Monday, January 30, 2012

ඇසෙන කතා...(පාසල් දැරියෝ)

බටහිර අහස දිලියෙමින් හිරු සයුරේ ගිලෙන්නට තතනයි. දාවල පුරා කරව් කරමින් ගොදුරු සෙවූ කාක්කන් සමුදුරු පියවර අද්දර කොට්ටම්බා ගස් මත රාත්‍රියට ලගුම් සොයයි. ලහි ලහියේ නිවෙස් බලා ඇදෙන අප මෙන්ම ඔවුන් ද රාත්‍රිය පිළිගැනීමට සැරසෙති. රිය තුළ තෙරපෙන පාසල් දැරියන්, මුහුදු සුළඟ සිපගනිමින් සමුදුර අද්දරින් ඇදෙන රිය කවුළුවෙන් එළියට යොමුවුණ නෙතු, බස් රිය තුලට යොමන්නට බලකරයි. උදෑසන පාසල් නිල ඇඳුමෙන්ම අමතර පන්ති කරා ඇදුනු ඔවුන්ගේ පිළිසඳර සවන් යොමා අසා සිටිය යුතු ස්වරයෙන් හා හඬින් නොව බසයේ සිටින්නන්ට අසා සිටින්නට බලකරන හඬින් නැගී ඒ.

අමතර පන්ති නිමාවේ නිවෙස් බලා ඇදෙන ඔවුහු දිනයේ තොරතුරු සමාලෝචනයට සැරසේ. ගිණුම් හර කිරීම්, බැරකිරීම්,බොල් ණය ලෙජර අතරින්

" මාර අමාරුයි බං මට නං ලකුණු 30 ක් වත් තිබුනොත් ඇති"
"මටත් එහෙමයි බං, පොතක් අතින් අල්ලන්න උනෙ නෑ නෙ, "
"කොහෙද ඉතින් උඹට අකිල දැක්කම ඔක්කොම අමතකයි නෙ.." 
"ඔව් බං මට මොකක් කලත් මතක් වෙනව, "
"මටත් ඉස්සර ඔහොම තිබුන, හැබැයි  දැන් එහෙම නෑ." තවත් දැරියක් ආඩම්බරයෙන් කියයි.
"මට නං ඕනෙ කොහොමහරි ජ'පුරට යන්න... ඊට පස්සෙ කොල්ලෙකුත් හොයාගෙන...................."
ඈ සිනාසේ.

කෙමෙන් ඉදිරියට ඇදී යන පිලිසඳරට අනුව පාසල් විවේක කාලයේදී යමක් ආහාරයට ගත් පසුව තවමත් කිසිවක් නොකෑ ඔවුහු, එකිනෙකා පරයා තමාට මග හැරසිටිය හැකි වේල් ගණන පිළිබඳව උදම් අනති.
මේ සංවාදයේ චරිත දකිනු රිසින් බල කරන නෙතු වරක් ඔවුන් දෙසට හැරුණෙන් මොහොතකට එහි හඬ බාල වුවත් ලද අවසරයෙන් ඇගේ කතාවට ගැලපෙන ඉතා සිහින් සිරුරති දැරියක් දැක ගතිමි. 

"මම අද දිනුකි නංගිට කිව්ව ආයෙ එහෙම ඔය ගවුම ඇඳන් ආවොත් මම වාටිය ලිහනව කියල,"

"බලපන් බං ඇඳන් එන ගවුම්වල හැටි, කහ ගැහිල... වෙන කවුරුවත්ම අඳින්නෙ නෑ එහෙම..."

"අපි ඔක්කොම එකතු වෙලා හදනව නං ඕව හදන්න පුලුවන් බං සමහර කට්ටියන් එක එක්කෙනාගෙ පැත්ත ගන්න එක නෙ වැඩේ..."

"අපි ඉස්කෝලෙ එන්නෙත් දවස් 2 යි 3 යි, එදාටවත් ඒක හරියට කරන්න ඕනෙ..."

කෙමෙන් කෙමෙන් බස් රියෙන් සෙනග බැස යන අතරේ දැරියන් කණ්ඩායම ද එකා දෙන්නා බැගින් අසුන් ගත්තෙන්ද, බසයෙන් බැස ගියෙන්ද ඔවුනගේ සංවාදය මට නෑසෙන එකක් වුවත්... ඒ මසිත බොහෝ සිතිවිලිවලින් පුරවාලන්නට පෙර නම් නොවේ.