Monday, April 2, 2012

කොන්දොස්තර කොළුවා...


කොන්දොස්තර කොළුවා...

ඔහුට කොන්දොස්තර කොළුවා කිව්වෙ අමනාපෙකට එහෙම නෙවෙයි -- අමනාපයක් තිබුණ තමයි, ඒත් ඒකට කොන්දොස්තර කොළුව කියල තේරුමක් නෑ -- කොන්දොස්තර මහත්තය කියල කියන්න බැරි නිසත් නෙවෙයි -- කොන්දොස්තර මහත්තය කිව්වම මගේ හිතේ මැවෙන්නෙ කණ්නාඩි කුට්ටමක් දාගෙන ටිකට් කඩන ලංගම කොන්දොස්තර මහත්තයෙක්ව -- මම ඔහුට කොන්දොස්තර මහත්තය කිව්වම, හිතේ ඇ‍ඳෙන රූපය ගැලපෙන්නෙ නෑ...

ඒ නිසා මට ඔහුට කියන්න වෙන්නෙ කොන්දොස්තර කොළුවම තමයි... බස් එකේ දවස ගෙවන්නම හරියන, පෙනුමෙන්ම කිලිටි පාට ටී ෂර්ට් එකක් ඇඳල පාට පාට ප්ලාස්ටික් වළළු ගොඩක් අතේ දාල... අතේ ඇඟිලි කීපෙකම මුදුත් කීපයක් දාල ...

බස් එක පුරා පතුරුවන ආඥාදායක කටහඬකින් බස් ගාස්තු එකතු කරනව ඔහු...
සල්ලි අරගන්නවත් එක්කම
"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" ආයෙම අර ආඥාදායක කටහඬ...
ඒක නැත්නං අපේ ඉතිරි සල්ලි දෙන්න ඔහු ලෑස්ති නෑ...

"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" කිය කිය පස්සට එනව අනිත් අයගෙත් සල්ලි ගන්න...
ඒක ඉල්ලන වොයිස් එක මට කලින්ම ඇල්ලුවෙ නෑ...මම ළඟට එනකොටත් මම හිතින් වලිය පටන් අරන් හිටියෙ,
මාත් දුන්න රුපියල් විස්සක්ම... මෙන්න කියනව රුපියලක් දෙන්නලු...

ඔන්න මගේ හිත ඇතුළෙ වලිය ටිකින් ටික පිටට එන්න හදනව...ඒත් එහෙම ලේසියෙන් රණ්ඩු වෙන්නත් බෑ නෙ,
හිටපං මම දෙන්නං රුපියල් දෙකක්... හැබැයි මට ආපහු වැඩිපුර රුපියලත් එක්ක ඉතිරි නුදුන්නොත් මම බලාගන්නං...
මේ ඔක්කොම හිත ඇතුළෙ...

ඔහු ආපහු එද්දි මම දුන්න රුපියල් දෙක, වැඩිපුර රුපියලත් එක්කම ඉතිරි සල්ලි හම්බුනා මට...
හිත ඇතුළෙ කොච්චර වලියක් තිබුනත් ඒක දැන් ඉතින් එළියට දාන්නෙ කොහොමද...

-------------------

කාලෙ ගෙවිල ගියා...
උදේට මම එනකොට ටර්න් එක තියෙන බස් එක ඒක...හැමදාම මට එන්න වෙන්නෙ ඒ බස් එකේ...
මුලින් තරමක ප්‍රතිරෝධයක් තිබුණත් ටිකෙන් ටික රුපියලත් එක්කම සල්ලි දීල ඉතිරි සල්ලි ගන්න මම පුරුදු වුණා...

කාලෙත් එක්කම ඒ ප්‍රතිරෝධය අඩු වෙන්නත් හේතු තිබුණ...බොහොමයක් බස් කොන්දොස්තරවරුන්ට වඩා ඉතිරි සල්ලි දීම අතින් ඔහු අවංකයි...
"රුපියලක් දෙන්න , රුපියල් දෙකක් දෙන්න" කියල අණ දුන්නට...

-------------------

"සුරිඳුනි කතරගම, ඉහළින් ආකාසේ
පායන සඳට අවමන් කළ රුව ඈගේ
......
දැකගන්නයි දෙවොලට තව සැරයක් ආවේ"
මම බස් එකට නගිනකොටත් මහ හඬින් වාදනය වෙනව...

සෙනග හොඳටම වැඩි දවසක්... ඒ අස්සෙ කොහෙ හරි යන රස්තියාදුකාරයෙක්ව සෙට් වෙලා මට...ටිකක් දුර එද්දි සීට් එකක් හම්බුනත් කරුමෙ කියන්නෙ තවත් ඩිංගක් දුර යද්දි එතනම ඊළඟ සීට් එකත් හිස්වුණා... මම වීදුරුව පැත්තෙ අයිනට උනා... ඔන්න මගෙ ළඟින් වාඩි වෙච්ච මේ මනුස්සය මගෙන් එකේක ප්‍රශ්න අහන්න අරන්... නෑහුනා වගේ හිටියත් මේ කරදරේ දරාගන්න අමාරුයි... මට ඉබේටම බැලුනෙ කොන්දොස්තර කොළුව දිහා... හේතුව මොකක් වුණත් කොන්දොස්තර කොළුව බස් එකේ පිටිපස්සට යන්න ආව... සීට් එක අයිනට හේත්තු වුණා... මම ළඟ හිටිය කරදරකාරය නැගිටල ඉස්සරහට ගියා...

-----------------

අදත්  බස් එකේ හිටගෙනම රුපියල් විස්සක් හොයනව මම...
"වාඩිවුණාම ගම්මු…" ඔහු අර ආඥාදායක කටහඬින් නැතිව බොහොම හෙමින් කියනව...

වචනයක්වත් කතා නොකරම රුපියල් විස්ස...
ගමනාන්තෙ මතක තියාගෙන ඔහු සල්ලි ගන්නව... මං, ළඟ තියන මාරුකාසිවලින් ‍තෝරල ඔහුට දීල ඉතිරි සල්ලිත් ගන්නව, ඒ වුණාට අර ඉස්සර හිතේ තිබුන වලිය නැතිව...

-------------------

එක වචනයක්වත් කතා නොකළත්, කිසිම හැඳිනීමක්, සම්බන්ධයක් නැති වුණත් මගෙ හිතේ චමත්කාරයක් ඇතිකළා ඔහු...

ඒත් චමත්කාරය කියන එක දූවිලි අවුස්සගෙන, සින්දුවකුත් දාගෙන, දුම් වළාවකුත් පිටකරගෙන, තරගෙට දුවන, එහෙම නැත්නං කොට කොට යන ප්‍රයිවෙට් බස් එකක් එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද? ”

පමාවෙලා හෝ අයදිමි සමා
සිතැඟි සිතුම්වල මුලා වෙලා
ඔබෙ ඇදුරිඳු වී පෙම් බැඳි වරදට
ලතැවෙන සිතින් මෙසේ...

ඒ බස් අජිත්...

ප්‍රශ්නෙට උත්තර හොයන එක පැත්තක තියල මගෙ හිත සින්දුව අහන්න සෙට් වෙනව...

අදත් ගමනාන්තෙට ඇවිත්...
ඒත් ගමන ඉවර නෑ, හෙටත් මේ බස් එකේම මේ ගමනාන්තෙටම යන්න වෙනව...

---------------------