Tuesday, September 28, 2010

ඉදින් පියඹා යන්න ආසලු නාඳුනන මෙදෙසින්...


වසන්තය සැඟවී යද්දින්
ගිම්හානයේ මිහිරෙන්
හරිත තුරුපත් දිදුලනාවෙන්
කුල්මත්ව සිටියෙන්
සමු යදින කෙඳිරිල්ලෙන්
සිත් අහස හැඬුවේ නෑ...එ නමුත්
ගිම්හානයත් අයදී දැන්
සමුගන්න අවසරයක්
මිදිය යුතුළු හරිත තුරුපත්
ගැලවෙන්න ශීතෙන්
කෙම්බිම් සොයායන
විහඟ ගී ගොලුයෙන්
ඉදින් පියඹා යන්න ආසලු
නාඳුනන මෙදෙසින්...
සෙනේ සිත් මග බලා ඇතිලූ
එන තුරා අහසින්...

Thursday, September 23, 2010

කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට...ගීත දෙකක්



කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට ආදර ගී පද වැල් රඳනා...
පියපත් යුවලකි ඔබෙ සෙනෙහස මට ආදර තුසිතය වෙත වසනා...

නිදිසුව නොපතමි මා නෙත් හඳුනන සුපුරුදු සිහිනෙක නෙත සතපා
සිත මිස කය නැති ආදර බඹලොව රැජිනයි මාහද කිරුළ දරා

දොඩමලු නෙත් යුග කැටපත් පවුරේ රැඳි ගී පද එකිනෙක මුමුණා
නුපුරුදු කවි ලොව මා කවියෙකු කර ඔබ හිඳිනේ බිලිඳෙකු ලෙසිනා


අපරිමිත සෙනෙහසක සැහැල්ලු ආශ්වාදය හිතට දැනෙන මේ සිංදුව මම ආසම සිංදු අතරෙ තියෙන එකක්... මුලින්ම මේ සිංදුව රේඩියෝ එකේ අහපු දවසෙම මේ ගී පද ටික ලියාගන්න තරම් මේ ගී පද මගේ හිත ඇද ගත්ත...

මේ ගීතය කුමාරදාස සපුතන්ත්‍රී පදරචනයක්, රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනයක්, ශාලිත අබේවික්‍රම හා චන්ද්‍රලේකා පෙරේරා ගයන යුග ගීයක්...

අද උදේ ආපහු මේ සින්දුව අහන්න හිතිල සින්දුව හොයන්න පුරුදු විදියට ම කැටපත් පවුරකි කියල ගූගල් කරද්දී වික්ටර් රත්නායකයන්ගෙ ගීතයකුත් එතෙන්ට ආව, ඒකත් ඇහුවම ඒකෙත් මේ ගියට බොහෝම සමානකමක් දැනුන, වෙනස්කමුත් තිබුණත්...ගී දෙක ම ඒ නිසා මම මෙතනට එකතු කරනව.

ගී දෙකේ නිර්මාණ අතරෙ සම්බන්ධතාවයකුත් තියෙනව ද කියල මම දන්නෙ නම් නෑ... වික්ටර් රත්නායකයන් ගයන ගීයේ ගී පද හා තනු නිර්මාපකයන් සොයා ගන්නත් බෑ...

කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට මා හද ආදර පද මවනා
පියකරු දසුනකි දෙනුවන් දිග ඇති සීගිරි අඟනක් නෙත ගැටෙනා

උකුලේ හැඩ ඇති සුන්දර සලුපිලි නාඹර පියයුරු මත තබලා
අග මෙහෙසියගේ රතඟිලිවල ඇති මල් මාලා තුනු අග අමුනා
සිප ගන්නම් ආ මග විමසා

රූබර නිතඹට ඉඩ දී පෙරලෙන පැද්දෙන රණ තිසරුන් සනසා
සිත්තර තෙලිතුඩ කළගුණ සිහිවී නෙත් යුග මත මහ වැසි මවනා
ඒ මුදු දැක සිත ගත නිවනා


ගී දෙකම සුන්දරයි... ඒවාට ආවේණික විදියට.... බොහෝ සමානයිත් ගී දෙක....

ඒත් තාමත් මගෙ හිත ඇතුළෙ ගැයෙන්නෙ නම්

කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට ආදර ගී පද වැල් රඳනා...
පියපත් යුවලකි ඔබෙ සෙනෙහස මට ආදර තුසිතය වෙත වසනා...  කියල ම තමයි....




Saturday, September 18, 2010

සැප්තැම්බර්, සාහිත්‍ය මාසෙ...

සැප්තැම්බර්, සාහිත්‍ය මාසෙ...
මේ සැරේ පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 18 වෙනිදා අද පටන් අරගන්නවලු...

පොත්පත් කියවන කවුරුත් කොහොම හරි පොතක් දෙකක් ගන්න පෙරුම් පුරන දවස් නෙ මේ,  මමත් රස්සාවක් කරන්න ගත්තට පස්සෙ මට පුළුවන් විදියට පොතක් පතක් ගත්තෙ මේ කාලෙදි තමා...

සාහිත්‍ය මාසෙත් එක්ක බැඳුන මතකයන් කීපයක් ම තියෙනව...එකිනෙකට වෙනස් අවුරුදුවල වෙනස් මතක තමා.. ඒත් ඔක්කොම සාහිත්‍ය මාසෙට සම්බන්ධයි...

--------------------------------------------------------------------------------
සාහිත්‍ය මාසෙ ගැන මට තියෙන පරණම මතකය 

"අපිට බැරි වුණාට දරුවො ඉංග්‍රීසි ඉගෙනගනියි " කියල, දුවෙක්ද පුතෙක්ද වත් නොදන්නා කුසේ ඉන්න දරුව වෙනුවෙන් එක සැප්තැම්බර් මාසෙක අම්ම ළඟ තිබුණ සල්ලිවලට මළලසේකර ශබ්ද කෝශයක් ගත්ත මගේ අම්මා... ඒක ඇහුව වෙලාවෙ මට දැනුණෙ විස්තර කරන්න බැරි හැඟීමක් අම්ම ගැන... මොනතරම් නම් අම්මා මම වෙනුවෙන් පෙරුම් පුරන්න ඇත්ද කියල...
මේ කතාව මුලින් ම අහද්දි ඈ දුටු සිහිනය සැබෑ කරන්න තරම් මම ලොකු නෑ... ඒත් ඈ දුටු සිහිනය සැබෑ කරන්න ම ඕනෙ කියන අදහස හිත පතුලට ගියේ නම් එදා... එදා ඉඳන් හැම සාහිත්‍ය මාසෙකම මට ඒක මතක් වෙනව.... මම හිතන විදියට මේක ලියන අද නම් මම ඇගේ සිහිනය සැබෑ කරල...

මේ කතාව දවසක් මට කිව්වෙත් අම්මගෙම යාළුවෙක්... මට අවුරුදු 16 දි විතර... සමහර වෙලාවට ඒ කතාව මගේ ජීවිත ගමන වෙනස් කරන්නත් ඇති...

----------------------------------------------------------------------
සරසවියෙදි උදාවුණ සාහිත්‍ය මාස...

පොත් ප්‍රදර්ශනය බලන්න යන්න මම පුරුදු වුණේ සරසවියෙ ඉඳෙද්දි...
පුස්තකාලවලින් හොයාගෙන කියෙව් බොහොමයක් රුසියානු සාහිත්‍ය කෘති විකුණන්න තියෙනව මම දැක්කෙ එදා... ඒ අතරෙ මම පුංචි කාලෙ ගොඩක් ආසාවෙන් බලපු ලස්සන බූල් බල්ලෙක් ඉන්න පින්තූර කතා පොතත් තිබුණ....

ඒත් ඒ කාලෙ මම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලෙ... මට නවකතා පොත් එකක්වත් නොගෙන මට ඕනෙ ම වෙලා තිබුණ පොත් එකක් හරි දෙකක් හරි තමයි ගන්න සිද්ද වුණේ...

------------------------------------------------------------------
 2007 සැප්තැම්බර්

දෙතුන් සැරයක් ම පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා ඒ වතාවෙ...මේ කාලෙ වෙනකොට මම රස්සාවක් කරනව... කලින් වතාවල වගෙ නෙවෙ මම පොත් ගන්නව කියල හිතල ම වෙන්කර ගත්තු මුදලක් මා ළඟ තිබුණ...ඒ නිසා මම දැක්කම ගන්න ආස කරපු නව කතාපොතුත් ගත්ත මම ඒ කාලෙ... එතකොට මම රාජ්‍ය සංස්ථාවක වැඩ කළේ, සංස්ථා පුස්තකාලේ තිබුණ පොතුත් බොහොමයක් ම කියවපු ඒ පුස්තකාලෙ යාවජීව සාමාජිකයෙක් වුණ මම සංස්ථා පුස්තකාලෙට පොත් ගේන්නත් එකතු වුණා ඒ සැරේ...

ඒ ගත්තු පොත් අතරින්

රයිඩර් හැගාර්ඩ්ගෙ Morning star කෘතියෙ සිංහල පරිවර්තනය "අමෙන් දෙවියාගේ දියණිය" (චන්ද්‍රසිරි දසනායක මහතාගෙ පරිවර්තනයක්)  , ස්ටෙෆන් ලොරෙන්ට් ගෙ "හිට්ලර්ගේ සිරකරුවෙක්" මම ගොඩක් ආසාවෙන් ම කියවපු තව ගොඩක් සැරයක් වුණත් ආයෙ ආයෙ කියවන්න ආස පොත් දෙකක්...

ගොඩක් වතාවක් කියවපු නිසාම මගේ හිතට කාවදින ම තැන් දෙකක් "අමෙන් දෙවියාගෙ දියණිය" පොතෙන් ජීවිතේට ම මතක හිටින්න එකතු වුණා.., එකක් "ඔබ මනුෂ්‍ය දුවක් නිසා කරදර හා බාධකවලට මුහුණ දී ඉන් ජයගන්නවා මිස අනාගතය දෙස එබී බලන්න යන්න එපා" කියල නෙතිර් තුආ රජ කුමරියට දෙන අවවාදය...

"Why, O Queen Neter-Tua, why wouldst thou know the future? If hell yawns beneath thy feet, why wouldst thou peep through its golden doors before the time? The future is hid from mortals because, could they pierce its veil, it would crush them with its terrors. If all the woes of life and death lay open the gaze, who would dare to live and who—oh! who could dare to die?"
"Then woes await me, O thou who wast my mother?"
"How can it be otherwise? Light and darkness make the day, joy and sorrow make the life. Thou art human, be content."
( Extracted from the book- Morning star)

අනික

අද දූලි ගොඩේ වැතිර සෙල්ලම් කරන දරුවාට හෙට නුඹට වඩා බොහෝ ඉහළින් තබන ඉරණමක් හිමිව තිබිය හැකි බව මතක තබාගන්න... ඔබත් ගවයාත් පණුවාත් අප අවට ඇති මේ එකම වාතය හුස්ම ගන්නා බව මතකයේ තබාගන්න...
 
"Remember that the beggar child playing in the sand may have a destiny more high than yours when all the earthly count is reckoned. Remember that you share the air you breathe with the cattle and the worm."

( Extracted from the book- Morning star)


මේ දෙක ම මගේ ජීවිත ගමන ඉස්සරහට යද්දි ජීවිතේ දිහාවෙ උපේක්ෂාවෙනුත් තවත් කෙනෙක් දිහාවෙ ඔහු හෝ ඇයට හිමි ගෞරවයෙනුත් බලන්න උදව් වුණා කියල මට හිතෙනව... ඒකමයි මේව මගේ හිතේ නොමැකෙන්න සටහන් වෙන්න ඇත්තෙත්...

------------------------------------------------------------
ඊට පස්සෙ ආයෙම පොත් ප්‍රදර්ශනය බලන්න යන්න දවසක් ආවෙ නෑ...
ගිය වතාවෙ ලංකාවට ගියාම නම් ... පොත් ගන්න කෑදරකම තිබුණට ගේන්න බෑ නෙ, අනික යනකොට මම ඒව ආපහු ගෙනියන්නත් එපෑ කියල හිතල නුගේගොඩ සරසවියෙන් පොතක් දෙකක් අරගෙන එන්න ආව...

ඒත්
අදත් ඉඩ ලැබෙන විදියට ඊ - බුක් එකක්වත් හොයාගෙන කියවන්නත්, හිතට එන දෙයක් කොහේ හරි සිංහලෙන් ලියල තියන්නත් ආස හිතෙන්නෙ මේ පොත් කියවන, කියවපු පුරුද්ද නිසාම වෙන්න ඇති...




Thursday, September 16, 2010

ඈත් ඔහුත්... (ඉස්සර වගෙ... නෑ දැන්)

පායන සඳවත - නෑ නුඹ ගැන හිත
මා නොදකින ඈ -  නුඹ දකිනා හින්දා...

සුදු මුදු රළ පෙළ - නෑ නුඹ ගැන පෙම
අප පිය සටහන් - මකා දැමූ හන්දා...

දිදුලන තරුකැට -  නෑ නුඹ ලස්සන
ඇගෙ තරු ඇස් දැක - ඔච්චම් කළ හින්දා...

නීල ගගන තල - නෑ නුඹ මනකල්
ගුවන් සැතපුමක් - බොහෝ ම දිග හන්දා

නිශා ගගන තල- තරු ඇතිරිලි යට
අප හමුවන - එක ලස්සන දවසක
සුදු මුදු රළ පෙල සොඳුරුයි
ආයෙම හිතේවිදෝ මන්දා...

Saturday, September 11, 2010

දෙකේ පන්තියෙ ටීච...



'හෙට එනකොට තාත්ත ගැන රචනයක් ලියන් එන්න... අද අම්ම ගැන ලියන හැටි කියල දුන්න නෙ...'

කොහොමටත් මම නම් තාත්ත ගැන ලියන්න කැමතියි...
ගෙදර ගිය ගමන් ම මම රචනෙ ලිව්ව... මම දන්නව පහුවදා රචනෙ බලන බව...පුළුවන් තරම් හොඳට ලිව්ව ඒ නිසා....

ගොඩක් දෙනෙක් රචනෙ ලියල තිබුණ, එක්කෙනෙක් දෙන්නෙක් බොරුවට පේළි දෙකක් විතර ලියාගෙන ඇවිත් තියෙනව දැක්ක ම ටීච ට තරහයි...  ඒත් අමිල, අමිල රචනයක් ලියාගෙන ඇවිල්ල තිබුණෙ ම නෑ....

'ඇයි අමිල රචනෙ ලිව්වෙ නැත්තෙ...'

'තාත්ත නෑ නෙ ටීච...'

'ම්ම්... '

ටීච හරිම අකමැතියි ගෙදර වැඩ නොකර එනවට, වෙනදට නම් ටීච ට හරියට තරහ යනව ඔය වගෙ උත්තරවලට... ඒත් අද නම් ටීච පොඩ්ඩක්වත් තරහ ගත්තෙ නෑ...

 ඒක නියම උත්තරයක් නෙ...රචනෙ ලිව්වෙත් නෑ, බැනුම් ඇහුවෙත් නෑ....
-----------------------------------------------------------------------
හතර විතර වෙන්න ඇති , දවස ම ඇවිදල ඇවිදල මහන්සියට හොඳට ම නින්ද ගියා... නින්දෙන් ඇහැරුණාට අම්මට කතා කරන්න විදියක් නෑ, ගෙදර කවුරුහරි පිට කෙනෙක් කතා කර කර ඉන්නව වගේ ඇහෙන්නෙ....

'අපේ කෙල්ල කොහොම පැටලුණා ද මන්ද ඔය කොල්ල එක්ක...'

ගෙදර සාලෙ කෙරීගෙන යන කතාවෙ කොටසක්, එතෙන්ට ගිහින් ඕක හොඳට අහගෙන ඉන්න ගියොත් නම් කොහොමටවත් අහන්න වෙන්නෙ නෑ, මෙහෙම ඉඳගෙන ඇහෙන විදියට අහගෙන ඉන්න එක තමා හොඳ...
 ------------------------------------------------------------------------

'උඹ හිතුවද උඹෙ ඔය අවජාතක කොල්ලට මගෙ දුව දෙයි කියල...', නිලන්තිගෙ අම්ම, අමිලගෙ අම්මට හොඳටෝම බනිනව, මහ පාරෙ...

එදා අමිල දුන්න අපූරු පිළිතුර විදුලියක් කෙටුව වගේ මගේ හිතේ ඇඳිල මැකිල ගියා... ඒත් ඒ උත්තරේ යට තිබුණ කටුක ඇත්ත දෙකේ පන්තියෙ ටීච නිහඬ කළ බව මට තේරුණේ එදා...
අමිලගෙ අම්ම හරිම හොඳයි, හරි ම කරුණාවන්තයි... පුංචි කාලෙ ඉස්කෝලෙ පඩි පෙළ බහිද්දි අමිලගෙ අම්ම මාවත් බස්සවනව, මට හරියට දුක හිතුණ අමිලගෙ අම්ම නිහඬව ම එතනින් ඇත්වෙලා යන හැටි දැක්ක ම...

නිහඬව ඈත් එක්ක එතන ඉඳන් ඉස්සරහට ඇවිද ගෙන ගියා මිස නිහඬ බව බිඳින්න මට හිතුණෙ නෑ...

ගෙදර ළඟ ට හැරෙන පාර ළඟදි, පුරුදු විදියට නැන්දේ මම යනව කිව්වම 'පරෙස්සමින් යන්න දුව' කියල කියද්දි අමිලගෙ අම්මගෙ කටහඬේ වෙනසක් අඳුනගන්න මට පුළුවන්කමක් වුණෙ නෑ....
ජීවිත කාලෙ පුරා ම ඈ වින්ද දුක් කරදර කන්දරාව ඇගේ වෙනස මගෙන් වසන්කරන්න ඇති...

---------------------------------------------------------
 කාලෙකින් ගෙදර ආවෙ...

මේ පොඩ්ඩ ගෙදර ළඟට ඇවිදගෙන යන්නත් අමාරු තරම් අව්ව සැරයී... ඉස්සරහ බලල ඉස්සරහින් කෙනෙක්ව අඳුරගන්න බැරි තරම්...  කුඩයක් ඉහළගෙන පරෙස්සමට පුංචි බබෙක්වත් තුරුල් කරගත්ත යුවලක් මගෙ ඉස්සරහට එන්නෙ...

මම ඈ ව අඳුනන්නෙ නෑ, ඒත් ඈ එක්ක ඉන්නෙ අමිල... අමිල අතේ ඉන්නෙ පුංචි පුතෙක්....
---------------------------------------------------------
මම ආයෙම දෙකේ පන්තියට ගියා හිතින්...

මේ පුංචි පුතා නිසා නම් දෙකේ පන්තියෙ ටීච ට නිහඬ වෙන්න සිද්ද වෙන එකක් නෑ...








Friday, September 3, 2010

ලොව ගිම්හානයේ දැවෙමින්...

ලෝකය අසාමාන්‍ය ලෙස උණුසුම් ගිම්හානයකට මුහුණ දෙමින්... ජපානය 1898 දි කාළගුණ වාර්තා තැබීම ඇරඹුමෙන් පසුව ම මුහුණ දෙන උණුසුම්ම ගිම්හානය මේකලු..ටොක්යෝව සෙල්සියස් අංශක 37 ක උපරිම උශ්ණත්වය ට ළඟා වුණ බව කියවෙනවා...

මේ වෙද්දි ලෝකයේ රටවල් 18 ක ඉහළ ම උෂ්ණත්වයන් 2010 වසරෙදි වාර්තාගත වෙලා තියෙනවා... ඒ රටවල් අතර
1942 දි තැබුණ උෂ්ණත්ව වාර්තාව බිඳ හෙලන පලස්තීනය - 51.4 ක උෂ්ණත්වයක් වාර්තා කරල ...යුක්‍රේනය,සයිප්‍රසය , ‍ෆින්ලන්තය, කටාර්, කුවේට් හා රුසියාව ද මේ රටවල් අතරට අයත් වෙනවා...

දකුණු ආසියාතික රටවල් අතරින් පකිස්ථානයේ මොහෙන්ජොදාරෝ නගරයේ සෙල්සියස් අංශක 53.5 ක උපරිම උෂ්ණත්වයක් වාර්තා වෙලා...ලැව්ගිනි, උෂ්ණත්වය නිසා සිදුවන මරණ ආදී බොහෝ ව්‍යසනයන් මේත් එක්කම එන්න ඇති...වාර්තාගත ලෙස ශීත ශිශිරයකට මුහුණ දීමෙන් අනතුරුව එළඹුණ වාර්තාගත උණුසුම් ගිම්හානයකටත් මුහුණ දෙන්නට සිදුවීමේ හේතු නම් පැහැදිලි නෑ...
ඒත් අධි උණුසුමට හේතු සොයා බැලූ රුසියානු වාර්තාවලට අනුව නම් ස්වභාවික වායුගොලීය වායු සංසරණ ක්‍රියාවලියේ වෙනස්වීම් මේකට හේතු වුණා කියල කියවෙනව..කොහොම වුණත් ඊට ම එකතු වුණ නාගරීකරණය, හරිතාගාර වායු මුදාහැරීම, වනාන්තර විනාශය ආදී දේවල් මේකට අනුබල දෙන්න ඇති කියන මතය ඒ වාර්තාවලින් ප්‍රතික්ෂේප වෙන්නෙත් නැති බවක් තමා පේන්නෙ...

අද දවසෙදිත් මෙහි ඉදිරි දින දහයේ කාළගුණ අනාවැකිය උෂ්ණත්වය අඩු වීමේ ලකුණක්වත් පෙන්නන්නෙ නෑ... දැන් නම් ගිම්හානය ඉවසගන්න බැරිම තරම්... දකුණු ආසියාවෙන් ආව හැමදාමත් හිරු රශ්මිය විඳල පුරුදු අපිට මේ ගිම්හානය මේ තරම් අපහසුවක් ගේනව නම්...? අපිට වඩා මේකට ඔරොත්තු දෙනව අඩු අනිත් ජාතීන්ට මොනතරම් නම් අපහසුවක් දැනෙනව ඇත්ද ?


Source:
http://www.mercurynews.com/nation-world/ci_15971316?nclick_check=1
http://climatesignals.org/2010/08/18-national-heat-records-set-so-far-in-2010/
http://en.wikipedia.org/wiki/2010_Northern_Hemisphere_summer_heat_wave