Monday, March 26, 2012

සතුටු සිනා අමනාප නෝක්කඩු සමග දෙවසරක් ගෙවී ගිහින්...

හුරුනැති රටක නෙක විසිතුරු මැද උන්නත්
සංවේදනා නොදැනෙන දන නෙත ගැ‍ටුණත්
කඳුළෙන් සිනාවෙන් විසිතුරු සිත තාමත්
සිතක සිතුම් කවිකර ලීවලු මෙහෙමත්

සොඳුරුම මිතුදම් ගිලිහී යද්දී නාඳුනනා නිල් අහස යටින්
කඳුළට සතුටට එක ලෙස ළංවෙන මිතුදම් අරගෙන ඔබ ඇවිදින්
සතුටු සිනා අමනාප නෝක්කඩු සමග දෙවසරක් ගෙවී ගිහින්
සකුරා මල් මත සොඳුරු වසන්තය ආයෙම නාවත් කිමද ඉතින්

 වසන්ත ශිශිරය ගිම්හානය වී කාලය අපි පහුකරන් ගිහින්
සිතුම් අකුරු වී ලියවුණු ලියවිලි මතක අතීතයෙ ලැගුම් අරන්
ඉසිඹු වෙලාවක අතීතයේ පිටු අතරින් මතක අරන්
මේ කවි ලීවේ ඒ මිතුදමටයි ඉඳහිට තාමත් රණ්ඩු කළත්


Tuesday, March 20, 2012

තවත් අළුත් දවසක...

එදා උපරිම නිදහසක් ද ඒ හා සබැඳුනු තනිකම ද හා විවේකය ද විසින් සතියකට වරක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක් සටහනක් තබන්නට ද, දිනපතා බ්ලොග් කියවන්නට ද අවකාශය ලබා දුන්න ද...

අද වගකීම් ද නොතනිය ද ඒ ආශාව ද නිදහස ද උදුරාගත්තත් හැකි හැම විටම බ්ලොග් සටහන් කියවන්නටවත් උත්සාහයක් දරමි. එක්තරා දඩයක්කාරයාගේ කතාවත්, සයිබර්යාය ලියන්නට බැරි වුණ හේතුවත්, හිත තියෙන තැනත් ඇතුලුව සටහන් කිහිපයක් උදෑසනම  කියවීමි...

ජීවිතය කතාවක් ව ලියවෙන්නේ ඒ හා සබැඳි එදිනෙදා කටයුතු ද අත්දැකීම් සමුදාය ද සමගින් බව ඊයේ වඩාත් හොඳින් වටහා ගතිමි... සිසුවියක් ලෙස එදා මා දුටු ආචාර්යවරුන් අද සාර්ථක ගමනක අවසානයේ මා දකිද්දී විඳින සතුට දිටිමි...

අතීතයේ දිනෙක ඉතාමත් නුහුරු නුපුරුදු හැඟීමෙන් ද බියෙන් සැකයෙන් ද සරසවියක පහස ජීවිතයේ මුල්ම වරට වින්දෙමි. එදා සරසවියක සෙවණ ලද මා නැවත ද ජීවත් කරවන තවත් දරු පරපුරක් සරසවි සෙවණ සොයයි. ඉගෙනීමට වඩා උගැන්වීම අපහසු බව ද, ප්‍රශ්න ඇති කරගැනීමට වඩා දරුවන් ඇති කරගන්නා ප්‍රශ්න විසඳීමට ඉවසීම අවැසි බව ද, විශ්වාස කරනවාට වඩා විශ්වාසය දිනාගැනීම අපහසු බව ද ඕ දිනෙන් දින මට අවබෝධ කරවයි.

කාලය, ශ්‍රමය හා කැපවීම පමණක් නොව  ආදරය, කරුණාව හා දයාව ද අයදින තුන්වන සරසවියේ නැංගුරම් ලූ ජීවන නෞකාවේ සතුටින් රැඳෙමි....

සටහන වෙනදාටත් වඩා කෙටි හා පෞද්ගලිකව මා සිතට දැනෙන සතුට පමණක් කැටි කරන නමුත්,
මින් නිමවමි...