Friday, February 25, 2011

දූගේ දෑතින් යළි නිමවෙන්නට ලෝකය බලා හිඳී...


......... කොහෙද ඉන්නෙ.. ?

ගෙදර ඉන්නෙ, ඇයි ඒ ?

උඹ ඉන්නෙ ඉඳගෙනද , හිටගෙනද?
පොඩි ප්‍රශ්නයක්.. මේක කිව්වාම උඹ ඇදගෙන වැටෙයිද දන්නෑ නෙ, ඒකයි

කියපන් ඉතින්
මොකද්ද දැන් ඔය මම ඇදගෙන වැටෙන ප්‍රශ්නෙ

ඉඳගෙන නෙ ඉන්නෙ? ෂුව‍ර් නෙ  
ඔව් බොල 
හොඳා, උඹ නැන්ද කෙනෙක් වෙන්ඩ යන්නෙ :)

ආ  :-o

.......................................................

ඒක නෙවෙ
  ..........යි බබයි කොහොමද ?
එළ, බබා දැං දෙනවා පාරවල්
 ආ, එයාට දැන් මාස කීයක්ද ?

 5
 නෑ
7
 නෑ
 6
.......................................................

දුවෙක් ද පුතෙක් ද .... ?
ඇයි මම කිව්වෙ නැද්ද ?
නෑ නේ,  ඒක නෙ අහන්නෙ.. ?
කවුරු වෙන්න ඇති කියල ද උඹට හිතෙන්නෙ...?
දුවෙක් වෙන්න ඇතියි...

දුවෙක්,

:)
.......................................................

බාලොලි ලොලි ලොලී - බාලොලි ලොලි ලොලී
ම්ම්...ම්ම්...ම්ම්
දෙව් දූවරු සහසක් ළංවී- නළවයි මගෙ දූ මල් කැකුලී
පායා සුව දි සඳ කොමළී- සැනහෙයි දූ සිහිනෙක ගුලිවී

නාඬා ඇහැරී සිනාසෙන්න නිදි දෙව් සිහිනෙට සමුදී
දූගේ දෑතින් යළි නිමවෙන්නට ලෝකය බලා හිඳී...

සිනහව අමතක වුණ ලෝකේ දූ හිනැහෙන තුරු බලා හිඳින්නේ
දූගෙ සිනාවෙන් මැවෙනා පාරාදීසේ සිනාසිසී ජීවත් වෙන්නයි...

හඬ ගිලිහී ගොලු වුන ලෝකේ දූ අමතනතුරු බලා හිඳින්නේ
දූගේ වදනින් මැවෙනා පාරාදීසේ සොඳුරු හඬින් දූ අමතන්නයි



සුබ පැතුම් යෝගී... 
මේ සටහන යෝගිගෙ අලුත උපන් ආදරණීය දූ පැටිය වෙනුවෙන්...
----------
2011.FEB.20


Wednesday, February 23, 2011

ජපන් කෑම... (Curry rice and onigiri)

ජපානෙ ගැන එකේක දේවල් මගෙ අතින් ලියවුණත් ජපන් කෑම ගැන කිසිම දෙයක් මගෙ අතින් ලියවිලා ම නෑ... ආසියාතික රටක්, බත් කන රටක් වුණත් ජපානෙ ආහාර රටාව හුඟක් ම වෙනස්... මුලින්ම ජපන්නු කන ඕනම විදියකට අමුවෙන් හරි කනව කියල ජපානෙට ආවට, මෙහෙට ආව අලුත ජපන් කෑම කන්න ගිහින් බඩගින්නෙම ඉන්දෙදි කෑම එක එපා වෙලා ගෙදර ඇවිත් උයාගෙන කන්න ම සිද්ද වෙන තරම් ජපන් කෑමවල රස වෙනස්...

අපේ කෑම රටාවට ආසන්නම ජපන් කෑම 'කරෙ රයිස්', දේශීය ජපන් කෑම වේලක් නොවුනත් කරෙ රයිස් ජපන් කෑම අතරට එකතු වෙලා ශතවර්ශයකට වඩා වැඩි කාලයක් ගත වෙලා ගිහින් තියනව කියල තමා කියන්නෙ... ඒත් කරෙ රයිස්වල දුරු තුනපහ රස ඉස්මතුවෙන රහක් තියෙන්නෙ... මිරිස් රසට වඩා... ඒ නිසාම කරෙ රයිසුත් මට කන්න ආස හිතුන කෑමක් උනෙ නෑ... පිඟානෙ පැත්තකට බත් බෙදල අනිත් පැත්තට ඒ කරෙ රයිස් සෝස් එක දාල දෙනව... කොහොම උනත් වෙන කරන්න දෙයක් නැති වෙලාවක සාමාන්‍ය මුදලකටත් බඩ පිරෙන්නත් කන්න පුළුවන් කෑම වේලක් මේ...ඒ නිසාම හුඟක් කරෙ රයිස් කඩ දුම් රිය පොළවල් ආසන්නෙ තියනව...


ජපන් කෑම අතරෙ මුහුදු පැළෑටි ආහාරයටත් ප්‍රධාන තැනක් තියනව... කොහොමටත් මුහුදෙන් ලබාගන්නා ආහාර ජපන් ආහාර අතරෙ ප්‍රධානයි... ආහාරයට සුදුසු මුහුදු රතු ඇල්ගීවලින් හදන නොරිකොළ ජපානෙ බොහොමයක් ආහාරවලදි පාවිච්චි කරනව...


නොරි කොළ කඩදාසි කොළ වගෙ... හරිම ගුණයි කියල කියනව... නොරිකොළ හදන්න රතු ඇල්ගී වවනව මූදේ... ජපානය, චීනය හා කොරියාව මේ නිශ්පාදනයේ ප්‍රමුඛයින්... වවල, අස්වනු නෙලල. සකස් කරල එන මේ අවසන් නිෂ්පාදනය කඩදාසි කොළයක් වගේ... කළු පාටට හුරු කොළ පාට...

විශේෂයෙන්ම 'ඔනිගිරි' කියල ජපානෙ කියන ප්‍රසිද්ධම ඉක්මනින් කන්න පුළුවන් ඕනෙ තැනකදි හොයාගන්නත් පුළුවන් ත්‍රිකොණාකාර බත් ගුලි ඔතන්නෙ මේ 'නොරි' කොළවල...රතු ඇල්ගී වේලල හදන මේ කොළ කද්දි මාළු රසක් වගෙ දිවට දැනුනත්, ජපානෙ තියන මම කැමතිම කෑම නම් 'ඔනිගිරි', ඕනම හදිසි වෙලාවක,  ඕනෙම 'convienient shop' එකකින් හදිස්සියට අරගෙන කාල දවස් ගත කරන්න පුළුවන් නිසා...(අනිත් අතින් ඔනිගිරි කෑවම අද බත් කන්න වුණෙ නෑ නෙ කියල හිතල දුක් නොවී ඉන්නත් පුළුවන් නිසා...)

Tuesday, February 15, 2011

හිරු ඇවිත් අද වෙනදටත් කලියෙන්...



මඳ ඉසිඹුවක් ලද නිමේශයෙ
හිරුටත් හොරෙන් ඇවිදින්
තුරුඅගිස් අග මිහිමඬල මත
වැජඹුණත් වෙසෙසින්

හිරු ඇවිත් කලියෙන්ම ඔද තෙද
වෙනදටත් වැඩියෙන්
සැඟව යන්නට මොහොත ඇවිදින්
හිරුකිරණ මැද දියබිඳක් විලසින්...

Monday, February 14, 2011

හිම කුණාටුවෙ රැයක...


කැකුළු පොබයන වසන්තය
අද හෙට ම එයිදෝ බල බලා...
ඉපල් අහසට යොමා දිය බිඳු
අයදිනා යැදුමක් අසා...
අහස නුඹ හැඬුවා...

මෙතුවක් කලක් ශිශිරයේ පීඩා
උහුලමින් හරිතය දරා
උන්නු අතුඅග හිම පියලි වී
රැඳෙන දිය බිඳු බල බලා
පොළව නුඹ හැඬුවා...


මන්දාරමේ සිරි වින්ද මා නෙතු
සුදු පුලුන් කැටි අසිරි දැක දැක
කොහොම යන්න ද
සිතා මග රැඳුනා...

කොපුල් දවනා හිම පියල්ලෙන්
මිදී උණුසුම සොයා යනු රිසියෙන්...
උනුන් පරයා දිවෙන දන අතරේ...
හිම පියළි සිඹිමින්
කුමට රැඳෙනව දෝ...
මළවුන්ගෙ නගරයෙ
කිරි ගරුඬ ටැම්
මුදුසරින් ඇසුවා...





Friday, February 11, 2011

නිදිකුම්බා මල්...Fly trap සහ මාංශ භක්ශක පැළෑටි


තමන්ගෙ පරෙස්සමට කොයිතරම් කටු තිබුන වුණත්, පය වැදුන ගමන් කොළ ඇකිලෙන නිසා ම නිදිකුම්බා ගස් පොඩිඋන්ට නම් මගෑරෙන්නෙ නෑ... කොහොමහරි කටු ඇනෙන්නෙ නැති වෙන්න නිදිකුම්බා ගස්වලට පයින් ගහන එක මට තිබුන ලොකුම ලොකු විනෝදයක් පොඩිකාලෙ... පය වදින වේගෙ අනුව නිදිකුම්බ ගාල නිදාගන්න වේගෙත් වෙනස් වුණා, හයියෙන් ගැහුවොත් ගස් ඔක්කොම හෙලවිලා ඒව ඔක්කොම විගහින් ම ඇකිලුණා...ඒත් ටිකක් හෙමින් ගැහුවොත් නිදිකුම්බ ගාල වටේ ගිහින් ගොඩක් තැනකින් පයින් ගහල බලන් ඉන්න පුළුවන් කොල මැලවෙන හැටි...
ආයෙ ටිකකින් ඒ කොළ ටිකින් ටික නැගිටිනව... හරියට මම ඉන්නව ද කියල වටපිට බලනව වගෙ... නිදිකුම්බා මලුත් සෙල්ලම් ගෙවල්වල උයන්න කඩාගෙන එන ජාතියක්... මේ සෙල්ලම් කරද්දි නිදිකුම්බ කටුත් ඇනෙන්න ඇති... ඒත් නිදිකුම්බගාලට පයින් ගහල ඒක නිදිකරවපු මතකෙ මිස කටු ඇනිල රිදුනු මතකෙ හිතේ නෑ... නිදිකුම්බ පොහොට්ටුව මම නම් කනව ඒ කාලෙ... අර වටේ තියෙන රෝස පාට ටික විතරක් හිමීට ගලව ගලව...ඉවසිල්ලෙන් කන්න ඕනෙ.. මැදටික කැවුණොත් රස නැතිව යනව...
 
ඒත් නිදිකුම්බා ගැන මේ කතා ටික ආය මතක් වුණේ පර්යේෂණ සටහනක් නිසා... කාටවත් කියවන්න ආස හිතෙයිද නැද්ද මන්ද... ඒත් මට ලියන්න ආස නිසා මේ ටිකත් ලියවෙනව...නිදිකුම්බා ගහක නින්ද හරිම සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලියක්...ඒත් ක්ෂණිකයි...

අනිත් අතින් දැඩි සුළඟට නිරාවරණය වෙන ලොකු ගස් පවා... මේ සංකීර්ණ ක්‍රියාවලියෙ ප්‍රථිපල පෙන්නනව... ඒ ගස් මිටියි... අතු ඉති වුණත් සුළඟෙන් නොකැඩෙන විදියට හැදිල...

නිදිකුම්බාවල සිද්ද වෙන මේ ක්‍රියාවලියම තමන්ට ආහාර හොයාගන්න බාඳුරා ඇතුළු අනිත් 'Fly trap' තියෙන පැළෑටිවල සිද්ද වෙනව, ඒ වගෙම ක්ෂණයකින්... පුංචි මැස්සෙක්ගෙ කුරුමිණියෙක්ගෙ පය ගැටෙන මේ සංවේදනය ඊළඟ මොහොතේ ඒ සතාට මරු කැඳවනව... ගස්වැලුත් කොහොම හරි ජීවත් වෙන්න එපෑ...නයිට්‍රජන් පොස්පරස් අඩු පරිසරයක වැවෙන පැළෑටි ඒව ලබාගන්නෙ මේ විදියට...ප්‍රයෝජනයක් නැතිව ශක්තිය නාස්තිවීම වළක්වාගන්න තරම්ම මේ උගුල් සූක්ෂ්මයි... එක තත්පර 20 ක් ඇතුළත් දෙවරක්වත් යමක් ගැටීම මේ උගුල ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි...ඒ අතරෙම වැහිබිඳු වගේ ඒවයින් මේ උගුල වැහෙන්නෙ නෑ...ස්පර්ශ සංවේදනය පැවැත්ම සඳහා යොදාගන්න මේ ශාක අතරෙ හVenus Flytrap, Dionaea muscipula හරිම සුන්දර පැළැටියක්...


බාඳුරා මල්...(Nepenthes distillatoria L.) ඒත් එහෙම්මයි...

මාංශ භක්ශක පැළෑටි වටේ ගෙතුණ ප්‍රබන්ධ කොහොමටත් හරිම අපූරුයි... ලොකු ගහක් බල්ලෙක්ව කෑමට ගන්න කතාවක් කියෙව්ව මට තාමත් මතකයි... අන්තිමට වෙඩි තියල ගහ මරල දාන්නත් වෙන...
අනේ මන්දා...
(ඔක්කොම ලියල ඉවර වෙල නිදිකුම්බ ගහක පින්තූරයක් හොයද්දියි දැක්කෙ... නිදිකුම්බා ගෙවතුවල වවාගන්න විකුණන්නත් තියනව.. කියල... )
http://en.wikipedia.org/wiki/Venus_Flytrap
http://en.wikipedia.org/wiki/Nepenthes

Sunday, February 6, 2011

කාලය මතින් අතීතයට...

1983 දි 84 දි විතර මම මුලම වතාවට කොළඹ දැක්කලු... ඒ ගැන පස්සෙ කාලෙක අම්මයි තාත්තයි කියපු දෙයක් ඇරුන කොට දැකපු කිසිම දෙයක් මගෙ මතකෙ කොහෙවත් නෑ... මට මතක විදියට මම කොළඹ ඉස්සෙල්ලම දකින කොට මට අවුරුදු 7 ක් විතර ඇති... කොළඹ ඒම ඒ කාලෙ අපිට ට්‍රිප් එකක්...
කෞතුකාගාරය, ග්‍රහලෝකාගාරය, විහාරමහාදේවි උද්‍යානය එහෙම බලල සත්තුවත්තත් බලල යන... දවසක ට්‍රිප් එකක්...

එහෙම ඇවිත් බලපු කොළඹ වුණත් මගෙ මතකෙ ඒ තරම් හොඳට රැඳිල නෑ... විශේෂයෙන් බලපු කෞතුකාගාරෙයි ග්‍රහලෝකාගාරෙයි ඇරෙන්න... මගෙ මතකෙ සාමාන්‍යෙන් රැඳිල තියෙන්නෙ කොළඹ නගරය වසර 2000 න් පස්සෙ... දවසින් දවස කොළඹ නගරය වෙනස් වෙන්න ඇති... ඒත් හැමදාම දකිනකොට ඒ වෙනස්වීම් මග හැරෙන්නත් ඇති... දෙහිවලයි නුගේගොඩයි ගුවන් පාලම් දෙක ඇරුනකොට මගේ ඇස්වලට ගැටෙන වෙන වෙනසක් මේ කාලෙ භෞතික පරිසරයෙ... සිදු වුණෙ නෑ...

ඒත් 1973 දි කොළඹ... මම දැක්කෙ නැති බව නම් මට සහතිකයි... ඒ වගෙම අපි ගොඩ දෙනෙක් නොදැක්ක බවත්... දැක්කත් මතක සටහන් මිස සේයා රූ හිඟයි නෙ... මේ අහම්බෙන් අන්තර්ජාලයේ හම්බුන  සේයා රූ ටිකක්...1973 දි කොළඹ නගරය...


ඒ අතරෙ මට සුවිශේෂීම ගාල්ල නගරයේ ගාල්ල කොටුව අවට සුන්දර සේයාරුවකුත් ත්, මුහුදු වෙරළ අසල සේයා රූත් තිබුනා...


මේ කැන්යොන් වේල්ල ඉදිකරන කාලයේ සේයා රුවක්...  මේ ඡායාරූප ශිල්පියා එකල ඒ අවට සැරිසරන්න ඇති...


පේන විදියට ලංකාවෙ සංචාරය කළ කිසියම් යුරෝපීය ජාතිකයෙක්ගෙ සේයා රූ එකතුවක්....
අනුරාධපුරය, පොළොන්නරුව,කැළණිය, රත්නපුරය, ගාල්ල, මාතර වගෙම මීගමුවත් ඔහුගෙ කැමරාවෙ සටහන් වෙලා තියනව...හුඟක්ම ලංකාවෙ පූජනීය ස්ථානත්, ගන්දර පෙරහැර වගෙ ඔහු ලංකාවෙ ගතකළ දිනවල තිබුන විශේෂ අවස්ථාත්...

පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සේයා රූ රැසකුත් ඒ අතර සුවිශේෂියි...

වින්දනීය මනසක් හිමිවූ අපූරු පුද්ගලයෙක් වෙන්න ඇති ඔහු... අවට දර්ශන රැසකුත්, කෙත්වතු නිවෙස් ඇතුලු එවක ලාංකීය ජනජීවිතයේ පැතිකඩවල් බොහොමයකුත් ඔහුගෙ සේයා රූ අතර රැඳෙන්නෙ ඒ නිසා වෙන්න ඇති...
සේයාරූ සමග ලියවුණ සටහන් තියෙනව හැම සේයා රුවකට ම වගෙ...ඔහුගේ වටිනා සේයාරූ එකතුවෙන් කිහිපයක් පමණක් මෙහි එක්කළත්... මේ සේයා රූ සියල්ල FLICKER අඩවියේ තියෙනව...සේයා රූ 485 ක්... සටහන් වෙන විදියට මේ සේයා රූ අරගත් පුද්ගලයාගෙ පුතා විසින් මේවා අන්තර්ජාලයට එක් කරල තියෙන්නෙ...අහම්බෙන් මට ලැබුනක් වුණත් ඒ සේයා රූ රැස මගේ හිත ගත්තා, මේ සටහනත් ඒ සේයාරූවලට ලින්ක් එකත් මේ එකතු කරන්නෙ මම වගේ මේව බලන්න ආස හිතෙන තවත් කෙනෙක්ට බලන්න...





Thursday, February 3, 2011

සුරම්‍ය නිශාන්තයක...

නිසල බව ද සිසිල ද රාත්‍රියට අපූර්වතම මිහිරක් එක් කරයි. වරෙක නමුණුකුල ගිරිශිඛරය අභියස ගෙවා දැමූ රාත්‍රීන් කිහිපයක දී ඒ අපූර්වත්වය අත් විඳි අයුරු මට අද ද සිහිවේ... නමුණුකුළ ගිරිහිස සිඹින වළා ද ඒ මත්තෙන් නැගෙන තරු පිරිවර හා සඳ ද.... මිහිදුමෙන් ද සැරසුණු ඒ රාත්‍රීන් දිව්‍යමය විය...

තිසා වැව් තාවුල්ලේ හිඳ මළානික හිරු රැස් කෙමෙන් වි‍යැකෙන මොහොතේ සිට සඳ දියදෝවන තුරුම... ඔබ්බෙන් පෙනෙන දාගැබ් දෙස බලා සිටි රාත්‍රිය ද ඊට ම උරුම වූ සෞම්‍ය සිහිලක් ද ශාන්තියක් ද සිත තුළ ගොඩ නැගීය....

හිම පියලි මුව සිඹින රැයක කෙත් අතරින් දිවෙන පාළු මාවතක අඩ අඳුරේ ද ඒ සොඳුරු මිහිර කැටිවී තිබිණ...හිම මිදෙන සීතලේ මා මාවත් දිගේ ගෙන ගියේ අපූර්වත්වයයි... ඒ සොඳුරු රාත්‍රීන් මා සිත නොමැකෙන මතක සටහන් රඳවා ඇත...

රාත්‍රිය හා අනුරාගය අතර ද අපූරුම බැඳීමක් ඇත... බොහෝ සෙයින්ම ප්‍රේමය ද අනුරාගය ද වර්ණනාවට ලක්වී ඇත්තේ... රාත්‍රිය හා සඳ සමග මිස... හිරු හා දහවල සමග නොවේ... මේ පද පෙළ ද මා සිතේ ඒ අපූර්ව වූ රාත්‍රියේ මිහිර ම සිත්තම් කරනු මට දැනින... සඳ එළියේ වැව්දිය මත සැලෙන කුමුදු මලක් හා දොඩමළු ව ගයන, ඒ අපූර්ව රාත්‍රියේ ඇය පමණක් ම අඩු බව දැනෙන ඔහුගේ ප්‍රේමයේ යැදුම...

දැන් එන්න සොඳුරිය දොර ඇරන්...

වැව් කුමුදු මල් දිය මත ඉඳන්...
පුර හඳට ළංවී සීරුවෙන්....
නිල් සළු ඇඳන් වැව රැළි නගයි...
රෑ කුමරියට බැඳි ප්‍රේමයෙන්...

ඔබ විතරමයි අඩු මේ රැයට....
දැන් එන්න එළියට දොර ඇරන්...

එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්...

සීතල සුළං සීපද කියයි...
වැව් ඉවුර මත මදහාසයෙන්...
තුරුලිය සෙමෙන් කෙහෙරැලි කඩයි
මීදුම් යහන අනුරාගයෙන්...

ඔබ විතරමයි අඩු මේ රැයට...
දැන් එන්න එළියට දොර ඇරන්...