Friday, December 21, 2012

මහ වැස්සේ අයාලේ ගලන සිතුවිලි...

පොළව තෙමාගෙන, ගහකොළ අඹරවගෙන මහ වැස්ස වහිනව... කොච්චර වැඩ තිබුණත් ඒව අමතක කරල දාල දොඩමළු වෙන හිතේ ඇතිවෙන කතාබහ අකුරු කරන්න මට හිත් වෙනව...

 සියුම් ආකාරයේ පළිගැනීමක් වින්දනය කිරීම වටා ලියවුන මගේ කලින් බ්ලොග් පෝස්ට් එකට ගොඩාක් දෙනා කිව්වෙ පළිගැනීම කෘරයි කියල...
"පළිගැනීම කියන්නෙ ඊතලය විසින් දුනුවායාම විනාශ කරන ආයුධයක් බව මම කියෙව්වෙ ඈත අතීතෙ දවසක ක්ලියෝපැට්‍රා නවකතාව කියවද්දි", ඒත් ඒක දැන දැනමත් මිනිස්සු පළිගන්නව...
පළිගැනීම හොඳ වුණත් නරක වුණත් මිනිස්සු පළිගන්නව... මහා පරිමාණයෙන් හරි සුළු පරිමාණයෙන් හරි... අනිත් අතින් මම මොන්තක්‍රිස්තෝ සිටුවරයට කැමතියි... මම විතරක් නෙවෙයි දහස් සංඛ්‍යාත කියවන්නන් මොන්තක්‍රිස්තෝ සිටුවරයට කැමති වුණා... පොත විකුණල ලැබුන මුදලින් ඇලෙක්සැන්දර් දියුමා මොන්තක්‍රිස්තෝ සිටුවරය වගේ ජීවත් වුණා කියල මම අහල තියෙනව... එහෙම සල්ලි ලැබෙන්න කොයිතරම් මිනිස්සු ඒ පොත මිලදීගන්න ඇතිද...එතකොට ඒ ඔක්කොම මිනිස්සු පළිගැනීමට අකමැති නිසාද ඒ තරම් පිටපත් සංඛ්‍යාවක් විකුණුනේ ඒ පොතෙන්ම...

සංකීර්ණ මනෝභාවයන් අතරෙ පළිගැනීමත් තවත් එකක් විදියටත්,තවත් බොහෝ හැඟීම් සංස්කෘතිය හා සභ්‍යත්වය විසින් පාලනය කරනව වගේම පළිගැනීම එයින්ම පාලනය විය යුතු සිතිවිල්ලක් කියල තමයි අන්තිමට හිතුනෙ... ඒත් ඒක කොයිතරමට පාලනය කරන්න පුළුවන්ද කියල තවත් දහස් වාරයක් හිතල බලන්න ඕනෙ...
මොකද නැති කරගන්න බැරි තරම් හොඳ යාළුවො සමහර වෙලාවට හිත රිදවල පළිඅරගෙන තියෙනව කියලත් මට දැනිල තියෙනව... ඒ හින්දම පළිගැනීම ආදරයත් එක්කම බැඳුනු මනෝභාවයක් කියලත් මම නිගමනය කළා..

පළිගැනීම සහ ඒතුළින් එන මගහැරීම සමහර වෙලාවට අපිටත් නොදැනිම සිද්ද වෙනව... මම ගුරුවෘත්තියට කිසිම දවසක කැමති වුණේ නෑ... මට ඒකට කිසිම පැහැදිලි සාධාරණ හේතුවක් තිබුණෙත් නෑ... ඒත් අන්තිමේදි මමත් ඉරණම විසින් උගන්නන රස්සාවටම තල්ලු කරල දැම්මට පස්සෙ දවසක අහම්බෙන් මට ඒ හේතුව හම්බුනා... මම හිතන විදියට මම ගුරුවෘත්තියට වෛර කරන්න හේතුව ගුරුවරියක් වුන අම්මගෙ ආදරේ අනිත් ළමයින්ට බෙදිල යනව දකිද්දි ඇතිවුණ ඉරිසියාව කියල... ඒත් අද මටත් ඒ විදියට අනුන්ගේ දරුවන් වෙනුවෙන් ආදරේ ඇතිවෙනව...

ජීවිතේ කැරකිල ආපහු ඒවි... අන්තිමට මට එහෙම හිතෙනව...

Thursday, December 13, 2012

මං හැඬුවා... නුඹ දුටුවේ නෑ...



වැව් දිය තලය රඟ නගයි
නිල් කඳු වළලු නිසසලයි
විලෝ රිකිලි අතරින් සඳ
පුරා'න ආවා

පාළු අහස්කුස පාමුල
තනි තරු කැටයක් වුණ මට...
අමාවකේ සඳ වී නුඹ...
අඳුර ගෙනාවා

මං හැඬුවා... නුඹ දුටුවෙත් නෑ...

රිදී දිය මතට අහසින්
ගලාන ආ තරු එළියක
අහස දෑලවර හිමිකම්
සරි කර ආවා

අද ඒ අහස මා සතුයි...
මන්දාකිණිය මට හිමියි...
අමාවකේ දුන්නු දුකම
නුඹට ගෙනාවා...

සිනා කැකුළු නුඹට හිමිත් නෑ...