Friday, January 25, 2013

සංසන්දනය...

ඇත්තටම සංසන්දනය කියන්නෙ මොකටද? අපේ ගතිගුණ හරි දේපල හරි වෙනත් මොනවම හරි දෙයක් තවත් කෙනෙකුට තියෙන දේවල් එක්ක මැනල බලල සන්තෝස වීම හෝ කම්පා වීමට..?

සංසන්දනය මම අකමැතිම දෙයක්... මාව මේ ලෝකෙ වෙන කිසීම කෙනෙක් එක්ක සංසන්දනය කරනවට මම අකමැතියි... හොඳ හෝ නරක වෙනුවෙන්... නමුත් බොහොමයක් දෙනාට සංසන්දනය නොකර ඉන්න අපහසුයි, ඒ වගෙම බොහෝම දෙනෙක් සැසඳෙන්න අකමැතියි...

මම ලෝකෙ දැකපු මුල්ම සංසන්දනය මම නරක වැඩක් කරපු වෙලාවට අම්ම මාව තවත් හොඳයි කියන ළමයෙක් එක්ක කරන සංසන්දනය... ඒත් ඒ ළමය නරක වැඩක් කරපු වෙලාවට... අපේ අම්ම ඒක දකින්නෙ නෑ නෙ... දැක්කත් "එයා නරක වැඩක් කළා, ඔයා ඒක නොකළ නිසා ඔයා හොඳයි" කියල සංසන්දනය කරන්නෙත් නෑ නෙ... ඒ නිසාම මම පුංචි කාලෙම මට පුළුවන් තරමින් සංසන්දනයට විරුද්ධ වුණා...
එතනින් පටන් අරන් කී දෙනෙක් එක්ක කොයිතරම් වාර ගණනක් අපිව සංසන්දනය වෙලා ඇතිද... මාව ප්‍රධාන වශයෙන්ම සංසන්දනය වුණේ හිතුවක්කාරකමට... ඒත් ඒ හිතුවක්කාරකම ඇතුළෙ මට තිබුණ දක්ෂතා විශේෂතා, කෙටියෙන්ම කියතොත් මගේ මුළු අනන්‍යතාවයම සැඟවිලා තියෙනව... හදිස්සීයෙන්වත් මගේ අම්ම මගේ හිතුවක්කාරම බලෙන්ම නැති කරගන්න සමත් වුණා නං අද මම කියන පෞරුෂය මම තුළ නැතිවෙලා ගිහිල්ල තියෙන්නත් තිබුණා... අදත් මට හිතෙන්නෙ මම තුළ දකින නරක ගති නැති වුණා නං මම තුළ දකින අම්ම ආඩම්බර වෙන දේවලුත් ඒත් එක්කම නැති වෙලා ගිහින් බොහොම දුර්වල පෞරුෂයක් ඉතිරි වේවි කියල...

සැසඳීම සතුට ගෙනෙන වෙලාවලුත් ඉඳල හිටල ඇති වෙනව.. ඒ අනුන්ගෙ නරකක් එක්ක අපිව සංසන්දනය කරල ඔයා හරී හොඳයි කියල කෙනෙක් කිව්වම... අනිත් අතින් ඒ හොඳ තියෙනව වගේ පෙනුනට අපි ළඟ ඇත්තටම නැත් නං... එතකොට ඒ සංසන්දනයත් සතුටකට වඩා අපහසුවක් ගේනව...

සංසන්දනයෙ තියෙන අනිත් නරකම දේ අපි බොහොමයක් වෙලාවට අපිව සංසන්දනය කරගන්නෙ අපිට වඩා යමක් තියෙන මිනිස්සු එක්ක... හොඳට මතක් කරල බලන්න... කවදාවත් හිඟන්නෙක් දැකල ඒ මනුස්සයට වඩා හොඳ ජීවිතයක් මට තියෙන නිසා සතුටු වෙලා තියෙනව ද කියල... නිතරම උන්න්නතිකාමයෙන් පසුවෙන මිනිස් සිත ඒකට නුහුරුයි...

තමන්ව සංසන්දනය වෙනවට ගොඩක් අකමැති වුණාට අනුන්ව සංසන්දනය කරන්න අපි කොයිතරම් කැමතිද...

එහෙම සසඳන්න හිතෙන වෙලාවක සැසඳෙන්න තියෙන අකමැත්ත සිහි වෙනව නං...

Saturday, January 12, 2013

Graduation


කූඩුවෙන් කුරුළු පැටව් ඉගිල්ලිලා යනව වගේ තවත් බැච් එකක් සරසවියෙන් මිදිල එළියට යනව... උන් ලොකු මිනිස්සු වෙලා මේ ලෝකෙට එකතු වෙන එක ගැන දැනෙන සතුට මැද්දෙම අපෙන් ඈතට යන එක ගැන දුකකුත් හිතට දැනෙනව...සරසවියට, දරුවන්ට හිත කොයිතරම් බැඳිල ද කියල දැනෙන්න මේ වගේ වෙලාවල් එන එකත් හොඳයි...

අනිත් අතින් ජීවිතේ ඒකාකාරී වෙනවට බොහොම අප්‍රිය කරන මට මේ ජීවිතේ ඒකාකාරී නොවෙන එකම හේතුවත් ඒ වේදනා දෙන වෙනසමයි...

සරසවි බිමේ නාමල් පිපෙනව... උන් ඔක්කොම අළුත් ලෝකෙට යන සතුටට...ඔක්කොටම රස්සාවල් ලැබිල... හෙට දවසෙ විවර වෙන අනාගත ලෝකෙ ගැන බලාපොරොත්තු අස්සෙන් උන්ගෙ ඇස්වලත් කඳුළු මල් පිපිල... අතහැරල අබිනික්මන් කරන අතීත මතක වෙනුවෙන්...

උන් ඈත් වෙලා ගියාට පිපෙන නාමල් අළුත් ලෝකෙට බයෙන් බයෙන් පය තියන තවත් උන් ටිකක් පිළිගනීවි... හැමදාමත් සරසවියත් අපේ ජීවිතත් උන් එක්ක අළුත් වේවි...