Friday, April 26, 2013

දෝරෙගලන සිතිවිලි ...

ලියන්නට බොහෝ දේ ඇතත් ඒ සියල්ල එකම මාතෘකාවකට ගොනු කරගන්න අපහසුයි... කම්මැලිකමත් කළකිරීමත් තවත් පුංචි පුංචි හේතුත් නිසා හිතේ එකතුවෙන සිතිවිලි පිටාර ගලන්න ඉඩ නොදුන්න නිසා හිත බරයි...ඒ හින්දා ආයෙමත් හිත ඇතුලෙ දෝරෙගලන සිතිවිලි ගොන්න පිටාර ගලන්න ඉඩ දෙන්න මට හිතිලා...

බොහෝ දේ දිහා පිටින් ඉඳන් බලද්දි අපි දකින්නෙ මායාවක්...කියවන්න කිසිම දෙයක් නැතිව ඉන්දැදි මට බ්ලොග්ස් පෙනුනෙ නිමා නොවෙන කතාවක් වගේ... ඒත් ඒ නිමා නොවෙන කතාව ඇතුළෙ තවත් කොයිතරං නොකියන කතා හැංගිල තියෙද කියල  දකිනකොට මම දුටුව මායාව මගෙ ඇස් ඉදිරිපිට බොඳවෙනව...

බොහෝ දේවල් ඇතුළෙ මායාව සැඟවිලා තියෙන්න "සියල්ල නිශ්ඵලයි" කියල හිතෙන තරමට... සියල්ල අවසන ඉතිරි වෙන්නෙ මායාවෙන් මිදුන මනස ලබාගත් අවබෝධය පමණයි...

සමහර වෙලාවට මට ලැබෙන අවබෝධය, මම අවබෝධ කරගැනීමේ තවත් අවධියක් පසුකරගෙන බවට ඉඟියක් වෙන්නත් පුළුවන්... මට වඩා ඉදිරියෙන් ගිය බොහෝ දෙනෙක් මේ අවබෝධය මට වඩා කලින් ලබාගන්නත් ඇතියි කියලත් මට ආයෙමත් හිතෙනවා...

යථාවබෝධයත් එක්ක කළකිරීමත් බිඳෙන් බිඳ එකතු වෙනවා... අවබෝධයේ අනේක පියවරයන් කාලයත් සමග සමගාමීව පසුකර එන නිසා කළකිරීමත් එකතු වෙන්නෙ බිඳෙන් බිඳ... කළකිරීම ලොකු මාත්‍රාවක් දරාගන්න අමාරු  තිත්ත බෙහෙතක් වගේ... බිඳෙන් බිඳ එකතුවෙන නිසා කළකිරීම ජීවිතයත් එහි අනෙකුත් කටයුතුත් පවත්වාගෙන යත හැකි සීමාවෙ පවතිනවා...

මම බ්ලොග් එක පාවිච්චි කරන්නෙ විවිධ අරමුණුවලට... අද මගේ අරමුණ සිතිවිලි හිත ඇතුලෙ බුබුළු දැමීම නවත්තල පිටාර ගලන්න දෙන එක...සමහර වෙලාවට හිතිවිලිවලට එහෙම පිටාරගලන්න දුන්නම කළකිරීමත් ඒත් එක්කම නැතිවෙලා යනව... හරියට වැවක් වාං දැම්මම ගං ඉවුරෙ තියෙන සේරම කුණුකන්දල් ඒත් එක්කම හේදිලා යනව වගේ...