Wednesday, August 24, 2011

Saw ASIMO at miraikan - මානව රොබෝවා දුටිමි.

ඉඳහිට රූපවාහිනියේ දකින මානව රොබෝවා "අසිමෝ" ජපානයේ "National museum of emerging science" කෙටියෙන් මිරයිකන් කියල හඳුන්වන කෞතුකාගාරෙදි සැබෑවටම දකින්න පුලුවන්. දවසට දෙවතාවක් අසිමෝ ක්‍රියාකරවල පෙන්නනව ඒ කෞතුකාගාරෙදි...

අසිමෝ සෙන්ටිමීටර් 130 ක් උසයි, කිලෝ 54 ක් බරයි... හෙල්මට් එකකින් මූණ වැහුනම වගේ පෙනුමක් තිබුණත් ඔලුවෙ තියෙන කැමරාවලින් මිනිස්සුන්ගේ සහ අනෙක් ද්‍රව්‍යවල චලන හඳුනාගන්නත්, කටහඬ හා අනෙක් ශබ්ද වෙන්කර හඳුනාගන්නත් අසිමෝට පුලුවන්... මිනිස් කටහඬට ප්‍රතිචාර දක්වන හැකියාව ඇති අසිමෝ කටහඬින් හා හිස සෙලවීමෙන් තමන්ගේ ප්‍රතිචාරය දක්වනව.. කාගෙවත් ඇඟේ නොහැපි ගමන් යන්නත් තමන්ගෙ පරෙස්සමත් බලාගෙන ඇවිදින්නත් දුවන්නත් හැකි විදියට අසිමෝ දියුණු වෙලා...

මිනිස්සුන්ට කරන්න තරමක් අමාරු ආකාරයේ දෑත් චලනයන් වගේම නටන්නත් අසිමෝට හැකියි...ඒ වගේම අපේ අංගචලන හඳුනාගත හැකි නිසා අසිමෝ කටහඬට පමණක් නොවී මිනිස්සුන්ගේ අංගචලනවලට ප්‍රතිචාර දක්වනවා...
ජපන් ගැහැණු ළමයෙක්ගේ හඬින් කතා කරන අසිමෝ මානව රොබෝව මානවයාට බොහෝ සමවන අයුරින් නිර්මාණය වෙලා කෙමෙන් දියුණුවෙන අයුරක් පේන්නේ...

හොන්ඩා සමාගමේ නිර්මාණයක් වෙන අසිමෝට ඒ නම ලැබිලා තියෙන්නෙ, "Advanced Step in Innovative MObility" කියන වචනේ මුලකුරුවලින්... ඒත් මම දැක්ක අසිමෝ කතා කළෙ නම් ජපන් භාෂාව...ජපන් ගෑණුළමයෙක්ගේ කටහඬින්...මිරයිකන්වල පෙන්වන අසිමෝගෙ ක්‍රියාකාරිත්වය සම්බන්ධ සම්පූර්ණ වීඩියෝවෙන් කොටසක් මේ... සියල්ල Youtube හි නැරඹිය හැකියි...

Friday, August 19, 2011

සිතියම් පොතින් ලොව විමසා බලන සඳ...

එළියටවත් යන්න බැරි තරම්ම වැස්ස... හරියට නිරිත දිග මෝසමට අපේ ගෙදර පැත්තට වහිනව වගේ... ඉතිරිල පැතිරිල ගංවතුර ගලල තමයි ඒ වැස්ස ඉවර වෙන්නේ... ගිම්හානය නිමා කරන්න හිතාගෙන වෙන්න ඇති ජපානෙටත් ඒ වගෙම වහිනව අද... ජපන් කාලගුණයෙ තියෙන වෙනස හිටිගමන් වෙනස් වෙන්න පුළුවන්කම. ඊයේ සෙල්සියස් අංශක 37 ඉක්මවල රත්වෙල තිබ්බ ජපානෙ අද සෙල්සියස් අංශක විසිගණන් වෙනකම්ම බහින්න හදන්නෙ. කොහොමත් හවස වෙද්දි 22 ට විතර බහියි...

කම්මැලිකමට ගෙදරට වෙලා ඉඳෙද්දි කරන්න තියෙන එක වැඩක් තමයි සිතියම් පොතින් ලෝකය බලන එක...

---------------

ලෝකෙ දේශගුණ කලාප ගැන රට රටවල්වල දේශගුණේ ගැන පොඩිකාලෙ කොච්චර ඉගැන්නුවත් ඒව ගැන මගේ දැනීමෙ කොච්චර අඩුපාඩු තියෙනවද කියල මම දැනගත්තෙ ජපානෙට ආවම... ලංකාවෙ කාලෙන් කාලෙට වෙනසක් පැහැදිලිව නැති නිසා අනිත් රටවල වෙනස්වීම් ගැනත් මගේ අවධානයක් නැති වෙන්න නැති...ඒත් ඒ වෙනස්කම් මග අරින්න බැරි තරම් තදින් දැනෙද්දි ඒ ගැන මගෙ අවධානෙත් වැඩි වුණා... ඍතු වෙනස්වීම් ගැන පුංචි පුංචි කාරණා වගෙම ලොකුම ලොකු කාරණාත් මට මග ඇරිල තිබුණ...

මම තේරුම් අරන් නොහිටපු ලොකුම කාරණේ තමයි උත්තරාර්ධගෝලයට ගිම්හානය එද්දි දක්ෂිණාර්ධගෝලයට ශිශිරය එනව කියන එක...

උතුරු අර්ධගෝලය වැඩිම ආනතියකින් හිරුට මුහුණලාන දවස හෙවත් සූර්ය නිවෘත්තිය (Solstice) සිද්ද වෙන දවස ගිම්හානයෙ ඇරඹුම විදියට සටහන් වෙනවා...එදා උතුරු අර්ධගෝලයට දිගම දවල් දවස වගෙම දක්ෂිණ අර්ධගෝලයේ කෙටිම දවසත් ශිශිරයේ ඇරඹුමත් සටහන් කරනව...

මේ අවුරුද්දේ ජුනි 22 ජපන් වෙලාවෙන් පාන්දර 02.16 ට ගිම්හාන සූර්‍යනිවෘත්තිය...
ජුනි 21 වෙනිදා උතුරු අර්ධගෝලයේ බොහෝ රටවලට වසරේ දිගම දවස...
ජපානෙට නම් ජුනි 22... පැය 14 යි මිනිත්තු 34 යි තත්පර 39 ක් දිගයි දවසේ දවල් කාලය...
ඒත් සමකය ආසන්න රටවල් වුණු අපට ඒ දවස ඒ තරම්ම දිග වෙලා නෑ, පැය 12 යි මිනිත්තු 31 යි තත්පර 32ක් එදා දවල් කාලය ලංකාවට...
 

වසන්තය හා ශරත් කාලයන් උදාවෙන දවස් විදියට සැලකෙන්නෙ විෂුවය සිදුවෙන දවස්...සමකයත් හිරුත් එකම තලයේ රැඳෙන පෘථිවිය සූර්යයා දෙසට ආනතිය අංශක 0 ක් වෙන්නේ වසරකට දින දෙකක්, ඒ දින දෙක විෂුවය සිදුවෙන දවස් දෙක...

ඉතා පැහැදිලි ඍතු වෙනස්වීමක් සෞම්‍ය කලාපීය රටවලට හිමියි. ඒත් සමකාසන්න අපට එවැන්නක් නෑ... ඒත් මට මගෑරුණු තවත් කාරණාවක් එතනත් තිබුණ...අපට ටිකක් ඉහළින් පිහිටි බංගලාදේශය වගෙ රටවලුත් ඉතා පැහැදිලි ඍතු භේදයක් නැතත් කෙටි ශිශිරයක් අත්විඳින බව...අනිත් අතින් මැදපෙරදිග කියන වචනෙ ඇහැව්වත් ගිනිගෙන දැවෙන බව මතක් වෙන රටවලුත් කෙටි ශිශිරයක් අත් විඳිද්දි බංගලාදේශයට කෙටි ශිශිරයක් තිබීම ඒ හැටි පුදුම වෙන්න දේකුත් නෙවෙයි...

------------------------

සිතියම් පොතින් දැකපු ලෝකය ගැන දේශගුණය වගෙම මගේ කුතුහලය තවමත් අවුස්සන තැනක් දේශසීමා... ඉන්දියා බංගලාදේශ සීමාවෙ ගම්මාන අතරෙ සතිපොළවල් වගෙ දවස්වලට රටවල් දෙක අතරෙ මිනිස්සු යන එන තරම් සමීප සබඳතා තියෙන ගම් තියනවලු... නෑදෑයො වෙන ඔවුන් රටවල් දෙකක හිටියට සතිපොළට ඒ දේශසීමාව විවෘත වෙනවනං, ඒක මට අපූරු අදහසක් වුණා...
ඒ නිසාම දේශසීමාවක් ළඟට ගිහින් ඒක දිහා බලන් ඉන්න මට ආසයි...

දේශසීමා ගැන යාලුවො එක්ක කතාකරන්න ලැබෙන්න කලින් දේශසීමා ගැන මගෙ කුතුහලය මුලින්ම ඇවිස්සුවෙ ස්ටිව් බිකො සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකාවෙන් වටවෙච්ච ලෙසොතො දේශයේ, දේශසීමාව තරණය කරල අප්‍රිකාවෙන් පැනල ගිය හැටි කියවද්දි...

ප්‍රංශ ස්විට්සර්ලන්ත දේශසීමාවෙ කණුවක්...
දේශසීමාවල මම දැක්ක ලස්සන පින්තූර එකතුවක් මෙතන තියනව...

Monday, August 15, 2011

ජීවත් වෙන දනන් ඇවිත් පාළු සුසානයෙ සරන්න...


සුවඳ දුමින් සුවඳ කවා
ඉටි පහනින් එළිදල්වා
ගඳින් මලින් පිදුම් ලබා
ජීවත්වන දනන් අතර 
තව එක දවසක් රැඳෙන්න
මළවුන් එන දවස අදයි
පාළු සුසානයෙ සරන්න


ජීවත්වුණ අතීතයේ
සිතින් බැඳුනවුන් බලන්න
වැළලී ගිය මතක අතර 
නිසංසලේ සැරිසරන්න
මළවුන්ගේ අවුරුදු දා
මළගිය ඇත්තන් වඳින්න
 ජීවත් වෙන දනන් ඇවිත්
පාළු සුසානයෙ සරන්න


අඳුරු රැයේ සුසානයේ නිසසල දිනයක් සසලයි
ජීවත් වෙන දනන් ඇවිත්  පාළු සුසානයෙ සරන්න...

Monday, August 8, 2011

කබඩ්වල රැකෙන පිඟන් බඩු

බොහෝවිට පිඟන් භාණ්ඩ හා සමීප ම සබඳතාව ඇත්තේ නිවසක ගැහැණියටයි. ගැහැණිය හා රන් භාණ්ඩ අතර සේම ගැහැණිය හා පිඟන් භාණ්ඩ අතර ද ඒ සබඳතාව තිබේ. නිවසක ආහාර පිළියෙළ කිරීමේ සහ පිළිගැන්වීමේ වගකීම ගැහැණියක් අත පවතී. ඒ නිසාම පිඟන් භාණ්ඩ එක් රැස් කිරීමේ ආශාව ද ඈ තුළ නිතැතින්ම ඇතිවනවා විය හැක. එහෙත් මා සිතන අයුරින් නම් රන් භාණ්ඩ ප්‍රවේශමට වඩා ඇතැම් විට පිඟන් භාණ්ඩ ප්‍රවේශම අපහසුය. අපේ අම්මාට අනුව නම් පිඟන් භාණ්ඩවල වටිනාකම සම්පූර්ණ පිඟන් භාණ්ඩ කට්ටලය එකට පවතිනතුරු පමණකි. එක් පිඟානක් කෝප්පයක් බිඳුන පසු එහි වටිනකමක් නැතැයි ඈ කියන්නීය. ඒ නිසාම ඇගේ පිඟන් බඩු කට්ටල හා අන්තර් සබඳතා අවම වන තරමට ප්‍රවේශම් සහගතය.


පෝසිලේන් හා පිඟන් භාණ්ඩ කෙරේ මා සිත ද උමතු ආශාවක් ඇත. එහෙත් එය අම්මාගේ ආශාව මෙන් නොවේ. මා ආසා කරන හැඩයේ හා රටාවේ එක බඳුනක් ලබාගත් පමණින් මගේ ආශාව සන්සිඳේ. ඊට වඩා එකක්වත් මට අනවශ්‍යය. එවිට ඒවා මට කරදරයක් වන බැවිනි. මගේ මේ ආශාව නිසා තැන තැන දකින පිඟන් භාණ්ඩ ප්‍රදර්ශනවලින් බඩු මිලදී ගැනීම මට රිසිය. ලොකු සාප්පුවලින් කට්ටලයක එක බඳුනක් අලෙවි නොකරන බැවිනි. වරක් මම ආසා කරන ආකාරයේ කෝප්ප දෙකක් වර්ග දෙකකින් මිලදීගත් මට අම්මා බොහෝ දොස් පැවරුවාය. එහෙත් මම රට හැර ඒමෙන් පසු අපේ ගෙදර ගිය, ඇගේ තක්සේරුවට අනුව එක බැගින් ඇති නිසා නොවටිනා, මගේ ඒ පිඟන් කෝප්ප නිවසේ එදිනෙදා භාවිතයට එක්ව තිබෙනු මා දිටිමි.

අම්මලා එක්‍ රැස් කරන පිඟන් භාණ්ඩ ඒවායේ ජීවිත කාලයෙන් වැඩි හරියක් ගෙවා දමන්නේ කබඩ්වලය. ඒවා පාවිච්චියට ගැනෙන්නේ එහෙමත් අවස්තාවක පමණි. අනිත් අතින් ලොව ඉතාම අගනා පෝසිලේන් නිෂ්පාදකයෙක් ලෙස සැලකෙන දංකොටුව පෝසිලේන් සමාගම ඔවුන්ගේ වෙබ් අඩවියෙහි කියන්නේ ද ඒ නිෂ්පාදන විශේෂිත වෙළඳපොළක් සඳහා බවයි. ඒ නිසාම මිලෙන් ද ඉතා අධික වේ.


බොහෝවිට මට ආසා හිතෙන පෝසිලේන් හා පිඟන් බඳුන් ප්‍රමාණයෙන් ඉතාම කුඩාය. මා ආසා කරන අයුරින් නන් හැඩැති එවන් බඳුන් ඇතිතරම් මා ජපානයේ දී දුටුවෙමි. කිසිදු පලකට නැතැයි අම්මා කියන, එහෙත් ඉතාම සොඳුරුයයි මට සිතෙන එවන් බඳුන් රැසක් දැන් මා සතුය. ඇතැම් විට කුමක් සඳහා භාවිතා කෙරේදැයි මා පවා නොදන්නා කුඩා බඳුන් ද මා සතුවේ. ඉතාම කුඩා එහෙත් සුන්දරම පෝසිලේන් කට්ටලයක් ජපානයේදී 'සකෙ' පිළිගැන්වීමේ දී භාවිතා කෙරේ. ජපන් පිඟන් භාණ්ඩ අතර මා වඩාත්ම ප්‍රිය කරන්නේ එයයි. ඒ හැර බත් කෑමට යොදාගන්නා කුඩා කෝප්ප ද බොහෝ හුරුබුහුටිය. හතරැස් හැඩයේ පිඟන් ද කෝපි කෝප්ප ද මා ප්‍රිය කරන පිඟන් බඩු අතරට එක්වේ. පෝසිලේන් හෝ පිඟන් මල් බඳුන් නම් මගේ හිත ගත් අවස්ථා නැති තරම්ය. මල් බඳුනක් මැටියෙන් නිමවූ විට  එය රළු වූ නමුත් මල්වල මිහිර ඊට වඩා මතුකර පෙන්නවන්නට සමත් යයි මට සිතෙන බැවිනි.

මා පිඟන් බඩු මිලදී ගන්නේ පිඟන් බඩු කබඩ්වල දමා පරෙස්සම් කිරීම සඳහා නොවේ. එදිනෙදා පාවිච්චිය සඳහාය. බඳුනට මගේ ආශාව තිබෙන තුරුම එය නිතොරවම පාවිච්චි වේ. මුලදී සුදුපැහැ පිඟන් බඩු පාවිච්චිය මට කරදරයක් වූයේ ඒවා පාවිච්චියෙන් පසු සේදුවත් ටික දිනකදී තරමක් කහට පාට වන නිසාය. එහෙත් දිනක් අහම්බෙන් ඊටද විසඳුමක් ලෙස තරමක් තනුක ක්ලෝරීන් දියරයක් ඒවා සේදීමට යොදාගත හැකි බව දැනගත්තෙමි. එහි තරමක් වේලා බහා තැබූ පසු ඒවා පෙර පරිදිම පැල්ලම්වලින් තොරව පිරිසිදු වේ. ආසාවෙන් පාවිච්චි කරන නිසාම පිඟන් බඩු මා අතින් බිඳීයනවා අඩුය. දරුණුම ජපන් භූමි කම්පාවෙන් සැලුණ ද බිඳීගොස් තිබුනේ නිවසේ තිබූ පිඟන් බඩු කිහිපයක් පමණි.

Monday, August 1, 2011

සොයුරු බැම්මක බැඳී ආ මග...


කුඩාවුන් මල් වැනියයි බොහෝ දෙනා කීවද සමස්තයක් වශයෙන් ගත්කළ මම කිසිවිටක ඔවුනට ප්‍රිය කළේ නැත. ඊට පැහැදිලි හේතුවක් නැත ද, මා ඉතා කුඩා කල සිටම මගේ අම්මා බාලාංශ පන්තියේ නොකඩවා වසර විස්සක් පමණ උගැන්වීම ඊට හේතුව යයි බොහෝවිට මට හැඟේ. ඒ පන්තියේ කුඩාවුන් මට හැමවිටම පෙනුනේ මගේ අම්මා මගෙන් සොරාගන්නා කරදරකාරී සත්ව කොට්ඨාශයක් ලෙසමය. මට වයස දහසයක් පමණ වෙද්දී ද, ඔවුන් මගේ අම්මාගේ සාරිපොටෙහි දැවටෙනු දකිද්දී මට දැනුනේ ඊර්ෂ්‍යාවකි.

එවන් වූ කුඩාවුන් අතරින් සම්පූර්ණයෙන්ම මගේ ලෝකයට මුලින්ම ඇතුළු වූවේ මගේ මල්ලී ය. මට වඩා වසර පහකින් බාල ඔහු මගේ යයි හැඟීම ද, කුඩා කල මට වඩා හැමතින්ම දුර්වල සත්වයකු ද වූ නිසා ඔහු පිළිබඳව මට කිසිම ඊර්ෂ්‍යාවක් නොවීය. අම්මාට මල්ලී ලැබෙන්නට සිටි කාලය පිළිබඳව මතකයක් හෝ අවබෝධයක් නැත ද, අම්මා රෝහලේ නතර කළ තාත්තා පසුදින රෝහලට ගොස් පැමිණ අපිට මල්ලි කෙනෙක් සීටින බැව් කී හැටිද රෝහලට ගොස් අම්මාද මල්ලී ද ගෙදර ගෙනා හැටිද ගැන පුංචි මතකයක නොපැහැදිලි සටහනක් ඡායාවක් ලෙස හිතේ ඇඳී මැකී යයි. ඉතාම කුඩා කල මා අනුකරණය කරමින් මා සමග බෝනික්කන් සමග සෙල්ලම් කරමින් වැඩුන ඔහු තරමක් ලොකු වෙද්දී, මගේ සෙල්ලම් බඩු කඩා දමන්නට ද, රණ්ඩු සරුවල් වෙන්නට ද, ඉනුත් පසු යුගයක දෙදෙනා අතර රණ්ඩු බේරන්නට කිසිවෙක් මැදිහත් නොවන තරමට ද අප දෙදෙනා එකේනෙකා වෙත බැඳෙමින් වැඩුනි.

උසස්පෙළ පංතියට ඇතුළු වීමත් සමග ම මා නිවස හැරයන විටදීත් මල්ලී වසර එකොළහක කුඩා කොලුවෙකි. එ නිසාම අප දෙදෙනා සොයුරන් අතර බැඳීම හඳුනාගත්තේ එකිනෙකා ඇසුරේ නැතිව වැඩීමෙනි. අප සොයුරු සොයුරියන් වීමේ හැඟීම දැනෙන දා වනවිට අප දෙදෙනා එකිනෙකාගෙන් ඈත්ව ගොස් බොහෝකලක් ගතව ගොස් තිබුණත්, එය ලෙයින් බැඳුනු බැම්මක් නිසාදෝ එහි ගැඹුර අප ද නොදැනම හද පතුලේ නිදන්ව තිබිණ. නිවසේ කෙනෙකු තදින්ම අසනීප වූ විට ද, යමකට තදින් කම්පා වූ විට ද සොයුරු බැම්මක අගය වටහාගන්නට ද, රහස් කියන්නට හා රකින්නට ද කාලයත් සමගම සොයුරු පෙම අප දෙදෙනාටම උගන්වා තිබිණ.

හෙටට, බිළිඳකු ලෙස ඔහු අපේ ලොවට ඇතුළු වීමෙන් පසු ගතවී යන තවත් වසරක් සපිරේ. මල්ලියෙක් වී මගේ ලෝකයට පැමිණි ඔහුත් සමග යන මා දකින බොහෝ අයට ඔහු මගේ අයියා ලෙස පෙනෙන තුරු ම,  කාලය බොහෝ වෙනස්කම් සිදුකරමින් අප අතරින් ගලාගොස්ය. බොහෝවිට නැවතත් අප දෙදෙනා එක වහලක් යට ජීවත්වන්නට ලැබෙන දිනයක් උදානොවනු ඇත. ඉඳහිට සියල්ලන් නිවසේ හමුවන දිනයක පමණක් බොහෝ කාලයක එකතු කරගත් තොරතුරු කියාගන්නට ඉඩ ලැබෙනු ඇත. එහෙත් තවමත්, ඇතැම් දිනෙක ඔහුගේ සුරතේ එල්ලී හෝ මෝටසයිකලයක පිටුපස ගාල්ලේ හෝ කොළඹ නගරයේ සැරිසරද්දී ඔහුත් මාත් ඔබට ද මුණ ගැසෙන්නට ඉඩ ඇත.