Tuesday, July 26, 2011

නෝ රැඟුම්



කබුකි සහ නෝ රැඟුම් අතරින් වඩා පැරණි නෝ රැඟුම්,නෝ රැඟුම්වල ඉතිහාසය වර්ෂ 1336 දක්වා දිවෙනව... අශිකග සමුරායිවරුන්ගේ පාලන කාලය තුළ, රාජ්‍ය අනුග්‍රහය සහිත ව ඇරඹුණු නෝ රැඟුමට වසර හයසියයක පමණ ඉතිහාසයක්  හිමියි...නෝ රැඟුම්වලත් කාන්තා චරිත පිරිමි අය විසින් රඟන සම්ප්‍රදාය රැඳෙනව...නෝ රැඟුම්වල විශේෂ්තවයක් විදියට කියවෙන්නෙ සම්ප්‍රදායානුකූලව නෝ රැඟුම් කණ්ඩායම එක්ව පුහුණුවීම් කරන්නෙ රැඟුම් ඉදිරිපත් කිරීමට දින කිහිපයකට පෙර එක් වතාවක් පමණයිලු... නළුවන් විසින් ගුරුවරයෙකුගේ හෝ ජ්‍යෙශ්ට නළුවකුගේ සහයෙන් තනි තනිව තමන්ගේ කොටසේ පුහුණු කටයුතු කරගන්නවලු...


නෝ වේදිකාවෙත් කබුකි වේදිකාවෙ වගෙම  ඊට ආවේණික ලක්ෂණ පවතිනව... ගොඩනැගිල්ලක ඇතුලත ඉදිකලත් වහලය වෙනම පෙන්නුම් කෙරෙන ලෙස නෝ වේදිකාව ඉදිවෙනව... ජපන් සය්ප්‍රස් දැවයෙන්...  කබුකි වේදිකාවෙ වගේ වරින්වර දර්ශන පසුතලය මාරු කිරීම නෝ වේදිකාවෙ දි සිද්ද වෙන්නෙ නෑ... වේදිකාවෙ පසුපස අඳින පයින් ගස (kagami-ita) නෝ වේදිකාවට ආවේණිකයි... වේදිකාවට නළුවන් පිවිසීම සඳහා වේදිකාවෙ දකුණු පසින් පටු වේදිකාවක් (hashigakari) තැනෙනව... කබුකි රංගනයේදි හනමිචි වෙලා විකාශය වුණේ මේ හශිගකරි වේදිකාව කියල මතයක් පවතිනව...



නෝ රැඟුම්වල අමනුෂ්‍ය, භූතාත්ම පෙනී සිටින කතා බොහොමයි... නෝ රඟපාන්නන් අතරින් ශිටෙ (shite) කියල හැඳින්වෙන්නෙ මුලින් මනුෂ්‍යයෙකුත් පසුව භූතාතමයක් විදියටත් පෙනීසිටින චරිත... ශිටෙ හැමවිටම වෙස්මුහුණක් පැළඳල වේදිකාවෙ පෙනී සිටිනව... වයස්ගත චරිත, කාන්තා චරිත හා අමනුෂ්‍ය චරිත සඳහා වෙස්මුහුණු භාවිතය නෝ රැඟුම්වල විශේෂ ලක්ෂණයක්... අනෙකුත් චරිත වෙස්මුහුණු භාවිතා කරන අවස්තා හිඟයි...එයාල පියවි මුහුණින්ම පෙනී සිටිනව... මුහුණ සෙලවීමෙන් හා ආලෝකය වැටෙන අයුරු වෙනස්වීමෙන් මේ වෙස්මුහුණුවල භාව ලීලාවන් වෙනස් කරගන්න පුළුවන්ලු...

කබුකි වගෙම ඉතිහාස කතා නෝ රැඟුම්වලත් ඇතුලත් වෙනව... නෝ සංගීතයත් සම්ප්‍රදායික ජපන් වාද්‍ය භාණ්ඩවලින්, විශේෂයෙන්ම නෝ රැඟුමේදි සංගීතය සපයන බටනලාව noh-kan කියලයි හඳුන්වන්නෙ, ඒ ඇරුණම ජපන් සම්ප්‍රදායික බෙර වර්ගත් යොදාගන්නව...නෝ රැඟුමෙදි සංගීතය සපයන්නන් වේදිකාවෙ පසුපස කොටසෙ රැඳෙනව...

නෝ රංගනයත්  පාරම්පරිකව රැකගෙන එන්නක්... ඉතා කුඩා වයසෙදිම පියාගෙන් පුතාට උරුමවන්නක් ලෙස රැගෙන ආ මේ රංගනයේ සමහර චරිත වර්තමානයේදි පියාගෙන් දුවටත් උරුම වෙනවලු... වත්මන් ජපානයේ වෘත්තියමය නෝ රඟන්නන් 1500 ක් විතර ඉන්නව කියල කියන්නෙ... කබුකි වගෙම නෝ රංගනයත් කැමති අයට ඉගෙනගන්න විවෘතයි දැන්...

http://factsanddetails.com/japan.php?itemid=716&catid=20&subcatid=131
http://en.wikipedia.org/wiki/Noh
http://www.youtube.com/watch?v=ModfyW8wDvo
http://www.aug.edu/~cshotwel/2002HUMN/2002.Japan.htm
http://todaikanzeob.main.jp/kanze-e/what-is-noh/rightpage.html

Friday, July 22, 2011

කබුකි රැඟුම්

කබුකි හා නෝ රැඟුම්, ලොව පුරා බොහෝ දෙනෙක් අසා ඇති ජපන් සංස්කෘතික උරුමයන්...කබුකි රැඟුම් කලාවට වසර හාරසියයක පමණ අතීතයක් හිමියි... වර්ෂ 1603-1629 අතර කාලයේ කාන්තාවන් විසින් සියළුම චරිත ඉදිරිපත් කරන නාට්‍ය කලාවක් විදියට කබුකි නිර්මාණය වෙලා තියෙන්නෙ...නමුත් බොහෝසෙයින් ශෘංගාරාත්මක වීම නිසා සහ ඒ හරහා අපචාරයන්ට තුඩුදීම හේතුවෙන කාන්තාවන් හා ළමයින් කබුකි රැඟුම්වලට එක්වීම 1629 දි අධිරාජයා විසින් තහනමට ලක් කරලා...ඉන් පසුව තරුණ හා වැඩිහිටි පිරිමි අය පමණක් රඟන වර්තමාන කබුකි සම්ප්‍රදාය බිහි වෙලා තියෙන්නෙ...

වර්තමානයේ කබුකි රැඟුම හා ගැයුම මතින් දිවෙන වේදිකා නාට්‍ය කලාවක්...වර්තමාන ජපානයේ ජනප්‍රිය ම පාරම්පරික රැඟුම් කලාව වෙන්නෙත් කබුකි... කබුකි රැඟුමක සියලු චරිත ඉදිරිපත් කරන්න නළුවන් විසින් ...ටෝක්යො, ක්යෝටෝ හා ඕසකා නගරවල ප්‍රධානම රංගශාලාවලට අමතරව තවත් කුඩා රංගශාලාවලත් කබුකි රැඟුම් පැවැත්වෙනව... ප්‍රධාන රංගශාලාවලදි කබුකි නරඹන්නන්ට Earphone guides ලබාගන්න පුළුවන්... විදේශිකයන් කබුකි රැඟුම් නරඹන්න පැමිණෙන නිසා ඉංග්‍රීසියෙන් විස්තර ලබා ගැනීමේ පහසුකමත් මේ වෙද්දි Earphone guide වලට ලබාදීල තියනව... වර්තමාන කබුකිවලදි, රංගනය ඇරඹීමට පෙර, නාට්‍යයේ රඟන සුන්දර තරුණ නළුවෙක් කබුකි ගැන හැඳින්වීමක් ඉදිරිපත් කරනව...ප්‍රේක්ශකයන්ට කබුකි රංගන වේදිකාව, සංගීතය සැපයීම පිළිබඳව ඔහු ඉදිරිපත් කළ විස්තරයෙන් බිඳක් මේ... 


මේ කබුකි වේදිකාව...

කබුකි වේදිකා සැකසීමත් ඊටම ආවේණිකයි...බොහෝ විට නළුවන් වේදිකාවට ඇතුළුවෙන්නෙත් පිටවෙන්නෙත් රඟමින්ම ප්‍රේක්ශකාගාරය තුළින්... "හනමිචි"( Flower path),  එසේ ඇතුල්වීම හා පිටවීම සඳහා ප්‍රේක්ශකාගාරය තුළ තැනෙන පටු වේදිකාව... 

කබුකි රැඟුම්වල සංගීතය ජපන් සම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩවලින් සැපයෙනව... කුරොමිසු, කළු පැහැ තිරවලින් ආවරණය කළ සංගීත කාමරය... ඒ තුළ විශාල ජපන් සම්ප්‍රදායික බෙර ඇතුළු සංගීත භාණ්ඩ රඳවනව... ඊට අමතරව වේදිකාවේ රඟන නළුවන්ට ඉහළින්, අවස්ථාව අනුව ගායකයා පෙනෙන හෝ නොපෙනෙන තවත් සංගීතය හා ගායනය කෙරෙන ස්ථානයක් තියෙනව... එහි ගායකයාත්, ශමිසෙන්, වයලීනයකට ආසන්න වශයෙන් සමාන තත් වාද්‍ය භාණඩයක් වයන්නෙකුත් රැඳී සිටිනු මා දුටුවා...


කුරොකො කියල හැඳින්වෙන්නෙ කබුකි වේදිකාවෙ රඟනය අතරතුරම දර්ශනතලය තුළ ඇති භාණ්ඩ ඉවත්කිරීම ගෙනත්තැබීම කරන අය... තනිකර කළු පාට ඇඳල මූණත් කළුපාටින් ආවරණය කරල ඉන්න ඔවුන් ප්‍රේක්ශකයන්ට නොපෙනෙන්නන් ලෙසින් සිතනවා (Invisible)...පුටුව පිටිපස්සෙ කළු පාටට ඉන්නෙ එයින් කෙනෙක්...



කබුකි වේදිකාවෙ නළුවන් හැඩගැන්වීමත් ටිකක් අමුතුයි... කාන්තා චරිත රඟන නළුවන්ගෙ (එයාලට කියන්නෙ ඔන්නගතා කියල...) මුහුණ සුදුම සුදුපාට වෙන්න හැඩගන්වල... ඊට අමතරව කබුකිවලදි යොදාගන්න පාටවලට ඒ ඒ හැඟීම් නිරූපණය කරන අර්ථයක් තියනවළු... සාමාන්‍ය නාට්‍ය සම්ප්‍රදායන්වලදී වගේ නැතිව මේ අමුතුම විදියට හැඩගන්වන නලුවන් කතාකරන විලාසයත් සාමාන්‍ය ජපන් භාෂාව කතා කරන විලාශය නෙවෙයි... ඊට වඩා බොහෝ සෙයින් වෙනස් ලතාවකට වචන උච්චාරණය කරනව...

හුඟක් ප්‍රසිද්ධ කබුකි කතා ඉතිහාසෙට සම්බන්ධ කතා...ඒවයින් මම දැක්කෙ ‍‍Yoshitsune Senbon Sakura, පැය දෙකහමාරක්... කබුකි රංගශාලවකදි ප්‍රේක්ශකයො නිශ්ෂබ්දව කබුකි බලන්නෙ නෑ...කබුකි බලන ගමන් එහි සුවිශේෂී තැන්වලදි ප්‍රේක්ශකයො අත්පොළසන් දෙනව...ඒ වගෙම සමහර ප්‍රේක්ෂකයො මොකද්ද කියල කෑගහනවත් (ඒක මොකද්ද කියල මට තේරුනෙ නෑ...) අනිත් දේ කබුකි බලන්න එද්දි බොහොමයක් කාන්තාවන් ජපන් සම්ප්‍රදායික කිමෝනාවකින් සැරසිලා එන්න අමතක කරන්නෙත් නෑ...


ඉචිකවා, කබුකි නාට්‍ය සම්ප්‍රදායේ ඉහළින්ම කියවෙන පවුල් නාමයක්... 1673 ඉඳන් අද වෙනකනුත් මේ පවුලෙන් බිහිවන නළුවන් කබුකි රංග ක්ෂේත්‍රයේ රැඳෙනව... ඒත්  අතීතයේ මේ විදියට පාරම්පරික පවුල්වල උරුමයක් ලෙස ගෙන ආ කබුකි රැඟීම අද වෙනකොට ටෝක්යෝ රංගශාලවෙදි කැමති අයට ඉගෙනගන්න පුළුවන්...

http://www2.ntj.jac.go.jp/unesco/kabuki/en/3/3_01.html
http://en.wikipedia.org/wiki/Kabuki

Friday, July 15, 2011

ගිම්හානයේ අසිරිය - කණාමැදිරි රාත්‍රිය

ඍතු වෙනසින් යුතු රටවල වෙනස් වෙන උෂ්ණත්වය, වර්ෂාව, ආර්ද්‍රතාවයත් එක්කම ඒ පරිසරයේ ජීවත්වෙන සත්ව විශේෂත් දවසින් දවස වෙනස් වෙනව... ඒ අතරෙ හිරු රශ්මියෙන් දැවුණත් ගිම්හානය වඩාත් සොඳුරු වෙන්නෙ ගිම්හානය පුරාවට ගහකොළත් සත්තුත් හිතට දැනෙන්න ජීවත් වෙන නිසා... ඉපල් විතරක් ඉතිරිවුණ ගස්වලට වඩා ගිම්හානයෙ ගෙඩි, කොළ පිරුනු ගස්වැල් ජීව ගුණයෙන් පිරිලා...ඒ ජීවගුණයෙන් යුත් ගස්වැල් කුරුල්ලන්ට ජීවත් වෙන්න අඬගහනව... ඒ නිසාම කාක්කෙක් කෑගහනව එහෙම අහන්න ලැබෙන්නෙ ගිම්හානයෙදි...


කණාමැදිරියන් නරඹන කණමැදිරි රාත්‍රීන්, වසන්තයේ අග සහ උණුසුම් ගිම්හාන රාත්‍රීන්වල පැවත්වෙන එක් උත්සවාංගයක්...ශිශිරයට පොළව යට හරි දිරාපත්වෙන කොළ රොඩු අතරෙ හරි සැඟවිලා ශිශිරතරණය කරන කණාමැදිරි කීටයන්, ජපානයට වසන්තයේ අග සහ ගිම්හානයේ මුල රංචු පිටින් දකින්න ලැබෙන කෘමි විශේෂයක්... තෙත්බිම්, කුඹුරු, ළඳුකැලෑ ආශ්‍රිතව ජනනය වෙන නිසා ටෝක්යොවෙ කොන්ක්‍රීට් වනාන්තරයේ ඔවුන්ගෙ ස්වභාවික ජනනය සීමා වෙලා... ටෝක්යෝවෙ ඉතබශි කණාමැදිරි අභිජනන මධ්‍යස්ථානය  ජුනි මාසයේ අග එම මධ්‍යස්ථානයේ දි අභිජනනය කළ කණාමැදිරියන් රාත්‍රී ප්‍රදර්ශනයකට එක් කරනව...ඊටත් වඩා ස්වභාවිකව ම ඔවුන් දකින්න කැමති නම් ෆුස්සා ගංඉවුරේ කණාමැදිරි රාත්‍රියට එක්වෙන්න පුළුවන්... මේ උත්සවයෙදි දකින්න ලැබෙන්නෙ නගර වැසියන් පිරිසක් විසින් අභිජනනය කර මුදාහරින කණාමැදිරියන්ලු... මීට අමතරව පුංචි පුංචි කණ්ඩායම් විදියට, කණාමැදිරියන් බලන්න යන අවස්ථා බොහොමයක් ගිම්හානයේදී සංවිධානය වෙනව...ජපානයේ අනෙක් ප්‍රදේශවලත්...ටෝක්යෝවෙන් තරමක් ඈත්වෙද්දි ස්වභාවිකම ජනනය වෙන කණාමැදිරියන් බලන්න පුලුවන්... ජපානෙ පුරාම ගිම්හාන රාත්‍රීන්වල ගංගා, විල් ආශ්‍රිතව කණාමැදිරි නැරඹන ස්ථාන තියෙනව...

ලෝකයේ සෞම්‍ය හා නිවර්තන කලාපවල කණාමැදිරි විශේෂ 2000 විතර ඉන්නවලු, උදරයේ යට පෙදෙස ආශ්‍රිතව සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාවක් නිසා මේ කෘමියා තුළ ආලෝකය උපදින්නේ සහකරුවෙක් සොයාගැනීමට බවයි කියවෙන්නෙ... තවම අපේ ගෙදරට නං කණාමැදිරියෙක් රෑ බදුල්ලෙක් අමුත්තෙක් නෙවෙයි... අපි හැමදාම දකින, හොඳ කුරුමාණමක් හරිගියොත් සමහර වෙලාවට පූසට ගොදුරක් වෙන තවත් එක සතෙක්... දොර පඩිය උඩ වාඩිවෙලා බලා ඉඳිද්දි රැයේ අසිරිමත් දසුනක්... ඒත් ඉවක් බවක් නැති කෘමිනාශක භාවිතය අපිටත් කණාමැදිරි රාත්‍රියකට යන්න සිද්ද කරාවිද මන්දා...

Wednesday, July 13, 2011

හචිකො - දුම්රිය පොළට ආ බල්ලා

සිය ස්වාමියා සොයා දිනපතා දුම්රිය පොළට පැමිණි ජපන් බල්ලා පිළිබඳව ඇත්තේ සුප්‍රසිද්ධ කතාවකි. සම්පූර්ණ කතාව නොවුණ ද ඒ පිළිබඳව යම් කොටසක් මා ජපානයට එන්නට පෙර ද අසා තිබිණ. බල්ලන්ට ඉතාම ප්‍රිය නිසාම ඒ කතාව මගේ මතකයේ රැඳිණ.


හචිකෝ 1923 අකිටා ප්‍රදේශයේ උපන්,  අකිටා ඉනු වර්ගයට අයත් බල්ලෙකි. (අකිටා ඉනු තරමක් විශාල ලස්සන ජපන් බල්ලන් වර්ගයකි.) ටෝක්යො විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම අංශයේ මහාචාර්යවරයෙක් වූ හිදෙසබුරො උඑනො, හචිකෝ ගේ ස්වාමියා විය. සෑම දිනකම සවස ස්වාමියා කැඳවාගෙන ඒමට ශිබුයා දුම්රියපොළට යාම හචිකෝගෙ දින චර්යාවට අයත් විය. හදිසියේම මහාචාර්යවරයා මිය ගියේය. මහාචාර්යවරයාගෙ මරණින් පසුත්, සිය ස්වාමියා සොයා පුරුදු නිවසටම හචිකො පැමිණියේය. එහෙත් කාලයත් සමග තවදුරටත් සිය ස්වාමියා නිවසේ නැති බව වටහාගත් හචිකො ස්වාමියා සොයා දුම්රියපොළට පැමිණෙන්නට විය. හරියටම සිය ස්වාමියා පැමිණෙන දුම්රිය, දුම්රියපොළ වෙත ළඟා වෙද්දී හචිකො එහි විය. ක්‍රමයෙන් හචිකෝ ගෙ මේ පැමිණීම අන්මගීන්ගේ අවදානයට යොමුවෙත්ම ඔවුන් හචිකො වෙනුවෙන් කෑමට යමක් ගෙනවිත් දීමට පුරුදු වූහ. මේ අතර මහාචාර්ය උඑනොගේ සිසුවෙකුගේ අවදානයට ලක්වුණ හචිකෝ පිළිබඳ පුවත, ඔහු විසින් සවිස්තරව සොයා ටෝක්යෝ අසහි පුවත්පත වෙත යොමු කිරීමත් සමග ම ජපානයේ අවදානය මේ බල්ලාගේ අපූර්ව ස්වාමිභක්තිය වෙත යොමුවිය. මෙසේ වසර නවයක් හචිකො සිය ස්වාමියා වෙනුවෙන් ශිබුයා දුම්රිය පොළ  අසල ජීවත් වූයේය. 1935 මාර්තු 8 වෙනිදා ශිබුයා හි වීදියක මියගොස් සිටි හචිකෝ ගේ සිරුර හමුවිණ.

පිළිකාවක් හේතුවෙන් මියගිය බව සැලකෙන හචිකොගේ සිරුර උඑනෝ කෞතුකාගාරයේ සංරක්ශණය කර රඳවා තිබේ.


 1934 දී ශිබුයා දුම්රියපොළ ඉදිරිපිට නිර්මාණය කර ඇති හචිකෝගේ ලෝකඩ ප්‍රතිමාව අද ද එහි යන එන දෙනෝදහකට හචිකෝ සිහිපත් කරවමින් එහි රැඳී ඇත.


සෑම වසරකම අප්‍රේල් 8 වෙනිදා බල්ලන්ට ආදරය කරන්නන් විසින් ශිබුයා දුම්රියපොළ ඉදිරිපිට ට රැස්ව හචිකෝ සිහිකෙරේ.  
සෙයිජිරෝ කෝයමා විසින් අධ්‍යක්ෂණය කරන ලද 1987 දි නිර්මාණය කරන ලද හචිකෝ මොනගටරි (Hachiko monagatari) ජපන් චිත්‍රපටය හචිකෝගේ ජීවිත කතාව ඉදිරිපත් ක‍රයි.

Monday, July 11, 2011

සත්‍යය පරිකල්පනයෙන් ඔපවත්ව...The man in the iron mask

 වර්ෂ 1669 ජුලි මාසයේ අග භාගය ගෙවී යයි. දහහතර වන ලුවී රජුගේ අමාත්‍ය මාර්ක්වීස් ඩි ලුවිස් වෙතින් පිග්නෙරොල් බන්ධනාගාර ප්‍රධානියා සේන්ට් මාර්ස් වෙත ලැබුණ ලිපියකි.
එස්ටාච් ඩෞගර් නම් වූ සිරකරුවෙක් ඊළඟ මාසයේ බන්ධනාගාරය වෙත ළඟාවීමට නියමිත බව හේ දන්වා එවා ඇත. බන්ධනාගාරයකට එය අමුත්තක් නොවන නමුත් ඒ සමග ඇති අනිකුත් නියෝග ඔහු තුළ තරමක විශ්මයක් ඇති කිරීමට සමත් ය. ළඟාවීමට නියමිත සිරකරු වෙනුවෙන් එකිනෙක පසුපස එකිනෙක වැසීයන දොරවල් කිහිපයකින් යුත් කුටියක් සකස් කිරීමට ඔහු අණ කරයි. පිටස්තර කිසිවෙකුට සිරකරු පවසන කිසිවක් නොඇසෙන පිණිසය ඒ.  තව ද දිනකට වරක් බන්ධනාගාර ප්‍රධානියා වන සේන්ට් මාර්ස් විසින් ම සිරකරුට ආහාරපාන හා අනෙකුත් අවශ්‍යතා සැපයිය යුතුය.
ලිපිය දෙස හොඳින් බැලූවිට තවත් කරුණක් පැහැදිලි වේ. ලිපිය ලියන්නෙකු ලවා ලිය වූව ද සිරකරුගේ නම ඩි ලුවිස් අමාත්‍යවරයාගේ අත්කුරින්ම ලියවී ඇත.

---------



ඩන්කර්කෙ හි අණ දෙන නිලධාරී කැප්ටන් ඇලෙක්සන්ඩර් ඩි වෙරොයි තමා විසින්ම අත්ඩංගුවට ගත් සිරකරු ද සමග අගෝස්තු මාසයේ අග භාගයේ පිග්නෙරොල් බන්ධනාගාරය වෙත ළඟාවේ. කළු විල්ලුද රෙද්දකින් කළ මුහුණු ආවරණයකින්, බන්ධනාගාරයට රැගෙන ආ මේ විශේෂ සිරකරුගේ මුහුණ ලොවෙන් සඟවා තිබේ.

එදින සිට වසර 34 ක් සේන්ට් මාර්ස් බන්ධනාගාර පාලකවරයා යටතේම බන්ධනාගාර කිහිපයකට මාරු වෙමින් ඔහුගේ සිරකරු දිවිය ගතව ගිය අතර ඒ මාරුකිරීම් සියල්ලේදීමත් සිරකරුගේ මුහුණ ආවරණය කිරීමට පාලකයන් වගබලාගත්හ. වර්ෂ 1703 දී සිරකරු මියගියේය.

රජුගේ සොහොයුරෙක්, නීත්‍යානුකූල නොවන පුත්‍රයෙක්, ජනරාල් වරයෙක්, රහස් දැන සිටි සේවකයෙක්, ආදී බොහෝ උපකල්පන බාහිර ලෝකය තුළ කට කතා ලෙස පැතිරිණ. එහෙත් සත්‍ය වශයෙන්ම ඔහු කවරෙක් ද යන්න කිසිදා ලොවට හෙළි නොවීය.

-------------------------
මේ සත්‍ය කතාව වටා බොහෝ ප්‍රබන්ධ බිහිවිය. ඒ අතර වර්ෂ 1840 අග භාගයේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ පරිකල්පනය තුළ,  බලහත්කාරයෙන් යකඩ මුව වැස්මකින් මුහුණ ආවරණය කර, බැස්ටිල් බන්ධනාගාරයේ රඳවා තබන ලද දහහතර වන ලුවී රජතුමාගේ නිවුන් සොයුරා Philippe ලෙස ප්‍රතිනිර්මාණය වූයේ (Three Musketeers නවකතාවේ දී) ඔහුයි. 

----------------------


1909 සිට 1998 දක්වාම මේ කතාව පාදක කරගෙන කෙරුනු චිත්‍රපට හා ටෙලිනිර්මාණ බොහොමයකි.
චිත්‍රපටයත් නවකතාවත් එකට බැඳුනු කතාපුවතක් ඉදිරිපත් නොකරන නමුත්, ලෙනාඩෝ ඩි කැප්‍රියෝ නවවන ලුවිස් රජතුමාට හා ඔහුගේ නිවුන් සොයුරා Philippe ට රඟන Randall Wallace විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද  "The man in the iron mask" චිත්‍රපටය ඇලෙක්සන්ඩර් ඩූමාගේ පරිකල්පනය තුළ බිහිවූ ච‍රිත භාවිතා කරමින් වඩාත්ම මෑතක නිරමාණය වූ චිත්‍රපටයයි.

----------------------------------
 Source:
http://en.wikipedia.org/wiki/Man_in_the_Iron_Mask
http://en.wikipedia.org/wiki/The_Man_in_the_Iron_Mask_%281998_film%29
http://www.gutenberg.org/files/2759/2759-h/2759-h.htm