Monday, May 31, 2010

බලන් පත් ඉරු නෙක රටා මවමින්....



නෙක රටා විල මත ලියූ
එළිය අඳුරින් රසකැවූ
සිතක් නැති,
කාච නෙත මත මැවූ
ජීවිතේ රටාවයි මග කියූ



අඳුර පරයා
හිරුඑළිය සොයමින්
ගං දියේ පත් පාකෙරූ...
දිලෙන පත්,
හිරු ‍රැසින් තැවිලා...
පසුකරන් ආ
ක‍ටුක මග සඟවා...
පිපෙන කැකුලක්
බිහිකෙරුනු දා
මලේ මිහිර ම
විඳින නෙත් හැර...

-- බලන් --

පත් ඉරු නෙක රටා
මවමින්....
දිලෙන 'යුරු
සැලෙමින්..

------------------------------------------------------------------------------------

Photos :http://www.facebook.com/lishwebber

සොයුර,ඔබ අන්තර්ජාලයට එක්කළ මේ සේයා රූ කිහිපය ඉතාම සොඳුරු හෙයින්,
ඒ දු‍ටු මා සිත නැගුනු සිතිවිල්ල මෙහි සටහන් කරන්නට මා සිතුවා..
ඔබ ලබාගත් සේයා රූ මෙහි එක්කිරීමට ඉඩ ලබාදීම වෙනුවෙන්
ඔබට බොහෝ සෙයින් ස්තුතියි..

Saturday, May 29, 2010

මා දු‍ටු ජපානයෙන්...කමකුරා(Kamakura)

කමකුරා ජපානයේ කනගාවා ප්‍රාන්තයට අයත් නගරයක්..ඒ වගෙම වෙරළබඩ නගරයක්..එක් යුගයක පාලන කේන්ද්‍රය වශයෙන් තිබුන නගරයක්..
පුරාණ වැදගත් නගරයක් නිසා ම බොහෝ බෞද්ධ විහාරස්ථාන කමකුරා නගරයේ පිහිටල තියෙනව...මේ මම දු‍ටුව කමකුරා නගරය ගැන පුංචි සටහනක්..

මේ නගරයෙදි මා දු‍ටු විශේෂත්වය නම් වෙරළට ඉතාම ආසන්නයේත් කඳු පිහිටා තිබීමයි.. මට එය අපේ රටට වඩා තරමක් වෙනස් යයි සිතුනා..

Tsurugaoka Hachimangu විහාරස්ථානය.. පියගැටපෙලට ඉහලින් ඔබ දකින්නෙ විහාරයයි..


එහි වහලේ කොටසක් මේ.. එහි ඇති සුන්දර කැටයම් හා වර්ණ ගැන්වීම නිසාම එය මෙහි ‍රැ‍ඳෙව්වා.




කමකුරා නගරයේ දී මම දු‍ටු ජපන් ජාතිකයන්ගේ බුදුන් වැඳීමේ රටාව ද මේ සේයා රූ අතර සටහන් වෙනව..




ජපන් ජාතිකයන් අපි වගේ මල් පුදන්නේ නැහැ... ඔවුන් මල් පොකුරක් එලෙසම
මල්බඳුනක රඳවා තබා යනව...බුදුන් ඉදිරිපිට හා විහාරස්ථානයේ
ඇතුල් වෙන තැන්වලමත් (ඇතැම් විට) හඳුන් කූරු දල්වන ස්ථානයක් තිබෙනව.. ඒ කරා ගොස් දැතින් ඒ සුවඳ දුම තමා වෙත යොමුකිරීම ඔවුන් කරනු මා දැක තිබෙනව.


මේ Daibutsu (Great Budhdha) බුද්ධ ප්‍රතිමාව...




මේ විහාර බිම තුල එක් විශේෂත්වයක් තිබෙනව, ශ්‍රී ලාංකිකයනට..
මේ විහාර බිමෙහි පසෙක පහළ දැක්වෙන සිහිවටනය ඉදිවී තිබෙනව.. හිටපු ශ්‍රී ලංකා ජනපති J.R. Jayawardhane මැතිතුමා වෙනුවෙන්...



ඉතින් මේ කමකුරා වෙරළ... බැලූ බැල්මට නම් හරිම අපිරිසිදුයි කියල ඔබට හිතේවි.. ඒත් මේ ඉවත ලූ කැලි කසල නෙවෙයි... මුහුදෙන් ගොඩට ගහගෙන ආ මුහුදු පැලැටි..







වෙසක් පෝය ගෙවී ගියා පමණක් වන මේ මොහොතේ ජපානයේ බෞද්ධ වෙහෙර විහාර ගැන තැබූ මේ සටහන මා මෙහි රඳවන්න හිතුවා...ජපානයේ මාදු‍ටු තවත් නගරයක් ගැන කුඩා විස්තරයක් ගෙන ඒමට මා දැරූ තවත් එක් උත්සාහයක් මේ..

Thursday, May 27, 2010

සියපතක් කී කව....



කළල් මතින් නැඟි සුදු පියුමක් ලෙසින..
සියක් පතින් වටකර විල මැද දිලෙන..
බෝසත් සිත් නැතිබව දන්නා හෙයින..
එක් පෙති මලක් නොම විය දෑතින් නෙළන..

සියක් පෙති අතර රඳවා......ගුණ සුවඳ..
පිදුමුත් ලොවට සෙනෙහස හස‍රැල් නිබඳ..
එක පෙති මලක් ලෙස නොමදකිනුය සබඳ..
සුළඟේ ලෙලෙන, අත ළඟ ගඟ අද්දරම..

සුවඳ දිදී ‍රැඳුනත් මේ ඉසව්වේ…
මල පිපුනේ ඈත ඈත දනව්වේ…
සුවඳ මිසක් මල නො‍රැ‍ඳේ කොදෙව්වේ..
නෙලනා කල්පනා ඇයි හිත ‍රැ‍ඳෙව්වේ..




Photo : http://s3.images.com/huge.73.366520.JPG

Sunday, May 23, 2010

මගෙ හිත...මේ දවස්වල




ඉන්ගිරීසි අකුරු අතර
හිර වුනු....
ලිලී මලක්....
වගේ..

Tuesday, May 18, 2010

මිහි බට දෙව් දූ නොදු‍ටුවෙ නම්......


මට ඉන්නෙ එක ම එක මල්ලියෙක් විතරයි.. මල්ලිටත් තාත්තටත් අම්මට වඩා සමීප නිසා ද මන්ද මගේ ලෝකෙ යෙහෙළියන් හිටියෙ අතලොස්සයි...දෙදෙනෙක් මා එක්ක හිටියෙ ජපානෙදි... අනිත් කෙනා ලංකාවෙදි...
ඇය අක්කා කෙනෙක්..
ඉස්සෙල්ල ම සොයුරියකගෙ සෙනෙහස මගෙ හිතට දැනෙන විදියට ගෙනාවෙ ඇය...
ඇය මගේ 'තරු' අක්ක...

කොහොම ඇය මගේ ජීවිතයට ඇතුලු වුනාද කියල නම් මතක නෑ....ඒ කාලෙ මම සැලකිලිමත් නොවුන නිසා වෙන්න ඇති ඇය ගැන..

ඒත් ඇය ටිකින් ටික ළං වෙද්දි නම් සොයුරියක් මොන තරම් නම් සොඳුරුද කියල ඇය මට තේරුම් කරල දුන්න,

සොයුරියක මොන තරම් සම්පතක්ද කියල මට ඉගැන්නුව....

ඈ සමග මා ඇගේ නිවසේ ගතකළ දිනවල ඇය මා ඇහැරවන්නෙ උදේට නැගිටල උයල කෑමත් බෙදල ඉවර වෙලා... මෙ වර ගත කළ මාසෙක නිවාඩුවෙ ඇය ළඟ ගතකළ දිනයෙදි ත් ඇය එසේමයි...

මම ලංකාවෙන් එන දවසෙ ගෙදර ඇවිත් මා සමග හිටියෙත් ඇයමයි....

ආපහු ගිහින් ඈ බලන්න ගියාම ඒ සෙනෙහසින් ම බාර අරගෙන, අවුරුද්දක් ම තනියම මෙහේ ඉඳල තනියම ම ලංකාවට ත් ගිය මට තනියම මරදාන දුම්රියපළ ට ගිහින් ඇය දවසේ වැඩ නිම වෙලා එනතුරු විනාඩි කීපයක් පරෙස්සමින් ඉන්න බැරි වෙයි කියල තිස්සෙම දුර ඇමතුම් දිදී බැලුවෙත් ඇයමයි..

මට දැනුත් ඇය ගැන දැනෙන හැඟීම පැහැදිලිව අකුරු කරන්න බැරිත් ඒකයි....

තරු අක්කෙ... ඔයා නැති අඩුව මට දැනෙනව...තාමත්....

ඒත්........

තරු අක්කෙ, ඔයා කියා දුන් පාඩම මම දැන් ඉගෙනගෙන...හොඳට ම ...
සොයුරියක් අතිශයින්ම සොඳුරු බව....

මට දැන් හිතෙන්නෙ දෙවියන් විසින් මට නුදුන් නමුත් වාසනාවන්ත නැගණියනට
ඔවුන් වෙනුවෙන්ම දුන් දෙව් දූවරුන් සොයුරියන් ලෙසින් පෙනී සිටිනව කියලා..

මිහි බට දෙව් දූ
නොදු‍ටුවෙ නම්......
දකින්න ඈ
සොයුරියක ලෙසින්....
දයාව සෙනෙහස
එක ලෙස කැටි කර
මැවීය ඈ හද
මුදු විලසින්...

මගේම සොයුරිය
ලෙස ලැබගන්නට
පින් මද නැගණිය
මා......

පෙරුම් පුරන්නම්
මතු අත්බවයක
ලබන්න මා
සොයුරිය විලසින්..
ඔබෙ සෙනෙහස
පිය සටහන් මා හද
එතෙක් ‍රැඳේ
ඔබ මගේ ලෙසින්..

.....................................................................................
සොයුරියක් අතිශයින් ම සොඳුරු බව මට නිමන්ති අක්ක මේ ළඟදි මතක කරල දුන්නනෙ..

ඒ වගෙම මට හැම වෙලෙම තරු අක්කව මතක් කරවන 'වත් අක්ක' දැන් සතුටින්..

දිලුත් මේ දවස්වල සොඳුරුම මතක අහුලනව අතීතයෙන්..

ඒ අතරෙ තවත් නංගෙක් ජීවිතේට ඇවිත්...මගේම ඇරයුමින්...

තවත් සොයුරියක් මට බොහෝ සමානවීම නිසා සැකය, ප්‍රශ්න, හිත රිදවීමුත් එක්ක ම සෙනෙහසත් අරගෙන නොහිතුව මොහොතක ආව..මුලින් අකමැත්තෙන් වුනත් වාසනාවකට කිසිවිටක ඇගෙ හිත නොරිදවමින්...දැන් නම් කැමැත්තෙන්ම හා බොහෝ සෙනෙහසින් ම, කොන්දේසි විරහිතව ම ඇගේ මාත්තරා නැති තාත්වික සෙනෙහසත් මම මගේ ලෝකෙට බාර අරන්..

ආදරණීය විශ්මි නංගි, මේ සොයුරියන් අතරෙ ඔයත් මගෙ හිතේ ‍රැඳිල ම ඉන්නව.. ටිකක් දවසකින් නම් නොදැක්කත්...

මොන දේ වුනත් කිසිම සොයුරියක් හිත රිදෙව්වෙ නම් නෑ, ඒ හින්දම තමයි අද බ්ලොග් අවකාශයෙ සොයුරියන් ගැන මේ පසු සටහන තිබ්බෙත්...

ඉතින් මේ සටහන සොයුරියන් ලබන්න පින් නොකළ මට ආදරණීය සොයුරියන් වුණු ඒ මිහිබට දෙව්ලිය වෙනුවෙන්..


Photo:http://i143.photobucket.com/albums/r140/momoftobus/Fairy/fairies-6.jpg

Saturday, May 15, 2010

සිනාසෙනා.... මගෙ හිතට වඩා.... හඬන සිතට නුඹ හරි ආසයි..


කලාසොළස ගෙවුනු පුරහඳ නිශා ගගන තලය හැර ගිහින්...රිදුනු හිතේ, දුක වාං දාන නිසාම ද මන්ද....තැනින් තැන දිදුලන තරුකැට හඬාවැටෙනව වගේ....මට පේන්නෙ..

සිනා සපිරි සඳ දුර ඈතයි..
හඬා වැටෙන තරු ළඟ පාතයි..
සිනාසෙනා.... මගෙ හිතට වඩා....
හඬන සිතට නුඹ හරි ආසයි..

නිර්මලා රණතුංග ගයනව මගේ හිත ඇතුලෙ....

සිනාසෙනා මගෙ හිතට වඩා හඬන හිතට පෙම් බැන්දෙ කෝමද නුඹ... මගෙ හිත මගෙන් ම අහනව....

දුක දී සාගරය වගේ....
සතුට දේවි දිය දෝතක්..
දුකට පුරුදු හිතට මගේ...
සිනාපොදත් සාගරයක්..

දුකටම හුරුවෙච්ච්චි මගෙ හිතට සිනා පොදක් අරන් නුඹ එද්දි ඒ සතුටත් එක්ක කප්පරක් දුකත් නුඹ අරන් ඒවි කියල මම හිතුවෙ නෑ.... සත්තයි..

ගහක් වුනා හොඳ හෙවනයි
ගඟක් වුනා හරි සිහිලයි..
මලක් වුනා නුඹ සුවඳයි
ගලක් වුනා හිත පුදුමයි....

මම සන්තකව තිබුන එකම වස්තුව වුන මගේ අවිහිංසක සිත සින්නක්කරම නුඹට දෙද්දි නුඹේ හිත ගලක් බව මට අඳුනගන්න බැරි වුණේ කෝමද..මන්ද..

අහන්න මගේ හිත ඇතුලෙ ගැයෙන ඇගේ හඬ, ඒ ගායනය හිත උදුරගත්ත නම් අරගෙන යන්න..ගීතය



Photo: http://www.moviegupshup.net/data/media/18/Rani_Mukherjee_230.jpg

Friday, May 14, 2010

නිදහස් මගේ හිතත්..



තාත්ත සැත්කමකට රෝහල්ගත කරල නිසා පහුගිය දින කීපයම ගෙවුනෙ ඉවසන්න බැරි වේදනාවකින් හා හිතේ බරකින්.. කිසිම දේකට හිත නිදහසේ කිසිම දෙයක් ලියන්න බැරි නිසාම වේදනාව හිතේ දරාගෙන නිහඬව ම හිටිය...
සැත්කම අවසන් කියන වචන ටික හිතට ගෙනාවෙ පුදුමාකාර සහනයක්..තාත්ත ට තවත් දින කීපයක් රෝහලේ ඉන්න සිදුවෙන බව දැනන් උන්නත්,
ඒත් එක්කම මේ සටහන තියන්නෙ බ්ලොග් අවකාශය හරහා මගේ ජීවිතය ට ඇතුලු වෙලා ජීවිතේ දුක්ඛ දෝමනස්සයන් බෙදාගෙන මගෙම වෙලා ඉන්න ඒ සොයුරුකැල වෙත මුළු හිතින්ම පිදෙන ප්‍රණාමය පුද කිරීම සඳහා...

ඒ එක්කම මගේ හිත පතුලෙන්ම නැගෙන ප්‍රාර්ථනාව තාත්තට ඉක්මන් සුවය ලැබේවා.....!!!



මහ වැස්සක් බිමට හලා
නිදහස් වුණ අහසක් සේ...
නිදහස් මගේ හිතත්..
දින ගණනක් පුරා හිතේ
අරක් ගත්ත මහා බරක්
බිමින් තියා සැනසෙන්නට
මොහොතක් හුස්මක් ගන්නට
පුළුවන් මගෙ හිතට ඉතින්
විරාමයක් සටහන් කර
හෙලූ තැවුල් සුසුම්වලට...

නොකිව් නමුත් කාටවත්ම
එකවදනක වෙනස සොයා
සිතේ තැවුල් බෙදාගත්ත
මනුස්සකම වෙනුවෙන් සිත
‍රැඳී උන්නු ලෙංගතුකම්
සියල්ලටම තුති පුදන්න
බෑ මට ඒ හිතින් ඉතින්....

බැඳීම් දුක ගෙනෙන ලොවේ
ඒ බැඳුම්ම සතුට ගෙනේ..
බැඳුම්වලින් සැනසෙන සිත
ඔබට පුදන ප්‍රණාමයයි
මේ විදියට අකුරු වුනේ...




Photo:http://faithfriend.files.wordpress.com/2010/03/a-fathers-love.jpg
http://florabella.com.ph/images/Simply%20Yellow%20P1500.jpg

Monday, May 10, 2010

සිත්තම් කරනෙමි... ලස්සන මගෙ හිත..



ලයතුර දැවටී උණුසුම් සෙනෙහස
විඳින්න මා රිසියෙම්...
කිරිල්ලියක වී ගගන අරා මුදු
පියා සලනු රිසියෙම්...
සමනළ හීනෙක දැවටී නුඹ සිත
අරා සිටිනු රිසියෙම්...
නිශා ගගන තල සඳවත සේ...
ඒ සිත හිමිකරගනු රිසියෙම්...

මුදු පවනැලි සේ දැවටෙන මාසිත
පහස විඳිනු රිසි බවද දනිම්...
මුදු හස‍රැල්ලක නෙතු කඳුලැල්ලක
මිහිර විඳිනු රිසි බව ද දනිම්...
මා අතැඟිලි අග දැවටී සෙනෙහස
විඳින්න ඔබ රිසි බව ද දනිම්...
මා සිත ‍රැකගෙන දිවිමග යන්නට
රිසිද නොරිසිදැයි කියන් ඉදින්...

වැලපෙන සිතකට හස‍රැලි දෝත දරන්
ඔබ ආ බව මතකයි...
සිනා කඳුල මිස දුක් කඳුලැල්ලක්
මෙතුවක් නොගෙනා බව සත්තයි...
රකිනු නොහැකි නම් ඔබට පුදා සිත
රිදවා ගනු නොරිසියි...
සිත්තම් කළ සිත ඔබට එවමි මම
මතු ඒ සිත ඔබ වෙත ම ‍රැ‍ඳෙයි...

මුදු හස‍රැල්ලක මිහිර ලෙසින්...
සැමදා මාසිත ළඟම ‍රැ‍ඳෙන්...

Saturday, May 8, 2010

සීමා මායිම් නැත මේ උඩු ගුවනේ..


ගුවන අරා
පියා සලා යන
කුරුළු රෑන්
අතරේ

කිරිල්ලියයි ඈ
ගගන අරා ආ
මේ ජීවිත
කතරේ

අහසයි සීමා මායිම
අපගේ..........
සීමා මායිම්
නැත මේ උඩු ගුවනේ..

පියාසලන් රිසිසේ..........



Photo :http://www.dancewithshadows.com/aviation/srilankan-airlines-appoints-first-lady-captain/

මේ අහම්බෙන් නෙත ගැ‍ටුන පුවතක්..Sri Lankan Airlines හි පලමු ගුවන් නියමුවරිය....ඇය මුළු කාර්ය මණ්ඩලයම කාන්තාවන් වූ ගුවන් ගමන් දෙකකට නියමුවරිය වෙලා තියෙනව..
ඉදින් ඒ දිරිය දියණිය අනුෂා සිරිරත්න වෙනුවෙන් කුඩා හෝ සටහනක් තැබිය යුතුයයි සිතුනා..

(ගුවන්යානා කාර්ය මණ්ඩලය ගැහැණු හෝ පිරිමි වීම විශේෂයෙන් අවදානය යොමු විය යුතු කරුණක් යයි මා සිතන්නේ නෑ.. ඔවුන් කවුරු වුනත් ආරක්ෂාකාරී ගුවන් ගමනක් මගීන්ට ලබාදීමයි වැදගත්.. එහෙත් ගුවන් ගමනකදි ගුවන් නියමුවාගෙ නම කියද්දි ඔහු හෝ ඈ ශ්‍රී ලාංකිකයෙක් නම් කුමක් දෝ සියුම් සතුටක් දැනෙන බව නම් මා සිතනවා..)

Thursday, May 6, 2010

කිරුල හිමි කුමරුට පෙම් බැඳ..?



තිරය පි‍ටුපස
කිරුල දරමින්
සිහසුන් හෙබවූ
අග ‍රැජිනයි

ඈ..

නුර් ජහාන්..

දැයක කිරුළ නොව
මා සිතේ කිරුල පමණක්
හිමි කුමරු වී නම්
සහසක් ලියන් හා
බෙදා ගන්නට
නොවනු ඇති මට

ඔබව...

කිරුල නොමැතිව
ඔබ කුමට මට
ඇතොවුරට නොව
අග බිසව් ලෙස
පමණක් ම එමි
මා..

සිතන්නී ඈ..

මෝගල් අදිරද
කිරුල හිමි
ඇගේ කුමරුයි
ඔහු...

සලිම් ජහන්ජිර්

කිරුල හිමි කුමරුට පෙම් බැඳ..?




Indu Sundaresan ගේ The Twentieth Wife කෘතිය ඇසුරෙනි..
(ප්‍රේමය පමණක් නොව ධනය, බලය වෙනුවෙන් ද ඔහු හඹායන ඈ මෙන්ම, රූ සපුව නිසාම ඇය හඹා එන ඔහු ගෙ පෙම් පුරාවත: මෝගල් අදිරද Salim Jahanjir හා ඔහුගේ අග‍රැජින Nur Jahan ගේ පෙම් පුවත මේ පොතේ විස්තර කෙරෙනවා... )


Photo: http://wwwdelivery.superstock.com/WI/223/1566/X1010/PreviewComp/SuperStock_1566-048402.jpg

Wednesday, May 5, 2010

සීගිරි කසුප් වැලපෙයි සීගිරිය තැනූ..




සීගිරි බමරු පලවා හල
මනුසත්තු...
සිගිරි ගලේ ගල මුදුනේ
දසුන් පැතු...
ඒ මුලු ලොවම වැනසී යන
ලකුණු දුටූ...
සීගිරි කසුප් වැලපෙයි
සීගිරිය තැනූ...




Source news: http://www.lankadeepa.lk/2010/05/04/front_news/09.htm


ලංකාදීප Online edition එකේ කියවෙන විදියට කෘමි විශේෂයක් සිගිරි චිත්‍රවලට හානි පමුණුවල...උන් පලවා හරින්න අපේ බලධාරීන් කුමක් කරන්නට සිතා වී දැයි නම් මා දන්නේ නෑ..(වතාවක් සීගිරි බමරුන් ගිනිතබා විනාශ කළා...මෙන්..)

එහෙත් සීගිරිය ඓතිහාසික වටිනාකමක් දරන නමුත්, තවමත් ජීවත්වන ජෛව පද්ධතියක් ද එහි පවතින බව අමතක කළ අපේම වරදක ප්‍රතිපලය ලෙසයි මට මෙය පෙනෙන්නෙ...මෙය බමරු සහ අනික් කෘමි විශේෂ එක්ව ජීවත් වූ සමතුලිත ජෛව පද්ධතියක එක් විශේෂයක් නිර්දය ලෙස හා මුග්ධ ලෙස විනාශ කිරිමේ අතුරු ප්‍රතිපලයක් දෝයි මට සැක සිතෙනව...

සීගිරි කසුප් නම් අපට සාප කරාවිද වැලපේවිදැයි මා දන්නෙ නෑ..මේ අසහාය නිර්මාණය උදෙසා වෙහෙසුනෙ ඔහු හා බැඳුනු මිනිස් කැලක් නිසාවෙන්..


Photo:http://www.apemalanka.info/images/Sigiriya.JPG

Sunday, May 2, 2010

විඳින්න එන්න.....මේ සොබා දමයි....

මේ වසරක් පුරා මගේ නෙත ගැටෙන දසුන් අතරෙ මම ප්‍රවේසමින් එක කරගත් සේයා රූ කීපයක්... සේයා රූ සියල්ලෙම තියෙන්නෙ එක ම ගස.... ඒත් වසර පුරා... එහි වෙනස්කම් ‍රැසක්...

ක‍ටුක ශිශිරය දරා ගත නොහැකිව පතින් තොර ඉපල් අහස වෙත යොමු කරන මේ ගහ ශිශිරයේ හිම සමග සටන් වදිනව...ඒත් සොඳුරු වසන්තයෙදි නැවතත් දළු දමමින් ජීවනයට පණ පොවනව...

ගිම්හානයේ හිරු ‍රැසින් පීඩා විඳිමින් ජීවත් වෙලා...ආයෙම ශරත් ඍතුව එළඹෙද්දි තුරු පත් මුදවමින් ශිශිරයට සූදානම් වෙනව....



මේ අද දිනයේ මේ ගස මා දකින අයුරයි..ගිම්හානය පුරා එය එලෙසම ‍රැ‍ඳෙනු ඇති...




මේ ඒ ගස ශිශිරයේ අග වසන්තයට පෙර ගමන් යන අයුරු මගේ කැමරා කාචයේ සිත්තම් වූ හැටි..



මේ දසුන් දෙකම එකම දිනයක රාත්‍රියේ... ක‍ටුක හිම කුණා‍ටුව උසුලන අතු ඉති.. කැමරාවේ ආලෝකය ඇතිව හා නැතිව...( flash on and off)







අවසන ශරත් ඍතුවේ... ශිශිරය වෙත එළඹෙමින්....



මේ මගේ නම් බොහෝ සිත් ගත් දසුනක්.. මා විඳි හැඟීම මට මීට වඩා පැහැදිලි කරන්න බෑ... එය විඳීම ක් ම නිසා....

මේ ජීවන චක්‍රය තවත් කෙතරම් කල් නම් මේ ගස ගෙනයයිද මන්දා...