Thursday, February 23, 2012

තරඟ රටා සමීකරණයක රන්දා (Wave breaking)




ඉමක් සොයා නොපෙනෙන නිල් සයුර මතින්
ස්වර්ණ රටා ගෙත්තම් කළ නිල් අහසින්
ක්ෂිතිජ ඉමේ මිලාන හිරු දකින රිසින්
වෙරළ කොණේ පියමං කළ පියසටහන්

මදනළ සයුරේ ගෙත්තම් කළ තරඟ රටා
පිය සටහන් වැලි මතුයෙන් මකා දමා
සමීකරණ අමතක මතකයක දමා
රළ මතුයේ රඟයි මගේ සිතම ළමා

වැල්ලෙන් තැනු මාලිගාව සෝදා හැර වෙරළින්
ඔච්චමට සිනාසේ පෙණ කැටි බිඳෙන්ට කලියෙන්
රළ බිඳුම මකාලයි වෙරළේ ඇඳි පියසටහන්
ඒ රළ බිඳුමට වර්ගීකරණයක් ඇයි ඉතින්

දිග කඩදහියක තරඟ රටා ඇඳ
මුහුදු සීමාව සලකුණු කර ඇත
නොගැඹුරු වෙරලේ සීමාවද  ඇඳ
රළ බිඳි වේගය ගණනය කර ඇත

රළ බිඳුණේ සයුර ගැඹුරු මදි හින්දා
පෙණ නැගුණේ රළ බිඳුමේ රැඳි හින්දා
තරඟ රටා සමීකරණයක රන්දා
අවකලනය රැළි මාලාවක් බින්දා

තරඟ රටාවෝ ගෙන ආ ශක්තිය
සමීකරණයක් විසඳන්නට විය
පැය ඉවරයි දේශනය නිමාවිය
රැළි මාලාවෝ වෙරළේ තනිවිය

Tuesday, February 14, 2012

මගතොට දී...

අප අවට ගැවසෙන්නන් කතා කරන දේ වටහා ගන්නට හැකිනම් ලෝකය කතා තෝතැන්නක් බව අද මට එදාටත් වඩා හොඳින් වැටහේ... ඒ අතරම වසර ගණනාවක් තිස්සේ ගම් රටවල්වල කෙමෙන් සිදුවූ වෙනස්කම් ද එකවර ග්‍රහණය කිරීම හේතුවෙන් විශාල පරිවර්තනයන් ලෙස සමහර සිදුවීම් මා තුළට ඇතුළු වේ. මා අසන දකින දේ මසිත බොහෝ සිතුවිලි ගොනු කරන්නේ එබැවිනි...


එදා මා දුටු පාසල් වෑන් රථවල ස්ථානය අද වනවිට විශාල බස්වලින්ද, කෙටිදුර පාසල් සිසුන් ප්‍රවාහනය ත්‍රීවීලර්වලින්ද අයත් කරගෙන ඇත... උදෑසන මා දකින එක ත්‍රීවීලරයක් පාසල් දරුවන් දස දෙනෙකුගේ පමණ ප්‍රවාහනය සලස්වයි... පිටුපස අසුනේ තුන් හතර දෙනෙක් හිඳුවා තවත් තුන් හතර දෙනෙක් සිටුවාගෙන ත්‍රීවිලරයේ රියදුරු අසුන අසල කොක්කක ඔවුනගේ බෑග් රඳවා, තවත් දරුවකු උකුල මත ද හිඳුවා ඔහු සිය රථය ධාවනය කරයි...වැඩි ආරක්ෂාව පතා ත්‍රීවිලරයක යවනු වෙනුවට දරුවා පොදු බස් රියක යැවේ නම් මීට වඩා ඔහු සුරක්ෂිත බව මට සිතේ...

සාමාන්‍ය පෙළ විභාග පවැත්වෙන අතරතුර ඊටත් වඩා අවදානම් දසුන් ද දක්නට ලැබිණ. ආරක්ෂිත ඉක්මන් ප්‍රවාහනය පතා, පියාගේ මෝටසයිකලය පිටුපස අසුනේ යන අතර ද පොත් පෙරළාගෙන, තවත් යමක් පාඩම් කරගන්නට තැත් දරන දියණියන් ය ඒ...  පියවරු එතරම් නොසැලකිලිමත් වූයේ කවදා දැයි මට ඒ දුටු මොහොතේ සිතට නැගිණ...

-------------------------------------------

ඒ අතරම දිනක් පාමසියේදීද එවන් තවත් සිදුවීමක් අත්වින්දෙමි. හේ මෝටසයිකලයකින් පැමිණි තරුණ පියෙකි.

"කැස්සට බොන සිරප් එකක්.. " හේ පාමසියෙන් ඉල්ලයි...

"කාට ද? "

"පොඩි ළමයෙකුට..."

"වයස කීයද?"

"අවුරුදු 3 යි"

"අවුරුදු 6 ට අඩු ළමයින්ට එහෙම දෙන්න බෑ.. දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙත් ගන්න" පාමසිකරු තරමක් තදින් කියනු ඇසේ...

එහෙත් නැවත ද උත්සාහ කරන ඔහු එවර "වැල්මෙලික්ස්" තිබේ  දැයි  අසයි....
ඒ සංවාදයෙන් මගේ කනට වැටුණේ එපමණකි...

එහෙත් මව්පියවරුන් මෙතරම් නොසැලකිලිමත් වූයේ කවදා  දැයි මට නොතේරේ...

Monday, February 6, 2012

මහ නුගේ...



"සමන්තා චක්ක වාලේසු
අත්‍රා ගච්ඡන්තු දේවතා"

අඳුරු පරිසරය සිසාරා යන ගැඹුරු හඬින් ඒ නාදය නැගී ඒ... විසල් පෙදෙසක් අරා නැගීගත් නුග රුක මහා යෝධයෙක් වැන්න... අතුපතර අතරින් පෙරී එන සඳ දිය රැහැන් තණ ගොල්ල මත සඳ සිතුවම් මවයි... දේවතාරාධනාව අසන දේවතාවෝ අතුපතර අතරින් මිහිමත වඩිනු ඇතැයි සිතන්නට පරිසරය අනුබල දේ...

"සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොනේ" වැඩුණු පතළ මහා නුග රුකක

"වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත" දෙවිවරු දහසක් වැඩ සිටින බව අනුමානයක් නොව සැබෑවකයි මාසිත මුරගායි...

නුග රුක් රාජයාගේ අතුපතර අතරින් දිවසළු හැඳි දේවතාවුන් රැසක් සාදුකාර දේ...සඳ මඳකට වළා සළුයෙන් මුව වැසූ සඳ, පහන් එළියෙන්ද සුවඳදුමින් ද සුගන්ධවත් ඒ බිම සහසක් දෙවිවරු ධර්ම ශ්‍රවණය නොකළ යුත්තේ මන්ද? දිව සැපත ඊට මඳක් මෙහා මිස එහා නම් නොවේ...

-------------------------------

සවස් කල වැස්ස අහසේ පසෙක එක්තැන්ව රැඳෙන්නේ, මද්දහන තවමත් ගිනිගෙන දැවෙයි... නා කියා ගන්නට මහ නුගේ පසුකර ළිඳට ඇදුනවුන් පෙරළා එන්නෝ සුවිසල් නුග සෙවනේ මදක් විඩා නිවති... පෙදෙසක් සිසාරා අතුපතර ගැවසුනු මහනුගය මත, ලැගුම් ගත්, නාපිරිත්ත වැලක් පහළට කඩා වැටේ...

"හෙට අනිද්දම කපාදාන්න වේවි...නැත්නන් ඕක නුගේ වහගෙන ගිහින් නුගේ මැරිල යාවි"

මහා දිය බිඳු විසිරුවමින් සවස්කල වැස්ස හිටි අඩියේම ඇද වැටේ... පෙදෙස අඳුරු කරමින් ඇද හැලෙන වැස්ස අතරින්, මහ නුගේ සේයාව දෙනෙතට හසුවේ...වැහි අඳුර මැදින් නැගෙන අකුණු, වරින්වර මහ නුගේ ඒකාලෝක කරයි... 


Thursday, February 2, 2012

"මට ඉඳුරු දික්පතී - දනෝ සක් දෙවිඳු යයි පවසතී " - Myths of indra and sakra


පුංචි කාලෙ කතන්දර අහන්න තිබ්බ ආසාවෙත්, අම්ම රෑ කෑම හදල ඉවර කරනකං අපිව බලාගන්න තිබ්බ ලේසිම විදිය නිසා  රසකර කර කතා කියන්න තාත්තට තිබුන හැකියාවෙත්, කියපු කතා මතක තියාගෙන ඉඳල ඒක දෙසරයක් නං කියන්න නොදීමෙ මගේ හැකියාවෙත්, ඔය ඔක්කොගෙම සංකලනය නිසා අන්තිමට ජාතක කතා පවා තාත්ත කතා විදියට කියල මම ඇහුව. ජාතක කතාවල ගොඩක් වෙලාවට එන සක් දෙවිඳු ජනප්‍රියම චරිතයක් ඔන්න මගේ. අපේ ජාතක කතාවල ඉන්න සක් දෙවිඳු නං හොඳට පින් දහම් කරල යහපත් කල් ක්‍රියාවෙන් නෙ ඉන්නෙ...

ගුත්තිලේ කියනව වගේ

"සහසක් දිවැස් ඇතී
දෙදෙව් ලොවටම අධිපතී
මට ඉඳුරු දික්පතී
දනෝ සක් දෙවිඳු යයි පවසතී "  කියල...

ඉතින් ඒ කියන විදියට අපේ (බෞද්ධ) ජාතක කතාවල ශක්‍ර දෙවියොයි ඉන්දියාවෙ කතාවල ඒ කියන්නේ, ඔය ශාකුන්තලයෙ, ඌර්වශි වගේ ඍශිවරුත් එක්ක බැඳුන කතාවල ඉන්ද්‍ර දෙවියොයි එක්කෙනෙක් කියල තමා මට හිතෙන්නෙ...

මොකද ඉන්ද්‍ර දෙවියො ඍශිවරු බලවත් වෙනකොට දිව්‍යාංගනාවො එවල ඒ ගොල්ලන්ගෙ සීලය බිඳල දැම්මලු... (ඒත් අපේ සක් දෙවියො එහෙම කරන කෙනෙක් වෙන්න බෑ කියල තමයි මගෙ අදහස...)

මේනකා කියල සුන්දර දිව්‍ය අප්සරාවකට සකුන්තලා ඉපදුනා කියල නෙ කාලිදාස කියන්නෙ...

ඒත් ඌර්වශි කියන්නෙ ඉන්ද්‍ර දෙවියොන්ට යටපත් කරගන්න බැරිවුණ ඍශිවරු දෙන්නෙක්, ඉන්ද්‍ර දෙවියො එක්ක කෝප වෙලා, දිව්‍ය අප්සරාවන්ට වඩා ලස්සනට මැවුව ගැහැණියක්...

ඉන්ද්‍ර දෙවියො ඈව දිව්‍ය ලෝකෙට ගෙනිච්චත් ගැහැණියක් විදියට ඉපදුන නිසාද ද මන්ද ඈ මනුෂ්‍ය ලෝකෙ පුරුරාව රජතුමාට ප්‍රේමයෙන් බැඳිල ආපහු මනුෂ්‍ය ලෝකෙට ඇවිත්...
දේව ශාප, දේව වරම් අතරින් ඇදිල යන මේ කතාව හරිම ලස්සනයි...
ඒත් ඒ ඉන්ද්‍ර දෙවියො අපේ ශක්‍ර දෙවියො වගේ නෙවෙයි, හොඳ නෑ...

ඔය කතා ඔක්කොම ආපහු මතක් කළේ මේ ෂෝට් ෆිල්ම් එක...
http://www.dailymotion.com/video/xjunwf_urvashi-1_shortfilms