Monday, May 21, 2012

සිමියොන් දවීදොව් හා ලෝරා ඉන්ගල්ස් සමගින් ගතවුණ නිවාඩු කාලය

හිම මිදිච්ච සීත කාලෙ මැද හරියෙ දවසක දවීදොව් හිම යානෙක නැගිල ගම්මානයට එමින් හිටියෙ...දවීදොව් හිටියෙ සන්තෝසෙන්... සමූහ ගොවිපොලක් හදන හීනෙ දවීදොව්ගෙ හිත පුරාම තිබුනෙ... තමන්ගෙ අරමුණ වෙනුවෙන් දවීදොව් කැපවුණා... මකාර්, අන්ද්‍රෙයි, යාකව්, ශිචුකාර් සීයා ඇතුළුව ගම්මානෙ නොයෙක් තරාතිරමෙ නොයෙක් අදහස් දරපු මුරණ්ඩු මිනිස්සු, යටහත් පහත් මිනිස්සු, දුප්පත් මිනිස්සු මේ ඔක්කොම එකතු කරගෙන මේ ගමන යන්න දවීදොව් හැබෑවටම මහන්සි වුණා... දවීදොව් අස්සය පිටේ යද්දි වගෙම දවීදොව් කුඹුරු හාද්දිත් මම සතුටින් දවීදොව් දිහා බලාන උන්නා... දවීදොව් වාර්යට ආදරේ කරද්දි මගේ ඇස් සතුටින් දිලිසුනා... වාර්යා කෘශිකර්ම නිලධාරිනියක් වෙලා ඇවිත් දවීදොව් එක්ක විවාහ වෙනව දකින්න, සමූහ ගොවිපොළ දියුණු වෙලා දවීදොව්ට අකමැති වෙලා හිටපු මිනිස්සුත් දවීදොව්ට කැමති වෙනව දකින්න මට ඕනෙ වුණා...
ඒත් හීනෙ හැබෑ කර නොගෙනම දවීදොව් යන්න ගියා... වාර්යව තනිකරල... යන්නම යන්න ගියා... සීය දවීදොව් මිහිදන් කළ තැන තනියෙන් බලාගෙන උන්නා...

---------------

ඊට පස්සෙ ආවෙ ලෝරා... ලෝරා අම්මයි අප්පච්චියි මේරියි විතරක් නෙවෙයි, ඒ ගොල්ලොන්ගෙ බල්ල ජැක් එක්ක අස්ස කරත්තෙක ආවෙ... බටහිරට යන්න... ලෝරාගෙ තැනිතලාවෙ කුඩා නිවසෙ වගෙම, ඩි ස්මෙට් නගරයේ නිවසෙත් මම ලෝර එක්ක ජීවත් වුණා... රතු ඉන්දියානුවො ලෝරගෙ කුඩා නිවසට එද්දි, ලෝරලාගෙ ඉරිඟු පාන් ඔක්කොම බලහත්කාරෙන් වගෙ කාල යද්දි මාත් පැත්තකින් උන්න... ජැක් ඒ ගොල්ලොන්ට ගොරවද්දි සතුටු හිතුනත්, ලෝරට වගෙම මටත් කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ...
සීතලෙන් සීත වුණු සීත සමයෙ හිම කුණාටුවෙ මැද්දෙ සීතලෙන් ගැහි ගැහි මම තැනිතලාවෙ ඉඳන් ලෝරගෙ ගෙදර දිහා බලන් හිටියා... ලෝරා අකමැත්තෙන් අකුරු ඉගෙනගනිද්දි, ලෝරා ටීච කෙනෙක් වෙලා යද්දි ලෝර එක්ක ගියත්, මිහිරැති වසන්ත සමයෙ ලෝරා විවාහ වෙලා යද්දි මම නැවතුණා...

----------------

අවලස්සන ඇමරිකානුවගෙ ලස්සන හදවත, මාව පුදුම කළා... සර්කානුවෙක් එක්ක තමන් නිෂ්පාදනය කළ යන්ත්‍රයෙ ලාබය වංචාවක් නැතිවම බෙදා ගනිද්දි මට සතුටු හිතුන... හැබෑවටම අනිත් මිනිස්සු වෙනුවෙන් කැපවෙන සැබෑ මිනිස්සු වගෙම, දූෂණය වංචාව ජීවන මාර්ගය  කරගත්තු මිනිස්සු ලෝකෙ හැම රටේමත්, හැම මොහොතකමත් ජීවත් වෙනව දැක්ක...

-----------------

ඇයි ධනුෂ්කගෙයි දේවින්දිගෙයි ජීවිතේට එබිල බල බල සූරියතැන්න වලව්වෙ ගතකළ දවස් ටික... ඒකත්  මගෙ නිවාඩුවෙ දවස්ම තමයි... අන්තිමට දන්නෙම නැතිව මේ ගොල්ලොත් එක්ක මම මුළු නිවාඩු කාලෙම ගත කරල තිබුණ... ඔන්න ඔහොම මුළු නිවාඩුවම ඉවර වුණා...

Thursday, May 10, 2012

විභාග ශාලාව...



බොහෝම ඈත අතීතෙ දවසක පුංචි එකී මුලින්ම  ලොකූ විභාග ශාලාවකට ගිය දවසෙ ... දුරින් දුරින් ඩෙස් තියල හදපු විභාග ශාලාව බොහොම ගාම්භීර විදියට පුංචි එකී දිහා බලාගෙන හිටියෙ...

වතුර බෝතලේකුයි, පැන්සල් පෙට්ටියකුයි ඈ ළඟ තිබුණ...පුංචි එකී පැන්සල් පෙට්ටිය පපුවට තුරුල් කරගෙන හිටියෙ... ඒක ඈ ළඟ තිබුන ලොකුම වස්තුවක්... විභාගෙ නිසා ඒක එළියට අරගෙන අතේ තියාගෙන හිටියට වෙන වෙලාවට ඒක තියෙන්නෙ බෑග් එකේ... මේක පියන අරින්න පුළුවන් ප්ලාස්ටික් පෙට්ටියක්... මිකී මවුස් පින්තූරයක් පෙට්ටි පියනෙ ඇඳල තිබුන... ඒත් මේ විභාගෙ තිබුනෙ අගෝස්තු නිසා ඒ වෙනකොට පෙට්ටි පියනෙ තිබුන මිකී මවුස්ගෙ පින්තූරෙ තැනින් තැන මැකිල...පෙට්ටිය ලස්සන වෙන්න පෙට්ටියෙ අඩියට රතු පාට ඊයං කොළයක් එළල තිබුණ... ඒක වෙඩින් කේක් කෑල්ලක් ඔතල තිබිල හම්බුන එකක්... ඒත් ඒකෙන් පෙට්ටියට බොහොම ලස්සන පෙනුමක් ලැබුන... පුංචි එකීට හිතුනෙ එහෙමයි...

පෙට්ටිය ඇතුලෙ පෑන් පැන්සල් මිටියක්, ඉරේසර් එකක් විතරක් නෙවෙයි කටර් එකකුත් තිබුණ...ලොකු ලොකු විභාග තියෙනවට පුංචි එකී කොහොමත් කැමතියි...පුංචි එකී හිතන විදියට ලොකු විභාග තියෙන එකේ වාසි ගොඩයි... එකක් ඇති තරං පැන්සල් පෑන් ලැබෙනව... අනික විභාග ශාලාවට යන්නෙ තාත්ත එක්ක නිසා විභාගෙ ඉවර වෙලා එනකොට සීනි බනිස් කාල ෆැන්ට බොන්න ලැබෙනව...

කොහොමින් කොහොම හරි වෙලාව ගතවුනා... විභාග ශාලාව ඇරුණ... විභාග අංකෙ අම්ම කොළ කෑල්ලක ලියල පෙට්ටියෙ දාල දීලයි තිබුණෙ... ඒක බලාගෙන ගිහින් ඉඳගත්ත...

තමන් ළඟ තියන කොළ කෑලි ඔක්කොම අයින් කරන්න කියල ටීච කියද්දි තමන් ළඟ එහෙම ඒව තියෙද කියල බලන්න පුංචි එකී පෙට්ටිය පුරාම ආයෙම අවුස්සල බැලුව... ඊට පස්සෙ සුදූම සුදුපාට කොළේක ලොකූ  ප්‍රශ්න පත්තරයක් බෙදාගෙන ගියපු ටීච විභාගෙ පටන් ගත්ත....

----------------------

කාලෙ ගත වෙලා ගියා... ආයෙම එහෙම ලොකු විභාගෙකට යන දවස් එද්දි...පැන්සල් පෙට්ටිය මාරු වෙලා තිබුණ...ඒක පුංචි එකී හීන මැවුව වගෙම තැඹිළි පාට ලස්සන, කාන්දමකින් වැහෙන පෙට්ටියක්...

----------------------

ඊළඟ පාර ලොකු විභාගයක් එද්දි ගෙනිච්ච පැන්සල් පෙට්ටිය කොයි වගෙද කියලවත් පුංචි එකීට මතක නෑ... ඒ වෙනකොට ඈ ලොකු වෙලා... පැන්සල් පෙට්ටි ගැන හීන දකිනවට වඩා... ඒ ලොකූ විභාගෙ මුළු අනාගතයම තීරණය කරන බව තේරිලා... ඈ එදා දැක්ක එකම හීනෙ සරසවිය...සරසවි සුබ සිහිනෙ බලාපොරොත්තුවෙන් හිත මුළුමනින්ම පිරිල තිබිච්ච දවසෙ පැන්සල් පෙට්ටිය කොයි වගෙද කියල පුංචි එකී කොහොම මතක තියාගන්න ද?

-----------------------

සැබෑ වුණ සරසවි හීනෙ විභාගවලට නිමාවක් ගෙනාවෙ නෑ...පුංචි එකී තවත් ලොකු ලොකු විභාග ගොඩ...කට ලිව්වා...

-----------------------

ඒ දවස් අවසානෙදි තවත් දවසක් ආවා... එදා විභාග ශාලාවට ප්‍රශ්න පත්තර අරගෙන ගියේ, ඉස්සර දවසක පැන්සල් පෙට්ටියකුයි වතුර බෝතලෙයි ගෙනිච්ච පුංචි එකීමයි...

ළමයි පිරුණ විභාග ශාලාව ඉස්සරහට ගිහින්...
" If you have any unauthorized material ..." කියද්දි මහා බලාපොරොත්තුවලින් පිරුණ ඇස් ගොඩාරියක් ඈ දිහාවට යොමු වෙලා තිබුණ...
 
ඈ ඒ ඇස්වල බලාපොරොත්තු කියවගන්න කලියෙන් ප්‍රශ්න පත්තර බෙදුණ... හිතේ පිරිච්ච බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඒ ඇසුත් එදා වගෙම ප්‍රශ්න පත්තර අතරෙ රැඳුනා... පුංචි එකී පැය තුනකට අතීත මතක අතරෙ තනිවුණා...

-----------------------