Monday, November 26, 2012

ඉස්පිලි පාපිලි කොම්බුව හා යාලූ - සැඟවුණු කවිහිත හොයන්න ආවාලූ

 හෝඩියෙ තැන තැන තනියම උන් අකුරූ
එක එක අහුලා කවිපදවල ඇමිනූ
රැයේ දවාලේ දොඩමළු වී උන්නූ
කවිහිත හෙව්වා දවසක් දා අකුරූ

ඉස්පිලි පාපිලි කොම්බුව හා යාළු
කවිහිත හොයන්න එක් වී ආවාලූ
හැන්දෑ යාමෙක සැඟවෙද්දී අරුණූ
නැතිවුණු කවිහිත කොම්බුව දු‍ටුවාලූ


ඇහුවා හේතුව කවිහිත ගොළු ගැහුණූ
ත යන්න නි යන්න දැන් තනියක් නෑලූ
ඉස්පිලි පාපිලි අඳුනන්නත් බෑ ලූ
නිදිමත කවිහිත ඈනුම් ඇරියාලූ

කම්මැලි පිළිතුර ඇහුවම දුක හිතුණූ
කගචජ ටඩනණ මැලවෙනු ඇහැ ගැහුණූ
ක යන්න ව යන්නෙ ඉස්පිල්ලක් ඇමිනූ
ඉස්සර කවිහිත හිනැහී අලුතින් කවියක් කිව්වාලූ

Thursday, November 15, 2012

පරිණාමය...


විසිවන සියවස අවසන් වන්නට තවත් වසර දහයක් දොළහක් පමණ ඉතිරිව තිබුණා. ලොරි මූණු මහමගින් සමුගෙන තිබුණත් එතැන හිමිකරගෙන තිබුණේ බස් ලෙසින් හැඳින්වූ වෑන්...
මහපාරට තාර දමා තිබුණත් ඒ තාර දැමුමට සාක්කි දුන්නේ පලින් පල ඉතිරිව තිබුණ නටබුන්... ලොකු නා ගහ පසුකර පොඩි නා ගහත් පසු කර ඈ සෙමෙන් ඉදිරියට එමින් හිටියා... නිතොරවම ඇදහැලෙන පොද වැස්ස ඒ වෙලාවෙත් ඇදහැලුනා... වෙහෙස නිසාවටත් වඩා...සුරතේ එල්ලී හිටි කුඩා දැරියගේ වේගයට සමවන්නට ඈ සෙමෙන් සෙමෙන් පියමැන්නා... වටපිට සියළු දේ කෙරෙහි යොමුවුන කුතුහලයෙන් යුත් දැරිය විටෙක කුරුල්ලෙක් ද තවත් විටෙක ගහකද පෙන්වමින් ප්‍රශ්න අසමින් ඈ සමග එන අතර තුරම, ඉඳහිට මලක්,කුඩා ගෙඩියක් කඩාගන්නටත් නැවතුනා...

--------------------------------------------------------
සාඩම්බර විසිඑක් වන සියවස එහි ආරම්භක දසවසර අවසන් කර අභිමානවත් දොලොස්වන වසරට ළඟාවුණා... කළු පැහැ තාර තීරුව වක ගැහෙමින් සිය ගමනාන්තය සොයා ඇදුනා... මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට ඉඩ දෙමින් ලොකු නා ගහ ලීමෝලට ගියා... පොඩි නා ගහ වට කරගෙන තාප්පයක් නැගුනා... කුඩා බුදුරුවක් සමගින්, දෙවිවරුත් එහි ලැගුම් ගත්තා...දොර දෙකේ බස් කළුපැහැ මාර්ගය ආක්‍රමණය කර තිබුණා...දැරියගේ ගමන් වේගයට සමවන්නට අදහසක් නොතිබුනෙන් දෝ, එදා මවගේ අතේ එල්ලී පයින් ඇවිද ගිය පාරේ දැරියකද අතින් ඇදගෙන ඈ ගමන් කරමින් උන්නා... 
පාර අද්දර ඉඳහිට බෝවිටියා මලක් පිපුණත්, දෙමළිච්චෙක්, මයිනෙක් ගී ගැයුවත් දැරියගේ අවධානය ඒ කරා යොමු නොවුණේ... ඇගේ වමතේ රැඳුන  යමක් නිසාවෙන්... එය අනේක විද නාද නගමින් උන් අතරම අතර මග දසුන් දෑසින් නොව, කාචයෙන් දකින්නට දැරිය පරිණාමයේ ඊළඟ පියවර වෙත රැගෙන යමින් උන්නා....

Wednesday, November 7, 2012

ලෝකය වගෙම ජීවිතෙත් පුදුමයි!!!

මම ඉස්සෙල්ලම වැන්දෙ කාටද කියල මට මතක නැහැ...
අම්ම තාත්තට, ඉස්කෝලෙ ගුරුවරුන්ට, පන්සලේ හාමුදුරුවන්ට, ඒ ඇරුනම ඔය අම්මයි තාත්තයි "වඳින්න පුතේ" කියල කියන ඕනෙම වැඩිහිටියෙක්ට මම පුංචි කාලෙ මමත් වඳින්න ඇති...

වැඳීම ගැන මගේ අතීත මතකයෙ තියෙන එකම දේ අළුත් අවුරුද්දට වැඳීම ගැන ... මොකද ඒක හොඳ ආදායම් මාර්ගයක් අපේ පුංචි කාලෙ තිබුන, අවුරුදු දවසට අම්මටයි තාත්තටයි වඳින්න මමයි මල්ලියි බලාගෙන ඉන්නෙ නොඉවසිල්ලෙන්... වැන්දට පස්සෙ තමයි අළුත් අවුරුදු ගනුදෙනු හම්බෙන්නෙ... දෙන්නටම එකම ගණනක් දෙන්න ඒ දෙන්න වගබලාගත්තත් අවුරුදු නෑ ගමන් ගියාම සමහර වෙලාවට ඒක වෙනස් වුණා... දෙන්නම එක්ක නොගිහින් එක්කෙනෙක් එක්ක ගියොත් එක්කන් ගිය කෙනාට විතරයි නෙ සල්ලි ලැබුනෙ... ඒ ලැබෙන සල්ලි ගණන් කරල බලල වැඩි කාටද කියල බලන එක විනෝදයක් වගෙම ඒක ලොකු තරගයක් ...
මට ඉස්සෙල්ලම වැන්දෙ කවුද කියලත් මට අමතකයි, මම හිතන්නෙ ඒත් ඒ අපේ මල්ලි වෙන්න ඇති කියලයි, ගොඩක් වෙලාවට අවුරුදු දවසක වෙන්නත් ඇති... මට වෙන කවුරුත් වඳින්නෙ නැති නිසා මල්ලි වැන්දම මම එයාට රුපියලක් හරි දෙකක් හරි අළුත් අවුරුදු ගනුදෙනු විදියට දුන්නද කියලත් මට මතක නෑ...කොහොම වුණත් මම ඔය කිව්ව එකම සිද්ධියකදිවත් වැඳීමෙවත් වැඳුම් ලැබීමවත් ගැඹුර මම තේරුම් අරන් හිටියෙ නැහැ...

මම වැන්දෙ බොහොම යාන්ත්‍රිකව... එක්කො කවුරුහරි වඳින්න කිව් නිසා, නැත්නං කවුරුත් කරන නිසා...

ජීවිතේ පළමුවෙන්ම වැඳීමෙ ගැඹුර තේරුම් අරගෙන මම වැන්දෙ සරසවි ආචාර්යවරයෙකුට... එදා මම වැන්දෙ මට කවුරුත් කිව් නිසා නෙවෙයි, ඔහු වැඳුම් ලැබිය යුතුයි කියල මට හිතුන නිසා...


එහෙම හිතල තේරුම් අරගෙන වැඳල තිබුනට කෙනෙක්ගෙන් වැඳුම් ලැබීමෙ වගකීම මම ඊයෙ වෙනකම්ම තේරුම් අරන් තිබුණ නෑ... විශේෂයෙන්ම ගුරුවරයෙක් විදියට වැඳුම් ලැබීමෙ වගකීම ගැන...

මාසයකට ආසන්නව රජය අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයක සිසුන් වෙනුවෙන් පවත්වාගෙන ගිය දේශන මාලාවක් ඊයේ හැන්දෑවෙ අවසන් වුණා...නොතේරුම්කමට වුන පුංචි පුංචි බාධාකිරීම් , කසුකුසු ඇරුණකොට ලොකු කරදරයක් නැතිව වගෙම, බොහොම උනන්දුවෙනුත් ඔවුන් මට සහයෝගය දුන්න නිසා, ඉගෙනගත්ත නිසා ඔවුන් එක්ක වැඩකිරිම ගැන මම කොහොමටත් හිටියෙ සතුටින්...

සියල්ල අවසන් කරල එන්න ලෑස්ති වෙද්දි ඒ එක දරුවෙක් ඇවිත් වඳිද්දි, ගල් ගැහුන මගේ හිතට ඉස්සෙල්ලම ආවෙ මම හරියටම බාරගත්ත වගකීම ඉශ්ට කළාද කියන ප්‍රශ්නෙ.. මම ඇත්තටම ඔවුන්ගෙන් වැඳුම් ලබන්න තරං අවංකව ඔවුන්ට ඉගැන්නුවද කියලයි මට හිතුනෙ...ජීවිතෙ කවදාවත් වැඳුම් ලැබීමෙ වගකීම තෙරුම් නොගෙන හිටි මම ඊයෙ දවසෙ එකම මොහොතකින් වැඳුම් ලැබීම කොයිතරම් වගකීමක්ද කියල තේරුම් ගත්තා...


ලෝකය වගෙම ජීවිතෙත් පුදුමයි!!!

Friday, November 2, 2012

ලෝකය මහා පුදුම තැනකි...

"ලෝකය මහා පුදුම තැනකි... නැත්තෝ කෑමට යමක්  සොයා සැතපුම් ගණන් ඇවිදින අතර ඇත්තෝ කෑම දිරවීමට සැතපුම් ගණන් ඇවිදිති..." මේක කියෙව්වෙ කොතනදිද කියල මතක නැති ඒත් ළඟදි දවසක කියවන්න ලැබුණ කතාවක්... මේක ආයෙම මතක් වුණේ අද උදේ පාන්දර එකසසයිස් කරන්න කියල හිතාගෙන පිට්ටනියෙ ඇවිදිද්දි...
පිට්ටනියෙ ඇවිදීම ශාරීරික වගෙම මානසික සහනයක්... තණකොළ පෑගි පෑගි ඇවිදීම හිතට අපූරු සහනයක් ගෙනාව... පයට වගේම... තණකොළ නොපෑගි ඇවිද්දත් ව්‍යායාම කෙරුණට හිතට සහනයක් ගෙන්නවගන්න නං අමාරුයි...
ලෝකය ආහාර අර්බුදයක ඉන්නව කියල මට මතක් වෙනව කෑම උයන්න ගනිද්දි නං, මගේ තරමින් ඒකට කරන්න පුළුවන් දේ අහක නොදාන්න උයන එක නිසා මම හැමවෙලේම ගණනට තමයි උයන්නෙ...
ඒ අස්සෙ ගොඩක් ප්‍රදේශවලට ගංවතුර ගලල... ඉහළ කොත්මලේ වාං දානවලු...
මේ ඔක්කොම අතරෙ බ්ලොග් පෝස්ට් එකක් දාන්න ගත්තෙ නං ඔය මුකුත් නිසා නෙවෙයි... බ්ලොග් එක වැහිලම යාවි කියල... දඩයක්කරයගෙ කතාව කියවද්දි මට හිතුණ, "කාලය මැව් වෙනසක අරුමේ" කියල..., මම ගොඩක් ආසාවෙන් බ්ලොග් කියවන්න, ලියන්න ගත්ත කාලෙ  මම කියවපු, ඊටත් පස්සෙ කාලෙක පටන්ගත්තම මම ගොඩක් රසවිඳපු අනිත් බ්ලොග් ලියවෙද්දි, මම කාලයෙ හිරවෙලා... බින්දි කියන්න වගේ ලියන මූඩ් එකක් එන්නෙ නෑ දැන් ලේසියකට...


කාලයෙ හිරවෙලා ගොඩාක් කල් ගතකළොත් මට කාලයෙන් මිදෙන්න බැරි වේවි... මම කාලයෙ මායා දැලෙන් සදහටම වැහිල යාවි කියල හිතෙන නිසා මම බ්ලොග් පෝස්ට් එකක් දානව අද කොහොම හරි කියල හිතිල මම ලියනව...
මම කවදක හරි කාලයෙ හිරවුණ කෙනෙක් ගැන චිත්‍රපටයක් බලල තියෙනව... කාලයෙ හිරවුණ ඔහුට අතීතයෙන් කොටසක් මග හැරුණ... ඔහුට ඔහුගෙ පියා එක්ක ගෙවන්න තිබුණ කාලය අඩු වුණා... ඔහු තමන්ගෙ ඒ කාලය ගන්න ලෝකය අතීතයට ගෙනියනන් නොයෙක් දේ කළත් ඔහුට අන්තිමේදි තමන්ගෙන් ගිලිහුණ කාලය ලබාගන්න බැරි බව පිළිගන්න සිද්ද වෙනව...
මටත් එහෙම වෙන්න කළියෙන් මම ආයෙත් කාලයත් එක්ක ඉස්සරහට යනව...