Tuesday, August 31, 2010

මා දුටු ජපානයෙන්... ෆුජි සන්...

ජපානෙට ආව දා ඉඳල ඈත අනන්තයෙ පේන ෆුජි කන්දෙ සොඳුරු නුපුරුදු රුව මගේ හිතේ නතර වුණා... කාලෙත් එක්කම සරසවියෙ ඉඳන් ඈත බලද්දි දිනපතාම දකින ඒ රුව සුපුරුදු දසුනක් වුණත් හිත හැමදාම ෆුජි සන් ට ආදරේ කළා... ශිශිරය පුරාවට හිම බේරෙන ෆුජි ගිම්හානයෙ ගිනිකන්දක් බව කියන්නම ද මන්ද දුඹුරු පාටට ගහක් කොළක් නැතිව ම පෙනෙද්දිත් අසුන්දරයි කියල හිතුණෙ නෑ...
ෆුජි වඩාත් සුන්දරව දැක්ක මුල්ම මතකයන් අතරෙ ගුවන්යානා කවුළුවෙන් දුටු ෆුජි අමතක කරන්නම බෑ... හිමෙන් වැහුණ ෆුජි කඳු මුදුන ගුවන්යානා කවුළුවෙන් දැක්ක මොහොත තමා මේ...


 ෆුජි සන් බලන්න යන්න හිතේ තිබුණ ආසාව සෑබෑවක් වෙලා ෆුජි සන් ළඟට ම ගිහින් හිතේ හැටියට බලාගෙන කවගුචිකො විලේ බෝට්ටුවකත් ගිහින් එන්න පහුවුනු සතියෙ ඉඩ ලැබුණ...
ෆුජි හා ඒ අවට සේයා රූ කීපයක් තමා පහළ තියෙන්නෙ....
කවගුචිකො විලේ ඉඳන් බලද්දි ඈතින් පේන ෆුජි... කඳු මුදුන වළාකුළුවලින් වැහිලා...

කවගුචිකො විලේ බෝට්ටුවෙ යද්දි...




ෆුජි කන්ද මුදුන තමා මේ... කොච්චර ලස්සන වුණත් ෆුජි ඉතින් ගිනිකන්දක් නෙ... ගලාගිය ලාවා ගල් වෙලා ෆුජි කඳු මුදුනෙ තැන්පත් වෙලා...


ඉන් පස්සෙ තියෙන්නෙ ෆුජි කන්ද මුදුනෙ ඉඳන් දකින හිරු නගින දසුන....කන්ද මුදුනෙ සේයා රූ නම් මම ගත්ත ඒව නෙවේ... මම කන්ද නැග්ගෙ නැති නිසා... ෆුජි කන්දෙ 5 වන පියවර දක්වා බස් රථයක යන්න පුළුවන්... ඒ වෙද්දි මුහුදු මට්ටමේ ඉඳන් සම්පූර්න උස මීටර 3776 ක් වන ෆුජි කන්දේ මීටර් 2376 ක් උසක් තමා යන්න ලැබෙන්නෙ... ඉතිරි දුර යනව නම් ඉතින් පයින් තමා...


ෆුජි කන්ද මුදුනෙ ඉඳන් බලද්දි පේන වටපිටාව...

ගිනිකන්දක් වෙලත් ඒ බව දෑසින්ම දැකලත් තාමත් හිත පෙම් බඳින ෆුජි... ශිශිරයෙ හිම සළුත් එක්ක ආයෙම දකින්න ආසාව තාමත් හිතේ ඉතිරියි...

Thursday, August 26, 2010

අතථ්‍යයක් තුළ තථ්‍යය අතගා

 අතථ්‍යයක් තුළ තථ්‍යය අතගා
අදිසියි ගිනිදළු - අතැඟිලි දවනා
තිගැස්සුන අතින් බිම අතහැරුනා
වීදුරු හැර අන් සියල්ල බිඳුණා...

සී සී කඩ විසිරුණු කැබලිති යළි
එක්කොට නිමවනු නොහෙනා
අතථ්‍ය ද තථ්‍යය ද අතරමැද
සිත ඉකිලනු ඇසුණා...

---------------------------------------------------------------------------------------


ඉර ගින්නේ දැවුණා- දරාන උන්නා
අරුමයක් නොවෙන හින්දා
සඳ ගිනිගෙන සඳ ගින්නෙත් දැවුණා
දැවුණා...දැනුණා... දැනුණා...

Sunday, August 22, 2010

මා තව ම කන්ද පාමුලයි...


නෙතු මානේ - ඈත ඉමේ
සැඟවී යන - හිරු සිඹිනා
සේයාවට - පෙම් බඳිනා
මගේ සිතට - නුඹ ළඟ පාතයි

නිසල විලේ - දිය මත්තේ
සිතුවම් වුණ - රූ සිත්තම
දිය ‍රැල්ලක - බොඳ වෙද්දී
මතක් වුණා - නුඹ දුර ඈතයි

ළං වෙන්න බෑ දුර ඈතයි- බැඳි සිතට නුඹ ළඟ පාතයි
හිරු සිඹින නුඹ නිසල ගිරි මුදුනයි- මා... තව ම කන්ද පාමුලයි

Photo : http://images.cdn.fotopedia.com/flickr-3052002881-image.jpg



Sunday, August 15, 2010

තවත් එක දවසක...

Running repair එකක් නෙ...ඕනෙ නම් පැය දෙකක් යයි...
මම ගරාජ් එකට යන්න එළියට බැස්සෙ එහෙම හිත හිත...

ඉරිදා දවසක්., කලින් එන බව කියල වෙලාව කතා කරගෙන තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් නෑ...

සුමිත් මම යනකොට හිටිය, බඩු වගයක් ගේන්න කොළඹ යන්න ලැස්ති වෙලා..ඉස්සෙල්ලම හදන්න ගත්තෙ මගෙ කාරෙක...

"මහත්තය, මම පොඩ්ඩක් බඩු වගයක් ගේන්න යන්න කියල, මහත්තයගෙ වැඩේ අජිත් කරල දෙයි.." එහෙම කියල සුමිත් යන්න ගියා...
අජිතුත් හොඳ මෙකැනික් කෙනෙක්...මම පැත්තකින් හිටිය... පැය එක හමාරක් දෙකක් යන්න ඇති... ඊට පස්සෙ කාරෙක හදාගන්න ආව කෙනත් ඇවිත් පැත්තක හිටිය...
වැඩේ ඉවරයි... ටෙස්ට් රන් එකකුත් දාල වාහනේ අරන් ආව එළියට...

මීටර් පන්සීයක් යන්න ඇති ඕනෙ නම්... ගියර් මාරු වෙන්නෙ නෑ... පාරෙ පැත්තක ඉඳපු මනුස්සයෙක් කෑගහල කියනව ගියර් ඔයිල් බේරෙනවලු..

මක් කරන්න ද බැස්ස එළියට...මොකද වෙලා තියෙන්න බලන්න, "ඉස්සරහ ඇක්සල් එක ලූස් වෙලා, CV joint  එක හරියට fix  වෙලා නෑ...

දුවගෙන ගියා ගරාජ් එකට.., ගරාජ් එකේ මිනිස්සු පුදුම වෙලා මම දිහා බලනවා... අනිත් කාරෙක හදන්නත් අරන්... විස්තරේ ඇහුව ඔක්කොමල ඒකත් එතනම නතර කරල දාල ආව...
ආපහු තල්ලු කරගෙන ආව කාරෙක ගරාජ් එකට ම... අර වැඩේ නතර කරල ආපහු මේක හැදුව...මට පස්සෙ ආව මනුස්සය බලන් ඉන්නව, මොනව කරන්නද
පැයක් ගතවුණා...

" ප්‍රශ්නයක් නෑ... දැන් හරි... " මම එන්න ආව..
මෙච්චර වෙලා ඉවසීමෙන් බලන් හිටිය අර මනුස්සය එක්කත් පොඩ්ඩක් හිනා වෙලා...

මොන... කිලෝමීටරයක්  එක හමාරක් එන්න ඇති... ආයෙම... ඉස්සෙල්ල වගෙමයි...

කතා කරා ගරාජ් එක අයිතිකාරයට ...නෝ ආන්ස්වර්...
මොනව කරන්නද..  කාරෙක පාරෙ අයිනෙ තියෙද්දිම ආපහු ගරාජ් එකට... පයින් ම...

දාඩිය දාගෙන පයින්ම ගරාජ් එකට එන මාව දැක්කම  මිනිස්සු පුදුම වෙලා බලනව...

අනේ අර මනුස්සය, කතාව අහගෙන ඉඳල මම දිහා බලල හිනා වුණා.., ඒ මනුස්සයට තේරෙන්න ඇති මේක අද දවසෙම ඇදෙන වැඩක් කියල...පුදුමයි පොඩ්ඩක්වත් තරහ ගත්තෙ නෑ...

ආපහු ගිහින් ගෙනත් වරද හොයල මගෙ කාරෙක හදනව... අර වැඩේ එහෙමම නැවතිලා...

වෙලාව දෙකට ත් කිට්‍ටුයි..
පැය දෙක ක වැඩේට මුළු දවසම ගත වෙලා... අර මනුස්සයගෙ කාරෙකත් හදාගෙන ගෙදර ගිහින් පැය ගානක්, මේක මෙහෙම ඇදිල ගියෙ නැත්නම්...මට ඒ මනුස්සය දිහා බැලුන ඉබේටම...
පුදුම ඉවසීමකින් මේ සිද්දිය බලාගෙන දවසම ගත කරපු මේ මනුස්සය මාත් එක්ක ටිකක් කතා කරන අතරෙ මගෙන් ඇහුවෙ...
"පුතා, අද දවස ම මහන්සි වුණානෙ, මුකුත් කෑවෙත් නෑ නෙ, මම ළඟ බත් එකක් තියෙනව... ටිකක් කමුද .. " කියල....


මට හිතුණ දේවල්...වචන කරන්නෙ කොහොමද...මේ සිද්දියෙ බලාගෙන ඉඳපු ඔහු මම වුණා නම්... මගෙ ළඟ මේ වගෙ ඉවසිල්ලක් තියේවිද...

මගෙ හිත කෑගහල මගෙන් ඇහුවා...
.......................................................................................................

ඒත් කවුද මේ ඔහු... හිතාගන්න පුළුවන් ද.....

මේ ඔහු ....


 සුනිල් එදිරිසිංහයන්...

ගැඹුරු වූත් හැඟීම්බර වූත් කටහඬකින් ගයන ඔහු... සැබෑවටම....
නිර්මාණවලින් සේම සිය හැසිරීමෙනුත් සිත පිනවීම වෙනුවෙන්... ඔහු ගැන මා සිත ඉපදුන අප්‍රමාණ භක්තියෙන් මේ සටහන සටහන් කරනව... සටහනේ අවසානයට සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් ගැයෙන, ඒත් ලෝකෙ අනෙක් කෙළවරටත් මගෙ තාත්තගෙ හඬින් ඇහෙන, සුනිල් එදිරිසිංහයන්ගේ මම කැමති ම ගීතයෙ සබැඳිය එකතු කරනව...

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...

පසු සටහන:
මේක මගේ ඉස්සෙල්ල පෝස්ට් එක බලපු මගේ යාළුවෙක් කිව් ඇත්ත කතාවක්...
සුනිල් එදිරිසිංහ කියන ගායකය ගැන නෙවෙයි, මනුස්සය ගැන...

සැබෑවට මහ මගදි මේ කලාකරුවන් මට මුණ ගැහිල තියෙනව හරි ම අඩුයි...
දවසක් මැණිකේ අත්තනායක මහත්මිය, කැම්පස් යද්දි පාරෙදි මුණ ගැහුන...ටිකක් දුරදි ම දැක පුරුද්දක් දැනුන නිසා හොඳට බලන් ඉඳල හෙමින් මගෙ යාළුවට කිව්ව " මේ ගෑනු එක්කෙනා මම කොහෙදි හරි දැකල තියෙනව " කියල, හෙමින් කිව්වට ඈට ඇහුණ... ඈ මගෙ දිහා බලල හිනාවෙලා ගියා... ගියාට පස්සෙ මගෙ යාළුව කිව්ව ඒව මෙතන කියන්න බෑ... ඒත් ඈ පදිංචි වෙලා හිටියෙ ඒ ළඟ ම නිසා ඊට පස්සෙත් මම දැක්ක ම ඈ හිනා වෙලා යනව මගෙ දිහා බලල...

Friday, August 13, 2010

අවුකන බුදුන්ට දෑස් දුන් මිනිසා සොයා ගිය ගමනක්...



ටික දවසකට කලින් මුල්ම වතාවට ඇහුව සින්දුවක් මේක, ඒ වෙලාවෙම ඒ ගායනය මගේ හිතේ නතර වුණා... සින්දුව ට ආසවෙයි කියල හිතුන යාළුවො කීප දෙනෙක්ට share කලත්, සින්දුව මීට කලින් අහල නෑ ඒත් ලස්සනයි කියල තමා ප්‍රතිචාරය වුණේ...
ඒත් ඒක අහල නැති පරණ සින්දුවක් ද එහෙම නැත්නම් අළුත් සින්දුවක් ද කියල ඒ වෙලාවෙ මම දැනගෙන හිටියෙ නෑ...

පහුගිය සතියෙ සිළුමිණ පත්තරේ ශාස්ත්‍රීය කොටසේ ගීය ගැන විවරණයක් තියෙනව දැක්කෙ ඒ අතරෙ...

ගීත රචනය: රජී වසන්ත වෙල්ගම
සංගීතය: දර්ශන දිසානායක
ගායනය: සුනිල් එදිරිසිංහ

එහෙමයි ගීයෙ විස්තර සටහන් වෙන්නෙ...
අළුත් ම සින්දුවක්...වර්තමානයේ කෙරුණ සොඳුරුම නිර්මාණයක්...
නවක ගී පද රචකයෙක් හා සංගීත නිර්මාණ ශිල්පියෙක්ගේ නිර්මාණයක් ප්‍රවීණ ගායකයෙක්ගෙ හඬින්...

අවුකන බුදුන්ට දෑස් දුන් මිනිසා සොයා ගිය ගමනක්....

මේ තරම් සියුමැලි ද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා...

කලාවැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරු මුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තාම තනිකඩ යැයි කියා...

අහල බලන්න ගීතය...







Thursday, August 12, 2010

හීන් බණ්ඩා උඩුරාවණ ?

වැම්පයර් ලියන උඩුරාවණ කතා සෙරීස් එක දැක්කම හිතට ආව අදහසක් මේ...
උඩුරාවණ සෙරීස් එකේ කතා මම මුලින්ම ඇහුවෙ මීට අවුරුදු 5 කට විතර ඉස්සර වෙන්න ඇති...

ඒ කතා ඇත්තෙන් ම රසවත් නිසා හිනා වෙවී ඇහුවත් මේ තරම් ප්‍රසිද්ධ උඩුරාවණ කවුද කියන කුතුහලෙත් හිතේ ඇතිවුණා... මේ උඩුරාවණ කතා සෙරීස් එක නිර්මාණය වෙලා තියෙන්නෙ හීන් බණ්ඩා උඩුරාවණ කියන දියවඩන නිළමෙතුමාගේ චරිතය වටාළු... මේ උඩුරාවණ නිළමෙතුමා ඉතාම ගරු ගාම්භීර විදියට ජීවත් වුණු පුද්ගලයෙක් විදියට යි ඉතිහාසයෙ සටහන් වෙන්නෙ නම්...

මේ වගෙ පුද්ගලයෙක් වටා මේ වගෙ කතා සෙරීස් එකක් හැදුනෙ නම්, මේ නිළමෙතුමාට හිටියළු ලස්සන දූල දෙන්නෙක්... ඒ දූල දෙන්න පේරාදෙනියෙ සරසවියට ගෙනත් ඇරලන එක්ක යන එක කලේ මේ නිලමෙතුමා නිසා, ඔය ගෑනු දරුවො දෙන්නට බැලුම් හෙලපු පේරාදෙනියෙ සරසවියේ සමකාලීන සිසුන්ගෙ සමච්චලයට ලක්වුන මේ නිළමෙතුමා අද වෙනකන් ම මේ කතා සෙරීස් එකේ ජීවත් වෙනව කියල තමා කියන්නෙ...
දියවඩන නිළමෙතුමා පෙරහැරේ යද්දි පේරාදෙණියෙ ළමයි ටික "PADLOCK" කියල කැගහනව කියලත් මම අහල තියෙනව... මේ දේවල් එකක්වත් මම හරියට දන්න දේවල් නම් නෙවෙ... මේ කතා සෙරීස් එකට වහ වැටිල මේ උඩුරාවණ කවුද කියල හොයද්දි දැනගතිපුව...එක එක්කෙනාගෙ අදහස් විදියට..

ඒ කොහොම වුණත් මේ ටික නම් ඉතිහාසයෙ සටහන් වෙන හීන්බණ්ඩා උඩුරාවණ නිළමෙතුමා ගැන...

දළදා මාළිගාවෙ කෞතුකාගාරයෙ එතුමාගෙ උඩුකය සේයාරුවකුත් එක්ක විස්තරයක් සටහන් වෙනව...1964-1974 කාලයේ දළදා මාළිගාවෙ දියවඩන නිළමේ ලෙස කටයුතු කළ බව ලංකා ඉතිහාසයට එක් වෙනව...
හීන්බණ්ඩා උඩුරාවණ නිළමෙතුමා ගැන 2002 වසරේ  Daily news  පුවත්පතේ පලවුන ලිපියකට බැඳියත් එක්කම උඩ තියෙන හීන් බණ්ඩා උඩුරාවණ නිළමෙතුමාගෙ සේයාරුව ගත්තෙත් එතනින්මයි...
16 වන දියවඩන නිලමෙතුමා වුණ ඔහු දළදා මාළිගාව වෙනුවෙනුත් ඉතා ලොකු මෙහෙයක් කළ කෙනෙක් වගෙම ආසියාවෙ උසම ඇතා වුණ "නීලා" කියන ඇතා අයිතිවුණෙත් උඩුරාවණ පවුලට කියල තමා එහි සටහන් වෙන්නෙ.

Monday, August 9, 2010

පහන් සිල

මේ අමාවක රාත්‍රියයි... ගනඳුර දැඩිය... ගනඳුර බිඳක් හෝ පලවා හරින්නට සඳ එළියක සේයා මාත්‍රයකුදු නොවැටේ...

සැලෙන පහන්සිල වරෙක නිවීයාමට තතනයි. මඳ පවනේ දැවටෙන පහන් සිල සැලුනද ඒ නිවා දමන්නට තරම් සුළඟ සවිමත් නොවේ.

පොල්තෙල් දැවෙන මුදු සුවඳ සුළඟේ දැවටී මට ද දැනේ. පන්සලේ බුදුරුව අබියස පහනක් දැල්වූ මොහොතක හිත ට දැනුන සෞම්‍ය වූ ශාන්තිය, පහන් සිලේ චමත්කාරය කැටිකොටගත් හැන්දෑවේ අසිරිය වන්නට ඇතැයි මට දැන් සිතේ. එහි වූ ශාන්ත බුදුරුව, මසිත අපමණ වේලාවක් නිසොල්මනේ රඳවා ගන්නට සමත් විය. නිතර ම සසල වන, ඉක්මනින් විඩාපත්වන, මාසිත කිසිදු විඩාවකින් තොරව බොහෝ වෙලාවක් එකම අරමුණේ රඳවන්නට ඒ බුදු රුව ද පහන්සිලද අපමණ ශාන්ත විය.

පහන් සිල ගන අඳුර මැද දැල්වේ. හාත්පස නැගෙන දැඩි අඳුර මකාලීමට ඒ ප්‍රමාණවත් නැති නමුත් පහන අවට මෘදුවූත් සෞම්‍ය වූත් ආලෝකයක් ‍රැඳේ. සෙමින් සැලෙන බෝ පත් ද සෙමින් ගලායන ඇල පාරේ සිලිසිලිය ද මේ දැහැන නොබිඳින්නට තරම් ප්‍රවේසම් වේ... සුළඟේ දැවටෙන හෙන්දිරික්කා මලක සුගන්ධය මේ දිව්‍යමය සැන්දෑවේ උරුමය ට හිමිය.

අද සැඳෑවේද මම පන්සල අසලට ම ගියෙමි. පන්සලේ පිවිසුම් දොර‍ටු වසා ඇත. විවර ව තිබුණද ඉටිපහනක් දැල්වෙන ආලෝකයෙන් පිදෙන එහි මා දු‍ටු සෞම්‍ය වූත් ශාන්ත වූත් බුදුරුව නැත.

...............................................................................................

දැන් දැවෙන්නේ පහනේ අවසන් තෙල් බිඳයි. මොහොතකින් පහන් වැටිය දැවීම අරඹනු ඇත. ඊට පෙර ඉතිරි තෙල් බිඳත් ඊට එක් කළ යුතුය. ඉන්පසු පහන්සිල නිවීයනු දකිනු නොරිසි මා සිත ද කැටිව මා යා යුතුය.

අන්ධකාර රාත්‍රියක දැල්වෙන හුදකලා පහන්සිලක අසිරිය විඳින්නට මසිත ආයාචනයක බැඳේ... තවත් අසීමිත දින ගණනක් මසිත ඒ වෙනුවෙන් පෙරුම් පුරනවා ඇත...

Photo : http://www.flickr.com/photos/51058104@N00/3527891292

Thursday, August 5, 2010

මතකය වළලන සුසානයක් නැත...

මතකය වළලන
සුසානයක් නැත...
සුසානයක ඔබ
තනි කෙරුවත්...

නිහඬ නිසංසල
සුසානයේ ඔබ
සැතපේ
සමගින් අතීතයත්...

නොරිකෝ ඇවිදින් ගියා අදත්...
සුසානයේ ඔබ දකිනු රිසින්....
මිහිදන් කරනට නොරිසි හෙයින්
මතකය අරගෙන ගියා යළිත්...



මළවුන්ගේ අවුරුදු දා- OBON  ළඟ ළඟ ම එනව.. මළවුන් වෙනුවෙන් ජීවත්වන්නවුන්ගේ ආදරය හා ගෞරවය පුද දෙන මළවුන්ගේ අවුරුදු දා...ඔබොන් ලංකාවෙ අපිට දැනෙන්නෙ නම් නොරිකො සං නිසා... නොරිකො සං එදාට දෙවෙන්දරා සං එනතුරු තාමත් බලන් ඉන්නව ඇති කියල හිතෙන නිසා...

මතක පොතේ පි‍ටු අතරෙ නොරිකෝ සං ඒ තරම් තදින් සටහන් කළ ඒ මහා ගත්කතුවරයා එදිරිවීර සරච්චන්ද්‍රයනුත් මතකයෙ ජීවත් වෙයි හැමදාටම...

Sunday, August 1, 2010

වීදුරු ජිරා‍ෆි...!!!


පංකාව කැරකෙද්දි
ඒත් එක්ක ම දුවන
අවුල් වුණ කඩදාසි
රඳවගන් ජිරා‍ෆි

විඩාබර දිනය අග
විසිරිච්ච සිතිවිල්ල
එක් තැන්ව තියන්නත්
සුන්දරයි ඒ වගෙම

ඒත් ඒ කඩදාසි
විසිර ගිය සිතිවිලි
එක්ක හුළඟ ට ගිහින්
වැටෙන්න ට නම් එපා...!!!
නුඹ වීදුරු...!!!

Photo : http://www.tamersgifts.org.uk/