Thursday, July 18, 2013

මායාවේ ගැලෙන මිනිසා...

දෑසින් දකින ලෝකය මනසින් අර්ථ දක්වන්නෙකි මිනිසා...
මිහිතලය මත ජීවත් වන වඩාත් බුද්ධිමත්ම සත්වයා ද මිහිතලයේ එකම හිමිකරු ද ලෙස ඔහු තමා අර්ථ දක්වා ගත්තෙකි....
මිහිතලයෙන් එපිට ද දකින්නට දැල්වූ අපේක්ෂාවන්ගෙන් ඔද වැඩුනු ඔහු, සිය මසැස ඒ සඳහා ප්‍රමාණවත් පරිදි පරිණාමය නොවන කල, සිය මසැස ද මනස ද සිරුරෙන් පරිබාහිර පරිණාමයකට ලක් කරමින් දුරේක්ෂ හා පරිගණක නිපදවමින් ඒ හරහා....
මිහිතලයෙන් එපිට විශ්වය සිය දර්ශනපථය තුළට ඇතුළු කරගැනීමේ අපේක්ෂාව ඉ‍ටු කරගත්තේය...

විශ්වය දු‍ටු නමුදු, ඔහු මායාවෙන් මිදුණේ ද?

හිරු බැස යන සැඳෑවක වෙරළේ හිඳ සිටින අප හිරු සයුරේ ගිලෙනයුරු නරඹන්නෙමු... එහෙත් හිරු දෙස නොව ක්ෂිතිජ රේඛාව දෙස බලා හිඳිමින්, පෘථිවිය කැරකෙමින් හිරු අපේ දර්ශන පථයෙන් ඉවත්වන බව වටහා ගන්නට මායාවේ සුන්දරත්වය විඳින මනස සූදානම් ද?

මිහිතලයේ එක ම හිමිකරු ලෙස ස්ථාපිතවන්නට තැත් දරන මිනිසා ජාන ඉංජිනේරු විද්‍යාව යොදා ගනිමින් අනෙක් ජීවීන්ගේ ජාන සැකැස්මට බලපෑම් කරයි...
නිල්පාට අහිමි රෝස මලට නිල්පාට දායාද කළේ ඔහුයි...
මිහිමත ජීවත්වන ජීවීන් කොපි කළේද ඔහුයි...
තමා කැමති අයුරින් සැකසුණු, එකාකාරී ලෙස සුපිරි අනාගත පරපුරක් බිහිකරන්නට තැත් දරන්නේද ඔහුයි...

මේ මහා විශ්වය තුළ මිනිසා වන අප ජීවත්වන මිහිතලය ජීවත් කරවන හිරුගේ ස්ථානයයි මේ.......

 විසල් ක්ෂීරපථයේ තිතක්වත් ව නොපෙනෙන හිරු සෙවණේ ද අප විසල් ලොවක් නොවෙමු...

එහෙත්...
ඒ මහා විශ්වයේ අප හැර තවත් ජීවින් සොයන නමුත්...
ලොව වඩාත්ම ලස්සන ගැහැණිය ලෙස අප දකින්නිය, විශ්වයේ සුන්දරම ගැහැණිය ලෙස නම් කරන්නේ ද අපමයි...

ගහ කොළ ද ඇළ දොළ ද, අනෙක් සියළු සත්වයෝ ද සිය සුඛ විහරණය වෙනුවෙන් සියල්ල ඔහු වෙනුවෙන් බිහිවූ බව සිතමින් ඔහු යන ගමනේ කෙළවර කොහිද?

ලෝකය මිනිසාට ජීවත් වීමට ප්‍රමාණවත් නමුදු ඔහුගේ කෑදරකම සංසිඳුවීමට ප්‍රමාණවත් නැති බව ඔහු වටහාගනීවි ද?