Friday, March 11, 2011

බිහිසුණු ජපන් භූමිකම්පාව අත් වින්දෙමි...

ජපානයේ වාර්තාගත් ඉහළම විශාලත්වයෙන් යුතු භූමි කම්පාව අද ජපානය අත්වින්දා... රික්ටර් මාපාංක 8.9 ක (වසර 140 කට පෙර වාර්තා තැබීම ඇරඹුමෙන් පසු...) ජපානෙ වෙලාවෙන් හවස 2.46 ට, ටෝක්යෝවට කිලෝමීටර් 230 ක් දුරින් මුහුදේ... අතිවිශාල සුනාමියක් ජපානෙ නැගෙනහිර වෙරළේ ඇතිවෙලා... තවත් දවසක් ජීවත් වීමේ ආශාවෙන් පිරුණු මිනිස්සු කීදෙනෙක් බිලිගන්න ඇති ද?

මම ඉන්නෙ තට්ටු 10 ක ගොඩනැගිල්ලක 9 වෙනි තට්ටුවෙ...
නිතරම පොඩි පොඩි භූමි කම්පා ඇතිවෙන නිසාම දැන් භූමි කම්පාවලට අපි පුරුදු වෙලා... මීට දවස් කීපෙකට කලින් ඇතිවුණ භූමි කම්පාවත් ටෝක්යෝවට දැනුන...ඒත් ලොකුවටම නෙවෙයි...ඒ නිසා අදත් භූමි කම්පාවක ඇරඹුම දැනුනත් පුරුදු විදියටම ඉන්න තැන හිටියා මිස එළියට ගියේ නෑ කවුරුත්ම...ඒත් එන්න එන්නම ගොඩනැගිල්ල සෙලවීමේ වේගය වැඩිකරමින් භූමි කම්පාව දරුණු වුණා... කල්පයක් වගේ දැනුන විනාඩි ගණනාවක්ම ගත වෙද්දි, මේසෙ උඩ තියෙන දේවල් එකිනෙක බිමට වැටෙද්දි... ඇවිදගෙන එලියට යන්නත් බැරිතරම් වේගයෙන් සෙලවෙන ගොඩනැගිල්ලෙ එකේක තැනින එක එක දේවල් බිම වැටෙන සද්දයි, උඩ තියෙන ලයිට්, AC අවුට්ලට්ස් හෙලවෙන සද්දයි එක්ක මට හිතුනෙම ඒව මගෙ ඔලුවට වැටෙයි කියල...
මේසයක් යටට රිංගගන්න තරම්වත් සිහියක් මට ආවෙ නෑ...වෙන දෙයක් බලා ඉන්නව ඇරෙන්න කරන්න කිසිවක්ම නැති නිසා බයක් දැනුනෙත් නෑ... විසිවෙලා යන එක වළක්වා ගන්න බිමින් ඉඳගෙන කම්පනය ඉවර වෙනතුරු ඔහේ බලාගෙන ඉන්නව ඇරෙන්න...
විශාලම කම්පනය ඉවර වුණාට පස්සෙ ගොඩනැගිල්ලෙන් බිමට බැහැල තවත් සෑහෙන වෙලාවක් එලියට වෙලා හිටිය...ඒ අතරේදි තවත් පොඩි පොඩි කම්පන රාශියක් සිද්ද වුණා...  දුරකතන සංඥා සියල්ල ඇණහිටියා... කිසිම ආකාරයක සංනිවේදනයකිනුත් තොරව ගතවී ගිය පැය කිහිපයකට පස්සෙ ආයෙම සියල්ල කෙමෙන් යථා තත්වයට හැරෙමින් පවතිනවා...තවමත් ගමනාගමනය යථා තත්වයට පත්වෙලා නෑ ඒත්...
ඒත් බොහෝ ප්‍රදේශවලට විදුලිබල ඇණහිටීම්... ගින්න... සුනාමි ආදී බොහෝ ව්‍යසන මැද්දෙන්...
තවමත් දැනෙන තරමේ සෙලවීම් සිදුවෙනවා වරින්වර...
ජපානයෙන් පිටත තවත් බොහෝ රටවලටත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරල...වරක් මගේ රටේ අපේම මිනිසුන් බිලිගත් සුනාමියක බිහිසුණු බව අත්විඳි නිසාම එහි වේදනාව තදින්ම හිතට දැනෙනව... මිනිසුන්ගේ තවත් දවසක් ජීවත්වීමේ පරම පැතුම උදුරගන්න නම් එපා... ඒ මගෙ පැතුම...


31 comments:

  1. රචනය පුරා කම්පනයේ තරම දැනේ...

    ආරක්ෂාව පතන්නෙමි නංගියේ. තෙරුවන් සරණයි.

    ReplyDelete
  2. ආදරණීය නංගියේ ඔබට තෙරුවන් සරණින් කිසිදු කරදරයක් නොවේවා!
    රූපවාහිනී ප්‍රවෘත්ති බැලුවම එකපාරටම සිහියට ආවේ ඔයාවයි. මේක දැක්කම කරදරයක් නැතිබව හැගී සිතට සහනයක් දැනුනා. ලඟකදී හමු උනත් හිතට සමීප නිසා හිත බයෙන් හිටියේ. ඔයාව සියළු දෙවියෝ රකීවා! කියා පතනවා සෙනෙහසින්.

    ReplyDelete
  3. මමම ඔයාට මේල් එකක් දැම්මා..දැන් තමයි මට වාසල සහෝදරයා බ්ලොග් එක පෙන්නුවේ..
    කොහොම උනත් නංගි හොඳින් කියලා දැනගන්න ලැබීමත් සහනයක්.

    ReplyDelete
  4. හොදින් ඉන්නවා කියලා අහන්න ලැබීම සතුටක්,ලාංකිකයන් විශාල ප්‍රමානයක් ජපානයේ ඉන්නවා නේද?මගේ යාලුවෙක් ඉන්නවා මේ නගරේ එහෙට කොහොමද බලපෑවේ කියන්න පුලුවන්ද?Kuwana-shi, Mie

    ReplyDelete
  5. Glad to hear that you are safe!!!

    ReplyDelete
  6. glad to hear you are all right.

    ReplyDelete
  7. දන්නෙවත් නැති උනත් ආරක්ෂාකාරීව ඉන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා :)

    ReplyDelete
  8. අනේ ඔව්!
    කාටවත් කරදරයක් වෙන්න එප!

    ReplyDelete
  9. බුදු සරණයි..නංගියේ....පරිස්සමෙන් ඉන්න..

    සුලා..

    ReplyDelete
  10. @චේජනා
    මුලින්ම නංගි ඔයාට ඔයා අදහන ආගමක පිහිට ආරක්ෂාව ඔයාට ලැබෙන්න කියල එක සිතින් ප්‍රාර්තනා කරනව!!!.

    @ඇනෝ
    කෙනෙක් අසරණ වෙච්ච වෙලාවක ඒ මනුස්සයගෙ හිත දශමෙකින් හරි රිද්දල උඹ සතුටක් ලැබුවනන් උඹ කලේ වේස වැඩක්.

    ReplyDelete
  11. ඔබට තෙරුවන් සරණින් කරදරයක් නොවේවායි පතමි.......

    ReplyDelete
  12. අක්කේ මේ බව මට මුලින්ම කිව්වේ කහ කිරිල්ලි... එයා ඒත් එක්කම මතක් කළේ ඔයාව....

    මමත් ගෙදර ආ හැටියේ කළේ මේ පැත්තට දුවගෙන ආපු එක...
    ඔයා හොඳින් කියල දැනගත්තට පස්සෙ තමා හිතට පොඩි සහනයක් ආවේ....

    මං ඉක්මනටම මේල් එකක් එවන්නම්...
    අක්කට තෙරුවන් සරණයි !

    ReplyDelete
  13. ආරක්ෂාව ගැන පළමුවෙන් හිතන්න නංගි..... ඊට පස්සේ පුළුවන් අනිත් දේවල්...

    තෙරුවන් සරණින් අනතුරක් නොවීම ගැන මම සතුටු වෙනවා නංගි...

    ReplyDelete
  14. මම මෙ පොස්ට් එක දැක්කා. මිට කලින් එතකට බය නැතිවුනා. දන්න කිපදෙන්ක් කතා කරලා කිව්වා. එයාලාට කරදරයක් නැහැ කියලා.

    ReplyDelete
  15. අත්දැකීම අපිත් එක්ක ඉක්මණින්ම බෙදාගත්තට ස්තූතියි. මටත් ඒ ගැන ප්‍රවෘත්ති වලින් ඇහෙද්දී ජපානයේ ඉන්නා දන්නා අඳුනන අයත් එක්ක කවදාවත් නොදැකපු ඔයාවත් මතක් වුනා. ස්වභාව ධර්මයා මිනිසාට වඩා කොයිතරම් බලගතු දැයි පැහැදිලියි. දොම්නසින් පිරී යද්දී හිත සනසා ගන්නට ධෛර්යය ලැබේවා!!

    ReplyDelete
  16. හිතට දැනුන බයත් කම්පනයත් තරමක් අඩු කරගෙන හිත නිදහස් කරගන්න සටහන තිබ්බෙ, මාව මතක්කරපු ආරක්ශාව පැතූ හැමෝටම හුඟක් ස්තුතියි...

    ReplyDelete
  17. Italydilan,

    මේක තවත් පහළින් තියන නගරයක් නිසා බලපෑම අඩු වෙන්න ඕනෙ, මෙහාටත් වඩා, ඒ පැත්තෙ ඉන්න මම දන්න කෙනෙක්නම් කිව්වෙ කරදරයක් නෑ කියල තමයි ඒ පැත්තට

    ReplyDelete
  18. ඹයා තනියෙන්ද ඉන්නෙ ඔහෙ. පරිස්සමින් හැමදේම කරන්න. යහපත් කල්පනාවයි වැදගත්.

    ReplyDelete
  19. Glad to hear that you are safe.
    I guess the instructions are to be under the bed or something like that if inside and go to park or some open space if outside, isn't it?

    ReplyDelete
  20. first time visiting ur blog budusaranai tc

    ReplyDelete
  21. කම්පනයට හසු වී නමුත් කරදරයක් නැතිව සිටින බව ඇසීම සතුටක්. තෙරුවන් සරණයි.

    ReplyDelete
  22. මැසේජ් එකක්වත් සෙන්ඩ් වෙන්නේ නෑ චේජනා ..කොහොමද දැන් තත්වය..??
    පරිස්සමින්
    බුදු සරණයි..!!

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. නංගියේ ඊයේ ඔයා මේ පැත්තෙ ඇවිත් නෑ වගේ. කරදරයක් නැහැ නේද? මිනිස්සුන් ගේ දියුණු වූ තාක්ෂණයම මිනිසාට ආපසු කරන බලපෑම හරිම කණගාටුදායකයි. න්‍යශ්ටික බලාගාර පිපිරුම් දුටුවම හරිම දුකක් ආවේ. මේ නිසා පරිසරයට වන හානිය වගේම මිනිස් සංහතියටත් වන බලපෑම සුලුපටු නෑ නේද? ඔයාට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ආරක්ෂාව පතනවා.

    ReplyDelete
  25. නංගී ඔබ සුවෙන් ඇතැයි සිතනවා. ඔබට සියලු දෙවි පිහිටෙන් හා උතුම් ත්‍රිවිධ රත්නයේ බලයෙන් කිසිම කරදරයක් නොවේවා!.ඔයාගේ කිසිම සටහනක් නැති නිසා හිත අවිවේකියි. පුලුවන් වූ විගසින් තොරතුරු දන්වන්න කෝ ඔයාගෙ. අපි හැමෝගෙම ආශීර්වාදය ඔබ සතුයි.

    ReplyDelete
  26. චාන්දි අක්කේ, චේජනා නංගි ඉන්නා ප්‍රදේශයේ විටින් විට ඇතිවෙන විදුලි බල ඇණහිටීම හැර වෙනත් කිසි කරදරයක් නැති බව හිතවතෙකු මගින් පෙරේදා හවස දැනගන්න ලැබුණා.

    ඔවුන් හැම දෙනා වෙනුවෙන් ආරක්ෂාව පතමු.

    ReplyDelete
  27. කරදරයක් නැතුව ඉන්න්වා කියලා මේ ලිපිය දාපු දවසේම දැක්කා.
    හිතට සහනයක් වුනා ඒක.
    මතක මංපෙත මල්ලිත් මූනු පොතෙන් හමුවුනා.
    චමිල ගන තමයි අමතකම වෙලා ගියේ.
    එයාටත් කරදරයක් නෑලු.

    ReplyDelete
  28. මිනිස් වර්ගය කොපමන දියුණු වුවද ස්වභාව ධර්මය ඉදිරියේ අපි අසරණ වෙන විදිහ දැක්කම ඇතිවෙන්නෙ හිතාගන්න බැරි මට්ටමේ ආත්මානුකම්පාවක්,

    ඔයාට කරදරයක් නැති එක ගැන සන්තෝෂයි, නංගි,

    ReplyDelete
  29. අහපු වෙලාවෙ මුලින්ම හිතට ආපු කිහිප දෙනා අතරෙ නංගිත් හිටියා. කරදරයක් නැති බව දැන ගැනීම සතුටක්.
    තෙරුවන් සරණයි නගේ.....!

    ReplyDelete
  30. මට කාලයක්ම මේ බ්ලොගය මග ඇරිලා තිබුනා. අද තමයි කාලෙකට පස්සෙ මේ පැත්තට ආවේ. අක්කා ඉන්නෙ ජපානෙ බවක් මම දැනගෙන හිටියෙ නෑ. කොහොම් නමුත් අක්කා සුවෙන් පසු වීම ගැන අපමණ සන්තෝසයි. ඒ වගේම ඉදිරියටත් කිසිදු අතුරු අන්ත‍රාවකින් තොරව ඉන්න ලබෙන්න කියලා මුලු හදින්ම පතනවා.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...