි ඒක මට හොඳටම දැනිල තියනව...කලබලේට එයාලට අමතක වෙන දේවල් අමතක නොකර හොයන්න බලන්න තමන්ගෙ කෙනෙක් අවශ්‍යයි කියන එක එයාලට...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...