Saturday, July 3, 2010

මේඝ වළා මුදාලන්න

මේඝ වළා මුදාලන්න
මන්දාරම් වැහි වැටෙන්න
ගිනියම් වූ දිවි කතර ට
පොද වැස්සක අසිරි පලක් නෑ...

අහස දෙබෑ කර නැගෙන්න
විදුලි අකුණු මවාලන්න
මොර සූරන මහ වැස්සක
තෙමුණු දිනක් මතකයෙවත් නෑ...

ජීවිතයේ නියංසාය
නිමාකරන මන්දාරම
මග බලනා මගෙ දෑසට
මහ වැස්සක නිමිති පලක් නෑ..

නෙත සැඟවූ කඳුළු බිංදු
වැහි ඇල්ලක දියකරන්න
කල් බලනා දෑස රිදේ
මාරුත මිස මේඝය තව නෑ...

10 comments:

  1. ඉඩෝරයක පෙලීම...
    ලස්සන් පදපෙල රූප සංකලනයෙන් තවත් ඔපවත් කරලා.

    වඩාත් සිත් ගත් කොටස:

    මේඝ වළා මුදාලන්න
    මන්දාරම් වැහි වැටෙන්න
    ගිනියම් වූ දිවි කතර ට
    පොද වැස්සක අසිරි පලක් නෑ...

    ReplyDelete
  2. බලා ඉමි
    එනතුරු උඹ
    මලානික
    අහස දෙස......
    දර ගත
    නොහුණු සඳ.....
    රිවි රජුන්
    ඔද තෙද.......

    ReplyDelete
  3. ගිණි දාහය නිවාලන්න
    මහමේඝය නැතිවුනාට
    නිරුදක වූ වැලි කතරට
    පොද වැස්සේ අගය නිමක් නෑ

    අහස තදින් ගිගුරුවාට
    විදුළි අකුණු මතුකලාට
    පෑයු ඒ රිදී දහරෙ
    ලස්සන නම් කියල නිමක් නෑ

    නියං සාය කෙලවර බව
    කියවාලන මන්දාරම
    හඬන උඹේ හිත් පොඩියට
    වස්සානය ගෙනෙනවමයි ඒකෙ දෙකක් නෑ

    නෙත කඳුලැළි සැඟවුවාට
    මුහුකරන්න මහ වැස්සට
    ඒකඳුලැළි පිසදාලන
    මේඝය තව වැඩි ඈතක නෑ

    සුලා..

    ReplyDelete
  4. රිවි රජුන් ඔද තෙද
    දරනු බැරි
    මහ පොළවට
    මේඝය ඇවිත්
    අද සැන්දෑ වරුවෙම...

    ReplyDelete
  5. කවි පද වැල් අමුනද්දී
    ගිණි දාහය නිවාලන්න
    වැලි කතරට පොද වැස්සක
    අගය හිතට මතක් වුණේ නෑ...

    අහස තදින් ගිගිරුවාට
    රිදී දහර මතු වුනාට
    අද වෙනතුරු අඳුරු අහස
    මේඝය වී කඩා වැ‍ටුනෙ නෑ...

    නියංසාය කෙළවර කර අද හැන්දවේ වහිද්දි
    හිතේ පිපුන සිනා කැකුළු
    නිල් අහසට විසිකරන්න
    අමතක වුණෙ නෑ...

    ReplyDelete
  6. පොද වැස්සට ඔබ තෙමෙන්න
    පමා වෙනවා මම බොහෝම
    වෙන කරන්න කිසිම දෙයක් නෑ
    අතීතයේ එක් දිනකදි
    විදුලි අකුණු පිරි සවසක
    අප තෙමුනා මහ වැස්සක
    ඔබට මතක නෑ
    ජීවිතයම කතරක් වුනි
    හැර යන්නට සිදුවූ පසු
    ඒ මතකය මා රිදවුව
    හඬා පලක් නෑ
    ඔබේ නෙතින් වැටුණු කඳුළු
    බලන්න බැරි නිසයි පමා
    මගේ සිතට සමාවෙන්න
    මට තවමත් බෑ...!

    ReplyDelete
  7. අතීතයේ බෝ දිනවල
    අපි තෙමුණා මහ වැස්සට
    අපි වෙන්වුණ නමුත්
    තාම වැස්ස වෙනස් නෑ...

    හැඬූ කඳුලු දිය කරවා
    ගලාහැලෙන වැහි ඇල්ලක
    ජීවිතයේ වස්සානය
    සොයාගන්න තවම පමා නෑ

    ReplyDelete
  8. අපූරු පද පෙළක්..

    ReplyDelete
  9. ව්‍යංගාවෙන්දෝ අරුත කියන්නේ...?

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...