Saturday, January 29, 2011

ඈ...


හිරු දිලි ලොවක විපරමින්
මිලින ඈ වත සඟවමින්...
හිරු දිලෙනු නොදෙමින්...
දිනක් නිමවිය වළා කඳුලින්...

Monday, January 24, 2011

.............. ?



වෙණ තත් ඉකිබිඳී...
සප්ත ස්වරය ගොළු වී
සඳ දෙවඟනක කඳුලින්
කම්පිත වීය රාත්‍රී...

Saturday, January 15, 2011

ශිශිරයේ දවසක...

ඉසිඹුවක් නොලබා ම දිවෙන කාලය ආයෙම ශිශිරය අරන් ඇවිත්...සීතල ම සීතලයි...මේ දවස්වල හදිස්සියෙන්වත් වැස්සොත් ඒ වැහි බින්දු හිම පියලි වෙලා පොළවට වැටේවි... මම ජපානෙට ආව අවුරුද්දෙ ටෝක්යෝ අවට ප්‍රදේශයට පුංචි පුංචි හිම බිඳිති වැටුණත් පොළවෙ රැඳෙන තරම් හිම වැටුනෙ නෑ... හිම දැකල නොතිබුණ නිසා ඒ හිම බිඳිති වුණත් මගෙ හිත බැඳගත්තෙ ලොකු ආසාවකින්...
සැහැල්ලුවට පාවෙලා එන හිම බිඳිති විසිරිලා යන අපූරුව විඳගන්න සීතලේ ගැහි ගැහි මම එළියෙ හිටිය...



හිම වැටෙනවත් එක්කම මතුවෙන ජපන් ජාතිකයන්ගෙ හිත් ගත් ක්‍රීඩාවක් ස්කීන්ග් (Skiing)... හිම මත ලිස්සා යාම... ටෝක්යෝවට වඩා ඉඩ තියෙන ඊට ටිකක් උඩින් තියෙන පළාත්වල හිම රැඳෙන කාලය වැඩි නිසාම වෙන්න ඕනෙ මේකට වෙන්වුණු ප්‍රදේශ තියෙන්නෙ නගනෝ, ගුන්මා වගේ ප්‍රදේශවල... ස්කීන්ග් දැකල තියෙන්නෙ රූපවාහිනියෙ විතරක් නිසායි, ඇතිවෙන්න හිම අල්ලන්න ලැබෙන නිසායි... යාළුවො කීපදෙනෙකුත් එක්ක ස්කී කරන්න යන්න මාත් එකතු වුණා ඒ අවුරුද්දෙ...

කිසිම කරදරයක් නැතිව හරිම සැහැල්ලුවෙන් හිම මත ලිස්සා යන විදිය දැකල තිබුණ මම හිතාගෙන හිටියෙ ඒක හරිම සරල දෙයක් කියල... උදේම පිටත් වෙලා ගිහින් මග දිගේ හිම වැටුණ කඳුමුදුන් පාරවල් පහු කරගෙන ගිහින් ගුන්මා පැත්තෙ ස්කී කරන තැනකට අපි ළඟා වුණා, උදේ 10 ට විතර... මුළු දවසම ස්කී කරල හැන්දෑවට එන්න හිතාගෙන...



එතෙන්ට ගිහින් ස්කී කරන ආම්පන්න ටිකත් අරන් ස්කී කරන තැනට ගියාම තමා මම තේරුම් ගත්තෙ ඒක කොච්චර අමාරු දෙයක් ද කියල... ස්කී කරනව තියා අඩියක්වත් ඇවිදගෙන යන්නවත් බෑ... ලිස්සල වැටෙනව... වැටිලම මට ටිකකින් ඒක එපාම වුණා... ඒත් මට ආස හිතෙන දේවල් ගොඩාක් ඒ වටපිටාවෙ නම් රැඳිල තිබුණ... හීතල ඉවසගෙන දවස පුරාම ඒ දිහාවෙ බලන් ඉන්න පුළුවන් ලස්සන කඳුවලින් ඒ පළාතම වට වෙලා තිබුණ...

ඊට පස්සෙ අවුරුද්දෙ හිම ගැන මගෙ ආසාව පුරවන්න තරම් හිම වැටුණ ගේ ළඟටම... අන්තිමට පඩි පෙලේ මම ලිස්සල වැටෙන තුරුම....
 

මේ අවුරුද්දෙත් දැන් නම් හිම වැටෙන උෂ්ණත්වය ළඟා වෙලා, හැබැයි හොඳ වෙලාවට තාම වැස්ස නෑ...


Thursday, January 6, 2011

ආපසු යන්නට...

සීතල ම ශිශිරයෙ දුඹුරු පාට ගැහුණු නරිටා තණතීරු වේගයෙන් පහු කරගෙන ගුවන් යානය ගුවන්ගත වුණා... පහළින් පොඩිවට පේන ජපන් වෙරළ ඈතින් ඈතට යද්දි ගුවන් යානයට වඩා වේගෙන් හිත පියාසලනව... ගෙදර එන්න... ඈත අහසෙ ඉඳන් බලද්දි සුන්දර ම ෆුජි පහු කරල තවත් පැය ගණනාවකට පස්සෙ ක‍ටුනායක ගුවන් තො‍ටුපලට ඇතුල් වෙද්දි කොයිතරම් මහන්සි වුණත් හිතට දැනුන සතුට...

-----------------

ජපානය ලෝකෙ දුර ඈත තවත් එක රටක් විතරක් ම වෙද්දි, ඈත අතීතෙ දැක්ක හීනයක් වගේ මතකයෙ අමතක වෙලා යද්දි, දෙසතියක් පුරාවට ලෝකෙ ආදරණීයම බැඳීම් එක්ක ගත වුණ ඒ දවස් කීපය...
ආස හිතෙන තරමක් පොත් ගෙනල්ල නිදහසේ කියවන්න ලැබුණ විවේකය...
ජපානෙ ඉන්න තුරුම හැම දවසක ම උදේ ඉඳන් රෑ වෙනකන් ම ඉන්ටනෙට් එකේ ගතවෙන ජීවිතෙට ලැබුණ සුන්දර ම සජීවී විරාමය ඉවරයි...

සතුටින් ඉන්න දවස් ඉක්මනට ම ගත වෙලා ගිහින් ආයෙම යන්න දවස් ඇවිත්... තවත් ගොඩක් දිග කාලෙකට...

ආයෙම ජපන් වෙරළ දකිද්දි එදා ඈත්වෙන ජපන් වෙරළ දකිද්දි දැනුන සතුට දැනෙන එකක් නෑ... ඒත්, ශිශිරයෙ වියළුණු තණ තීරු මැදින් ආයෙම කාර්යබහුල හුදකලා ජපානයෙ ජීවිතේට ඇතුල් වෙන්න සිද්ද වේවි...