Saturday, October 29, 2011

පොළවෙන් අහසට...

පොල්කරටිවලට ඉහළින් මහවරුසාව ඇද හැලේ. අතරින් පතර අකුණුසරයක සේයාවක් ඇඳී මැකීයයි. ගහකොළ අඹරවමින් ඇද හැලෙන තද වර්ෂාව නිසා පරිසරය සිසිල්ය. නොතෙමී හිඳ වර්ෂාව නරඹන රිසි නමුදු ඒ වර්ෂාවම එළියට යන්නට හරස් වේ. බොහෝ කලකට පසු මා පු‍ටුවක මේසයක වාඩිවී කොළයක් මත පෑනෙන් සටහනක් තබමින් සිටිමි. නොලියූ සටහන පරිගණක තිරය මතම සටහන් තබන්නට හුරුවී සිටිය ද කෙමෙන් පරිගණකය හා මා අතර සබඳතාව බිඳී යමින් පවතින නිසා දෝ වරින් වර කපා කොටමින් වුව ද කොළය මතම සටහන තබන්නට සිත් දේ. මා හිස ඔසවා බලමි. ඉදිරිපස ජනෙල් වීදුරුව මත මගේම ඡායාවක් පිළිඹිබු වේ.
කාලය විසින් ජීවිත පොතේ තවත් අළුත් පි‍ටුවක් පෙරලා ඇත. බොහෝ හැලහැප්පීම් මැද්දේ දිගු මාවතක් ඔස්සේ ගිය අධ්‍යාපනයේ ගමන තවත් නැවතුම්පළක් සොයා ගොස්ය. එය එහි සුන්දර වූද සාර්ථක වූද නිමාව දු‍ටුවෙන් මා නැවත මව්බිමට ද නිවසට ළඟාවී සිටිමි. ඉපල් මතින් ඇද හැලෙන් හිම වැස්ස නොව පොල් කරටි මතින් ඇද හැලෙන නිම්හිම් නැති මහ වැස්ස දකින සිත සතුටින් ඉපිළේ. ජපානය පසිගිය යුගයක මතක සටහනක් වී මතක පොතේ තවත් පි‍ටුවකට උරුමකම් කියයි. මගේ නෙත්මානයෙන් ඔබ්බේ ලෝකයේ ඇත ඉමක ජපානය තවමත් ජීවමාන බවද තදින් සිත බැඳුනු මිතුදම් කෙරේ ඇති ආශාව හා සබඳතා ද හැර, දමා ආ කිසිවක් කෙරේ ආශාවක් ද මගහැරුණු හෝ දමා ආ කිසිවක් ගැන පසුතැවිල්ලක් ද නොවේ.
උණුසුම් දකුණු ආසියාවේ ජීවන සුසුමක උණුසුම වඩාත් තදින් දැනෙන, ජීවිතය බදා වැළඳ ජීවත් වන මිනිසුන් අතර ජීවත් වෙමි. බස් රථය පුර පැතිරෙන රේඩියෝවක පාලනයෙන් තොර නාදය අපහසුවක් වූව ද ගමන කෙළවර නිවසට ළඟාවන හෙයින් ඒ ඉවසා දරන්නට හුරුව සිටිමි. උණුසුම් සෙනෙහස පිරුණු, තනිකම නොදැනෙන නිවසක විඳින, පොළවෙන් අහසට ඔසවා තැබුවාක් මෙන් දැනෙන, සුවිසල් සතුට හා සැනසුම අත්විඳිමින් සිටිමි. පෙරදා තනිකම අකුරු කරනට ලියූ 'චේජනාගේ පි‍ටුව' වසා දමනු නොරිසියෙන් ඉඳහිටවත් සටහනක් තබන බලාපොරොත්තුවෙන් පණපොවා මේ සටහන නිමවමි.